වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




මේ මගේ තනි වෑයමක් නොවේ

මේ මගේ තනි වෑයමක් නොවේ

හොඳම කලා අධ්‍යක්ෂණය සම සම්මාන දිනූ අරුණ ධර්මපාල

33 වැනි සරසවිය සම්මාන උලෙළ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවැත් වුණේ අභිමානවත් අයුරින්. කාලයකට පසු සරසවිය සම්මාන උලෙළක අත්දැකීම ප්‍රවීණයන්ට පැරණි මතක අලුත් කරමින් මිහිරි මතකයන් බවට පත් වූ අතර නවකයන්ට සුන්දර නැවුම් අත්දැකීමක් ගෙන දුන්නා. සිනමා ක්ෂේත්‍රය තුළ එකම බලාපොරොත්තුව වූ සරසවිය සම්මානයක් හිමිකර ගැනීම ඔවුන්ගේ ඉදිරි සිනමා ගමනට විශාල ශක්තියක් වුණා. මෙලෙසින් සරසවිය සම්මානයකට හිමිකම් කී නවක පෙළ අතරේ අරුණ ධර්මපාල නම් කලාකරුවා විශේෂයි. මෙවර සරසවිය සම්මාන උලෙළේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනූ 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය සම සම්මානයක් ලෙසින් ඔහුත් හිමිකම් කීවා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙසින් සේවය කරන අරුණ තමා ලද කුළුඳුල් සරසවිය සම්මානය ගැන පැවසුවේ මෙලෙසින්.

"අපේ රටේ සම්මාන උලෙළ රාශියක් පැවතුනත් සරසවිය සම්මාන උලෙළක සම්මානයක් ලබා ගැනීම සිනමා ක්ෂේත්‍රයේ සිටින ඕනෑම නිර්මාණකරුවකුගේ එකම බලාපොරොත්තුවයි. අපේ රටේ සිනමාව වෙනුවෙන් තිබෙන පැරණිතම වගේම අභිමානවත් සම්මාන උලෙළ වෙන්නෙත් සරසවිය සම්මාන උලෙළයි. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ කටයුත්ත වෙනුවෙන් මටත් සරසවිය සම්මානයක් හිමිවීම මගේ කලා ජීවිතයේ ලද ප්‍රීතිදායකම අවස්ථාවක්.

ඒ වගේම තවත් කාරණයක් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මේ කටයුත්ත මගේ තනි ව්‍යායාමයක ප්‍රතිඵලයක් නෙවෙයි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කරන විද්‍යාර්ථින් රැසකගේ දායකත්වයෙන් ලද සාමුහික ජයග්‍රහණයක්. මේ සරසවිය සම්මානයේ ගෞරවය ඒ විදයාර්ථින්ටත් අයිතියි."

මේ වෙනුවෙන් අවස්ථාව ලැබුණේ කොහොමද?

චිත්‍රපට අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරි අපේ විශ්වවිද්‍යාලයේ දේශනයකට පැමිණි අවස්ථාවකදී ඇති වූ සංවාදයකදී ඔහු 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සමස්ත කලා අධ්‍යක්ෂණ කටයුත්ත භාර ‍දෙන්න මගෙන් විමසුවා. නමුත් එහිදී මගේ මනාපය වුණේ මගේ ඉසව්වට පමණයි. ඒ අනුව 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණ කටයුත්තේ ඇඳුම් පැළඳුම් නිර්මාණ කටයුත්ත භාර ගත්තා.

‍මම ඒ වෙනවිට අපේ රටේ සාම්ප්‍රදායික ඇඳුමේ විකාශනය ගැන ප‍ර්යේෂණයක නියැළි සිටියා. මේ වෙනකොට සබරගමුවේ සිට මහනුවර දක්වා දැනට ඇඳුම් වර්ග දහඅටක් සොයා ගෙන තියෙනවා. අද අපේ රටේ සාම්ප්‍රදායික කාන්තා ඇඳුම විදියට සළකන්නේ ඔසරිය පමණයි. නමුත් ඊට අමතරව අපට තවත් ඇඳුම් දහඅටක් සොයා ගන්න අපේ සෞන්දර්ය හැකි වෙලා තියෙනවා. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ සුදුසු ස්ථානයන්හිදී අපට ඒ නිර්මාණ භාවිත කරන්න හැකි වුණා.

ඔබේ පර්යේෂණ කටයුත්තට අමතරව මෙහිදි වෙනත් ඉසව් සොයා යන්නත් සිදු වෙන්න ඇති?

අපේ රටේ මහරජ ලෙසින් සළකන්නේ දුටු ගැමුණු මහරජතුමා. දුටුගැමුණු රජු ප්‍රමුඛ රාජ සභාව ප්‍රබලයි. ඉතිං ඒ වෙනුවෙන් මට ලංකාවේ කිරීටය ප්‍රතිනිර්මාණය කරන්න සිදු වුණා. එතැනදී බුදු දහමේ බලපෑම විශේෂයි. ඒ වෙනුවෙන් පන්සලේ සඳකඩ පහනේ සිට සියලුම කැටයම් පිළිබඳ අපි හොඳීන් අධ්‍යයනය කළා. එතැනදී රජමහ විහාර, අනුරාධපුර ජේතවන කෞතුකාගාරය, ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආදි ස්ථානවලින් ලද සහය සුවිශේෂයි. ඒ අනුව දුටුගැමුණු රජතුමාගේ රාජකීය ඇඳුම්, ආභරණ, ආයුධ වගේම ඔටුන්න ආදිය අපි ඒ කැටයම් වාත්තු කරලා තමයි නිර්මාණය කළේ. ඔටුන්න නිර්මාණයට පමණක් රුපියල් හැත්තෑපන්දහසකට අධික මුදලක් වැය කරන්න සිදු වුණා.

මේ කටයුත්ත වෙනුවෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් දායකකර ගැනීම පිළිබඳ, ආචාර්යවරයකු ලෙසින් ඔබේ අදහස ?

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය ලබන විද්‍යාර්ථින් වගේම උපාධිය ලබා පිට වූ අය ඇතුළුව විසි දෙනෙකුගේ කණ්ඩායමක් මා සමඟින් මේ කටයුත්තට දායක වුණා. මේ නිසා මෙරට විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ට මේ වැනි නිර්මාණ වෙනුවෙන් දායක වෙන්න අවස්ථාව ලැබීම වටිනා අවස්ථාවක්. ඒ ඔස්සේ දරුවන්ට තම හැකියාවන් දක්වන්න අවස්ථාවක් ලැබෙනවා සේම සිනමාවට නව මාවතක් විවර වෙනවා. ඒ සමඟින් අපේ සිනමාවට තව තවත් අගනා නිර්මාණ බිහි කරන්න ලොකු ඉඩක් වෙන්වෙනවා. 'මහරජ ගැමුණු' චිත්‍රපටයේ නිෂ්පාදකවරයා මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

මේ නිර්මාණ කටයුත්තේදී දුෂ්කර අභියෝගවලට එහෙමත් මුහුණ දෙන්න ඇති?

'මහරජ ගැමුණු' චිත්‍රපටයේ ඇතැම් දර්ශනතල පිහිටා තිබුණු බොහොමයක් ස්ථාන ඉතාම දුෂ්කර ප්‍රදේශයන්වල. මාවනැල්ලේ සිට, රිවර්ස්ටන් හරහා දඹුල්ල, අනුරාධපුර ප්‍රදේශ අවට මාස තුනක පමණ කාලයක් රූගත කිරීම් යෙදි තිබුණා. ඇතැම් දිනවලට ප්‍රධාන ඇඳුම් දෙදහසක් පමණ අන්ඳවන්න සිදු වුණා. ඒ වෙනුවෙන් අපට ලොකු පරිශ්‍රමයක් දරන්න සිදු වුණා.

මේ කටයුත්ත අවස්නායේදී ලද සරසවිය සම්මානයේ සතුට සමඟින් සිහිපත් කරන්න සුවිශේෂි පුද්ගලයන් කවුරුන්ද?

මුලින්ම ප්‍රවීණ කැමරා ශිල්පී පරාක්‍රම සිල්වා මහතා සිහිපත් කළ යුතුයි. මම මුලින්ම එතුමා ළඟ කැමරා ශිල්පියකු ලෙසින් කටයුතු කළා. ඒ අත්දැකීම් මගේ කලා ජීවිතයට ලබා දුන්නේ විශාල සවියක්. ඒ වගේම මම නාට්‍යකරණය හැදෑරුවේ ලද රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේදීයි. විශ්වවිද්‍යාලයට පැමිණි පසු මා දැනුමෙන් පෝෂණය කළ ආචාර්ය මඬුල්ලේ සරත් සුරසේන මහතා සිහිපත් කළ යුතුයි. 'මහරජ ගැමුණු' අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි වගේම නිමල් ෆ්‍රැන්සිස්, ගයාන්,ජැක්සන් ඇන්තනි, බුද්ධදාස ගලප්පත්ති, කුසුම් රේණු, උද්දික ප්‍රේමරත්න, රොහාන් සමරදිවාකර ඇතුළු සියලු දෙනාගෙන්ම ලද සහයෝගයත් සිහිපත් කරනවා.

ඔබේ දාකත්වය ලැබෙන අනෙකුත් නිර්මාණ මොනවාදැයි සඳහන් කළොත්?

දැනට 'ගැමුණු මහරජ' ටෙලි නිර්මාණයේ ඇඳුම් නිර්මාණ කටයුත්ත සිදු කරන්නේ ම' විසින්. ඒ නිර්මාණ කටයුත්තත් බොහොම සාර්ථකව ඉටු කරමින් සිටිනවා.

'මහරජ ගැමුණු' චිත්‍රපටයේදී ඔබේ දායකත්වය ලැබුනේ, ඇඳුම් නිර්මාණ කටයුත්ත වෙනුවෙන් පමණයි. ඔබ සිනමා නිර්මාණයක සම්පූර්ණ කලා අධ්‍යක්ෂණයක් ඉටු කරන්නේ කවදාද?

කලා අධ්‍යක්ෂණය සිදු කරන්න මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි වගේ නිර්මාණකරුවන් සමඟින් කටයුතු කරන්නත් පහසුයි. නමුත් මම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් නිසා නිවාඩු ලබා ගැනීමේ අපහසුතා ඇතිවෙනවා. මොකද සිනමා නිර්මාණයක කලා අධ්‍යක්ෂණයක් වෙනුවෙන් මාස හයක පමණ විශාල කාලයක් ඒ වෙනුවෙන් වෙන් කළ යුතු වෙනවා. එතැනදී අපි නිර්මාණයේ ගුණාත්මක බව ගැන මූලික අවධානය යොමු කළ යුතුවීම සමඟින් සංකීර්ණ ගැටළු ඇති වෙනවා. ඒ නිසා බොහොම අවධානයෙන් ඒ වෙනුවෙන් දායක විය යුතු වෙනවා. නමුත් ඉදිරියේදී අධ්‍යක්ෂණයට පිවිසෙන්න නම් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් මට පරිණත වෙන්න තව ටික කාලයක් ගත වේවි.