වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




වචන අටක රංගනයෙන් වේදිකාව ජයගත් නාට්‍යකරුවා

නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ - 19

වචන අටක රංගනයෙන් වේදිකාව ජයගත් නාට්‍යකරුවා සතිස්චන්ද්‍ර එදිරිසිංහ

මෙරට වේදිකා ඉතිහාසය ගෙනහැර පාමින් නාට්‍ය හා රංග කලාව විෂය ඇසුරු කරමින් ලියැවෙන ලිපි මාලාව

හැට ගණන්වල මුල් භාගයේදී පමණ පැරණි නූර්ති නාටක නැවත නිෂ්පාදනය කිරීමේ ප්‍රවණාතාවයක් ඇති වූයේය. මෙයට මුල පිරුවේ චිත්‍ර ශිල්පියෙකු ලෙස ද ප්‍රකටව සිටි කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරාය. 'වෙස්සන්තර', 'ශ්‍රී වික්‍රම' ඔහු විසින් නිෂ්පාදනය කරන ලද නාට්‍ය අතර වෙයි.

පැටිකිරිගේ සතිස්චන්ද්‍ර එදිරිසිංහ නළුවකු ලෙස වේදිකාවට අවතීර්ණ වන්නේ ජේ. ඩී. ඒ. පෙරේරාගේ 'වෙස්සන්තර' (1961) නාටකයෙනි. මෙහි ඔහුට රඟපෑමට තිබුණේ සුළු චරිතයකි. මුළු නාට්‍යයේම ඔහුට දෙබස් වශයෙන් කීමට තිබුණේ වචන 8 කි. එහෙත් සතියකට දින තුන බැගින් මාස අටක කාලයක් ඔහු පුහුණුවීම්වලට පැමිණියේය. ඒ සඳහා ඔහුට ගෙවීම වශයෙන් ලැබුණේ දිනකට ශත 90 ක පමණ සොච්චම් මුදලකි. මෙම නාට්‍යයේ පුහුණුවීම්වලට යෑම සඳහා තමා බස් ගාස්තුව සොයා ගත්තේ පරණ පත්තර සහ බෝතල් විකිණීමෙන් බව සතිස් කියා ඇත.

දිනක් මෙම නාට්‍යයේ ජූජක බමුණාගේ චරිතය රඟපෑ නළුවා නාට්‍ය දර්ශනයට පැමිණීම ප්‍රමාද කළේය. ඊට හේතු වූයේ ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයකි.

'එයා විනාඩි පහක් පරක්කුයි.තමුසේ ඇඳගන්නවා'

නිෂ්පාදක ජේ. ඩී. ඒ. පෙරේරා සතිස්ට කීවේය. ඉන්පසු 'වෙස්සන්තර' නාටකයේ ජූජක බමුණා වූයේ සතිස්ය. විසි හැවිරිදි සතිස් අවුරුසු සැත්තෑවක පමණ වූ චරිතයකට අපූර්ව ලෙස රූපාන්තර වූයේය. එඩී ජයමාන්න, රුක්මණී දේවි, එච්. ඩී. කුලතුංග, ජෙසිකා වික්‍රමසිංහ, ශීලා පීරිස් මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. කැපවීම නොවන්නට කෙතරම් සහජ හැකියාවක් තිබුණත් කිසිදු නළුවකුට මෙතරම් දුරක් පැමිණිය නොහැකි බව සනාථ කරයි.

ජේ. ඩී. ඒ පෙරේරාගේ 'ශ්‍රී වික්‍රම' (1962) නාට්‍යයේ ද සතිස් රඟපෑවේය.

ඉන්පසු සතිස් එකල වේදිකා ගත නාට්‍ය බොහෝමයක විවිධාකාර චරිත රංගනයේ යෙදුණේය. 'චෙරිවත්ත', 'ලියතඹරා', 'මහ ගෙදර', 'ඉබිකට්ට, 'ගැහැනියක්', 'ඔන්න බබෝ ඇතින්නියා', 'මනරංජන වැඩවර්ජන' ඉන් කීපයකි.

මෙයින් රන්ජිත් ධර්මකීර්තිගේ 'මහගෙදර' නාට්‍යයේ සතිස් කළ රංගනය විචාරකයන්ගේ නොමඳ ප්‍රශංසාව දිනා ගත්තේය. 'මහ ගෙදර' යනු ඇන්ටන් චෙකෝව්ගේ 'ද චෙරි ඕචඩ්' නාට්‍යයේ සිංහලානුවාදයක්. සතිස් මෙහි රඟපෑවේ ලොපකින්ගේ චරිතයයි. මෙම නාට්‍යය නරඹන්ට ආ මාර්ටින් වික්‍රමසිංහ මුලින් කියා සිටියේ පළමු දර්ශනය හමාරවිමෙන් පසු තමා ආපසු යන බවයි. එහෙත් ඔහු නාට්‍යය නිම වනතුරු ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටියේය. ඊට හේතුව ඔහු සතිස්ගේ රංගනයෙන් වසඟයට පත් වීම යැයි මෙම නාට්‍යයේ නිෂ්පාදක රන්ජිත් ධර්මකීර්ති පවසා ඇත.

එසේම රුසියාවේ මොස්කව් නුවර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයකු එරටදී 'ද චෙරි ඕචඩ්' නාට්‍යය නරඹා රන්ජිත් ධර්මකීර්තිට ලිපියක් එවමින් කියා ඇත්තේ මෙහි ලොපකින්ගේ චරිතය රඟපෑ නළුවාටත් වඩා හොඳින් සතිස්චන්ද්‍ර සිංහල නිෂ්පාදනයේ රඟපාන බවය. මෙය සතිස්ට ලැබුණු සම්මානයක් බඳු අගනා ප්‍රකාශයකි.

වේදිකාවේදී සතිස්ට මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා හැරුණු කළ රන්ජිත් ධර්මකීර්ති, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. ජී. ඩී. එල්. පෙරේරා වැනි පළපුරුදු නාට්‍යකරුවන්ගේ නාට්‍යවල රඟපාන්නට ලැබීම ඔහුට ස්වීය නාට්‍ය නිෂ්පාදනයේ ද ඵලදායි අත්දැකීමක් වූ බව පෙනේ. සතිස්ට 'හුණුවටයේ කතාව' නාට්‍යයේ සොල්දාදුවාගේ චරිතය රඟපාන්ට අවස්ථාව ලැබුණත් ඊට සමගාමීව 'ලියතඹරා' නාට්‍යයේ ද රඟපාන්ට සිදු වූ බැවින් මේ චරිතයට ඔහු ඩග්ලස් රණසිංහගේ නම යෝජනා කළේය. ඩග්ලස් 'හුණුවටයේ කතාව' නාට්‍යයෙන් රංගනයට ප්‍රවිස්ට වූයේ සතිස්ගේ මැදිහත්වීම මතය.

ගුණසේන ගලප්පත්ති, සතිස්ගේ රංග කලා ජිවිතයට න්‍යයාත්ම පදනමක් දැමූ නාට්‍යකරුවෙකි. ගලප්පත්ති ප්‍රගුණ කළ ස්ටැනිස්ලවුස්කි රංග විධි ක්‍රමය සතිස් තම රංගනයේදී මනාව යොදා ගත්තේය. නළුවකු විසින් කිසියම් චරිතයක් නිරූපණය කරනු ලැබීමේදී නළුවා ඒ චරිතයට භාවාත්මකව ප්‍රවේශ විය යුතුය යන්න ස්ටැනිස්ලවුස්කිගේ ප්‍රධාන රංග මුල ධර්මය වූයේය.

'බකතපස්' (1963) සතිස් නිර්මාණය කළ මුල්ම නාට්‍යයයි. එය මොලියර්ගේ 'ටාටුෆ්' නාට්‍යයේ ඡායානුවාදයක් විය. සතිස්, මාලිනී ෆොන්සේකා, ගාමිණී ගනේගොඩ මෙහි ප්‍රධාන චරිත රඟපෑහ. මෙහි සංගීතයක් නොතිබීම විශේෂත්වයක් විය.

අත්තික්කා මල් පිපිලා' (1964) සතිස්ගේ ඊළඟ නාට්‍යයයි. මෙය සතිස්ගේ ස්වතන්ත්‍ර රචනයකි. වින්සන්ට් ප්‍රේමසිරි, අයිරාංගනී පෙරේරා, ගාමිණී ගනේගොඩ, ජේමිස් පෙරේරා, එච්. එස්. පේමේන්ද්‍ර මෙහි රඟපෑ අතර සංගීතවත් කළේ එකල නැඟී එන තරුණ ගායකයකු හා සංගිතඥයකු වූ වික්ටර් රත්නායකය. සතිස් පසුකලෙක 'මාතර ආච්චි' නමින් සිනමාවට නැංවූයේ මේ නාට්‍යයේ පිටපතය.

ජෝර්ජ් ඕවල්ගේ 'ද ඇනිමල් ෆාම්' නවකතාව ඇසුරෙන් තලංගම ප්‍රේමදාස පිටපත ලියු 'හොටබරි යුද්දේ' (1966) සතිස් නිෂ්පාදනය කළ තෙවැනි නාට්‍ය කෘතියයි.

ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතයෙන් ද සෝමබන්දු විද්‍යාපති ඇඳුම් නිර්මාණයෙන් ද, මිණිපුර රත්නසේකර ගමන් තාලවලින් ද මෙම නාට්‍යයට නිර්මාණාත්මකව දායක වූ අතර නළු නිළියන් රැසක් මෙහි රංග නිරූපණය කළහ. විජේරත්න වරකාගොඩ, සමන් බොකලවෙල, මොනිකා විරසිංහ, යු. ආරියවිමල්, ඩග්ලස් රණසිංහ, බුද්ධි වික්‍රම, චන්ද්‍රා කළුආරච්චි, කේ. ඒ. මිල්ටන් පෙරේරා, ෆීලික්ස් ප්‍රේමවර්ධන, අතුල සෝමසිරි, ග්‍රේස් ද සිල්වා (පසුව ග්‍රේස් ආරියවිමල්) මෙයින් කීප දෙනෙකි.

'හොටබරි යුද්දේ' දේශපාලන තේමාවකින් යුක්ත විය. මුල් කතුවර ජෝර්ජ් ඕවල් 'ද ඇනිමල් ෆාම්' නවකතාවෙන් කරනු ලැබුවේ රුසියාවේ සමාජවාදී පාලනය විවේචනය කිරීමයි. මේ නිසා 'හොටබරි යුද්දේ' නාට්‍යයට 'ඇත්ත' පත්‍රය දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. 'ඇත්ත' කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පතයි. ඔවුන් මේ ප්‍රහාරය එල්ල කළේ නාට්‍යය නොබලාය. 'ද ඇනිමල් ෆාම්' හි දේශපාලන දෘෂ්ටිය මේ නාට්‍යයේත් ඇති බවටය 'ඇත්ත' පත්‍රය උපකල්පනය කළේ. එහෙත් සතිස් තම නාට්‍යයෙන් ධනවාදී කඳවුර විවේචනය කළා මිස සමාජවාදයට පහර ගැසීමක් කළේ නැත. නාට්‍යයේ දේශපාලනය නිසා ඇති වූ ආන්දෝලනය හේතුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ටී. බී. ඉලංගරත්න වැනි දේශපාලනඥයෝ මෙම නාට්‍යය නරඹන්ට ආහ. නාට්‍යය නැරඹූ ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ මෙය ඉතා සාර්ථක නාට්‍යයක් බවය. නාට්‍යය දර්ශන වාර 100 ක් පමණ පවත්වන ලදී.

'හොටබරි යුද්දේ' ඉදිරිපත් කළේ මහජන කලා මණ්ඩලයයි. එය ලංකා සමසමාජ පක්ෂයට සබඳතා තිබූ සංස්කෘතික සංවිධානයක් විය. චන්ද්‍රා ගුණසේකර, ටී. බී. සුබසිංහ, රෙජී පෙරේරා, හෙන්රි ජයසේන, උපාලි වනසිංහ, පියසේන ගුණතිලක, උපසේන ගුණවර්ධන, හපුආරච්චි වෛද්‍යසේකර මෙහි සාමාජිකයෝ වූහ.

සරච්චන්ද්‍ර සමරක්කොඩිගේ පිටපතක් ඇසුරෙන් සතිස් 'තහංචි' (1968) නාට්‍යය නිෂ්පාදනය කළේය. එය ද නළු නිළියන් රැසක් රඟපෑ නාට්‍යයකි. සමන් බොකලවෙල, යූ. ආරිය විමල්, නන්දා ජයතුංග, අයිවෝ ඩෙනිස්, සරච්චන්ද්‍ර සමරක්කොඩි, ග්‍රේස් ද සිල්වා, සිරි කුලරත්න, කේ. ඒ. මිල්ටන් පෙරේරා, සරත් ගුණරත්න ඉන් කීප දෙනෙකි. ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතය මෙහෙය වූ අතර නැටුම් නිර්මාණ වසන්ත කුමාරගෙනි. මෙය ශෛලිගත නාට්‍යයක් විය.

'මාතර ආච්චි' චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසීමත් චිත්‍රපට නළුවකු වශයෙන් කාර්යබහුලවීමත් හේතුවෙන් 1968 'තහංචි' නාට්‍ය නිෂ්පාදනයෙන් පසු සතිස් වේදිකාවෙන් තාවකාලිකව සමු ගත්තේය. ඉන් පසු ඔහු යළි නාට්‍යකරණයට යොමු වන්නේ 1983 දී පමණ නිෂ්පාදිත 'සොක්කාමෝ රජානෝ' නාට්‍යයෙනි. මෙහි පිටපත දයාරත්න පෙරේරා (ජේ. ඒ. ඩී. පෙරේරා)ගෙනි. අසුව දශකයේ වේදිකාවේ සිටි අලුත් නළු නිළි පිරිසක් සමඟ සතිස් මෙම නාට්‍යයේ වැඩ කටයුතු කළේය. ප්‍රේමසිරි කල්පගේ, වසන්ත විට්ටච්චි, චන්ද්‍රසිරි කොඩිතුවක්කු, අරුණ චුල්ලසිරි, ආනන්ද අතුකෝරල මෙහි රඟපෑ අතර නවක නළු නිළි පිරිසක් ද මෙයට එකතු කර ගැනිණි. සංගීතය ඔස්ටින් මුණසිංහගෙනි. සෝමබන්දු විද්‍යාපති ඇඳුම් නිර්මාණය හා වේදිකා අලංකරණය කර ඇත.

අපායේ අවුරුදු' (1985) දයාරත්න පෙරේරාගේ පිටපතක් වූ අතර සතිස් එය නිෂ්පාදනය කළේය. මෙය හඳුන්වා ඇත්තේ රංග සංවාද සාදය ලෙසය. සතිස්, බුද්ධි වික්‍රම, ගාමිණී සමරකෝන්, ගීතා කාන්ති ජයකොඩි, අනුර බණ්ඩාර රාජගුරු, ඩීමන් හෙට්ටිආරච්චි, ආනන්ද අතුකෝරල ප්‍රධාන චරිත රඟපෑහ. සංගීතවත් කළේ අතුල සෝමසිරිය.

සතිස් හැටේ දශකයේදි නිෂ්පාදනය කළ නාට්‍යයත් සමඟ සසඳා බලන විට 'සොක්කානේ රජානෝ' සහ 'අපායේ අවුරුදු' යන නාට්‍ය කලාත්මක අතින් කොතෙක් දුරට සාර්ථක ද යන්න ගැටලුවකි.