වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




චීන මහා සිනමාකරුගේ චිත්‍රපටයක් ලංකාවේ The Great Wall

චීන මහා සිනමාකරුගේ චිත්‍රපටයක් ලංකාවේ The Great Wall

මිනිසා විසින් ගොඩනඟන ලද ලොව පුදුම හතෙන් එකක් බවට සුපතල චීන මහා ප්‍රාකාරය ක්‍රිස්තු පූර්ව 220 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. මෙය නිර්මාණය කිරීම ආරම්භ ක‍ළේ ක්වින් ෂි හුවන්ග් නම් අධිරාජයයා විසිනි. මෙම ප්‍රාකාරය විවිධ වකවානුවල ජීවත් වූ ඒ ඒ අධිරාජ්‍යවරුන් විසින් පිළිසකර කොට ව්‍යාප්තකර ඇති අතර වර්තමානයේ පවතින ප්‍රකාරයෙන් වැඩි කොටසක් ඉදිරිකර ඇත්තේ මින්ග් රජ පෙළපත පැවති (1368 - 1644) කාලයේදීය. චීන මහා ප්‍රාකාරයේ ප්‍රධාන කොටස කිලෝමීටර් 8850ක් දිගුවන අතර අනු කොටස්ද සමඟින් කිලෝමීටර් 21,196ක දිගින් යුතු බව වාර්තා වේ.

චීනයේ උතුරු මායිම ඔස්සේ විහිදෙන මෙම මෙම ප්‍රාකාරය ඉදිකිරීමට මූලික හේතුව වී ඇත්තේ චීන රාජ්‍යයට උතුරු දෙසින් එන ආක්‍රමණික කණ්ඩායම්වලින් රට ආරක්ෂාකර ගැනීමයි.

චීන සිනමාවේ සිව්වන පරම්පරාවේ මහා සිනමාකරුවකු ලෙසින් ලොව පුරා සම්භාවනාවට පාත්‍ර වූ ෂැන්ග් යිමෝගේ අධ්‍යක්ෂණයෙන් තෝමස් ටල්, චාර්ල්ස් රෝවන් ඇතුළු පිරිසකගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු The Great Wall චිත්‍රපටයෙන් දිග හැරෙන්නේද මෙම මහා ප්‍රාකාරය සමඟින් බැඳුණු චීන පුරාවෘත්ත කතාවකි.

සොංග් අධිරාජ්‍යයාගේ කාලයේ මෙම මහා ප්‍රාකාරයට උතුරු දෙසින් වෙඩි බෙහෙත් සොයමින් ගැවසුණු යුරෝපීයයන් පිරිසකි. උතුරේ වෙසෙන ආක්‍රමණිකයන්ගේ පහරදීමකට ලක්වන ඔවුන්ගෙන් දිවි බේරා ගත හැකි වන්නේ දෙදෙනෙකුට පමණි. විලියම් සහ පේරෝ නම් වන මේ යුරෝපීයන් දෙදෙනා ඊළඟ දිනයේ උදෑසන අවදිවන විට චීන හමුදා ප්‍රධානි ලින් මේගේ අත්අඩංගුවට පත් වී සිටියි. මේ මහා ආරක්ෂක පවුරේ සිට උතුරින් එන භයංකර සත්ත්වයකු හා සටන් වැදීමට සැරසෙමින් සිටින ලින් මේගේ අණදීම යටතේ වූ හමුදා සේනාංකය අතරට විලියම් සහ පේරෝ ද එක් වෙති. මෙම චීන හමුදා සේනාංකය සමඟින් එක්ව ඔවුන් දෙදෙනාට මිනිස් සංහතියම විනාශ කළ හැකි මේ බලවත් උවදුර පරාජය කිරීමට හැකි වේවි ද?

ජනප්‍රිය හොලිවුඩ් නළුවන් දෙදෙනෙකු සමඟින් ජනප්‍රිය චීන නළු නිළියන් රැසකගෙන් The Great Wall චිත්‍රපටය හැඩ වී ඇත. මැට් ඩෙමෝන් (Bourne චිත්‍රපට මාලාව, Green Zone, Intersteller), පේද්‍රෝ පැස්කල්, විලෙම් ඩෙෆෝ (Jhon Wick, Spider Man, Platoon)  සමඟින් ජින් ටියාන්, ඇන්ඩි ලෙව් ඇතුළු පිරිසක් මේ සඳහා රංගනයෙන් දායක වෙති. මෙහි සංගීතය නිර්මාණකර තිබෙන්නේ ජර්මන් ජාතික ප්‍රවීණ සංගීතඥ රමින් ජ්වාදි (Iron Man, Clash of the Titans, Prison Break, Gamr of Thrones)  විසිනි.

විනාඩි 104ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය ඉංග්‍රිසි සහ මැන්ඩරින් භාෂා ද්විත්වයෙන් හඬ කවා ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 150ක පිරිවැයකින් තැනුණු මෙම The Great Wall චිත්‍රපටය මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 220ක් ඉක්ම වු දායාමක් ලබා ඇත. පසුගිය වසරේ දෙසැම්බර් 6 වැනිදා සිට චීනයේදී තිරගත කෙරුණු මෙය අමෙරිකාව ඇතුළු අනෙක් රටවල තිරගත කිරීම ඇරඹෙන්නේ හෙට (පෙබරවාරි 17) වැනිදා සිටය.

සාර්ථක වාණිජ චිත්‍රපටක් වුවද The Great Wall චිත්‍රපටයට විචාරකයන්ගෙන් ලැබී ඇත්තේ සෘණ ප්‍රතිචාරයන්ය. එය IMDB ලකුණු 6.3/10ක් වාර්තා කරන විටදී රොටෙන් ටොමැටෝස් ප්‍රේක්ෂකාගාරයෙන් ලැබී ඇත්තේ සියයට 54කි. මෙම චිත්‍රපටය ත්‍රාසජනක වීර චිත්‍රපටයක් ලෙස නිර්මාණය කිරීමත් හොලිවුඩයේ ප්‍රසිද්ධ කිරීමත් යන කාරණා දෙකම සාර්ථකකර ගැනීමට යාම සමඟින් එහි සාරය අවතක්සේරු වී ඇති බව පොදු විචාරක මතය යි.