වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගොළු හදවතේ ඇත්ත දම්මි සොයා ගතිමි

ගොළු හදවතේ ඇත්ත දම්මි සොයා ගතිමි

1992 ජූලි මාසයේ දිනෙක සරසවියේ අලුතින් ඇරඹූ විශේෂාංගය සඳහා අපි කරුණාසේන ජයලත් හමුවීමට හොරණ, පොකුණුවිට 'අමරජය' නිවසට ගියෙමු. මෙහි 'අපි' යයි කීවේ විශේෂාංගය ලියූ අනුර බණ්ඩාර රාජගුරු, අරුණ ගුණරත්න, කැමරා ශිල්පී ශ්‍රියන්ත වල්පොල හා මාය. මේ ගමන ගැන එදා 'සරසවිය' පුවත්පතට 'කම්පා නොවී ජය ලද මිනිහා' නමින් විශේෂාංගයක් අනුර බණ්ඩාර (1992. 08. 06) ලිවීය. එහි මෙසේ සඳහන් විය.

'නගරයේ කොන්ක්‍රිට් වනාන්තරයෙන් මෑත්වත්ම ගතට දැනුණු සිසිලස අප හදට අමුතු පණක් පෙවීය. කලහෙන්, ඝෝෂාවෙන්, දුහුවිල්ලෙන් පිරුණු ජනාකීර්ණ පරිසරය කෙතරම් අසුන්දරද? නිල්වන් තුරුලිය පීරා එන මඳ සුළඟ, තුරු වදුලු අග්ගිස්සෙන් පෙරී වන හේඩාවට පාත්වෙන හිරු කිරණ සරතැසක් කිසිසේත් ගෙන නොආයේය. හාත්පස සුන්දරත්වයට, ගහ කොළට, නැවුම් බවට වශී වී සිටි අප අතර නිහඬතාවක් තිබිණි.

'ගෙයක් දොරක් හදා ගන්නවා නම් මෙන්න මේ වගේ පැත්තක, නිස්කාන්සුවේ ඉන්න පුළුවන්'

රංජිත් කුමාර මහතා කටහඬ අවදි කළේය. අපේ නඩය පස් දෙනකුගෙන් සමන්විත වූහ. සරසවිය කර්තෘ ඒ. ඩී. රංජිත් කුමාර නඩේ ගුරා විය. කැමරා බෑගයත් රැගෙන සුහද සිතින් අප හා එක් වූයේ සහෝදරත්වයෙන් බැඳි ශ්‍රියන්ත වල්පොලය. ශ්‍රියන්ත විදේශීය සඟරා කිහිපයකම ඡායාරූප ශිල්පියෙක් වෙයි. සරසවියේ කිට්ටු හිතවතෙකි. අරුණ ගුණරත්නත් මමත් සෙසු අය වීමු. සිරිල් අයියා අපේ මාතලී හෙවත් රථාචාර්ය විය.

සුදු පුළුන් ගෙඩියක් සේ සම්පූර්ණයෙන්ම වැසුණු හිසින් යුතුව මුහුණ පුරා නැගුණු සිනහවකින් යුතුව එළිපහලියේ සිට පැමිණි ජයලත් මහතා අප පිළිගත්තේය. ඇත්තෙන්ම මා දුටුවේ සම්මානලාභී ඒ මහා සාහිත්‍ය ප්‍රබන්ධකරුවා නොවේ. බුලත් කහටින් රතු වී ගිය දත් පෙළින් යුතුව අව්‍යාජ සිනහවකින් මුව සරසාගත් නිර්ව්‍යාජ ගැමියෙකි.

'බොහොම සන්තෝෂයි රන්ජිත්ලා ආවට. එන්න එන්න වාඩිවෙන්න' දයාබර ඇමතුමකි.

මේ ගැමියාගේ විදග්ධ බව ගෙතුළට ගිය සැණින් පසක් වෙයි. ඒ සාලය පුරා විසිර ඇති පොත් රාක්ක පේළිවලිනි. එය ඇසට ප්‍රිය දසුනක් විය. කතාව ඇරඹුමේදී තැඹිලි වතුරින් අපි තෘප්තිමත් වීමු.

'මේ දවස්වල රංජිත් මම මගේ පුවත්පත් කලා ජීවිතය ඇසුරෙන් මගේ ජීවිත සටහන් ලියනවා. සමහර විට ඒක පොතක් වෙන්න පුළුවන්. නැත්නම් මාත් එක්කම වළපල්ලට යාවි' ඔහු යළිත් ඉලත්තට්ටුව සමීප කර ගත්තේය.

රාජගුරු ලියූ සටහනේ පරිදිම විශේෂාංගය ලියා වසර 22 කට පසු (24 අගෝස්තු 1994) ජයලත් ජීවිත සටහන් පොත සම්පූර්ණයෙන් නොලියා මිය ගියේය.

එදා ගමනේදී ජයලත් කී දෑ ඔහු නවකතාවක් සේම රසවත්ය. අන්දෝ අයියාගෙන් බේගල් අසන ළදරුවෙක් සේ අරුණ ඒ සියල්ල අසා සිටින අතර ශ්‍රියන්ත බුලත් විටක් සප්පායම් වෙමින් කොයි වේලේ හොඳ රූප රාමුවක් තම කැමරාවට අසුවේදැයි විමසිල්ලෙන් සිටියේය. එදා ජයලත් මතාගේ දයාබර බිරිඳ අපට ආගන්තුක සත්කාර කළ අතර 'බත් ටිකක් කාලම යන්න ඕනෑ' කියමින් ගේ තුළට ගියාය.

කරුණාසේන ජයලත් ගැන මේ සටහන ලියද්දී ඒ සමයේම සිදු වූ ජයලත්ට සම්බන්ධ තවත් සිදුවීමක් මගේ මතකයට එයි. ඒ මගේ සංවිධානයෙන් සරසවිය සම්මාන උලෙළේ චිත්‍රපට සතිය පැවති දිනයකි. චිත්‍රපට සතිය පැවැත් වූ රීගල් සිනමාහලේ සවස 6.30 දර්ශනයට ඒ ඒ චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් හා කලාකරුවන් සහභාගිවීම විශේෂ සිදුවීමකි. චිත්‍රපට බැලීමට පැමිණි රූමත් තරුණ රසිකාවක් නළු නිළියන්ගේ සමරු සටහන් ගැනීමට ලොකු වෙහෙසක් ගත්තාය. මේ දුටු ලේක්හවුස් සභාපති සුනිල් රුද්‍රිගූ මහතා මගෙන් මෙසේ ඇසුවේය.

'අයිසේ අර ගෑනු ළමයා නළු නිළියන්ට කැමති පාටයි. එයා සමරු පොත අරගෙන හැම කෙනෙක් ගාවටම යනවා.'

ඒ රසිකාව කකුලේ තිබූ ආබාධයක් නොතකා තම ප්‍රියතම කලාකරුවන් ළඟට ගියාය. නළු නිළියන් ද ඇයට දැක් වූයේ අසීමිත ආදරයකි. මම ඇය අසලට ගියෙමි.

'නංගිට අමාරුයි නේද? නළු නිළි ළඟට නිතරම දුවන්න?'

ඇය අහිංසක ලෙස සිනාසුණාය.

'මම කියන්නද? ඔයාට හොඳ යෝජනාවක්. ඔයා යන්න බැල්කනියට. ඔක්කොම නළු නිළියෝ එතනට එනවා. ඔයාට පහසුවෙන් ඒ අයත් එක්ක කතා කරන්නත් පුළුවන්, සමරු පොත අත්සන් කර ගන්නත් පුළුවන්'

'අනේ ඒක කොච්චර එකක්ද?'

මම අපේ සහායක ආරියරත්න පෙරේරාට කතා කොට ඒ රසිකාව බැල්කනියට ගෙනි යන ලෙස කීවේමි.

'අයියේ මම බැල්කනි ටිකට් එකක් ගන්නද?'

'එපා . . . එපා . . . ඔයා මේ සතියෙම බැල්කනියට ගිිහින් චිත්‍රපටිත් බලන්න. සමරු පොතත් අත්සන් කර ගන්න. ඔයා ගැන අපේ සභාපතිතුමත් ඇහැව්වා.'

'අයියේ මම සරසවියේ පාඨකයෙක්. මගේ අම්මත් පත්තරේ ආපු කාලේ ඉඳලම බලනවා. සරසවියට කැමතියි'

'සරසවිය පාඨකයෙකුට අපි සළකන්න එපායැ. එයිනුත් ඔයා විශේෂයි' මම කීවෙමි.

මගේ ක්‍රියාව බලා සිටි සභාපතිතුමා මා කැඳවා ඇයට සම්මාන උලෙළ නැරඹීමට ආරාධනා පත්‍ර දෙකක් දෙන ලෙස කීවේය.

වරක් මම ඇය සභාපතිතුමාට හඳුන්වා දුනිමි.

තමාට සම්මාන උලෙළ බැලීමට ලැබුණ වරම ගැන ඇය සභාපතිතුමාට ස්තූතිය පළ කළාය.

මම ඇයගේ නම ඇසුවෙමි. එදා ඇය පැමිණ සිටියේ තම මව සමඟය.

'අයියේ මගේ නම ශ්‍යාමා ගුණරත්න. මේ මගේ අම්මා. අපි ඉන්නේ කොල්ලුපිටියේ'

එදා මගේ බිරිඳ දමයන්ති ද සිටියාය. මම ඇය ශ්‍යාමාට හඳුන්වා දුනිමි.

'ඔය දෙන්න පුළුවන් දවසක අපේ ගෙදර එන්න. මම ගැන අනුලා අක්කායි (අනුලා කරුණාතිලක) ශ්‍රියානි අක්කයි (ශ්‍රියානි අමරසේන)ගෙන් අහන්න. ඒගොල්ලෝ අපේ ගෙදර එනවා. ගොළු හදවතේ දමයන්තිට රඟපෑ අනුලා අපේ පවුලේ හිතවතියක්."

තව දිනක ශ්‍යාමාගේ මව වූ පද්මා ගුණරත්න මහත්මිය මට මෙසේ කීවාය.

'ඔයා ජයලත්ගේ 'ගොළු හදවත' කියවලා තියෙනවනේ?'

'ඔව්

'ඔයා කැමතිද ඇත්ත දමයන්ති දකින්න'

'මට තේරුණේ නැහැ'

'ඔයා කැමති ද ජයලත් ලිව්ව දමයන්තිගේ චරිතයට පසුබිම් වූ ඇත්තම චරිතය දකින්න'

'සත්තකින්ම'

'එහෙනම් මා දිහා බලා ඉන්න' ඇය කීවාය.

මේ කතාව දිගටම කිරීමට බාධා ඇති වුූයේ කවුදෝ ඒ අතරට මැදිවීම නිසාය.

ඇය මේ සිද්ධිය කියන විට කරුණාසේන ජයලත් ජීවතුන් අතර සිටියේය. සරසවිය චිත්‍රපට උලෙළින් පසු නොයෙක් උත්සවවලදී ශ්‍යාමාත්, මවත් හමු වුවත් 'ගොළු හදවතේ' නිදාන කතාව ඇසීම කල්ගියේය. 2006 වසරේ ජනවාරි මාසේ එක් දිනක මගේ මිත්‍රයකු වන ජනශ්‍රෘති විශාරදවරයකු වූ මහින්ද කුමාර දළුපොතගෙන් දුරකථන පණිවුඩයක් ලැබුණි. ඩී. බී. කුරුප්පු ලියූ 'හැන්දෑවට පායන හිරු' නම් කෘතිය ගොඩගේ පොත්හලෙන් මා මිල දී ගනු මහින්ද දැක්කේය. පොත ගැන කතා කළ මහින්ද 'ගොළු හදවතේ' ඇත්ත දම්මි හමුවීමට කැමතිදැයි ඇසීය. මට ඇති වූයේ කුහුලකි. කුරුප්පු ලියූ පොත මුද්‍රණය කළ පියසිරි ප්‍රින්ට්ස්හි නිමල් දිසානායක ඒ ගැන තොරතුරු දන්නා බව ඔහු කීවේය. නිමල්ට දුරකථනයෙන් කතා කළ විට ඔහු කිවේ ඇත්ත දම්මි වසර දහයකටත් වඩා තමා හොඳින් හඳුනන කාන්තාවක් බවය.

මම ඉක්මනින් කුරුප්පුගේ පොත කියවීමි. ඊළඟට මම ශ්‍යාමා ගුණරත්නගේ කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි මාවතේ නිවසට කතා කළෙමි. අනතුරුව මම ඉතා ඉක්මනින් ඇගේ නිවසට ගියෙමි. ඊට කලින් මා එවකට ලිපි සම්පාදනය කළ 'ලක්බිම ඉරිදා සංග්‍රහයේ' ප්‍රධාන කර්තෘ සුන්දර නිහතමානි ද මැල්ට මේ ආරංචිය කීවෙමි.

'ඉතින් මහත්තයෝ ඕක අපට ලියමුකෝ ඔහු කීවේය.

මම ඇත්ත දම්මි සොයා ගියෙමි. 1934 අප්‍රේල් 04 වෙනිදා හොරණ උපන් කුරුප්පු ආරච්චිලාගේ පද්මා ලලනී කුරුප්පුගේ දැන් වයස අවුරුදු 82 කි. ඈ කෙරෙන් තාමත් රූපයෙන් මෙන්ම ආදරයේ සුන්දරත්වය නොමැකී පවතී. ඇය තම අතීත කතාව මෙසේ අවදි කළාය.

'මම තක්ෂිලාවේ ඉගෙන ගත්ත කාලේ ටිකක් දඟකාරයි. ටිකක් ආඩම්බරයි. සැරයි. ගැහැනු පිරිමි භේදයකින් තොරව අපි කටයුතු කළේ. අපේ පන්තියේ ඩී. බී. කුරුප්පුත්, කරුණාසේන ජයලත්, රූපා අමරසිංහ (පසුව ජයලත්ගේ බිරිඳ) හා මාත් අතර පුදුම බැඳීමක් තිබුණා. සිංහල සාහිත්‍ය සංගමය පැවැත්වෙන සිකුරාදා අපේ සතුටුම දවස. අපි කවි කියන්න, කතා පවත්වන්න පුරුදු වෙලා හිටියේ. කථිකත්වය අතින් ජයලත් පාසලේ ඉහළම තැනක හිටියේ. ඉගෙනීම අතින් ඉහළ තැනක හිටියේ බොල්ඩ්වින් (ඩී. බී. කරුප්පු).

බොල්ඩ්වින් හා ජයලත්ට ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ ඉඳලම සමසමාජ අදහස් තිබුණේ. ඒ කාලේ තක්ෂිලාවේ විදුහල්පති විට්ටච්චි මහත්තයා. ඒ මහත්තයාගේ සොහොයුරා ටාසි විට්ටච්චි මහතාත් (ඔහු පසුව ඔබ්සවර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ වුණා) අපිට ඉගැන්නුවා. ඇත්තම මගේ හිතේ ආදරයක් ඇති වුණේ බෝල්ඩ්වින්ට විතරයි. ඒ ආදරය කාටත් හොරා ප්‍රකාශ කරලා තිබුණේ. ඒ කාලේ අපේ පණිවුඩ ගෙනියන්නා ජයලත්. මම ජයලත්ට වගේම අනික් ළමයින්ට හිතවත්ව හිටියේ.'

ගොළු හදවතේ දම්මි සුගත්ට වෙරළු දෙන අවස්ථාව අපේ ජීවිතවලට සම්බන්ධ සිද්ධියක්. දවසක් ජයලත් විවේක අවස්ථාවේ පොතක් බලමින් හිටියා. අපි යාළුවො කටු ලොවි කමින් හිටියේ. මට හිතුණා ජයලත්ට කටු ලොවි දෙක තුනක් දෙන්න.

මම 'ස්! . . . ස් ' යන ශබ්දයෙන් ඔහුට කතා කළේ ඔහු කිසියම් වැඩක යෙදී සිටින නිසා.

මා දුටු විගස ඔහු මගෙන් ඉවත් කර ගත් බැල්ම තමාට ශබ්ද කළේ කවුරුන්දැයි සෙවීමට අවට බැලුවාය.

'ස්! . . . ස්!' ශබ්දය යළිත් මම නැඟුවා.

ඔහු මා දෙස කෙළින්ම බැලුවාය.

'ඕනෑද'

'මොනවද?' නොඅසාම මා වෙත පැමිණි ඔහු මා වෙත අත පෑවා. මම ඔහුට කටු ලොවි ගෙඩි කිහිපයක්ම දුන්නා. ඔහු අහිංසක හිනාවක් පාමින් නැවත තම පුටුවේ ඉඳ ගත්තා.

ඊළඟට තිබුණේ චිත්‍රකර්ම පන්තිය. මගේ පැන්සලේ තුඩ කැඩිලා තිබුණේ. මගේ පැන්සල කපා දෙන්නයි මම ඔහුට කිව්වා. ඔහු එය වුවමනාවෙන් කරලා දුන්නා. එදා පාසල අවසන් වෙලා ගෙදර යන ගමනේ මම ඔහුගෙන් ලොසින්ජර ඉල්ලුවා. මේ සේරම අවුරුදු දහතුනක පමණ කෙල්ලෙකුගේ වැඩ. ගොළු හදවතේ දම්මි කළා වගේ ගස් නැගලා වෙරළු කඩන්න මම ආසා කළා.' පද්මා පරණ සිද්ධි මතක් කරමින් මට කීවාය.

ජයලත් තමා ගැන බලාපොරොත්තුවෙන් ඉන්නා බව ඇය නොදන්නා බව අපට කීවාය. ඔහු ගැන ඇයට තිබී ඇත්තේ සහෝදර ප්‍රේමයකි. නවකතාවේ පාසලේ විවිධ ප්‍රසංගයේ පැවැත් වූ නාට්‍යයට පරණ සාරි ගන්න සුගත් හා දමයන්ති ඇගේ ගෙදර යන අවස්ථාව සත්‍යයක් බව ඇය කීවාය.

'එදා ජයලත් හා මම පරණ සාරි හොයගෙන ගියේ අපේ හොරණ ආච්චිගේ ගෙදර. අපේ පුංචි අම්මාගේ පරණ සාරිත් අරං අපි කැලේ පාරේ කතා කර කර ආවා.'

විභාගය අවසන් වී තක්ෂිලාවෙන් සමුගන්න අවස්ථාව හරිම වේදනාකරි බව ඇය මතක් කළාය. ඒ වාරයෙන් පසු පද්මා කොළඹ විශාඛා විද්‍යාලයට ගොස් ඇති අතර බොල්ඩ්වින් ඉගෙනීමට දක්ෂ නිසා ඩබල් ප්‍රොමෝෂන් ලබා කොළඹ නාලන්දෙට ගොස් ඇත. ජයලත් තක්ෂිලාවේ තනි වී ඇත.

'ඇත්තටම ජයලත් තනි වුණේ නැහැ. අපේ පන්තියේ හිටිය රූමත් රූපා අමරසිංහගේ හිත දිනා ගත්තා' පද්මා කීවාය.