වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

අපේ කොලුවා ගැන දුකක් හිතෙන්නේ නැද්ද?

මෙතෙක් කතාව

'ඩවුන් සින්ඩ්‍රෝම්' නැමැති රෝගය උප්පත්තියෙන්ම වැලඳුණු තරමක් අස්වාභාවික වූ මුහුණු සහිත දරුවන් සන්දේශ් කොතෙකුත් දැක තිබුණි. මීට වසර කිහිපයකට පෙර සන්දේශ් දෙමව්පියන් සමඟ ගොස් මෙවැනි දරුවන් වෙසෙන නිවාසයකට දානයක් ද දුන්නේය. ඔවුන්ගේ සිනහබර, අහිංසක මුහුණු ද, ආහාරයෙන් පසු ඔවුන් ගීත ගයමින් නටමින් විනෝද වූ අයුරු ද සුන්දර මතකයන් ලෙසින් සන්දේශ්ගේ සිතේ තවමත් තැන්පත්ව තිබෙයි. මෙවැනි දරුවෙකු සිටින පවුලක අනෙකුත් සාමාජිකයන් ඒ වෙනුවෙන් දරන වේදනාබර වෙහෙස දැන් නම් සන්දේශ්ටත් හොඳින් තේරුම් ගත හැකිය. මෙදින රාත්‍රී ඔහු කම්පියුටරය ඔස්සේ මෙම රෝගය සඳහන් වෙබ් අඩවි කිහිපයකට ගොස් මෙතෙක් ඒ පිළිබඳව නොදැන සිටි කරුණු කාරණා ද රැසක් ද අවබෝධ කර ගත්තේය..

(අද එතැන් සිට)

එරංගගේ කටහඬ ගොරහැඬිය. මෙවෙලේ ආහාර බන්දේසියක් රැගෙන මුළුතැන්ගෙය තුළ සිට ඉදිරියට පැමිණි මිහිරි, සන්දේශ් හා එරංග දෙස තරමක කතුහලයෙන් යුතුව බලා සිටියාය.

එරංග සන්දේශ්ට යළිත් විධාන කළේය. මිහිරිට ඉඟියක් පෑ සන්දේශ් පියවර දෙක තුනක් පමණ පසුපසට ගොස් වෙඩි වැදුණු ස්වභාවයෙන් සෙටිය මතට වැටුණේය. තරමක නොරිස්සිල්ලෙන් යුතුව ඉදිරියට පැමිණි මිහිරි වීදුරු ටීපෝව මත ආහාර බන්දේසිය තබා එරංග අත තිබූ සෙල්ලම් පිස්තෝලය වැරෙන් තම අතට ගත්තාය.

'අනේ මල්ලී ඔයා කරන වැඩ. ගෙදරට එක කට්ටියට ඔහොම වෙඩි තියනවද? එන්න, ඔයත් වාඩි වෙන්න'

හිරි එසේ කියමින් එරංගව අසල තිබූ තවත් සෙටියක වාඩි කර වූවාය. පළමුවරට නිවසට පැමිණි අමුත්තන් ඉදිරියේ පුතා කළ ක්‍රියාකාරකම් ගැන මිහිරිගේ මව තුළ තිබුණේ දැඩි කනස්සල්ලකි. එහෙත් එරංග ගැන සන්දේශ්ගේ පියාගේත් මවගේත් සිත්වල පිරී තිබුණේ අන් කිසිදු දෙයකට වඩා ඔහු කෙරෙහි ඇති වූ අනුකම්පා සහගත සිතුවිලි රැසකිනි.

'කෙසෙල් ගෙඩියකුත් ගන්න අම්මේ'

මිහිරි එසේ කිවේ ආහාර බන්දේසිය සන්දේශ්ගේ මවට පිළිගන්වන අතෙර්ය.

'නෑ එපා'

මෙවෙලේ අසුනින් නැගිට ඉදිරියට පැමිණි එරංග බන්දේසියේ ඇති ආහාර අතට ගන්නට උත්සාහ ගත්තේය.

'ආ මල්ලි, ඔයා ඉන්නකො ටිකක්, ඉස්සෙල්ලා ගෙදරට ආපු අයට දීල ඉන්න ඕනනෙ'

කෙසේ හෝ එරංග බන්දේසියේ තිබූ කේක් කෑල්ල්ක් අතට ගත්තේය. එරංගගේ හැසිරීම මිහිරිගේ සිතටත් ගෙන දුන්නේ තරමක වධයකි.

'ඔය ඉතිං . . . . හරි එහෙනං ඕකත් අරගෙන අතනට ගිහිල්ලා වාඩිවෙලා කන්න'

කේක් කෑල්ලක් රැගෙන ගිය එරංග යළිත් සෙටියේ වාඩි විය. මිහිරි යළිත් සිනහ මුහුණින් යුතුව සන්දේශ්ගේ පියාට ආහාර බන්දේසිය පිළිගන්වන්නට වුවාය. ඔහු දොදොල් කෑල්ලක් අතට ගත්තේය. ඉන් පසු මිහිරි තම මවටත් ආහාර පිළිගැන් වූ අතර සන්දේශ් කිසිවක් එපා යැයි කියමින් නිහඬ විය.

'අම්මේ මෙයා නං හරිම නරකයි. මං හදන කිසි දෙයක් කන් නෑ'

නෝක්කාඩු ස්වරයෙන් වුවත් සිනා රැඳි මුවින් යුතුව මිහිරි එසේ කීවේ සන්දේශ්ගේ මව දෙස බලමින්ය. සන්දේශ් සිනාසෙමින් කීවේ තමාට බඩගින්නක් නොමැති බවය.

'ඒකනෙ දැන්ම ඉඳල කාල පුරුදු වෙන්න ඕනනෙ'

සුහද කතාබහට එක්වෙමින් සන්දේශ්ගේ අම්මා එසේ පැවසුවාය. ආහාර බන්දේසිය යළිත් වීදුරු ටීපෝව මත තැබූ මිහිරි එරංග දෙස බැලුවේය. ඔහුගේ කේක් කෑල්ල තිබුණේ සෙටි ඇන්ද මතය. මේ වන විට අනෙක් අයගෙ දෙනෙත් ද යොමුව තිබුණේ එරංග වෙතය. තම සාක්කුවෙන් ලේන්සුවක් එළියට ගත් එරංග, එය උකුළ මත තබා ගත්තේය. ඉන් පසු ඔහු කේක් කැබැල්ල අතට ගෙන එතුළ තිබූ වියළි මුද්දරප්පලම් ගලවමින් සෙමෙන් ඒවා ලේන්සුව මතට අසුරන්නට වූයේය.

'ඔය මොකද කරන්නේ මල්ලී. කේක් කෑල්ල කන්නකො'

එරංග බොහෝ සීරුවෙන් තම කාර්යයේ නිරත විය. මිහිරි හුස්මක් හෙළා සන්දේශ්ගේ පියා දෙස යාන්තමින් හිස හරවා බැලීය. උත්තුංග දේහයකින් යුත් සන්දේශ්ගේ පියාට ඇත්තේ තේජවන්ත පෙනුමක් යැයි මිහිරිට සිතෙයි. ඔහුගේ කටහඬ ද ගාම්භීරය. එහෙත් සන්දේශ්ගේ මුහුණේ පෙනුම වඩාත් සමීප වන්නේ අම්මාට යැයි ද මිහිරිට සිතිණ.

'මේ කළුදොදොල් නං හරිම රසයි. කොහෙන්ද මේවා? ගෙදර හදලද?' සන්දේශ්ගේ පියා එසේ කීවේ කළුදොදොල් කැබැල්ල රස කරමින් කමින්ය.

'අපි කොහේ හදන්නද?' මිහිරිගේ මව එසේ පැවසුවේ සිනා රැඳි මුවින්ය.

'මේ ළඟ ගෙදරක ඕවා හදන්නේ. මාත් හරිම කැමතියි, තෙලුත් අඩුයි. මං සන්දේශ් පුතා අතේ අරගෙන ටිකක් එවන්නංකො'

මිහිරිගේ මව කතා කරන අතරේ එරංග සිටියේ සන්දේශ්ගේ පියාගේ අතේ ඇති රියේ යතුරු කැරැල්්ල පිළිබඳ අවධානයෙනි. ඉතිරි කේක් කැබැල්ල කටේ ඔබා ගත් ඔහු එක් මොහොතකදී අසුනින් නැගිට්ටේය. ඒ සමඟම ඔහුගේ උකුල මත තිබූ වියළි මුද්දරප්පලම් සහිත ලේන්සුව ද බිම වැටිණ. ඉදිරියට ගිය ඔහු සන්දේශ්ගේ පියා අත තිබූ යතුරු කැරැල්ල තම අතට ගන්නට සැරසුණේය.

'මල්ලි ඒ පාර ඔය මොකද කරන්නෙ. ගිහින් වාඩි වෙන්න'

මල්ලිගේ ක්‍රියාව දැක මිහිරි දැඩි අපහසුතාවයකට පත්ව සිටියාය. ඔහුගේ අනවශ්‍ය ක්‍රියාකරකම් ගැන ඇය තුළ කෝපයක් ද මෝදු වෙමින් තිබිණ. සන්දේශ්ගේ පියා මිහිරි දෙසත් එරංග දෙසත් බලා යතුරු කැරැල්ල එරංග අතට දුන්නේ ඔහු පිළිබඳ අනුකම්පාවෙන්ය. යතුරු කැරැල්ල අතට ගත් එරංග එහි මෙවලමේ ඇති කුඩා බොත්තම් එකිනෙක ඔබන්නට පටන් ගත්තේය. ඒ සමඟම නුහුරු ශබ්යක් ඇසි ඔහු වට පිට බලන්නට විය. ශබ්දය ඇසුණේ නිවසේ පිටතින් බව ඔහු වටහා ගත්තේය.

ජනේලය සමීපයට ගිය එරංග හිස යොමා ගෙවත්ත දෙස බැලිය. එහි නතර කර තිබූ සන්දේශ්ගේ පියාගේ ප්‍රාඩෝ වර්ගයේ දැවැන්ත රියේ සංඥා විදුලි බල්බ වරින්වර නිවී දැල්වෙන ආකාරය එරංග තුළ ඇති කළේ නැවුම් සතුටකි. රියේ දොරවල් අඟුළු ඇරෙන වැහෙන ශබ්දය ද ඇසිණ. ඔහු තව තවත් උනන්දුවෙන් යතුරු මෙවලමේ ඇති බොත්තම් ඔබමින් රියේ සිදු වන ක්‍රියාකාරකම් දෙස ආසාවෙන් බලා සිටින්නට වූයේය.

සාලයේ වාඩි වි සිටි පිරිසේ ද දෙනෙත් යොමුව තිබුණේ එරංග වෙතටය. යතුරු මෙවලමේ බොත්තම් ඔබමින් ඔහු ලබන අහිංසක සතුට සැවොම තේරුම් ගෙන තිබුණි. උපේක්ෂාව, අනුකම්පාව හැරෙන්නට තවත් නොයකුත් සිතුවිලි ද එකිනෙකාගේ සිත් තුළ විසිර යමින් තිබිණ.

'මල්ලි දැන් ඇති. ඕක ගේන්න මෙහාට, ඕක කැඩෙයි'

මිහිරි තරමක් උස් හඬින් එසේ පැවසුවේ එරංගගේ ක්‍රියාවේ නිමාවක් නොදුටු නිසාය. ඔහුගේ මෙම අනවශ්‍ය ක්‍රියාව නිසා රියට කිසියම් ආබාධයක් වෙතැයි යන බියක් ද ඇය තුළ පැන නැඟී තිබුණි. මිහිරි සන්ද්ශ්ගේ පියා දෙස බැලූ විට ඔහු මුහුණින් ඉඟි කරමින් පවසා සිටියේ එරංගගේ සතුටට බාධා නොකරන ලෙසය. එම ක්‍රියාවෙන්ම තරමක් වෙහෙසට පත් වූ පසු එරංග යතුරු කැරැල්ල පියාට දී තම පුටුවේ වාඩි වූයේ තවත් කේක් කෑල්ලක් ද රැගෙනය.

තේක බීමෙන් පසු සිගරැට්ටුවක් බීමට අවශ්‍යතාවයක් දැනුණත් සන්දේශ්ගේ පියා එය යටපත් කරගෙන සිටියේය. සිගරැට්ටුව හා ලයිටරය දැකීමෙන් එරංග යළිත් තවත් මොන ක්‍රියාවකට සැරසේ ද යන දෙගිඩියාවකුත් ඔහු තුළ විය.

තවත් ටික කාලයක් මිහිරිගේ නිවස තුළ ගත කළ පිරිස අනතුරුව එළියට පිවිසියහ. සන්දේශ් පැමිණ සිටියේ ඔහුගේම රියෙනි. මිහිරිගෙන් හා ඇගේ මවගෙන් සුහදව සමුගත් සන්දේශ්,පියා සහ මව තම තමන්ගේ රියවලට ගොඩ වූහ. සන්දේශ් තවත් කටයුත්තක් සඳහා වෙනත් අතට රිය හැර වූ අතර මව හා පියා තම නිවස බලා ගමන් අරඹන්නට විය.

'ඇයි?'

මඳ වෙලාවක් රියේ ගමන් කරමින් සිටි සන්දේශ්ගේ පියා, මවගෙන් එසේ ඇසුවේ ඇය හැඬුම්බර මුහුණන් යුතුව හුස්මක් ඉහළට ගන්නා ශබ්දය ඇසුණු නිසාය.

'මට නං අර කොලුව ගැන හරිම දුකයි. ඔය වගේ දරුවෝ ඉන්න දෙමව්පියෝ මොන තරං හිත් ගින්දරක් විඳිනවා ඇද්ද?'

සන්දේශ්ගේ මව එසේ පැවසුවේ වින්ස්ක්‍රීනයෙන් ඉදිරිය බලාගෙනමය. පියා රිය පදවන්නේ වෙනදාට වඩා සෙමෙන්ය. වැහි මන්දාරමකුත් අහස පුරා පැතිර යමින් තිබිණ.

'අපේ කොලුව ගැන දුකක් හිතෙන්නේ නැද්ද?'

සන්දේශ්ගේ මව, පියා දෙස බැලුවේ ඔහුගේ ප්‍රශ්නයෙන් පැටලැවුණු සිතුවිලිත් සමඟය. ඇයට ඔහුගේ පැනයේ සැඟවුණු අරුත තේරුම් ගැනීමට ඒතරම් අපහසු නොවීය.

යළිත් ඇයගේ මුහුණ වෙනතකට හැරවිණි.

'මටත් පුතා ගැන දුකයි. ඒ වුණාට එහෙමෙයි කියල අපි මොනව කරන්නද? කවුරුවත් වැරැදි නෑනෙ'

ඊළඟට පියා ද කතා කළේ තරමක් බර හුස්මක් මුවින් පිට කිරීමෙන් අනතුරුවය.

'කවුරුවත් වැරැදි නෑ තමයි. ඒ වුණාට මට නං හිතෙන්නේ ඕක අපේ පුතාගේ ජීවිතේටත් තරමක ප්‍රශ්නයක් වෙයි කියලා. එයාට තව හිතන්න වෙයි'

'මිහිරි නං හොඳ කෙල්ල, අනේ මං දන්නෑ'

තම පුතාගේ සුවබර යුග දිවිය ගැන මෙතෙක් තම සිත තුළ සුන්දර බලාපොරොත්තු පලුදු වී යාම ගැන ඇයට තිබුණේ තරමක වේදනාවකි. කිසි දෙයක් පැහැදිලිව සිතා ගත නොහැක. මෙවැනි සුළු බාහිර ප්‍රශ්නයක් නිසා මිහිරි අත්හැර දමන්න ද ඇගේ සිත කිසිසෙත්ම ඉඩ නොදෙයි. මෙය විසඳා ගැනීමට ක්‍රමයක් ඇත්තේම නැද්ද? මිහිරි පිළිබඳ කාරණයත් සමඟ අනුකම්පාවකුත් දැන් එයට එකතු වී ඇත. එහෙත් ඇය සිටින්නේ සැමියාගේ සිතුවිලි නම් හරිහැටි තේරුම් ගත නොහැකි තත්ත්වයකය.

'ඔයා මොකද හිතන්නේ?'

'පුතාගෙන්ම තමයි උත්තරයක් ගන්න වෙන්නේ'

සුසුමක් හෙළනවා හැර ඇයට වෙන කියන්නට දෙයක් තිබුණේ නැත.