වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




මෙයාගේ විහිළු වැඩියි

මෙයාගේ විහිළු වැඩියි

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. ඔහුගේ දඩබ්බර ක්‍රියාකාරකම් දකින සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට එතරම් කැමැත්තක් නොදක්වති. එහෙත් සන්දේශ් දෙමව්පියන්ගේ කැමැත්ත නොසලකා ඇය හා විවාහවීමට තිරණය කරයි. දිනක් සන්දේශ් මිහිරි හමුවීමට ගොස් ඒ බව සැලකර සිටියි. එහෙත් ඔහුගේ දෙමව්පියන්ගේ අකමැත්ත හේතුවෙන් ඇය විවාහය පිළිබඳ තීරණයකට එළඹීමකට පසුබට වෙයි.

තවදුරටත් ඇය අස්වසන්නට නොකමැති වන සන්දේශ් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයට යයි. එහිදී ඔහු නවාතැන් ගනු ලබන්නේ මවගේ නැගණිය වූ මාලතීගේ නිවසේය. මාලතී පුංචිඅම්මාගේත් තුසිත් මාමාගේත් ඔවුන්ගේ දරු දෙදෙනාගේත් සෙනෙහස හා ඇසුර අතරේ සංදේශ්ගේ ජීවිතය සතුටින් ගෙවි යයි.

(අද එතැන් සිට)

දිනක් සවස නිවස අසල ඇති ඇවිදින මං තීරුවේ ව්‍යායාමයක යෙදුණු සන්දේශ් නිවසට පැමිණෙන විට යාන්තමින් අවට අඳුර පැතිරෙමින් තිබිණ. තුසිත් මාමා හා මාලතී පුංචි සමඟ මෙදින සාලයේ වාඩි වී සිටි පිරිස සන්දේශ් මීට පෙර දැක තිබුණේ නැත. එහෙත් පිරිස අතරේ සිටි එක් අයෙකු නෙත ගැටීමත් සමඟ ඔහුගේ සිතෙහි හට ගත්තේ දැඩි තිගැස්මකි. ඒ රුව මීට පෙර දිනෙක උමං දුම්රියපල තුළ දැකීමෙන් තම සිත සසල කළ රුවැත්තිය බවට හඳුනාගන්නට ඔහුට වැඩි වේලාවක් ගත නොවීය.

‘‘ආ එනව එනව, මේ මගේ පුතෙක්! පුතෙක් වුණාට පේනවනෙ සයිස් එක. මාලතීගෙ ලොකු අක්කගෙ පුතා, සන්දේශ්. බිස්නස් මැනේජ්මන්ට් ඩිග්රි එකක් කරන්නයි මෙහේ ඇවිල්ල තියෙන්නෙ. ඉන්න හිටින්න තැනක් නැහැයි කිව්වහම අපි කිව්ව මෙහේ නවතින්න කියල".

තුසිත් මාමාගේ කතාවට සැමටම සිනා නැගිණ. මඳ සිනහවක් සමඟ සන්දේශ් ඇයගේ මුහුණ දෙස ද බැලීය. ඒ මොහොතේම ඇගේ දෙනෙත් ද සන්දේශ්ගේ නෙත් හා ගැටිණ. විසිරුණු රෝස තොල් අතරින් දුටු ඇයගේ දත් දෙපල ද ඔහුගේ සිත් ගත්තේය.

"සන්දේශ්, මේ ප්‍රභාත්, මේ මයුරි, අර මේගොල්ලන්ගෙ දුව නතාශා, අපේ හොඳම ෆ්‍රෙන්ඩ්ස්ලා කට්ටියක්."

"පුතා වාඩිවෙන්න" ඒ ආරාධනාව මාලතීගෙන් ය.

"මං වොෂ් එකක් දාගෙනම එන්නං"

"ඔව් ඒක හොඳයි, ගඳයි කියල මාත් කියාගන්න බැරුව හිටියෙ."

පිරිස යළිත් සිනාසෙන හඬ ඇසිණ.

"මෙයාගෙ විහිළු වැඩියි. සන්දේශ්ට කේන්ති ගියාද දන්නෑ" ඒ යළිත් මාලතීය.

"පිස්සුද, සන්දේශ්ට එහෙම කේන්ති යන්නෙ නෑ"

"එක්ස්කියුස් මී" යැයි කියාගෙන සන්දේශ් සිනා රැඳී මුහුණින් යුතුවම එතැනින් ඉවත් වූයේ නතාශා දෙස ද බලාගෙනය.

ඔහුගේ සිත තිබුණේ දැඩි ප්‍රබෝධයකය. ගත සෝදාගෙන සැහැල්ලු ඇඳුමකින් සැරසුණු ඔහු පිරිස අතර පැමිණ අසුන් ගත්තේය. එදා දුම්රියපල තුළ අහම්බෙන් දැකීමෙන් තම සිත වසඟ කළ ඒ සුන්දර යුවතිය දැන් ඔහුගේ දෑස් ඉදිරිපිට ය. අපට සමීප සමහර දේවල් අප නොදන්නා අයුරින් අපෙන් දුරස් වන අතරම තවත් සමහර දේවල් අප නොසිතන අයුරින් අප වෙත සමීප වෙයි. දෛවය ලෙසින් අප බොහෝ විට හඳුන්වන්නේ මෙවැන්නකට නොවේද?

සුහද කතාබහ ඔස්සේ ගෙවී යමින් තිබුණේ සුන්දර හෝරා කිහිපයකි. කැබිනට්ටුවක් අසලට නතාශාගේ පියා හෙවත් ප්‍රභාත් රැගෙන ගිය තුසිත්, වීදුරු දෙකක් රැගෙන ඒවාට මත්පැන් පුරවන්නට පටන් ගත්තේය. සන්දේශ් සැර පානයෙන් වැළකී සිටින බව දන්නා හෙයින් ඔහු සන්දේශ් අතට දුන්නේ බියර් කෑනයකි. සන්දේශ් එය පානය කරමින් එතැන මොහොතක් රැඳී යළි හැරෙන විට නතාශා පෙනෙන්නට සිටියේ නැත.

මේ මොහොතේ නතාශා සිටියේ ෂෙහාන් හා මලුකි සමඟ ගෙවත්තේය. එතැනට ගිය සන්දේශ් හලෝ යැයි කියමින් නතාශා සමඟ සිනාසුණේය. ඒ සමඟ ඇයගෙන් ද පිළිතුරු සිනහවක් ලැබිණ. මුලින් ඔහු ඇය සමඟ කතාබහට වැටුණේ ඉංග්‍රීසි බසිනි. නමුත් ඇයට හොඳීන් සිංහල කතා කිරීමේ හැකියාව තිබුණි. ඒ ගැන සන්දේශ්ට ඇති වූයේ ද සතුටකි.

උසස් අධ්‍යාපනය සඳහා මුලින්ම ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ ඇයය. දෙමව්පියන් පැමිණ ඇත්තේ ඉන් පසුවය. ඔවුහු පදිංචිව සිටින්නේ තුසිත්ලාගේ නිවසේ සිට කිලෝමීටර් දහයක් පමණ ඈතින් ඇති වෙනත් නිවාස සංකීර්ණකය. ඕස්ට්‍රේලියාවට වඩා ඇය කැමැත්තක් දක්වන්නේ ලංකාවට යැයි ඇයගේ කතා බහෙන් ඔහුට වැටහිණි.

සුහද කතාබහ සහිත දුරකතන ඇමතුම් කිහිපයකට පසු ඔහු ඇයව මුණ ගැසුණේ මෝල් ලෙසින් හඳුන්වන දැවැන්ත සුපිරි වෙළෙඳසැලක් තුළදීය. ඉන්පසු කිහිපවරක් හමුවීමට ඔවුන් දෙදෙනාට හැකි විය. සන්දේශ්ගේ විනෝද කතාබහ, අදහස්, කඩවසම් සිරුර කෙරෙහි නතාශාගේ ද සිත් බැඳී තිබුණි. ඇයගේ පියකරු සිනාරැල්ල, තියුණු අළුපාට දෙනෙත්, සන්දේශ්ගේ ජීවන ගමන් මගෙහි තවත් සොඳුරු පරිච්ඡේදයක ආරම්භයක් සනිටුහන් කරනු ලැබීය.

කාලය ගෙවී යමින් තිබුණේ ප්‍රබෝධයෙනි. සන්දේශ් හා නතාශා අතර වූ ආදර සම්බන්ධය වැඩිකල් නොගොස්ම ඇගේ දෙමව්පියන්ටත් සැල විය. සන්දේශ්ගේ සිත තවත් සොම්නසකට පත් කරවමින් ඔවුන්ගෙන් ද ලැබුණේ ආශිර්වාදයකි. තුසිත් මාමා හා මාලතී පුංචි තුළ ද නතාශා පිළිබඳව තිබුණේ විශාල පැහැදීමකි. රූමත් බව මෙන්ම ඇයට හොඳ උගත්කමක් ද ඇති බව ඔවුහු දැන සිටියහ.

අධ්‍යාපන ආයතනයේත්, මාමා, පුංචි, ශෙහාන් හා මලුකි අතරේත්, නතාශාගේ ඇසුර ඔස්සේත් සන්දේශ්ගේ ජීවිතය සතුටින් ගෙවී යමින් තිබුණේය. දැකුම්කළු සිඩ්නි පුරවරය ද ඔහුගේ ඒ සතුට වැඩි කළේය.

සන්දේශ් තුළ සමහර අවස්ථාවල 'මිහිරි' පිළිබඳ මතකය අවදි නොවුණා නොවේ. දුරකතන ඇමතුමක් දී ඇය අමතා ඇගේ සුව දුක් විමසන්නට වරෙක ඔහුට සිත් පහළ වූ නමුත් ඔහු එය ආයාසයෙන් යටපත් කර ගත්තේ ඇය පිළිබඳ මිහිරි මතකවලින් හා අනුකම්පා සහගත සිතුවිලිවලින් සිත රිදවා ගන්නට නොකැමති වූ නිසාය.

දිනක් නතාශා හමු වූ මොහොතක මිහිරි පිළිබඳ වූ සංවේදී කතාව ද ඇයට පවසා සිටියේය. නතාශා ද ලංකාවේදී තිබූ ආදර සම්බන්ධයක් ගැන සන්දේශ්ට කීවේය. විවෘත, සුහද කතාබහ හා අදහස් ඔස්සේ ඔවුන්ගේ ආදර ඇසුර ද සෙමෙන් ඉදිරියට ඇඳී යමින් තිබුණේය.

නතාශා පිළිබඳව සන්දේශ් තම දෙමව්පියන්ට ද දන්වා සිටියේය. කිසිම අයෙකුගෙන් බාධාවක් හෝ විරුද්ධත්වයක් නොතිබුණු හෙයින් ද දෙදෙනාගේම අදහස් බොහෝ දුරට ගැලපුණු හෙයින් ද ඉදිරි අනාගත දිවිය පිළිබඳව බොහෝ දේවල් සැලසුම් කරන්නට ද දෙදෙනාටම හැකියාව ලැබිණ.

සතුටින් සොම්නසින් ජීවිතය ගෙවී යන අතරේ දිනක් හදිසියේ ලැබුණු දුරකතන ඇමතුමකින් සන්දේශ්ගේ සිත සසල වී ගියේය. ඔහු ඒ මොහොතේ සිටියේ පන්ති කාමරයකට යාම සඳහා අධ්‍යාපන ආයතනයේ කොරිඩෝවක ගමන් කරමින්ය. දුරකතනය තුළින් ඇසුණු අම්මාගේ දුබල කටහඬ කන වැකුණු සැණෙන්ම ඔහුගේ සිතට අමුත්තක් දැනිණ.

"පුතේ තා.... ත්.... තා"

පියා මිය ගිය බව සැලවීමෙන් සන්දේශ්ගේ සිතට දැනුණේ අප්‍රමාණ සංවේගයකි. තාත්තා තරමක අසනීපයෙන් පසුවන බවක් වරක් දෙවරක් අම්මා මීට කලින් පවසා සිටියත් ඔහු මේ තරම් ඉක්මනින් මෙලොව හැර යාවි යැයි සන්දේශ් කිසිසේත් සිතුවේ නැත. අම්මා කීවේ තාත්තාට එකවරම දරුණු හෘදයාබාධයක් වැළඳුණු බවකි.

සන්දේශ් තම පියා හඳුනාගෙන සිටියේ තමාට ආඩම්බර විය හැකි උදාර, සුන්දර, ගෞරවණීය මිනිසෙකු ලෙසිනි. තමාටත් මවටත් ඔහුගේ තිබූ සෙනෙහසේ කිසිදු අඩුවක් නොවීය. නිවසේ වගකීම් ද නිසියාකාර ලෙස ඉටු කරමින් ව්‍යාපාරික කටයුතු ද නිරවුල්ව සිදු කරගෙන යමින් ඔහු ගත කළේ ප්‍රීතිමත් දිවියකි. එහෙයින් සැහැල්ලු සුවදායි මරණයක් ඔහුට හිමි වූ බවක් ද සන්දේශ්ට සිතුණේය.

අවමංගල්‍යයට තමා හැකි ඉක්මනින් කෙසේ හෝ සහභාගි විය යුතු බවත් සන්දේශ් සිතා ගත්තේය. අධ්‍යාපන ආයතනයෙන් දින කීපයක් නිවාඩු ගැනීමට ඔහුට අසීරු නොවීය. නමුත් හැකි ඉක්මනින් ගුවන් ගමන සැලසුම් කර ගැනීමට නම් සෑහෙන වෙහෙසක් දරන්නට සිදු විය. ඒ සඳහා තුසිත් මාමා ඔහුට නොමඳ සහායක් ලබා දුන්නේය.

සන්දේශ් රැගත් ගුවන් යානය කටුනායකට සේන්දු වන විට සවස පහ පසු වී තිබුණි. ඔහු රැගෙන යාමට ඔහුගේ ඥාති සහෝදරයෙකු ගුවන් තොටුපලට පැමිණ සිටියේය. ආගමන කටයුතු කඩිනමින් සිදු කළ ඔහු නිවසට යන විටත් සෑහෙන පිරිසක් එහි රැඳී සිටියහ.

නිවසට ඇතුළු වන විට හඳුනන මුහුණු කිහිපයක් සන්දේශ්ට දැක ගත හැකි විය. කෙලින්ම පියාගේ දේහය අසලට ගිය සන්දේශ් ඒ දෙස මොහොතක් වේලා බලා සිටියේය. තවත් සුළු මොහොතකට පසු ඔහුට සිහින් ඉකිබිඳුම් හඬක් ඇසිණ. සන්දේශ් සෙමෙන් හිස හරවා බැලූ විට දුටුවේ ආදරණීය අම්මා ය. ඉකිබිඳුමත් සමඟ සෙමෙන් ඉදිරියට පැමිණි ඇය සන්දේශ්ව සෙනෙහසින් වැළඳ ගත්තාය. ඒ සමඟම ඔහුගේ දෙනෙතින් ද කඳුළු කැට කඩා හැලිණ. ගෙවී යමින් තිබෙන්නේ ජීවිතයේ එතෙක් තමා මුහුණ දුන් අසීරුම හා සංවේදී අවස්ථාවට බව ඔහුට දැනුණේය. සන්දේශ් මව සමඟ පියාගේ නිසල දේහය දෙස බලාගත්වනම සිටින්නට විය. පියාට ඇත්තේ උත්තුංග දේහයකි. එමෙන්ම එහි ප්‍රතාපවත් බවක් ද රැඳී තිබිණ. ඔහු ජීවත් වූයේද ප්‍රතාපවත් මිනිසෙකු ලෙසිනි. පවුලට මෙන්ම අනෙකුත් සියල්ලන්ටම ගෞරවය ලබා දෙමින් ජීවත් වූ නිරහංකාර පුද්ගලයෙකි.

ක්‍රීම් පැහැයෙන් යුත් ඇඳුම ඔහුගේ දේහයට සරිලන පරිද්දෙන් හොඳ නිමාවකින් සකසා යුතුව ඇත. තාත්තා ජීවත්ව සිටින කාලයේදීත් ක්‍රීම් පැහැයට වැඩි කැමැත්තක් දැක්වූ බව සන්දේශ්ට මතකය. පියාගේ මරණය සන්දේශ්ට සිහිනයක් මෙන් ය. තමා ඕස්ට්‍රේලියාවට පිටත් වන මොහොතේ ඔහුගේ මුහුණේ තිබූ සිනාරැල්ල ඔහුට දැන් වගේ මතකය. තවත් සුළු මොහොතකට පසු සන්දේශ්ගේ අතක්, අතැඟිලි එකිනෙක පැටලැවුණු, සුදු ආවරණයකින් යුතු පියාගේ දෑත් මත පතිත විය. ඒ මොහොතේ සන්දේශ්ගේ අතට දැනුණු සිසිලස පියාගේ මරණය ඔහුගේ සිත තවත් තහවුරු කළේය.

පසුදින සවස බොරැල්ල කනත්තේ දී ආදාහන කටයුතු ඇරඹිණ. දේහයට අවසන් බුහුමන් දැක්වීමට විශාල පිරිසක් කනත්තට ද පැමිණ සිටියහ. එයිනුත් වැඩි වශයෙන්ම සිටියේ පියාගේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ හිතවතුන්ය. මෙදින අගයේ තිබූ අඳුරු මලානික පැහැය අවමංගල්‍යයේ ශෝකී ස්වභාවය තවත් තීව්‍රර කළේය.

දැවැන්ත චිමිනියෙන් ඉහළට නැගෙන දුම් රොටු දෙස සන්දේශ් බලා සිටියේ දැඩි සංවේගයකිනි. හොඳ මිනිසෙකු ලෙසත් හොඳ පියෙකු ලෙසත් මෙලොව ජීවත් වූ තම පියාට අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත්තේ යහපත් ආත්මයක් යැයි දුම්රොටු අතරින්ම සන්දේශ්ට සිතුණේය.

තව කොටසක් ලබන සතියේ...