වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ
නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 23

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

පැසිස්ට්වාදය හා යුද්ධය ගැන කතිකාවක යෙදුණු නාට්‍යකරුවා ධර්මසිරි බණ්ඩාරනායක

වල භිෂණ (1988) ධර්මසිරිගේ ඊළඟ නාට්‍යයයි. මෙය ප්‍රංශ නාට්‍ය රචක ශොන් පෝල් සාර්ත්‍රේග් 'මෙන් විතවුට්' ෂැඩෝ' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි. (පරිවර්තනය සිරිල් සී. පෙරේරා) මෙම නාට්‍යය හැත්තෑව දශකයේදී නාමෙල් වීරමුනි විසින් නිෂ්පාදනය කරනු ලබන්ට ගිය ද වාරණ හේතු මත නවතා දැමිණි.

හොරණ විද්‍යාරත්නය එක් කලෙකදී නාට්‍ය කලා ප්‍රබෝධයක කේන්ද්‍රස්ථානයක් වූයේය. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිට ගුරු වෘත්තීය සඳහා පැමිණි චන්ද්‍රසේන දසනායක මේ ප්‍රබෝධයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකිය. ඉන්පසු විද්‍යාරත්නයේම උගත් හේමසිරි ලියනගේ ද ගුරුවරයකු ලෙස විද්‍යාරත්නයට එක් වූයේය. 'නාඩගම් හෙවත් සුදු ඇතා ආවට පස්සේ' වැනි නාට්‍ය නිෂ්පාදනය වූයේ හේමසිරි යටතේය. ධර්මසිරි බණ්ඩාරනායක විද්‍යාරත්නයෙන් බිහි වූ විශිෂ්ටතම නළුවෙකි, නිෂ්පාදකවරයෙකි. ඩග්ලස් සිරිවර්ධන, ජනක් ප්‍රේමලාල්, ලාල් කුලරත්න, තරංග රුක්මල්වල, සෝමපාල පතිරගේ ඔහුගේ සමකාලීනයෝ වෙති.

හේමසිරිගේ 'නාඩගම හෙවත් සුදු ඇතා ආවට පස්සේ', 'ජනගනමන' වැනි නාට්‍යවල ධර්මසිරි රඟපෑවේය. එකල පීටර් පොටර් නැමති බ්‍රිතාන්‍ය ජාතික නාට්‍යකරුවා මෙරටට පැමිණ නාට්‍ය වැඩමුළුවක් පවත්වද්දී ධර්මසිරි ඊට සම්බන්ධ වූයේය. ඔහු නිෂ්පාදනය කළ 'ට්‍රේමිං ඔෆ් ද ෂං' නාට්‍යයේ චරිතයක් ද ධර්මසිරි රඟපා ඇත.

දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදියා හඳුනාගත් ධර්මසිරි ඔහුගේ 'බක්මහ දීගේ' චිත්‍රපටයේ දාසයාගේ චරිතය රඟපෑවේය.

'දුන්න දුනුගමුවේ', 'බෙකට්', 'මකරා', 'ස්ත්‍රී' ධර්මසිරි පාසැල් විය හමාරවීමෙන් පසු රඟපෑ වේදිකා නාට්‍ය කීපයකි.

'නාඩගම් හෙවත් සුදු ඇතා ආවට පස්සේ' සහ 'චූලෝදර මහෝදර' යන නාට්‍ය දෙක ධර්මසිරි නිෂ්පාදකවරයකු වශයෙන් දොරට වැඩි නාට්‍ය වෙයි. 'සුදු ඇතා' ඊට ඉහත හේමසිරි ලියනගේ නිෂ්පාදනය කළ අතර මෙය නව නිෂ්පාදනයකි. 'චූලෝදර මහෝදර' හේමසිරිගේ පිටපතකි. රබර් පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ චිත්‍රපට හා නාට්‍ය සංගමය මෙම නාට්‍ය දෙක ඉදිරිපත් කළේය.

'ඒකා - අධිපති' ධර්මසිරිගේ එකම ස්වතන්ත්‍ර නාට්‍යය (අන් නාට්‍ය සියල්ල පරිවර්තනය) මෙය දේශපාලන ප්‍රහසනයක් සේ හඳුන්වා දිය හැකිය. 'ඒකා - අධිපති' කතා කරන්නේ පැසිස්ට්වාදය ගැනය. ඔහුගේ පසුකාලීන නාට්‍ය අතරින් 'මකරාක්ෂයා' හා 'යක්ෂාගමනය' මේ තේමාව තවදුරටත් විශ්තාරණය කරන්නකි.

'ඒකා - අධිපති' නාට්‍යයේ සංවාද රචනය, රංගනය අපූර්ව රිද්මයකින් අනූන විය. උදාහරණ වශයෙන් එහි එන එක දෙබස් ඛණ්ඩයක් මෙසේය.

'වැඩිවෙන්න වැඩිවෙන්න ජලගැල්ම වැඩි වෙනවා උන්ගෙ බඩගින්න බඩගින්න වැඩිවෙන්න වැඩිවෙන්න වැඩිවෙනවා මන්ද පෝෂණය - මන්දපෝෂණය වැඩි වෙනකොට උන්ගේ - අපතේ යන්නෙ නැහැ අපේ ගෙන්දගම්'

මේ දෙබස් රචනය තිස්ස අබේසේකර වැනි විද්වත් විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාවට භාවිතය වූයේය. 'ඒකා - අධිපති' ශිල්පීය වශයෙන් අතිශය කෘතහස්ත නාට්‍යයකි. එයින් තියුණු නාට්‍යමය සංකර්ෂණයක් ගෙන එයි.

'ඒකා - අධිපති' මංගල දැක්ම පවත්වන ලද්දේ 1976 දීය. ධර්මසිරි මෙහි මැල්කම් නම් වූ ආඥාදායකයා ලෙස අති විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කළේය. සුනේත්‍රා සරච්චන්ද්‍ර, සුනිල් විජේසිංහ, වික්ටර් රාමනායක, මර්වින් ජයතුංග, ප්‍රසන්න ෆොන්සේකා, ග්‍රැන්විල් රොඩ්රිගෝ, අමරසේන පීරිස්, අසංකා මොනරවිල, ශේන් ඊබට් සෙසු චරිත රඟපෑහ. සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙනි.

'ඒකා - අධිපති' ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ නාට්‍යයකි. එය දර්ශන වාර 1500 ක් පමණ පවත්වා ඇත.

ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අබේසේකර, මහාචාර්ය තිස්ස කාරියවසම්, දයාසේන ගුණසිංහ මෙම නාට්‍යය අළලා ප්‍රශංසනීය විචාර ලියා ඇත.

1976 ජාතික නාට්‍ය උලෙළේ හොඳම ස්වතන්ත්‍ර නිෂ්පාදනය වූයේ 'ඒකා - අධිපති'ය. එහිදී ධර්මසිරි හොඳම නළුවා ලෙස ද සම්මාන දිනා ගත්තේය. ඒ හැරුණු කොට හොඳම නිළිය (3 ස්ථානය - සහතිකය) සුනේත්‍රා සරච්චන්ද්‍රට ලැබිණි. එසේම සම්මාන සහතික පත්‍ර කීපයක් ද රංගනය සඳහා ශේන් ඊබට්, මර්වින් ජයතුංග, වික්ටර් රාමනායකට ලැබුණු අතර සංගීතය සඳහා ප්‍රේමසිරි කේමදාස ද අංග රචනය සඳහා සරච්චන්ද්‍ර සමරක්කොඩි හා තරංග රුක්මල්ගමට ද ලැබිණි.

නාට්‍ය උලෙළ නියෝජනය කළ වෙනත් නාට්‍ය මෙන්ම විශේෂයෙන් 'ඒකා - අධිපති' ද ජනතාවාදී නාට්‍ය ලෙස ගැරහුම් ලද්දේය. ගුණදාස අමරසේකර මෙය හඳුන්වන්ට යෙදුණේ 'පපඩම් නාට්‍යයක්' ලෙසය. එහෙත් එකල පළ වූ 'මාවත' සඟරාව එම විවේචන අගතිගාමී ලෙස සලකා ඊට ප්‍රතිවිචාර ඉදිරිපත් කළේය.

2009 දී 'ඒකා - අධිපති' දෙවැනි නිෂ්පාදනය ඉදිරිපත් කරන ලදී.

'මකාරක්ෂයා' (1985) ධර්මසිරිගේ ඊළඟ නාට්‍ය නිෂ්පාදනය වූයේය. මෙය සෝවියට් නාට්‍ය රචක යෙවුජිනි ස්වාට්ස්ගේ 'ද ඩ්‍රැගන්' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි. මෙම නාට්‍යය ඊට ඉහත හෙන්රි ජයසේන විසින් 'මකරා' නමින් නිෂ්පාදනය කරන ලද අතර ධර්මසිරි එහි ප්‍රධාන චරිතය (ලන්ස්ලොට්) රඟපෑවේය.

හෙන්රි මුලින් මෙහි පිටපත ප්‍රති නිෂ්පාදනය කිරීම සඳහා ධර්මසිරිට දෙන්නට කැමැති වුණත් අවසාන අවස්්ථාවේ එය ප්‍රතික්ෂේප කළේය. 'මකරා' හි අයිතිය ලංකාවේ කාටවත් ලියාදී නැති බව කියූ ධර්මසිරි ඉන් අධෛර්යට පත් නොවී ප්‍රවීණ පරිවර්තකයකු වන සිරිල් සී. පෙරේරා ලවා එය පරිවර්තනය කර ගත්තේය.

'මකරා' නාට්‍යයෙන් ෂ්වාට්ස් කතා කරන්නේ පැසිස්ට්වාදය ගැනය. එය ඇතැම් විට සෝවියට් රාජ්‍ය නායක ජෝශප් ස්ටාලින්ගේ ප්‍රතිරූපය විය හැකිය.

සත්‍යය දැක දැක එයට පිටුපා ජීවත්වන බියගුලු මිනිසුන් පිළිබඳ ඇති වූ දැඩි කලකිරීමෙන් හා අනුකම්පාවෙන් යුතුව මෙම නාට්‍යය නිෂ්පාදනය කළ බව ධර්මසිරි ලියා ඇත.

මකරාගේ චරිතයට ඔළු තුනක් ඇත. ඒ ඔළු තුන නිලධාරිවාදය, බලලෝභිත්වය හා බිහිසුණු කෲරත්වය සංකේතවත් කරයි. එකල රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ධර්මසිරිට ලිපියක් ලැබිණි. ඉන් කියවුණේ මකර ඔළු තුනෙන් එකක් එවක හිටපු පාලකයකුගේ හිසට සමාන බැවින් එය ඉවත් කරන ලෙසය. තමා 'මකරාක්ෂයා' නාට්‍ය නිපදවූයේ රටේ පාලකයාට අපහාස කරන්ට නොවන බව ධර්මසිරි ඊට පිළිතුරු වශයෙන් කියා සිටියේය. කෙසේ වෙතත් හවරියක් යොදාගෙන එම ඔළුව තරමක් වෙනසකට භාජනය කළේය.

ෂ්වාට්ස් 'මකරා' වෙතින් වැදගත් පණිවුඩයක් ගෙන එයි. 'මකරා' මුලිනුපුටා දැමීමට නම් මුලින්ම අප හදවත් තුළ ජීවත්වන මකරා විනාශ කළ යුතු බවයි. නාට්‍යයේ එක් තැනක ලාන්ස්ලොට් මෙසේ කියයි. 'හැම හදවතකම සැඟ වී සිටින මකරා විනාශ කළාට පසු අපට පුළුවන්, ප්‍රීතියෙන් කිව නොහැකි තරම් ප්‍රීතියෙන් ජීවත් වෙන්ඩ'

මකරාක්ෂයා හි එලිසාගේ චරිතය ප්‍රකට සිනමා නිළි ස්වර්ණා මල්ලවආරච්චි විසින් රඟපානු ලැබීම විශේෂත්වයකි. එහෙත් වේදිකා රංගනය ඇයට නුහුරු බවක් දිස් වූයේය. 'මකරාක්ෂයා' 1985 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන ගණනාවක් දිනා ගත්තේය. එසේම එය ඉන්දියාවේ භාරත් මහා රංගෝත්සම් උලෙළ නියෝජනය කළේය.

වල භිෂණ (1988) ධර්මසිරිගේ ඊළඟ නාට්‍යයයි. මෙය ප්‍රංශ නාට්‍ය රචක ශොන් පෝල් සාර්ත්‍රේග් 'මෙන් විතවුට්' ෂැඩෝ' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි. (පරිවර්තනය සිරිල් සී. පෙරේරා) මෙම නාට්‍යය හැත්තෑව දශකයේදී නාමෙල් වීරමුනි විසින් නිෂ්පාදනය කරනු ලබන්ට ගිය ද වාරණ හේතු මත නවතා දැමිණි. නාට්‍යයේ ප්‍රංශ නම 'ස්මාරකයක් හිමි නොවන මරණ' යන අරුත ගෙන එයි. ප්‍රංශ මහා සෙනෙවි පැටේන්ගේ රජයට එරෙහිව සටන්වැදි ප්‍රංශ විමුක්ති භටයන්ගේ ජීවිතයේ බියකරු සිද්්ධියක් අලළා මෙම නාට්‍යය නිමැවී ඇත. එය එක් අතකින් අපේ රටේ භීෂණ යුගයේ සිදුවීම්වලට සමපාත වූයේය. දේශපාලන නාට්‍යයක් වුව ද 'ධවලභීෂණ' කතා කළේ මනුෂ්‍යත්වය ගැනය. ජීවිතය වෙනුවට මරණය තෝරා ගැනීමේ ඉරණමට ලක් වූ කීප දෙනකුගේ මමෝභාව විවරණය කිරීමක් මෙහි විය.

1989 ජාතික නාට්‍ය උලෙළේ සම්මාන කීපයක්ම 'ධවලභීෂණ'ට ලැබුණත් සම්මාන හා තිළිණ හැරුණු කොට ත්‍යාග මුදල් ධර්මසිරි ප්‍රතික්ෂේප කළේය. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ එම මුදල් බහුජාතික සමාගම්වල මුදල්වීමය.

'යක්ෂාගමනය' (1994) බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'රෙසිස්ටර්බල් රයිස් ඔෆ් අර්තුරෝ දයි' නම් වූ නාට්‍යයේ පරිවර්තනයකි. ආචාර්ය සුනිල්් විජේසිරිවර්ධන මෙය පරිවර්තනය කර ඇත. මෙය බෙෂ්ට්ගේ අසම්පූර්ණ නාට්‍යයක් ලෙස විචාරකයන් හඳුන්වති. හිට්ලර් ගැන කියැවෙන මෙම නාට්‍යයේ ඔහු වදපු කුස නව ප්‍රවණතා ද වදන්නේ යන අරුත ගම්‍ය කරවයි.

1994 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය වූයේ 'යක්ෂාගමනය'යි. ඒ හැරුණු කොට ඊට තවත් සම්මාන ගණනාවක්ම ලැබිණි.

ට්‍රෝජන් ගැහැනු (1999) ධර්මසිරි දැනට අවසන් වශයෙන් නිෂ්පාදනය කර ඇති නාට්‍යය වෙයි. මෙය ග්‍රීක ඛේදාන්ත නාට්‍ය රචකයකු වන යුරිපීඩිස්ගේ කෘතියකි. පරිවර්තනය ආරියවංශ රණවීරගෙනි. යුරිපිඩිස් විප්ලවීය නාට්‍යකරුවෙකි. ඔහු ඇරිස්ටෝටල් රංග රීතියට එරෙහි වූ පළමු නාට්‍යකරුවාය. 'ට්‍රෝජන් ගැහැනු' විශ්ව නාට්‍ය සාහිත්‍යයේ වන අග්‍රගණ්‍ය යුද විරෝධී නාටකයකි.

ට්‍රෝජන් රටට එරෙහිව ග්‍රීකයන් දස වසරක් තිස්සේ කළ යුද්ධය රටේ ආර්ථිකය, ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ අතර දේපළ සංහාරයක් සිදුවිණි. සියලු පිරිමි ඝාතනය කෙරිණි. යුද්ධයෙන් පසු ග්‍රීකයන් වැන්දඹු ගැහැනුන් හා ළමයින් වහල්කමට යොදා ගන්නා අවස්ථාවේ ඇතිවන සිදුවීම් කීපයක් මතින් මෙම නාට්‍යය විකාශනය වෙයි. ඒ අනුව මෙය සම්මත වෘත්තාන්තයකටත් වඩා සිද්ධිවාචක නාට්‍යයක් වෙයි. නාට්‍යයෙන් කියැවෙන්නේ ඕනෑම යුද්ධයකින් කිසිවකුටත් ජයක් නොලැබෙන බවයි. සිදුවන්නේ මනුෂ්‍යත්වය අගාධයට වැටීම පමණි.

නාට්‍යයේ ප්‍රධාන චරිතය පොකබිය. ඇය ප්‍රියම් රජුගේ බිරිඳයි. අනෝජා වීරසිංහ මෙම චරිතය රඟපෑවාය. සෙසු චරිත යශෝධා විමලධර්ම, ජය ශ්‍රී චන්ද්‍රජිත්, නීල් අලස්, ජෙහාන් ඇලෝෂියස්, මීනා කුමාරි පෙරේරා, ජුවනිටා බිලිං රඟපෑහ. සංගීතය රූකාන්ත ගුණතිලකගෙනි. ජෙරොම් ද සිල්වා රංග වින්‍යාසය භාරව සිටියේය. මෙම නාට්‍යයට සම්බන්ධ වීම මත රූකාන්ත හා අනෝජා රාජ්‍යතන්ත්‍රයෙන් දරුණු මර්දනයකට ලක් වූහ.

මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය පියසීලි විජේගුණසිංහ, බෙනඩික් දොඩම්පෙගම 'ට්‍රෝජන් ගැහැනු' ප්‍රශස්ත විචාරයකට ලක්කර ඇත. 'ට්‍රෙ‍්‍රීජන් ගැහැනු' 2000 ජාතික නාට්‍ය උලෙළේ හොඳම නාට්‍යය වූයේය.