වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජෝර්ජ් මයිකල් මියයයි

ජෝර්ජ් මයිකල් මියයයි

ලෝපුරා සංගීත ලෝලීන්ගේ ආකර්ශනය දිනාගත් Last Christmas ගීතය ගැයූ බ්‍රිතාන්‍ය ජාතික ජනප්‍රිය පොප් ගායකයකු වූ ජෝර්ජ් මයිකල් පසුගිය වසරේ නත්තලත් සමඟින් මෙලොවින් සමුගත්තා. ගෙවී ගිය වසරේ දෙසැම්බර් මස 25 වැනිදා සිය නිවසේදී හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් තිබුණේ නිදි යහනේදීයි. මිය යන විට වයස අවුරුදු 53ක් වූ ජෝර්ජ් මයිකල් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක් වෙමින් ග්‍රැමී සම්මාන දෙකක් සහ අමෙරිකානු සංගීත සම්මාන තුනක් ඇතුළුව තවත් සම්මාන රැසකට හිමිකම් කියා තිබුණි. සුප්‍රකට බිල්බෝඩ් සඟරාව ඔහු හැඳීන්වූයේ, බ්‍රිතාන්‍යයේ එදා මෙදා තුර අංක එකේ ගීත හතකට හිමිකම් කියන සාර්ථක සංගීතඥයකු ලෙසින්.

1963 වසරේ ජූනි මස 25 වැනිදා උපත ලද ජෝර්ජ් මයිකල් සිය සංගීත කටයුතු ආරම්භ කළේ 80 දශකයේදීය. ඔහුගේ පියා අවන්හල් හිමිකරුවකු වූ අතර මව නර්තන ශිල්පිනියක වූවාය. ජෝර්ජ් මයිකල් සිය පාසල් කාලයේ මිතුරා වූ ඇන්ඩෘ රිජ්ලි සමඟින් Wham නම් ද්වී පුද්ගල සංගීත කණ්ඩායම පිහිටුවා ගනිමින් සංගීත දිවියට පිවිසියේය. ඔහු ගායකයකු පමණක් නොව ගීත රචකයකු මෙන්ම සංගීත නිර්මාණකරුවකු ද වේ. එසේම නොයෙකුත් සමාජසේවා කටයුතුවලදී ද ඔහුගේ නම ප්‍රධාන විය.

ජෝර්ජ් මයිකල්ගේ ගායන දිවියේ ස්වර්ණමය යුගය වූයේද 80 දශකය යි. ඔහුගේ ඒක පුද්ගල ගීත ඇතුළත් ගී තැටි කෝටි ගණනින් ලොව පුරා අලෙවි විය. Careless Wispers, Last Christmas, Wake Me Up Before You Go - Go, The Edge of Heaven  වැනි ගීත ලොව ජනප්‍රිය ගීත දර්ශකවල අංක එක හිමිකර ගත්තේය. ඔහුගේ ජ්චඪබඩ (1987) ගීත ඇල්බමයේ පිටපත් මිලියන 20ට අධික අලෙවියක් වාර්තා කළේය. වරෙක ඔහු ලොව ඉහළම ආදායම් ලබන ගායකයා ලෙසද වාර්තා අතරට එක් විය.

කෙසේ වෙතත් ඔහුගේ පුද්ගලික ජීවිතයේ හැලහැප්පීම් වූයේ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම හේතුවෙනි. ලන්ඩනයේදී මත්ද්‍රව්‍ය භාවිතකර රිය පදවා අනතුරක් සිදු කිරීම නිසා ඔහුට සිරබත් කෑමට පවා සිදුවිය. 2010 වසරේදී ඔහු අතින් සිදු වූ රිය අනතුරක් හේතුවෙන් 2015 වසර තෙක්ම ඔහුගේ රියදුරු බලපත්‍රය තහනම් වී තිබුණි. ඔහුගේ අවසන් සංගීත චාරිකාව ලෙසින් සටහන් වන්නේ Symphonic සංගීත චාරිකාවයි. 2011 වසරේ අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා එය පැවත්විණි. එම වසරේ නොවැම්බර් මාසයේදී දරුණු ලෙස නිව්මෝනියා රෝගයට ගොඳුරුවීම නිසා ඔහුගේ ප්‍රසංග කිහිපයක්ම අවලංගු කරන්නට සිදු විය. මේ වසරේ මාර්තු මාසයේදී සිය දෙවන වාර්තා චිත්‍රපටය Freedom  එළිදක්වන බව පසුගිය වසරේදී ඔහු නිවේදනය කර තිබුණි.

ජෝර්ජ්ගේ මරණය අසා කම්පාවට පත් වූවන් අතර එංගලන්තයේ සුප්‍රකට ගායක එල්ටන් ජෝන් ද වේ. එල්ටන් ජෝන් තම Don't Let The Sun Go Down on Me ගීතයට ජෝර්ජ් මයිකල් තෝරා ගත්තේ ඔහු වෙතින් දුටු සුවිශේෂත්වය නිසාම බව වරක සඳහන් කළේය.