වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම සංගීත සංධ්වනිය මකුලොලුවගේ ද? කේමදාසගේද?

මුල්ම සංගීත සංධ්වනිය මකුලොලුවගේ ද? කේමදාසගේද?

දෙමටගොඩ ආරි එගොඩවත්ත
ප්‍රශ්නය - සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපට අතරින් වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබා සාර්ථක වූ චිත්‍රපටය කුමක්ද?
පිළිතුර
- අංගුලිමාල.

අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - ලංකවේ ප්‍රථම සංගීත සංධ්වනිය (සිම්ෆති) නිර්මාණය කළේ ඩබ්. බී. මකුලොලුවවද? ආචාර්ය ප්‍රේමසිරි කේමදාසද?
පිළිතුර
- මකුලොලුව 'ගොයම් දා මඟුල' නම් වූ එය 1954 දී ඉදිරිපත් කෙරුණා.

මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය- ගුවන් විදුලි ළමා වැඩ සටහන්වල තේමා ගීතය වශයෙන් යෙදූ 'මනකල් හද විල් තලයේ පිපි නිවහල් මල් - රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැකුළු මල්' ගීතයේ පදමාලාව කාගේද?
පිළිතුර
- සුනිල් සරත් පෙරේරා.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - ඉන්දියානු වාදක මණ්ඩලයක් මෙහෙය වු ප්‍රථම සිංහල චිත්‍රපට සංගීතඥයා කවුද? මා කියන්නේ 'අශෝකමාලා' චිත්‍රපටයේ සංගීත පටිගත කිරිම් සඳහා ඉන්දියාවට ගිය මොහොමඩ් ගවුස් බවයි.
පිළිතුර
- ගවුස් ඉන්දීය සම්භවයක් ඇති සංගිතඥයෙක්. ඔහු නෞෂාඩ්ගේ ළඟම මිතුරුකුවද සිටියා. ඔබේ ප්‍රශ්නයට නිවැරැදි පිළිතුර බී. එස්. පෙරේරා. (පෙරළෙන ඉරණම)

මුංහේනේ එච්. ඉන්ද්‍රපාල
ප්‍රශ්නය - ලෙනින් මොරායස් අධක්ෂණය කළ චිත්‍රපට මොනවාද?
පිළිතුර
- සූරයන්ගෙත් සූරයා, සූරයා සූරයාමයි, එදත් සූරයා අදත් සුරයා, ආවා සොයා ආදරේ, අභිරහස, හොඳම වෙලාව, හිතුවොත් හිතුවාමයි, හිත මිතුරා වැනි චිත්‍රපට රැසක් ඔහු අධ්‍යක්ෂණය කර තිබෙනවා.

පාදුක්ක බටවල ආරියදාස පින්දෙනිය
ප්‍රශ්නය - 'දෛවයෝගය' චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද?
පිළිතුර
- එස්. කේ. ඕජා.

පාණදුර අතුල රම්‍යසිරි
ප්‍රශ්නය - 'සිකුරු ලියා' චිත්‍රපටයේ සුවිනීතා වීරසිංහව විවාහ කරගන්නා මිටි නළුවා කවුද?
පිළිතුර
- ඔහු බන්දුල ගලගෙදර.

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - බයිජු බවුරා' චිත්‍රපටයේ බයිජු හා තාන්සෙන් අතර ඇතිවන ගායන තරගයේදී ඒ ගී පසුබිමින් ගයන්නේ කවුද?
පිළිතුර
- උස්තාද් අමීර් ඛාන් හා ඩී. වී. පලුෂ්කාර්. මේ දෙදෙනාම රාගධාරි සංගීතයේ විශිෂ්ටයෝ.

දර්ගා නගරයේ සුරවීර නාකන්දල
ප්‍රශ්නය - එච්. ආර්. ජෝතිපාල ගයන 'දුරකථනයකින් මම ඔබ අමතමි' ගීතයේ පද රචනය කරුණාරත්න අබේසේකර බව ගුවන් විදුලියෙන් වරක් කියැවුණා. ඒත් රූපවාහිනි වැඩ සටහනකදී මිල්රෝයි ධර්මරත්න කියා සිටියේ එය තමන් රචනා කළ ගීතයක් බවයි. කවුද නිවැරැදි?
පිළිතුර
- එය ලීවේ කරු අයියා. සංගීතවත් කළේ මෙල්රෝයි. මෙල්රෝයි ජෝතිට ලීවේ ආයුබෝවන් ආයුබෝවන් ජපන් ළඳේ සයොනාරා' ගීතය පමණකැයි මා සිතනවා.

මීටියාගොඩ මරදානවත්තේ එච්. එල්. තිලකසිරි ද සිල්වා
ප්‍රශ්නය - ප්‍රවිණ නළු සිරිල් වික්‍රමගේ ගේ ලිපිනය සොයා දෙන්න.
පිළිතුර
- 140-31, කලාපුර, ටෙම්ප්ලර් පාර, ගල්කිස්ස.

කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර
ප්‍රශ්නය - අද වේදිකා නාට්‍ය බොහෝමයක නම්වලට 'හොරු' කියා වචනය යොදනවා. තවම ඇවිත් නැත්තේ 'හරක් හොරු' විතරයි නේද?
පිළිතුර
- ඇයි කම්බ හොරු. අපේ රටේ වැඩියෙන්ම ඉන්නෙත් ඒ ජාතියේ හොරුනේ.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. පාදුක්ක බටවල ආරියදාස පින්දෙනිය, කොළඹ ග්‍රෑන්ඩ්පාස් හි විමල් රණසිංහ, හේමාගම ඩග්ලස් දේද්දුවගේ, තුෂාර අමරතුංග, රත්මලානේ ශාන්ත කුමාර අපොන්සු, රාගම වැලිසර රේචල් සෝවිස්, පාණදුරේ කුසුම්සිරි විජේරාම.