වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ

නාමල් - සමු ගන්නේ නෑ
චන්දන - සිත පරව ගියා
රෝයි - මා දැසෙ වේදනා
අතුල - හද හඬලා


එහෙම වුණාට ප්‍රශ්නයක් නැහැ

හෙලන් අත්තනායක

ආදරේ යළි මම සොයන්නෙ නෑ
ආදරේ යළි මම පතන්නෙ නෑ
සිත රිදිලා දැන් මා තනි වෙලා
කවුදෝ මට ආදරේ
කවුදෝ මට ආදරේ

අනුව දශකයේ මුල් භාගයේ නිර්මාණය වූ මෙම ගීතය වරක් දෙවරක් නොව දස දහස් වතාවක් ඔබ සවනතට පිවිස ඇති. නිර්මාණය වී වසර විසි පහකට ආසන්න කාලයක් ගත වුණත් එහි ජනප්‍රියත්වය අදටත් එහෙමමයි. මේ අපූරු ගීතය ගයන්නේ හෙලන් අත්තනායක. හෙලන්ගේ සංගීත දිවියේ කූටප්‍රාප්තිය සිදු වුණෙත් කවුදෝ මට ආදරේ සමඟින්. එය මාධ්‍යයට නිකුත් කළේ තවත් ගීත තුනක් එක්කයි. නිසංසලා, මා තරහා නැතේ ළඳේ, මා ගයනා ගී ඒ ගීත ත්‍රිත්වයයි. ඒවාද එකිනෙක පරයමින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගියා. ඒ කාලයේ මෙම ගීත ගයන්නේ කවුරුද යන වග බොහෝ දෙනෙක් සෙව්වේ ඒ හඬේ ඇති මිහිරියාව හින්දමයි. ඒ වන විට ඒ ගායකයා ලංකාවේ හිටියේ නැහැ. ඔහු විදෙස් ගත වෙලා. හෙලන් මේ කතාව ආරම්භ කළේ එතැනින්.

ගී ගයන්නට තිබුණු ආසාවටයි මං ඒ සින්දු හතර කළේ. ඉන් මා ගයනා ගී ගීතය හැර අනෙක් ගීත තුනම ලිව්වේ මම. බොරු කියන්නේ මොකටද, ඒ කාලේ මං ආදරයේ විරහව කියන එක හොඳටම අත්විඳලා තිබුණේ. ඒ අත්දැකීම ඇසුරෙනුයි ඒවා රචනා කළේ. මං ඉතින් මේ ගීත හතර මාධ්‍යයට නිකුත් කරලා රට ගියා. මොකද මට වුවමනාව තිබුණා ආර්ථික පැත්තෙන් ස්ථාවර වෙන්න. මං එහෙ ඉද්දි මටත් හොරෙන් මේ ගීත හතරම ජනප්‍රිය වෙලා මිනිස්සු හොයනවලු කවුද මේ ගායකයා කියලා. ඒ කාලෙ තිබුණෙ කැසට්නෙ. හෝගාලා මගේ ගීත තිබුණ කැසට් එකත් විකිණිලා. ඔය වගක් මං දන්නේ නැහැ. එතකොට මං හිටියේ සිංගප්පූරුව, ඕමාන වගේ රටවල සංචාරය කරමින්. මේ කිසිවක් ගැන නොදන්නා මං අනුපහේදී ලංකාවට එනවා. අනූ දෙකේදී තමයි මගේ ගීත නිකුත් කළේ. මෙන්න වැඩක් මගේ නම ලංකාවෙ ගොඩක් ජනප්‍රිය වෙලා. ආව ගමන් ෂෝස් ගණනාවකට කතා කළා. මටම පුදුමයි වෙච්ච වැඩේට.

ඒ කාලේ නව පරපුරක් හැදෙමින් තිබුණා. ඔබට ඒ අය අභියෝගයක් වුණේ නැද්ද?

ඔය කාලෙ තමයි නාමල්, ප්‍රින්ස්, මධුමාධව, චන්දන, රෝයි, ග්‍රේෂන් ජයමහ වැනි අය ජනප්‍රියත්වය ලබමින් හිටියේ. මාත් ඔය ගොඩට වැටුණා. ඒත් මට කවුරුවත් අභියෝගයක් වුණේ නැහැ. මොකද අපි හැමෝම ගැයුවෙ එකිනෙකට වෙනස් ගීත. ඒ වගේම ශෛලීන් එකිනෙකට හාත්පසින්ම වෙනස්. ඒ හින්දා කාටත් ප්‍රසංග තිබුණා. කාටවත් කැපී පෙනෙන්නට අවස්ථා තිබුණා.

කැසට් එක නිකුත් කළ කාලෙම ඔබ ලංකාවේ හිටියා නම් ඔබට තවත් ඉහළ ජනප්‍රියත්වයක් හා ඉල්ලුමක් දා ගන්න තිබුණා?

ඉල්ලුම නම් මට කොහොමත් තිබුණා. නමුත් ඔබ කිව්වා වගේ මං ලංකාවේ හිටියා නම් තව තවත් මිනිසුන් අතරට යන්න තිබුණා. නමුත් එහෙම නොවුණයි කියලා කනගාටුවක් ඇති වුණේ නැහැ. මේක මගේ ලැබීමනෙ.

හෙලන් යන නම ඇසු සැනින් අපට මතක් වන්නේ කාන්තාවක්?

ඒක ඇත්ත. හෙලන් කියන්නේ ගෑනු නමක්. නමුත් මං ආසයි ඒ නමට.

ඒ කාලේ ප්‍රසංග වේදිකාවේ ගීත ගයද්දී ඔබ ලබපු අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ?

ඉස්සර සින්දු කිව්වේ පැමිණි පිළිවෙලට. ඊට පසුව ලිස්ට් ක්‍රමයක් ඇති වුණා. මං අනන්තවත් ලිස්ට් එකේ පළමුවරට අත්සන් කරලා අන්තිමට ගී ගයලා ඇති. හැබැයි කාත් එක්කවත් කවදාවත් රණ්ඩු සරුවල් වෙලා නැහැ. මේ වෙලාවේ මට තව බිහිසුණු අත්දැකීමක් මතක් වෙනවා. යුද්ධ කාලේ අපි පලාලි කෑම්ප් එකකට ගියා. එහිදී ෂෝ දෙකක් පැවැත්වුවා. ඊට පහුවෙනිදා කොළඹ එද්දී අපට ආරංචි වුණ ඒ කඳවුරට කොටි ගහලා කියලා. එතැන මැරුණු බහුතරයක් ඊට කලින් දවසේ ෂෝ එක බලලා සතුටු වුණු අය. එවලේ ඇති වුණේ කියා ගත නොහැකි කම්පනයක්.

ඔබ කාලයක් නැවතත් අතුරුදහන්ව සිටිනවා?

නැහැ. මං ඒ කාලෙත් හිටියේ ලංකාවේ. මං ඉතින් පොඩි මිනිහනෙ. ඒ නිසා මාධ්‍යයට මාව කැඳවනවා අඩුයි. අනික මගේ වෘත්තීය ගායනය නොවන නිසා මං මගේ සංචාරක ව්‍යාපාරයට වැඩිපුර හිත යොමු කරනවා. ඒ හින්දා ඇතැම් කාලවලදී මාව දකින්නවත් නැහැ.

ළඟදී අලුත් ගීයක් නිකුත් කළා නේද?

ඔව්. ඒකෙ නම සිත වද දෙන තරම්. එහි පද සහ සංගීතය අජිත් සංජීව පෙරේරාගේ. තව ඉදිරියේදී එකිනෙකට වෙනස් ගීත තුනක් කරනවා. ඒවා ළඟදීම අසන්නට ලැබේවි.

වර්තමානය වන විට මියුසික් වීඩියෝවක් අත්‍යවශ්‍යයි ගීතයක් ජනප්‍රිය වීමට?

ඒක ඇත්ත. මං හීනෙකින්වත් හිතුවෙ නැහැ වීඩියෝවක් කරන්න. නමුත් යුගයේ අවශ්‍යතාවයට මට සිදුවෙලා තියෙනවා වීඩියෝවක් කරන්න.

මේ වන විට පවතින විරහ ගීත රැල්ල ගැන මොකද කියන්න තියෙන්නේ?

ආදරය විරහව කියන දේ කාටත් පොදු මාතෘකාවක්. මගෙ අම්මේ ඒ කාලයෙත් කොතරම් විරහ ගීත ඇහුණද. නාමල් සමුගන්නේ නෑ කියද්දි චන්දන සිත පරව ගියා කියලා කිව්වා. ප්‍රින්ස් කියනවා සමුදෙන්න සමුගන්න නම් ගීතය. රෝයි කියනවා මා දැසෙ වේදනා. අතුල ගයනවා හද හඬලා සිත බිඳිලා කියලා. බලන්න ඒ ගීත එකිනෙකට වෙනස්. නමුත් තියෙන්නේ විරහව. අද වෙලා තියෙන්නේ ඔක්කොම විරහ ගීත එක වගේ වීම. එකම තනුව එකම පද පේළිය. කිසිම වෙනසක් නැහැ.

ඒ කාලෙ සහ අද පරපුරේ ගායගා ගායිකාවන් ගැන මොකද හිතෙන්නේ?

එදා සංගීත කෂේත්‍රයේ හිටපු අයගේ පුදුම එකමුතුවක් තිබුණා. ඒක ගායක ගායිකාවන් අතරෙ විතරක් නෙවෙයි. ගී පද රචකයො සංගීතඥයො අතර වුණත් එහෙමයි. අද බොහෝ විට සින්දුව ගයන ගායකයා දන්නේ නැහැ තමන්ට ගීතය ලියා දුන්න කෙනාව. හැම දෙයක්ම ඩිජිටල් වෙලා.

කොහොමද මේ දිනවල ප්‍රසංග වේදිකාව හා ගනුදෙනු කිරීම?

ඉතාමත් හොඳයි. සුපුරුදු පරිදි මට ෂෝස් තියෙනවා. ඒවාට මං සහභාගි වෙනවා හැකි පරිදි.

හෙලන්ගෙ ගම කොහෙද?

කලුතර වාද්දුව. මං වෘත්තීය සංචාරක ව්‍යාපාරය සිදු කරගෙන යන්නෙත් ඒ ප්‍රදේශයේ.

මොනවද පවලේ විස්තර?

මගේ භාර්යාව ගුරුවරියක්. මට දුවලා දෙන්නෙත් ඉන්නවා, සකුරා සහ ලෝෂිනි තමයි ඔවුන්.අපේ පුංචි පවුල ඉතාමත් සතුටින් කල් ගෙවනවා.

කාටද හෙලන්ට තුති පුදන්න තියෙන්නේ?

විමලසිරි අත්තනායක, ජගත් රණසිංහ, හික්කඩුව ෂයිනි සංගීත කණ්ඩායම, ජනක, ආරියසිරි විතාන යන පිරිසට.