වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




SARASAVIYA MODEL BANK

සරසවිය මොඩ්ල් බෑන්ක් ආරම්භක වැඩසටහනට වැලිගම චාන්දනී සිනමාහලේ දී ලැබුණේ ඉහළ ප්‍රතිචාරයකි. එහි දෙවැනි වැඩසටහන සඳහා අප පිවිසියේ ගම්පහ පුරවරයට ය. ගම්පහ නයෝමි සිනමා ශාලාවේ දී සියනෑවේ නවක තරු සොයා ගිය සරසවිය මොඩ්ල් බෑන්ක් දෙවැනි අදියර මුල් අදියරට වඩා සාර්ථක ය. බොහෝදෙනෙකු එදින පැමිණ සිටියේ කලා ලෝකයට පිවිස තම රංගන ගමනට මඟක් පාදා ගැනීමේ අභිලාශයෙනි. ඒ වග ඔවුන්ගේ මුහුණුවලින් මොනවාට පැහැදිලි විය. කලා ලොවේ දිගු ගමනක් යෑමට අවස්ථාව උදා කරන මේ ඉඩහසර වෙන්වන්නේ ඔවුන් වෙනුවෙනි.

දෙහාරා දිසාත්මි

SMBGP 21

කැලණිය, දළුගම, මුදියන්සේගේ වත්තේ පදිංචි දෙහාරා දිසාත්මි අවුරුදු අටක පුංචි දියණියක්. පුංචි වුණත් කුඩා කාලයේ පටන් ම රංගනයට උපන් හපන්කමක් දැක් වූ ඈ මේ වනවිටත් නිර්මාණ කිහිපයකට ම දායක වුණු දැරියක්. ඒ දයාරත්න රටගෙදරගේ ‘සිත නිවන කතා’ ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවට පමණක් නොවෙයි සුරේෂ් කුමාරසිංහගේ ‘වනසරා’ ඩී.වී. ඩී චිත්‍රපටයටත් දෙහාරා දියණිය රංගනයෙන් දායක වුණා. මේ වනවිටත් පුංචි බොරැල්ලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඈ ඉගෙන ගැනීමට මෙන්ම රංගනයට හපනියක්. දෙහාරාගේ අනාගත බලාපොරාත්තුව රංගන ශිල්පිනියක් වීමයි.

එස්. ඒ. අරුණ කුමාර

SMBGP 23

ඇහැලියගොඩ පදිංචි එස්. ඒ. අරුණ කුමාර ගම්පහ පැවැත්වුණු අපේ මොඩ්ල් බෑන්ක් එක සොයාගෙන පැමිණියේ රංගනයට සිය සිතේ හටගත් කැමැත්ත නිසාමයි. මේ වනවිටත් ‘ෆේස් බුක්’ ටෙලි නාට්‍යයේ රඟපාලා තිබෙන අවුරුදු තිස්තුනක් වයසැති තරුණයා මේ දවස්වල තිරගත වන චිත්‍රපටයකටත් රංගනයෙන් දායක වුණා. ඒ සුගත් සමරකෝන්ගේ ‘අපේ කාලයේ පටාචාරා’ චිත්‍රපටයේ මළ මිනියකගේ චරිතයක් සඳහායි. ඉදිරියේදිත් රංගන කටයුතුවලට සහභාගි වීමේ අදහසෙන් සිටින අරුණ කුමාර කැමැතිම නිළිය කාංචනා මෙන්ඩිස්. කැමැතිම නළුවා බිමල් ජයකොඩියි.

ශ්‍රීනාත් රවීන්ද්‍ර

SMBGP 22

අවුරුදු විසිහතක් වයසැති ශ්‍රීනාත් රවීන්ද්‍ර ගම්පහ ඔරුතොට පදිංචි තරුණයෙක්. පාසල් යන කාලයේ පටන් රංගනයට බෙහෙවින් ආදරය කරන ශ්‍රීනාත්ගේ අදහස කුඩා කාලයේ තමන් සතු වී තිබුණු රංගන දක්ෂතාව ඉදිරියේදි ඔපවත් කර ගැනීමටයි. ඒ අනුව රංගනයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් සිටින මේ තරුණයා වඩාත් කැමැති ම නළුවා වන්නේ හේමාල් රණසිංහයි. නිළිය ඩිනක්ෂි ප්‍රියසාද්. ඔහු කැමැතිම අධ්‍යක්ෂවරයා උදයකාන්ත වර්ණසූරියයි.

කේ. රොහාන් අජිත් පෙරේරා

SMBGP 24

ගම්පහ ප්‍රදේශයේ පදිංචි රොහාන් අජිත් රංගනයට පමණක් නොවෙයි සංගීතයටත් ප්‍රිය කරන අයෙක්. මේ වනවිටත් ඔහු ‘සැඩෝ සික්ස්’ හා ‘ටයිම් ට්‍රැලැක්ස්’ කියන සංගීත කණ්ඩායම්වල රිදම් ගිටාර් ශිල්පියා ලෙසයි කටයුතු කරන්නේ. තාලයකට එහාමෙහා යමින් රිදම් ගිටාරය වයන ඔහුගේ ඇඟිලි තුඩු සංගීතයට රොහාන් දක්ෂයකු බව පැවසුවත් රංගනයට නම් හේ ආධුනිකයෙක්. පාසල් වේදිකාවේ දැකු වූ දක්ෂතාවක් ඇරෙන්නට ඔහුට යළිත් කිසිඳු දිනෙක රංගනයට අවස්ථාවක් ලැබු‍ණේ නැහැ. ඔහු ගම්පහ පැවැත්වුණු සරසවිය මොඩ්ල් බෑන්ක් එකට පිවිසුණේ ඒ සිහිනය සැබෑ කරගන්නයි.