වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 09 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර සඳහා නවතම අංකයක්

ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0728384283

අමරණීය විජය

හඬින් සවන් පිනවූ
රුවින් දෙනෙත් පිනවූ
මානව හිතවාදි නිහතමානි
කලාකරුවා
විජය නාමය
තවමත් අප හදවත් තුළ
රැඳී ඇත.

මාලනී චන්ද්‍රලතා

කුලියාපිටිය

කවීෂ් විහඟ චූටි පුතුට

සිඳූ ටෙලි නාට්‍යයේ සෝරත හිමිගේ චරිතයට පණ පොවන කවීෂ් විහඟ චූටි පුතුට මාගේ ප්‍රණාමය. පුංචි ඔයාගේ දක්ෂතා සෝරත පොඩි හිමියන්ගේ චරිතයෙන් හොඳීන්ම පෙනෙනවා. කවීෂ් පුතුට සාර්ථක දිගු ගමනක් යන්න ආශිර්වාදය.

සුනිල් බී වේහැල්ල

ගෝනපොල

අමතක නොවන රොබින්

රොබින් ප්‍රනාන්දු සිංහල සිනමා වංශ කතාවේ අමතක නොවන ප්‍රකට සටන්කාමී චරිතයකි. ටයිටස් තොටවත්තයන්ගේ 'චණ්ඩියා' චිත්‍රපටයෙන් සටන් නළුවකු ලෙස අත්පොත තැබූ මේ කඩවසම් රංගන ශිල්පියා 'ධීවරයෝ', 'අපේක්ෂා', 'හාරලක්ෂය', 'දැවෙන පිපාසය', 'සිරිපාල හා රන්මැණිකා', 'හදවත් නැත්තෝ' වැනි චිත්‍රපටවලින් රසික හදවත් තුළ සදා ලැගුම් ගත් අතර ඔහු අධ්‍යක්ෂණය කළ 'සුරදූතියෝ' සහ 'නින්ජා' සිනමා ඉතිහාසයේ අමරණීය සිතුවම් පටයන්ය. සිංහල සිනමාවට නැතුවම බැරි රොබින් ප්‍රනාන්දු කලාකරුවාණෙනි සිංහල සිනමා වංශකතාවට 70 වසරක් සපිරෙන විටදී ඔබගේ දායකත්වය රසිකයන්ට අවැසි මොහොතයි මේ.

චන්ද්‍රකාන්ති පියතුංග

කැලණිය

වසන්ති නිහඬ ඇයි

ප්‍රවීණ රංගන ශිල්පිනි වසන්ති චතුරාණි නිහඬ ඇයි?

රම්‍යමාලා

රත්මලාන

අගෙයි තාරුකා

තාරුකා වන්නිආරච්චි ඔබේ රංගනය විශිෂ්ටයි. පුංචි තිරයේ සේම රිදී තිරයටත් එය කදිමට ගැලපේ.

නිමල් කුලසේකර

අඟුලාන

නැරඹිය යුතුම සිනමා නිර්මාණය

ආලෝකෝ උදපාදි සැම සිංහල බෞද්ධයකුම නැරඹිය යුතු උසස් සිනමා නිර්මාණයකි.

බී. ඒ ජයරත්න

කැලණිගම

ගිනිගත්හේන

චමල්ෂා නැවතත් පුංචි තිරයට එන්න

දයාබර සොයුරියක ලෙස, ආදරණීය බිරියක ලෙස කිඳුරංගනා ටෙලි නාට්‍යයේ සාර්ථක රංගනයක් ඉදිරිපත් කළ චමල්ෂා දෙව්මිණිගේ සුන්දර සිනහව නැවත ටෙලි තිරයේ දැක ගන්න ආසයි.

චාමර මනෝජ්

දෙනුවන් මාධව

පන්සල පාර

ආටිගල

‘මතකයේ රැඳුනු ගී’දෙන්න

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කළ 'මතකයේ රැඳුනු ගී' වැඩසටහන අතරමඟදී නවතා දැමීම එම වැඩසටහන ඉතා ආසාවෙන් නැරඹූ ප්‍රේක්ෂකයන්ට කළ අසාධාරණයකි. නැවතත් ඒ ගීත වැඩසටහන ආරම්භ කරන ලෙස 'මතකයේ රැඳුනු ගී' වැඩසටහනට ආදරය කරන සැමගේ ඉල්ලීමයි.

අයිලීන් සෝවිස්

සොයිසාවත්ත

වැලිසර

රාගම

රේඛාව යළි ගෙන එන්න

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ 'රේඛාව' චිත්‍රපටයට හැට වසරක් සපිරෙන මේ අවස්ථාවේ එතුමාණන්ට උපහාර පිණිස රූපවාහිනි නාලිකාවකින් නැවතත් එය විකාශය කරන්නේ නම් මැනවි.

මැණිකේ විල්වල

තිලකරත්න විල්වල

තටාකය පාර

කෑගල්ල

දුප්පතාගේ හිතවතා

එදා මෙදා තුර අමතක කළ නොහැකි බැප්ටිස්ට් ප්‍රනාන්දු නම් ප්‍රවීණ රංගන ශිල්පියා රසික හදවත් තුළ සිය මතකය තබා යන්නට ගියේය. ආදරණීය බැප්ටිස්ට් ප්‍රනාන්දු ඔබට නිවන් සුව පතමි.

ඊ. දයානන්ද ද සිල්වා

සීනිගම

හික්කඩුව

බැප්ටිස්ට් ප්‍රනාන්දු කලාකරුවාට මොක් සුව

'පෙරකදෝරා බෑණා' සිනමාපටයෙන් සිනමා ගමන් අරඹා 'සත 50', 'තුෂාරා', 'සිරිල් මල්ලී', 'දුප්පතාගේ හිතවතා', 'ටිකිරා' වැනි චිත්‍රපටවලින් සිනමාව ඔපවත් කළ විවිධ අංශවලින් කැපී පෙනෙන මෙහෙවරක් සිනමාවට ඉටු කළ අපෙන් සමු ගත් බැප්ටිස්ට් ප්‍රනාන්දු කලාකරුවාණෙනි ඔබට මොක් සුව පතමි.

අතුල රම්‍යසිරි

පානදුර

දුර්ලභ ගණයේ සිනමාකරුවා

බැප්ටිස් ප්‍රනාන්දු භීෂණ සමයේ සිංහල සිනමා කර්මාන්තයට එල්ල වූ තර්ජනවලට එරෙහිව සටන්කර අදටත් අප නරඹන පැරණි වටිනා සිනමා නිර්මාණ රැසක් බේරා ගත් දුර්ලභ ගණයේ සිනමාකරුවෙකි.

ගාමිණි මහවෙලගේ

පිළියන්දල

හැඩකාර - කටකාර - දඟකාර පූජා

හැඩකාර, කටකාර, දඟකාර චරිත නිරූපණය කරන්නට උපන් හපන්කම් දක්වන පූජා මෑත කාලයේ සිනමාවේ කතා කළ නාමය ඔබේ නමයි. හෙළ සිනමා අඹර වර්ණවත් කරමින් වෙනස් ආකාරයේ විවිධ චරිත නිරූපණය කරමින් කරනා රංගනයන් විශිෂ්ටයි. ඉදිරියට යන ඔබට වාසනාවන්ත අනාගතයක් පතමි.

මිල්ටන් ප්‍රනාන්දු

නව එක්සත් මාවත

මූදුකටුව