වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මා නිෂ්පාදනයට පිවිසුණේ සිනමාවට ආදරය නිසයි

මා නිෂ්පාදනයට පිවිසුණේ සිනමාවට ආදරය නිසයි

‘අපේ කාලයේ පටාචාරා’ නිපද වූ ජගත් විශ්ව කුමාර

චිත්‍රපට නිෂ්පාදනයට කෝඩුකාරයකු වූ ජගත් විශ්ව කුමාර හාපුරා කියා නිෂ්පාදනය කළ සිනමා නිර්මාණය වූ 'අපේ කාලයේ පටාචාරා' චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමා ශාලා විසි නවයක සාර්ථකව තිරගත කෙරේ. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ සුගත් සමරකෝන්ගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයේ නිෂ්පාදකයා වූ ජගත් විශ්ව කුමාර හා කෙරෙන කතාබහකි මේ.

ජගත් මොකද හිතෙන්නේ ඔබේ කුලුඳුල් චිත්‍රපට නිෂ්පාදනය ගැන?

තවම චිත්‍රපටය තිරගත කරලා සති තුනක් වගේ කාලයක් ගිහින් තියෙන්නේ. මේ වන විට දිවයින පුරා සිනමා ශාලා විසි නවයක චිත්‍රපටය තිරගත වෙනවා. චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරත් හොඳයි.

ඔබේ කෝඩුකාර සිනමා නිර්මාණය ගැන දැන් ඔබට මොන වගේ හැඟීමක් ද ඇති කරන්නේ?

මම චිත්‍රපට නිෂ්පාදනයට අවතීර්ණ වන්නේ කලාවට තියෙන දැඩි ආදරයට. කුඩා කල පටන් මම කලාවට ආදරය කළා. හැබැයි චිත්‍රපට නිෂ්පාදකයෙක් වෙනවා කියන සිතුවිල්ල මගේ හිතේ තිබුණේ නැහැ. ඒක අහම්බෙන් ඇති වෙච්ච දෙයක්.

බෞද්ධ සාහිත්‍යයේ එන කතා තේමාවක් වෙනුවෙන් ඔබේ මංගල නිෂ්පාදනය කරන්න හිතුවේ?

මම සිංහල බෞද්ධයෙක්. මම බෞද්ධ සාහිත්‍යයේ එන කතාවලට ගොඩක් ඇලුම් කළ පුද්ගලයෙක්. ඒ ආශාව මෙතනදි මම සිනමාත්මකව ඉදිරිපත් කරන්න නිර්මාණ දායකත්වයට එක් වුණා.

වත්මන් වටපිටාව තුළ චිත්‍රපට කර්මාන්තය පිළිබඳ එතරම් සුබවාදී දැක්මක් නැති අවස්ථාවකයි ඔබ මෙතරම් විශාල ආයෝජනයක් කරන්න හිතුවේ?

සුබවාදී ද අසුබවාදී ද කියලා හිතලා නෙමේ මම මේ අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයට නිෂ්පාදන දායකත්වය එක් කළේ. සමහර විට මගේ පළමු උත්සාහය සාර්ථක වෙන්නත් පුළුවන් අසාර්ථක වෙන්නත් පුළුවන්. ඒ ගැන කියන්න මට තවම බෑ. චිත්‍රපටය රට පුරා පෙන්නලා ඉවර වුණාම ප්‍රේක්ෂකයෝ දැන් ඇති අපේ කාලයේ පටාචාරා බැලුව කියලා කිව්වහම මට චිත්‍රපටය ගැන පූර්ණ නිගමනයකට එන්න පුළුවන්. මෙතනදි මම චිත්‍රපටයට ආයෝජනයක් කළේ කර්මාන්තය ගැන දැනුමක් නැතුව නොවෙයි. කලාවට තියෙන ආදරයට තමයි මෙවැන්නකට දායක වුණේ.

කරන්නන් වාලේ චිත්‍රපටයක් කළාට පෙන්වන්න පටන් ගත්තහම තමයි ඒකේ රඟේ පේන්නේ කියලා සමහරු චෝදනා එල්ල කරනවා?

මම එහෙම දේවල් නැහැ කියන්නේ නැහැ. නොයෙක් නොයෙක් ප්‍රශ්න එනවා. සර්කිට් ප්‍රශ්න. සිනමා ශාලා ප්‍රශ්න වගේම රටේ ජනතාවට තියෙන ආර්ථික ප්‍රශ්නත් මෙතනදි බලපානවා.

චිත්‍රපටයක් බලන්න ප්‍රේක්ෂකයෝ නොයන අවස්ථාවල චිත්‍රපට ශාලා හිමියන් උත්සාහ කරනවා නියමිත දින ගණනවත් නොයවා චිත්‍රපටය ගලවා දමන්න?

ඒක වැරැදි දෙයක් විදියටයි මම කියන්නේ. අපිට කියන්න බෑ චිත්‍රපටයක් ප්‍රදර්ශනය ඇරැඹූ පටන් ප්‍රේක්ෂකයෝ වැල නොකැඩී එයි කියලා. ඒ සඳහා කාලයක් අවශ්‍ය වෙනවා. මෙතනද මගේ මතය අපි ඉවසීම කියන දේ සිද්ධ කරන්න ඕනෑ කියලා. අපේ ප්‍රේක්ෂකයා සිනමා ශාලාවට එන්න පෙලඹෙන්නේ ටික දවසක් ගිහින්. නිර්මාණයට ලැබෙන ප්‍රසිද්ධිය ඒ චිත්‍රපටය බලලා කටින් කට යන කතාබහ මේ දේවල් නිර්මාණයට ලැබෙන්න ටික දවසක් යනවා. එතකන් අපේ චිත්‍රපට ශාලා හිමියනුත් ඉවසන්න ඕනෑ කියලා මම කියන්නේ. ඉවසුවොත් මම විතරක් නෙවෙයි, සිනමා ශාලා හිමියනුත් සැනසීමම ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

ඔබ හාපුරා කියා සිනමා නිෂ්පාදනයට අත ගැසුවේ දැවැන්ත සිනමා නිර්මාණ පහක් නිෂ්පාදනය කරනවා කියන අධිෂ්ඨානයෙන්. ඒ බව ඔබ මතු දැක්වීමක් ලෙසිනුත් ඉදිරිපත් කළා?

ඔව්. මම නිෂ්පාදන පැත්තෙන් දායක වූ පළමු නිර්මාණය අපේ කාලයේ පටාචාරා. තව නිර්මාණ හතරක තිර පිටපත් සියල්ල මා ළඟ තියෙනවා. ඉදිරියේදී ඒවා මම චිත්‍රපට ලෙසින් තිරයට ගේනවා.

යම් අයුරකින් ඔබ අපේක්ෂිත සාර්ථකත්වය ඔබේ කුළුඳුල් නිෂ්පාදනයට නොලැබුණොත් තවදුරටත් චිත්‍රපට නිෂ්පාදනයේ නියැළෙනවාද?

චිත්‍රපට නිෂ්පාදනයේ නියැළෙනවා. හැබැයි අපේක්ෂිත ඉලක්කය නොලැබුණොත් මම ඊළඟට කරන නිර්මාණය මෙතරම් මුදලක් යට කරල සිදු කරන එකක් නැහැ. නමුත් මම චිත්‍රපට කර්මාන්තයේ ඉදිරියටත් නියැලෙනවා.

කවුරුන් හෝ යම් දෙයක් කරන්නේ මුදල් ආයෝජනයක් කරන්නේ අත ලෙව කන්නම නොවෙයි නේද?

ඒක ඇත්ත. කාගේත් අපේක්ෂාව ලාභ ලැබීම. ඒ ගැන තර්කයක් නැහැ. මෙතනදි මම මෙවන් මතයක ඉන්න කෙනෙක්. මට ඕනෑ තරම් තිබුණා චිත්‍රපටයකට මුදල් යට නොකර සල්ලි හම්බ කරන්න. ලාභ ලබන ව්‍යාපාරවලට ඒ සල්ලි යොදවන්න. එහෙම නැතිනම් පොලියට දීලා හම්බ කරන්න. මම බැලුවේ ලාභය නොවෙයි. මා තුළ තියෙන කලාවට තියෙන ආදරය. කලා නිර්මාණයක් කරලා අවසානයේ වියදමවත් ලැබෙයිද කියන දේ මම නොදැන නෙමේ මෙවැන්නකට අත ගැහුවේ.

චිත්‍රපට නිෂ්පාදනය ඔබේ ප්‍රධාන ආදායම් මාර්ගය නොවෙයි?

කොහෙත්ම නැහැ. කලාවට සම්බන්ධ නැති ව්‍යාපාර තමයි මගේ ප්‍රධාන ආදායම් මාර්ග. මම අවුරුදු විසි එකක පටන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ. එහේ මගේ තිබුණ සල්ලි මම මේ රටට ගෙනත් චිත්‍රපටයක් නිෂ්පාදනය වෙනුවෙන් අයෝජනයක් කළේ කලාවට තියෙන ආදරයට.

චිත්‍රපට නිෂ්පාදනයට සඳහා ඔබ තුළ පෙලඹීමක් ඇති වුණේ කොහොමද?

මම ඔස්ට්‍රේලියවේ හිටියත් ලංකවේ කලාකාරයෝ නිතර හමු වෙන පුද්ගලයෙක්. ලංකාවේ හිටියට වඩා ඕස්ට්‍රේලියාවේ හිටියහම ලංකාවේ කලාකරුවන් ඕනෑ තරම් එහේ හමුවෙන්න පුළුවන්. ඒ තරමට ඔවුන් එහේ කලා කටයුතු වෙනුවෙන් පැමිණෙනවා. සුගත් සමරකෝන් මම කලින් හඳුනගෙන තිබුණේ නැහැ. ඔහුත් විජය කුවේණි චිත්‍රපටය අරන් එහේ ඇවිත් ඉන්න කොට තමයි මට මුලින්ම හඳුනා ගන්න ලැබුණේ. ඒ හැඳුනුම්කම ඔහුත් සමඟ චිත්‍රපටයක් කිරිම දක්වාම වර්ධනය වුණා.

ඉදිරියේදීත් ඔබ සුගත් සමරකෝන් සමඟ නිර්මාණකරණයේ නියැළෙනවාද?

ඔව්. මම ඔහුත් සමඟ ඉදිරියටත් සිනමා නිර්මාණයේ නියැලෙනවා. එතරම් විශ්වාසයක් ඔහුත් මාත් තුළ මේ වන විට ගොඩ නැඟිලා ඉවරයි. මගේ ඉදිරි චිත්‍රපට නිෂ්පාදනත් ඔහුත් සමඟ කරන්නයි මගේ බලාපොරොත්තුව.

පටාචාරා පුවත මීට කලිනුත් සිනමාවට නැඟුන කතා වස්තුවක් නේද?

ඔව්. මීට අවුරුදු පනස් තුනකට කලින් පටාචාරා චිත්‍රපටයක් ලෙසින් පේ‍්‍රක්ෂකයන්ට නරඹන්නට ලැබුණා. එදා සන්ධ්‍යා කුමාරිගේ රංගනය සමඟ එදා බුදුන්ගේ සමයේ අපි අසා තිිබුණ පටාචාරා කතාව අපේ කාලයේ පටාචාරා ලෙසින් අපි සිනමාවට එක් කරලා තියෙන්නේ අපේ රටේ මීට කලින් සිදු වුණු මහා ඛේදවාචකයක් වු සුනාමි ව්‍යසනය පාදක කරගෙන. චිත්‍රපටය පුරා විනාඩි දහයක ඉඩක් මේ සුනාමි ව්‍යසනයේ ඛේදාන්තය පාදක වෙන අයුරින් අපි සිනමාත්මක නිර්මාණයක් කරලා තියෙනවා. මගේ හැඟීම නම් දරුවන් සිටින හැම කාන්තාවක්ම අනිවාර්යයෙන්ම නැරැඹිය යුතු චිත්‍රපටයක් මේක කියලා.

අපේ කාලයේ පටාචාරා මේ දවස්වල අභියෝගාත්මක තිරගත කිරිමකද ඔබ නියැළිලා ඉන්නේ?

එහෙම නොවෙනවා කියන්නත් බැහැ. අද මගේ චිත්‍රපටයට විතරක් නෙවෙයි. මේ ප්‍රශ්නය තියෙන්නේ. ඒකට විවිධ හේතු තියෙනවා. මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ බඩ ගැන හිතලා. අද බඩ ගැන හිතන කොට පේ‍්‍රක්ෂකයෝ සිනමා ශාලා පැත්තේ එයිද කියලත් දෙගිඩියාවක් ඇති වෙනවා.

ඔබ තුළ විශ්වාසයක් තියෙනවාද ඔබේ කුලුඳුල් නිර්මාණය ප්‍රේක්ෂකයෝ ප්‍රතික්ෂේප නොකරයි කියා?

මට ඒ ගැන දැම්ම කියන්න බැහැ. තව අපි ප්‍රේක්ෂකයාට කාලයක් දිය යුතුයි. ප්‍රදර්ශන දහරාවෙන් චිත්‍රපටය අයින් කරනවා කියලා තීරණය තියෙන්නේ ප්‍රේක්ෂකයා තුළ, ඒක සිනමා ශාලා හිමියන්ට තීරණය කරන්න බැහැ. ප්‍රේක්ෂකයා චිත්‍රපටය එපා කියනකන් අපි ඉන්න ඕනෑ. මම බෞද්ධයෙක්. රට ගැන, අපේ සංස්කෘතිය ගැන හිතලා බෞද්ධ කතාවක් වූ පටාචාරා මම මුලින්ම නිෂ්පාදනය කරන්න පෙළඹුණා.

ඔබේ ඊළඟ නිර්මාණ දායකත්වයත් බෞද්ධ කතාවක් වෙයිද?

නැහැ. මම හිතන්නේ ඓතිහාසික කතා, බෞද්ධ කතා දැන් නිර්මාණය වුණා ඇතියි කියන රැල්ල ගහගෙන ආවා. ඒ වගේම ඒවා ප්‍රේ්ක්ෂකයන්ට ඇති වෙන්න ජීර්ණය වුණා. දැන් ඒ සඳහා විරාමයක් අවශ්‍ය යයි කියලා මම හිතන්නේ. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ බෞද්ධ කතා තේමාවන් අත්හරිනවා කියලා.

චිත්‍රපටයේ තිරගත කිරීම් අවසන් වූ විට යළිත් ඔබ විදේශගත වෙනවා?

ආරම්භක සිනමා ශාලාවල තිරගත කිරීම අවසන් වූ වහාම මම යළිත් ඕස්ට්‍රේලියාවට යනවා. මේ දවස්වල චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතුවල වගේම ඉදිරියේදී චිත්‍රපටය ඩී. වී. ඩී. තැටි ලෙසින් නිකුත් කිරීමේ වැඩ පිළිවෙලක් ගැනත් සැලසුම් කරමින් ඉන්නවා.

අපේ කාලයේ පටාචාරා විදෙස් රටවල තිරගත කිරිමේ අදහසකුත් ඔබ තුළ නැතුව නොවෙයිනේ?

දැනටමත් පිටරටවල ඉන්න රසිකයෝ ඉල්ලිම් කරලා තියෙනවා ඒ රටවලත් ඔවුන් වෙනුවෙන් චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න කියලා. මේ වන විට මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් චිත්‍රපටය තිරගත කළා. ඔවුන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා.

චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා ඔබේ නිර්මාණයේ නළු නිළියන්ගේ දායකත්වය කොයි ආකාරයෙන්ද?

මම රඟපෑව නළු නිළියන්ට පුද්ගලිකව ආරාධනය කරලා නැහැ මගේ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා එක් වෙන්න කියලා. එයාලා රඟපෑවා එච්චරයි. මට කෙහෙත්ම අවශ්‍ය නැහැ රඟපෑව නළු නිළියන් සිනමා ශාලාවට එනවා කියලා ප්‍රේක්ෂකයන් ගෙන්නා ගන්න. එතනදි ප්‍රේක්ෂකයා එන්නේ අවංකවම නළු නිළියන් දකින්න. චිත්‍රපටය බලන්න තියෙන අවංක ඕනෑකමින් නෙවේ. මම මට කළ හැකි උපරිමයෙන් ප්‍රචාරක කටයුතු ලබා දෙනවා. ආරම්භක සිනමා ශාලාවලින් චිත්‍රපටය ගැලවෙන කොට ඊට පසු පෙළ සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරනවා. දැනටත් දුර පළාත් සිනමා ශාලාවලින් ඒ සඳහා හොඳ ඉල්ලුමක් ප්‍රතිචාරයක් ගොඩ නැඟෙමින් තියෙනවා. අද කාලයේ පේ‍්‍රක්ෂකයන්ගේ වුණත් යුතුකමක් තියෙනවා අපි වගේ අතළොස්සක්ව සිටින චිත්‍රපට නිෂ්පාදකවරු දිරිමත් කිරිම. අපි හිටියොත් තමයි සිනමාවත් සිනමා කර්මාන්තයත් ඉදිරියට රැඳී තියෙන්නේ. ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටයක් නරඹන්න ලැබෙන්නේ. කවුරු කොහොම කිව්වත් මේ කර්මාන්තයේ මම දිගටම රැඳිලා ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ කාලයේත් මහ ධන කුවේරයෝ යම් දේවල් කරන්න ගිහින් සබ්බ සේසතම නැති කරගත් අවස්ථා තියෙනවා. මගේ පරමාර්ථය ධනය හම්බ කිරීම නොවෙයි. සිනමාවට ආදරය කිරීම. ඒ කලාවට තියෙන ආදරය නිසාම තමයි මම මේ වගේ ධන ආයෝජනයක් අපේ සිනමාව වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ.