වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




News

කමල් රෝහණ විජේවීර වෙයි

සීතලෙන් උපන් ගින්දරට අනුරුද්ධ අත තබයි

ලාංකේය දේශපාලන ඉතිහාසයේ ප්‍රබල භූමිකාවක් වන රෝහණ විජේවීර චරිතය සිනමාවේ ප්‍රතිනිර්මාණය කිරීමට කමල් අද්දරආරච්චි සූදානම් වෙයි. ඒ අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන ඔහුගේ නවතම සිනමාපටය වන සීතලෙන් උපන් ගින්දර සමඟිනි. එය මෙම මසදී රූගත කිරීම් ආරම්භ කරනු ඇත. කමල් සමඟ මෙහි දිල්හානි අශෝකමාලා, දීපානි සිල්වා, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියලාල්, ප්‍රියන්ත සිරිකුමාර ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.

සමීර හසුන් සහාය අධ්‍යක්ෂවරයාය. සුලෝචන අකලංක නිෂ්පාදන කළමනාකරු වේ. උදේනි සුබෝධි කුමාර කලා අධ්‍යක්ෂවරයාය. නාරද ධනංජි තොටගමුව අංග රචනා ශිල්පියාය. නදීක ගුරුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වේ. සත්‍ය කතාවක් ඇසුරෙන් තැනෙන සීතලෙන් උපන් ගින්දර සිනෙ ප්‍රෝ ආයතනයේ නිෂ්පාදනයකි.


බැප්ටිස්ට් වෙනුවෙන් දියණිය තුති පුදයි

මේ වන විට දැඩි ලෙස රෝගාතුරව සිටින බැප්ටිස්ට් ප්‍රනාන්දු හට මූල්‍යමය වශයෙන් උපකාරයක් පසුගියදා අගරද ගුරු මැදුරේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කතෝලික කලාකරුවන්ගේ සුහද හමුවේදී ලබා දෙන ලදී. එය ඔහු වෙනුවෙන් එදින ලබා ගත්තේ බැප්ටිස්ට්ගේ දියණිය වූ ශාමිලා ප්‍රියදර්ශනීය. එවැනි කටයුත්තක් සිදු කිරීම සම්බන්ධයෙන් කාදිනල්තුමා හට විශේෂ ස්තූති කරන බව ශාමිලා සරසවිය පුවත්පතට පැවසුවාය. එමෙන්ම ඒ සඳහා බැප්ටිස්්ට්ගේ නම යෝජනා කොට ඇත්තේ ප්‍රවීණ ගීත රචක, මාධ්‍යවේදී ආනන්ද පද්මසිරි විසිනි. ඔහුටත්, මේ වන විට බැප්ටිස්ට්ගේ සුවදුක් විමසා ඔහු පිළිබඳ සොයා බලන අමාත්‍ය රාජිත සේනාරත්න, සුනිල් ටී. ප්‍රනාන්දු, පද්මසිරි කොඩිකාර යන මහත්වරුන්ට ද ශාමිලා තුති පුදන බව පැවසුවාය.


ආලෝකෝ උදපාදී - බන්ධනය - 28 - නිලංජනා 2017 දී මුලින්ම

2017 වසර අරඹමින් අලුත් සිංහල චිත්‍රපට පෙළක් තිරගත කරවීමට ප්‍රදර්ශක මණ්ඩල සූදානම් වෙයි. මේ අනුව ආලෝකෝ උදපාදී - බන්ධන - 28 - නිලංජනා වේ. 2017 දී මුලින්ම ඊ. ඒ. පී. මණ්ඩලයේ දිග හැරෙන සිනමාපටය වන්නේ චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ ආලෝකෝ උදපාදී සිනමාපටයයි. එය අධ්‍යක්ෂවරයාගේ කුලුඳුල් සිනමාපටය වීම විශේෂත්වයකි. චත්‍ර, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය අධ්‍යක්ෂණය කළ සමන් වීරමන්ගේ පුතණුවන් වේ. කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජේසේන නිෂ්පාදනය කළ ආලෝකෝ උදපාදි හි ක්ලීටස් මෙන්ඩිස්, බුද්ධදාස විතානාච්චි, ජනක් ප්‍රේමලාල්, ඩබ්ලිව්. ජයසිරි, දර්ශන් ධර්මරාජ් ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති. රීගල් ප්‍රමුඛ ඛ් ඡ් ඹ් මණ්ඩලයේ පළමුව තිරගත වන්නේ උදයකාන්ත වර්ණසූරියගේ බන්ධනය සිනමාපටයයි. මෙරටහි ඇති සාම්ප්‍රදායික බලිතොවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් අළලා නිර්මාණය වී ඇති එය ත්‍රාසය, භීතිය, කුතුහලය රැගත් සිනමාපටයකි. සිරිල් වික්‍රමගේ, නිල්මිණි තෙන්නකෝන්, හේමාල් රණසිංහ ඇතුළු පිරිස මෙහි රංගනයේ යෙදෙති. නව පරපුරේ විශිෂ්ට සිනමාකරුවකු වන ප්‍රසන්න ජයකොඩි නිර්මාණය කළ තෙවැනි සිනමාපටය 28 තිරගත වනුයේ රිත්මා මණ්ඩලයේ මෙම වසරේ පළමු චිත්‍රපටය ලෙසිනි. මහේන්ද්‍ර පෙරේරා, සේමිණි ඉද්දමල්ගොඩ 28 හි ප්‍රධාන චරිත මවා තිබේ. නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ නිලංජනා එම්. පී. අයි සහ එල්. එෆ්. ඩී. මණ්ඩලයේ මෙම වසරේ පළමුව තිරගත වන චිත්‍රපටයයි. ආචාර්ය අරෝෂ් ප්‍රනාන්දු නිලංජනා නිෂ්පාදකවරයාය. ශ්‍රියාණි අමරසේන, පාලිත සිල්වා, හිමාලි සිරිවර්ධන, අනූෂා දමයන්ති, කැලුම් කුලරත්න මෙහි චරිත මවනු ලබයි.


රොක්සි යළි එයි

නව්‍යකරණ කටයුතු හේතුවෙන් තාවකාලිකව වසා දැමූ මෙරට පැරැණිතම සිනමා ශාලාවක් වන වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාව මුල්ම සිංහල කථානාද චිත්‍රපටය තිරගත වී හැත්තෑ වෙනි උපන් දිනය සමරන දිනට පෙරදා එනම් මෙම මස 20 වැනිදා ත්‍රිමාණ තාක්ෂණයෙන් යුතුව යළි විවෘත වේ. හතළිහ දශකයේ ඇරැඹි රොක්සි සිනමා ශාලාව සීමාසහිත සිලෝන් තියටර්ස් සමාගම මඟින් ආරම්භ කරන ලද්දකි. එම වකවානුවේදී චිත්‍රපට ප්‍රදර්ශනය කළ සිලෝන් තියටර්ස් මණ්ඩලයේ පළමු තැන ගත්තේ මරදාන එල්ෆින්ස්ටන් ශාලාවය. දෙවැනි තැන හිමි කරගෙන තිබුණේ වැල්ලවත්ත රොක්සි සිනමා ශාලාවයි. 1979 දී ඊ. ඒ. පී. චිත්‍රපට සමාගම පාලනයට ගත් රොක්සි හි පසුකාලීනව සිංහල චිත්‍රපට සමඟ දමිළ චිත්‍රපට ද තිරගත විය. එළඹෙන 20 වැනිදායින් පසුව රොක්සි සිනමා ශාලාව විවෘතවීමෙන් අනතුරුව ඊ. ඒ. පී. සිනමා සමාගමේ ප්‍රමුඛ සිනමා ශාලාව වන්නේ වැල්ලවත්ත රොක්සි ශාලාවයි.


කලම්බු වැඩ ඇරැඹේ

නව පරපුරේ නිර්මාණකරුවකු වන ආසමා රන්දිල් ලියනගේ පළමුවරට අධ්‍යක්ෂණය කරන කලම්බු සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. හේමාල් රණසිංහ, ධර්මපි‍්‍රය ඩයස්, කුමාර තිරිමාදුර, රුක්මල් නිරෝෂ්, ජෙහාන් ශ්‍රිකාන්ත්, ෂාන් නිරෝෂි, තරු බෝගොඩ ඇතුව නළු නිළියන් මෙහි රංගනයේ යෙදෙති. සිල්ජේස් ගමගේ සහ නදුන් හේමචන්ද්‍ර සහාය අධ්‍යක්ෂවරුන්ය. තුෂාර කළුබෝවිල කලා අධ්‍යක්ෂවරයාය. අංග රචනය රසික තෙන්නකෝන්ගෙනි.කලම්බු හි තිර රචනය ද අධ්‍යක්ෂවරයාගෙනි.


සත්සර අද සිට විවෘතයි

තවත් අලුත් සිනමා ශාලාවක් අද අම්බලන්තොටදී ආරම්භ වේ. ඒ සත්සර නමිනි. එහි පළමුව තිරගත වන චිත්‍රපටය වන්නේ සුගත් සමරකෝන්ගේ 'අපේ කාලයේ පටාචාරා' වේ.


සුනිල් විමලවීර මිය යයි

සරසවිය සම්මාන දිනූ ගී පද රචකයකු මෙන්ම, කවියකු, චිත්‍රපට නිෂ්පාදකවරයකු ද වූ සුනිල් විමලවීර අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස 61 කි. 1976 දී 'හරිම බඩු තුනක්' චිත්‍රපටයට 'ඔබගේ රුව මාගේමයි' ගීතය රචනා කරමින් ක්ෂේත්‍රයට පිවිසි සුනිල් අනතුරුව ජනප්‍රිය චිත්‍රපට ගීත රැසක් රචනා කරන ලදී. 'සමනල් හැඟුමන් අතරේ', 'හිත පුරා මල් පිපෙන වසන්තයේ', 'හිරි පොද වැස්ස වගේයා'. 'හුදෙකලා විරාමයේදී', 'මීපැණි රහසක්' ඒ අතර වෙයි. සුනිල් සරසවිය සම්මානයට පාත්‍ර වූයේ උදයකාන්ත වර්ණසූරියගේ 'ලේ කිරි කඳුළු' චිත්‍රපටයේ අමරසිරි පීරිස් ගයන 'හිත පුරා මල් පිපෙන වසන්තයේ' ගීතයෙහි රචනය වෙනුවෙනි. ඔහු දෙරණ සිනමා සම්මාන උලෙළේදී උදයකාන්තගේම 'සෙනසුරු මාරුව' චිත්‍රපටයේ රූකාන්ත ගුණතිලක ගයන 'හසරැල් විමනේ' ගීතය රචනය වෙනුවෙන් සම්මාන දිනා ගත්තේය. සුනිල්ගේ වැඩිමහල් සහෝදරයා වූයේ ගී පද රචකයකු මෙන්ම නිවේදකයකු වූ ආනන්ද සරත් විමලවීරයි. සැළලිහිණි කොවුල් හඬ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ඔහු විසින් රචනා කොට ඇත. සුනිල් ජනප්‍රිය නිවේදිකාවක මෙන්ම ගායිකාවක ද වන අභිෂේකා විමලවීරගේ පියාණන් වේ. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා තලාහේනේදි සිදු විය.


විවේකාගේ මවඅභාවප්‍රාප්ත වෙයි

සරසවිය පුවත්පතේ හිටපු ප්‍රවීණ පුවත්පත් කලාවේදිනී විවේකා සමරසිංහ මහත්මියගේ මෑණියන් වූ බී. ඩබ්ලිව්. පීරිස් මහත්මිය මෙම මස 01 වැනිදා අභාවප්‍රාප්ත වූවාය. හේවුඩ් ආයතනයෙන් බිහි වූ මුල්ම චිත්‍ර ගුරුවරියන්ගෙන් කෙනෙකු වූ පීරිස් මහත්මිය මිය යන විට 86 වන වියේ පසු වූවාය.

දේහය නො: 09, මෙල්්ඩර් ප්ලේස්, නුගේගොඩ ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු බ්‍රහස්පතින්දා සවස කොහුවල ආදාහනාගාරයේදී සිදු කෙරේ.

‘ගයත්‍රී ගී සර’ ප්‍රසංගය හෙට

කොළඹ විශාඛා විද්‍යාලයේ සංගීත ගුරුවරියක වන ගයත්‍රී ඒකනායකගේ නව ගීත කිහිපයක් එළිදැක්වීමේ 'ගයත්‍රී ගී සර' ප්‍රසංගය හෙට (06 වැනිදා) සවස 6.30 ට කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වෙයි.

ගයත්‍රී ඒකනායක පවත්වන මේ 'ගයත්‍රී ගී සර' ප්‍රසංගයේ දී ආචාර්ය වික්ටර් රත්නායක, මහාචාර්ය කෝලිත භානු දිසානායක, විශාරරද ජගත් වික්‍රමසිංහ, කථිකාචාර්ය රවීන්ද්‍ර අලගියවන්න, සූර්යයා දයාරුවන් යන මහත්වරු ඈ සමඟ යුග ගායනයෙන් සහභාගි වෙති. මෙහි සංගීතය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ප්‍රනාන්දු මහතා සිදු කරන අතර කථනය වසන්ත රෝහණගෙනි. ගයත්‍රී ඒකනායක එදිනට එළිදැක්වෙන ගීතවල සංගීතය නිර්මාණය කර ඇත්තේ ආචාර්ය වික්ටර් රත්නායක, ප්‍රවීණ සංගීතඥ සුරේෂ් මාලියද්ද, දර්ශන රුවන් දිසානායක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අශෝක් ඉඳුනිල් යන ශිල්පීහු වෙති. ඒ ගීතවල ගේයපද බන්ඩාර ඇහැලියගොඩ, අමිල තේනුවර, නලින් රණසිංහ, කසුන් මහේන්ද්‍රගෙනි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ගයත්‍රී ඒකනායක මේ වනවිට ටෙලි නාට්‍ය කිහිපයක ද තේමා ගීත ගයා ඇත. අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ ආචාර්ය වික්ටර් රත්නායකගේ 'ස' ප්‍රසංගයේ යුග ගායනයෙන් දායක වී ඇති ගයත්‍රී ඒකනායක එදිනට ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායකගේ ගීත කිහිපයක් ද ගැයීමට නියමිත ය. එමෙන්ම හින්දුස්ථානී සම්ප්‍රදායේ එන ගැසල් කිහිපයක් ද එදිනට ගයනු ඇත. නොමිලයේ පැවැත්වෙන මේ ප්‍රසංගයට ඈට ආදරය කරන සියලුදෙනාට ම සහභාගි විය හැකිය.

‘සද්ධර්ම නාදය’ එළිදකියි

හෙණ්ඩියගල සීලරතන හිමියන් වරින්වර ලියන ලද ධර්ම ග්‍රන්ථ මාලාවෙන් තෝරා පී. ඇම්. සේනාරත්න මහතා සංස්කරණ කරන ලද 'සද්ධර්ම නාදය' බෞද්ධ ග්‍රන්ථය මේ මස 10 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී එළිදකියි. මේ ග්‍රන්ථය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.