වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ වගකීම් මේ සම්මානයෙන් තවත් වැඩි වුණා

මගේ වගකීම් මේ සම්මානයෙන් තවත් වැඩි වුණා

හොඳම සහාය නිළිය වූ දමිතා

දමිතා යන නමට වඩා මේ දිනවලදී ඇය වඩාත් ජනප්‍රිය රේවතී යන නමින්. හැබෑටම දැන් රේවතී කිව්වම කවුද නොදන්නේ. ඒතරමටම ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගිහින්. සාමාන්‍යයෙන් චරිතයක් ලැබුණාම ඊට උපරිම සාධාරණයක් කරන එක දමිතාගේ සිරිතයි. ඒ හින්දම තමයි ඇයට බොහෝ සම්මාන උලෙළයන්හී සම්මානයන් සඳහා නම නිර්දේශ වන්නේ.

එලෙස ලද නොලද සම්මානවලට වැඩිය උසස් වූ සරසවිය සම්මානයක් නැවතත් දමිතට හිමි වුණා. ඒ ඇය ලබා ගත් පස්වැනි සරසවිය සම්මානය. මෙවර සරසවිය සම්මාන උලෙළේ දමිතා සරසවිය අභිමන් ලැබුවේ හොඳම සහාය නිළිය හැටියට.

දමිතා, ඔබ නැවත වතාවක් සරසවිය සම්මානයක් ලැබුවා. මොකද හිතෙන්නේ ඒ ගැන?

සරසවිය සම්මානයක් ලැබෙනවා කියලා කියන්නේ ඔහු හෝ ඇය තවත් විශිෂ්ට වෙනවා කියන එක. මොකද වැඩි දෙනෙක් තවමත් පිළිගන්නේ සරසවිය සම්මානය පමණයි. එහි ගන්නා විනිශ්චයක් තුළ මනා සාධාරණයක් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. එ වගේම සරසවිය සම්මාන උලෙළකට සහභාගිවන්නට ලැබීමත් භාග්‍යයක්. ඉස්සර අපි පුල පුලා බලා සිටිනවා සරසවිය සම්මාන උලෙළ පැවැත්වෙන දින එනකම්. ඉතින් එවන් වූ ඉහළ මට්ටමක පවතින සරසවිය සම්මාන උලෙළෙහි මෙවර හොඳම සහාය නිළිය වීම මගේ ජීවිතයේ තවත් කඩඉමක්.

එදා ඔබ සම්මාන උලෙළට පැමිණියේ සම්මානයක් බලාපොරොත්තුවෙන්ද?

නැහැ. වෙන සම්මාන උලෙළයන්හි වගේ සරසවිය සම්මාන උලෙළේ නිර්දේශ නාම කලින් ප්‍රසිද්ධියට පත් කරන්නේ නැහැනෙ. එහෙයින් මා එදින ආවේ උලෙළට සහභාගි වන්නට සහ සම්මාන ගන්න මගේ සහෝදර ශිල්ප ශිල්පිනීන්ට අත්පොඩියකින් හෝ දිරිමත් කරන්න. නමුත් හොඳම සහය නිළියට නිර්දේශ වෙලා ඉන්න තිදෙනා අතරේ මමත් සිටිනවා කියලා මං දන්නේ ඒ මොහෙතේමයි. මට පුදුම හිතුණා. මගේ නම කිව්වාම මං තිගැස්සුණා.

මේ වන විට ඔබ සරසවිය සම්මාන කිහිපයක්ම ලබාගෙන තිබෙනවා?

මේ ලද සම්මානයත් එක්ක මට හිතෙන්නේ මට තවත් වගකීමක් එකතු වුණා කියන කාරණය. මං කොහොමත් වගකීමෙන් කටයුතු කරනවා. ඒ වගේම නිරන්තරයෙන් ක්ෂේත්‍රයේ ගරුත්වය ගැනත් හිතනවා. ලැබෙන චරිතවලට උපරිම සාදාරණය ඉටු කරනවා.

ඔබ වරෙක සරසවිය සම්මාන උලෙළේ හොඳම නිළිය වෙනවා. ඒ සුලං කිරිල්ලි චිත්‍රපටයේ. මෙවර ඔබ සම්මාන ලබා ගත්තේ හොඳම සහය නිළිය හැටියට. කෙනෙකුට හිතෙන්න පුළුවන් දමිතා ටිකක් පසුබැසලා කියලා?

සුළං කිරිල්ලි චිත්‍රපටයේ මං රඟපෑවේ ප්‍රධාන චරිතයනෙ. මෙවර මා සම්මානයට නිර්දේශ වූ ප්‍රවේගය චිත්‍රපටයේ මං රඟපෑවෙ උප ප්‍රධාන චරිතයක්. උප ප්‍රධාන චරිතවලට දෙන්න තමයි සහාය නිළි සම්මාන තියෙන්නේ. ඒක ලබා ගැනීම තුළින් මං පහළට වැටිලා නැහැ. මේ ගත්තේ මං උප ප්‍රධාන චරිත අගයන හොඳම සම්මානය එහෙම නේද.

පසුගිය වසර හය පුරා සරසවිය සම්මාන උලෙළ පැවැත් වූයේ නැහැ. ඒ හේතුවෙන් වසර අටක තිරගත වූ චිත්‍රපට අගයන්නට නොහැකි වුණා. කලාකාරිණියක් විදිහට ඔබට කොහොමද ඒක දැනුණේ?

මම නම් කියන්නේ සරසවිය සම්මාන උලෙළ අනිවාර්යයෙන්ම පැවැත් විය යුතු උලෙළක්. අමෙරිකාවට ඔස්කාර් තියෙනවා, ඉන්දියාවට ෆිල්ම් ෆෙයාර් තියෙනවා. අපිට තියෙන එවන් වු සම්මාන උලෙළ තමයි සරසවිය සම්මාන උලෙළ. ඉතින් ඒක නොපවත්වා කොහොමද. චිත්‍රපට අගයපු අට වසර පුරාවට මං රඟපෑ චිත්‍රපට බොහොමයක් තිරගත වුණා. ඒවායේ මං ඇතැම් චරිත රඟපාද්දී මට හිතුණා අනේ මේ වසරේ සරසවිය උලෙළ තිබුණා නම් කියලා. එහෙම බලන කොට මට මෙන්ම අපේ සෑහෙන පිරිසකට සරසවිය සම්මාන උලෙළ නොපැවත්වීමෙන් දැඩි අසාධාරණයක් වුණා. ඒ හින්දා මං හිතන්නේ මේ ලෙස ආයේ පටන් ගත්තු උලෙළ දිගටම පැවැත්වුණොත් හොඳයි.

මෙවර ඔබට සම්මාන හිමි වුණේ ප්‍රවේගය චිත්‍රපටය හි රංගනය වෙනුවෙන්?

ඇත්තෙන්ම ඒ චිත්‍රපටය ගැන කතා කළ යුතුමයි. මාව එම චරිතයට තේරා ගත්තේ සරවනම් සන්මුගම් මහත්මයා. චිත්‍රපටයේ සම අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත ඇතුළු චිත්‍රපටයේ රඟපෑ ජැක්සන් ඇන්තනි, හේමාල්, ගජන් ගනේෂන්, ජයලත් මමෝරත්න, මහේන්ද්‍ර යන පිරිසව මං බොහොම ආදරයෙන් මතක් කරනවා. ඕනෑම චරිතයක් රඟපාද්දී ඊට ප්‍රති විරුද්ධව ඉන්න කෙනාගෙන් හොඳ සහායක් තිබිය යුතුයි. අපි කොච්චර හොඳට රඟපෑවත් අනෙක් පැත්තේ කෙනා අපට සහායක් දෙන්නේ නැතිනම් අපිත් අසාර්ථක වෙනවා. ප්‍රවේගය චිත්‍රපටයේදී මට එහෙම වුණේ නැහැ. මගේ චරිතය ගොඩ නඟන්න හැමෝම උදව් කළා.

ඔබට චරිතයකට කතා කළාම පළමුව මොනවද බලන්නේ?

මං මුලින්ම චරිත ස්වභාවය ගැන අහලා පිටපත ගෙන්වාගෙන බලනවා. එම චරිතයට මගෙන් එකතු විය යුතු දේවල් මොනවද කියලා හිතලා ඒවා හදාගෙන තමයි මං දර්ශන තලයට යන්නේ.

මං දැක තිබෙනවා ඔබ දර්ශන තලයන්හි චරිතය රඟපා ඇවිත් වෙන වෙන මූඩ්වලට ඇවිත් ආයෙත් කැමරාව ඉස්සරහට ගියාම ක්ෂණයකින් චරිතයට අවතීර්ණ වෙනවා?

ඔව්. මං එහෙම තමයි. ඒ ඒ නිර්මාණයන්හි මට ලැබෙන චරිත ඒ ඒ අවස්ථාවන්හි පමණයි මගේ ඔළුවේ තියෙන්නේ. කැමරාවෙන් ඉවත් වුණාම මං දමිතා අබේරත්න. ඒ වගේ වෙලාවල්වලදී යාළුවොත් එක්ක හොඳට හිනාවෙනවා. ෆෝන් එකෙන් සිංදුවක් අහනවා වගේ දේවල් කරනවා. යළිත් ඕනෑ අවස්ථාවකදී අධ්‍යක්ෂවරයා කතා කළොත් ඒ තත්ත්පරයෙන් මට චරිතය හදාගන්න පුළුවන්. ඒක මට දෙවියන්ගෙන් ලැබුණු වරමක් හැටියටයි මං දකින්නේ.

ඒ වගේම ඔබ යම්කිසි අසාධාරණයක් වූ තැන නොබියව කතා කරනවත් මං දැකලා තියෙනවා?

ඒ මගේ හැටි. සමහර අය දමිතට බයත් ඒකයි.

සල්සපුනා හි රේවතී ගැන මේ වෙලාවේ කතා නොකළොත් ලොකු අඩුවක් වේවි?

මගේ සැබෑ නමට වැඩිය දැන් රේවතී ජනප්‍රිය වෙලා. වැඩි දෙනෙකු මට කතා කරන්නේ එනමින් එතකොට මට හරිම සතුටුයි. රේවතී ඇවිදින, කතාබහ කරන විදිහට ප්‍රේක්ෂකයින් හරිම ආසයි. මං හිතනවා කාලයක් යන තෙක් ඒ කියන්නේ නාට්‍ය ඉවර වුණත් මිනිස්සු රේවතී ගැන කතා කරාවි.