වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




දවසින් දවස සරිගම ට ප්‍රතිචාර වැඩියි

දවසින් දවස සරිගම ට ප්‍රතිචාර වැඩියි

ආචාර්ය සෝමරත්න දිසානායක

‘සූරිය අරණ’, ‘සරෝජා’, ‘පුංචි සුරංගනාවි’, ‘සිරි රජ සිරි’, ‘බින්දු’, ‘සමනල තටු’, ‘සිරි පැරකුම්’ ආදී නිර්මාණ රැසක් සිනමා ප්‍රේක්ෂකයන් වෙත රැගෙන පැමිණි ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමාපටය ‘සරිගම’යි. මේ දිනවල රීගල් ප්‍රමුඛ රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවල සාර්ථක ලෙස තිරගත වන ‘සරිගම’ පවුලේ සියලුදෙනාට ම නැරැඹිය හැකි චිත්‍රපටයකි. කවදත් සිනමාවට ආදරය කරන ඔහු කලක් සිනමාවෙන් සමුගැනීමට ද තීරණය කර සිටි අයෙකි. එහෙත් ඒ ප්‍රශ්න විසඳුණු කල්හි නැවතත් සිනමා වෙත පිය නඟන සෝමරත්න දිසානායක පසුගිය කාලයේ රූපවාහිනියේ සභාපති ලෙස ද පත් වී සිය ධුරයෙන් ඉල්ලා අස් විය. මේ ඉඩහසර වෙන්වන්නේ සරසවිය ‘සරිගම’ චිත්‍රපටය පිළිබඳ ආචාර්ය සෝමරත්න දිසානායක සමඟ කළ සාකච්ඡාවක් සඳහායි.

අද වනවිට ඔබගේ ‘සරිගම’ චිත්‍රපටය තිරගතවීම ආරම්භ කර සති කිහිපයක් ගතවෙලා.

දවසෙන් දවස ලැබෙන සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වැඩියි. ක්‍රමයෙන් සිනමා ප්‍රේක්ෂකයන් වැඩිවන එක මගේ චිත්‍රපටවල හැටියක්. ‘සරිගම’ චිත්‍රපටයටත් ඒක පොදුයි. චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළ කාලයේ අපට බාධක රැසක් තිබුණා. වැස්ස, වර්ජන, නත්තල් කාලය ආදී විවිධ බාධක රැසක් මැදයි ‘සරිගම’ චිත්‍රපටය තිරගත වුණේ. ඒ වගේ ම දෙසැම්බර් මාසය මිනිස්සු වැඩිපුර චිත්‍රපට නරඹන කාලයකුත් නොවෙයි. එහෙම වුණත් මේ සියලු බාධක මැද මිනිස්සු චිත්‍රපට නරඹනවා කියලා දැනුණේ ‘සරිගම’ චිත්‍රපටය නරඹන්න මිනිස්සු එන්න පටන් ගත්තාට පසුවයි. අලුත් අවුරුද්දේ පාසල් වාරය ආරම්භ කළාත් සමඟ ම මේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ පැමිණීමේ ප්‍රමාණය දෙතුන් ගුණයකින් වැඩිවනු ඇති බවයි අප සිතන්නේ.

සුපුරුදු විදියට ම ඔබගේ චිත්‍රපටය දිගු කාලයක් තිරගත වනවා. මෙවරත් ඒ ආකාරයට ම සිදුවේවි කියලා ඔබ අනුමාන කරනවා ද?

කොහොමත් මගේ චිත්‍රපට දින සියයක් දුවනවා නේ. ඒ නිසා මිනිස්සු සිනමා පටය නරඹන තාක්කල් චිත්‍රපටය සිනමා ශාලාවල තිරගත වේවි. දැනටමත් කොළඹ වගේ ම පිටපළාත්වලත් ‘සරිගම’ චිත්‍රපටය තිරගත වෙනවා. පළමුවෙන් ම අපට තිබුණු ඉල්ලුමේ හැටියට බලාපොරොත්තු වුණේ සිනමා ශාලා හැත්තෑවක පමණ ‘සරිගම’ චිත්‍රපටය තිරගත කිරීමටයි. එහෙත් මේ වනවිට ‘සරිගම’ චිත්‍රපටය තිරගත වන්නේ සිනමා ශාලා පනහකට ආසන්න සංඛ්‍යාවක පමණයි.

එලෙස ‘සරිගම’ චිත්‍රපටය තිරගත වන සිනමා ශාලා ප්‍රමාණය අඩු වීමට විශේෂ හේතුවක් බලපෑවා ද?

මම කොන්දේසියක් දැම්මා නේ ඩිජිටල් තාක්ෂණයෙන් යුක්ත සිනමා ශාලා සඳහා පමණයි මගේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ලබාදෙන්නේ කියලා. ඒ කොන්දේසිය මා දැම්මේ සිතාමතාමයි. ඒ අපේ සිනමා ශාලා හැදෙන්න උවමනා නිසයි. සිනමා ශාලා අලුත් විය යුතු නිසාමයි. ඇතැම් අපේ සිනමා ශාලා හිමියෝ මුදල් වියදම් කර සිනමා ශාලාව හැදීමට අකැමැතියි. ඔවුන් තවමත් කැමැත්තක් දක්වන්නේ පරණ මිලිමීටර් තිස්පහේ රීල් එකෙන් චිත්‍රපටය දුවවන්නටයි. ඒ අදහස නිවැරැදි කළ යුතු නිසාමයි මා එවැනි තීරණයකට පිවිසියේ.

ඔවුන් ඒ කොන්දේසියට ප්‍රතිචාර දැක්වූයේ කුමන ආකාරයෙන් ද?

මගේ ‘සරිගම’ චිත්‍රපටය ගන්න උවමනා නිසා ම පසුගිය කාලයේ සිනමා ශාලා තිහක් පමණ අලුතෙන් ඩිජිටල්කරණය වුණා. මේ ජයග්‍රහණය මා සිතන්නේ ‘සරිගම’ ජයග්‍රහණයක් නොවෙයි. දේශීය සිනමාවේ ජයග්‍රහණයක්. සිනමා ශාලා අලුත් තාක්ෂණයට පිවිසෙනවා කියන්නේ මුළු සිනමා ක්ෂේත්‍රයට ම සැලසුණු වාසියක් ලෙසයි මා නම් දකින්නේ.

නමුත් ඩිජිටල් තාක්ෂණයෙන් යුතු සිනමා ශාලා නවීකරණයට සිනමා ශාලා නිර්මාණය කරමින් පවතිනවා යන්න පසුගිය කාලයෙත් කියැවුණු පුවතක් නේද?

ඩිජිටල් තාක්ෂණය ගැන හැමදෙනා ම කතා කරමින් සිටියත් කිසිවකුත් එය ක්‍රියාත්මක කරන්නේ නැහැ. රජය හෝ සංස්ථාව තබා පෞද්ගලික අංශයවත් මේ සඳහා මැදිහත් වන්නේ නැහැ. සිනමා ශාලා හිමියනුත් සිනමා ශාලා නවීකරණය කිරීම දිනෙන් දින ම කල් දැමුවා. ඒ නිසා මේ නවීකරණය වීම කෙසේ හෝ කවදා හෝ සිදුවිය යුතුයි. මා මගේ චිත්‍රපටයට තිබෙන ජනප්‍රියත්වය ලංසුවට තබා ඒ කොන්දේසියට ගියා.

ඔබ ගත් ඒ කොන්දේසිය නිසා ඔබට සිදුවුණේ පාඩුවක්?

පෞද්ගලිකව ඒ කොන්දේසිය මට පාඩුයි. මේ වනවිට මා මිලිමීටර් තිස්පහේ පිටපත් ගසලා දුන්නා නම් අදටත් වඩා සිනමා ශාලා විසිපහක්, තිහක් පමණ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට එකතු වෙනවා. එවිට ‘සරිගම’ ප්‍රදර්ශනය කරන සිනමා ශාලා ප්‍රමාණය හැත්තෑව ඉක්මවනවා. අදටත් මට කතා කරමින් සමහර සිනමා ශාලා හිමියන් පවසන්නේ මිලිමීටර් තිස්පහේ පිටපත් ලබාදෙන්න යන්නයි. එපමණක් නොවෙයි, ඔවුන්ගේ වියදමින් පිටපත් ගසා ගන්නම් චිත්‍රපටය ලබා දෙන්න යන්නයි. එහෙම පැවසුවත් මා ඔවුන්ට චිත්‍රපටය ලබා දෙන්නේ නැහැ.

ඔබ ඔය පවසන්නේ සිනමා ශාලා ඩිජිටල් තාක්ෂණය කරා පියමනින්නට උනන්දු වුණේ ඔබගේ චිත්‍රපටය නිසා කියලාද?

මගේ චිත්‍රපටය ගන්න උවමනා නිසා ම ඩිජිටල් තාක්ෂණයට ගිය සිනමා ශාලා බොහොමයි. ඒ වනතුරුත් සිනමා ශාලා හිමියන් සිටියේ දෙගිඩියාවෙන්. ඒ සිනමා ශාලා ඩිජිටල්කරණය කළ යුතු ද නැද්ද කියලා. මගේ චිත්‍රපටය නරඹන්න සිනමා ප්‍රේක්ෂකයන් එන බව සිනමා ශාලා හිමියන් දන්නවා. ඒ මඟින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් කියන කාරණයත් ඔවුන් දැනගෙන සිටියා. ඒ විශ්වාසය ඔවුන්ට තිබුණා. එහෙත් සමහර ශාලා හිමියන් තවමත් මේ තාක්ෂණයට පිවිස නැහැ. නමුත් ඔවුන්ටත් කවදා හෝ ඉදිරි දිනකදි ඒ තාක්ෂණය වෙත පියනඟන්න සිදුවේවි. එහෙම නොවුණොත් ඔවුන්ට තමන්ගේ සිනමා ශාලාව වසා දැමීමට සිදුවේවි. ඒ පැරැණි තාක්ෂණයෙන් ඉදිරියේ දී චිත්‍රපට නිෂ්පාදනය නොවන නිසයි.

‘සරිගම’ චිත්‍රපටයේ මරියාගේ චරිතයට ඔබ තෝරා ගන්නේ පූජා උමාශංකර්වයි. වර්තමානයේ සිටින හුරුබුහුටි නිළියක් ව තෝරා නොගෙන ඔබ මරියාගේ චරිතයට පූජාව ම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණා ද?

මේ චිත්‍රපටයේ පිටපත අනුවර්තනය කරද්දි ම මට තිබුණු ප්‍රධාන අභියෝගය තමයි කවුද මරියාගේ චරිතය කරන්නේ කියන කාරණය. මේ චරිතයේ තිබෙන සුන්දර බව, දඟකාර බව, කටකාරකමට වඩා ඒ චරිතය රඟපාන නිළියට හොඳ රංගන ප්‍රතිභාවක් තිබිය යුතුයි. ඇගේ තිබෙන දඟකාර බව, කටකාරකමට අමතරව විවිධ මනෝභාවවලට යන, විවිධ හැඟීම් ප්‍රකාශ කරන සංකීර්ණ චරිතයකුයි මරියා කියන්නේ. මේ චරිතයට නියම විදියට යන්නේ පූජා බවයි මගේ මතකයට පිවිසුණේ. ඈ ළඟ මේ කියන ලක්ෂණ තිබෙන බව මා දැනගෙන සිටියා. ඇගේ හැඩරුව, කතා විලාසය, රංගන කුසලතාව ඒ සියල්ල මරියාට නියම අයුරින් ගැළපුණා. නමුත් ඇගේ රංගන කුසලතාවෙන් අපේ රටේ නිර්මාණ නියම විදියට වැඩක් ගත්ත ද කියන ප්‍රශ්නය මට තිබෙනවා. ඒත් ඈට හොඳට රඟපෑමට හැකි බව මා දැනගෙන සිටියා. ඒ බව මා දන්නේ මීට පෙරත් නිර්මාණ කිහිපයකදි ම ඈ සමඟ වැඩ කරලා තිබුණු නිසයි. ඈව අධ්‍යයනය කළ නිසයි මා එසේ පවසන්නේ.

ඒ නිසා ම ඔබ මරියාගේ චරිතයට පූජාව තෝරා ගත්තා?

‘සරිගම’ තිරරචනය ලියද්දිම මගේ සිතේ මැවුණේ පූජාවයි. ඒ නිසා ඒ චරිතය ලියද්දි පූජා සිටි නිසා මා කිසිම බියක් ඇතිකර ගත්තේ නැහැ. මම මෙහෙම කියන්නේ අපේ නිළියන් අවතක්සේරු කිරීම සඳහා නොවෙයි. මේ චරිතය සඳහා පූජා අබිබවා යන වෙන නිළියක් ගැන මට සිතන්නවත් පුළුවන් වුණේ නැහැ. චිත්‍රපටය නැරැඹුව බොහෝදෙනා කියන්නේත් මේ චරිතය පූජා සඳහා ම බිහිවුණු චරිතයක් කියලා. පූජා ඇරුණා ම මේ චරිතය කවුරුන් කරයි ද කියලා අපට සිතා ගන්නවත් බැරි බවයි විචාරකයන් පවා පවසන්නේ. මා සිතනවා ඈ මේ චරිතයට උපරිමයෙන් සාධාරණයක් ඉටුකරලා තිබෙන බව.

ඔබ ‘සරිගම’ චිත්‍රපටය සඳහා පාදක කරගෙන තිබෙන්නේ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ කියන ලෝ පතළ සිනමාපටය බව පෙනෙනවා. ‘සරිගම’ සිංහල ප්‍රේක්ෂකයා හමුවට පැමි‍ණෙන්නේ අනුවර්තිත තිරරචනයක් ලෙස ද?

මේ නිර්මාණය ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටය නොවෙයි. ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයත් මුල් කෘතියක ආභාසය ලැබුව අනුවර්තනයක්. මෙහි මුල් කෘතියේ තිබෙන්නේ මරියා වොන් ට්‍රැප් කියන ලේඛිකාවගේ ජීවිත කතාවයි. ඔස්ට්‍රියාවේ සිටි කාන්තාවක වන ඈ 1949 වසරේදියි ඒ කෘතිය එළිදක්වන්නේ. එය නම් වන්නේ ‘ද වොන් ට්‍රැප් ෆැමිලි සින්ග්ර්ස්’ කියන නමින්. මේ ජීවිත කතාව පාදක කරගෙන ලෝකයේ විවිධ රටවල විවිධ භාෂාවලින් නිර්මාණ රැසක් බිහිවුණා. වේදිකා නාට්‍ය, සංගීත ප්‍රසංග, රූපවාහිනි වැඩසටහන්, චිත්‍රපට තුන, හතරක් ඒ අතර වෙනවා. මේවා අතරින් වඩාත් ම ප්‍රසිද්ධියට පත්වුණේ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයයි. එහෙත් ‘සරිගම’ කියන්නේ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයේ අනුවර්තනයෙන් අභාසය ලැබූ නිර්මාණයක් නොවෙයි.

එහෙම නම් ඔබ ‘සරිගම’ චිත්‍රපටය සඳහා ආභාසය ලැබූ බව පවසන්නේ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයේ මුල් කෘතියෙන් ද?

‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටය සඳහා යොදාගත් මුල් කෘතිය මා පරිශීලනය කරන්නේ එක්දහස් නවසිය ගණන්වලදී. ඒ සිනමාකරණය පිළිබඳ මගේ එම්.ඒ උපාධිය කරන කාලයේදියි. සාහිත්‍ය සිනමාව පෙරළීම කියන මාතෘකාව යටතේ නිබන්ධනයක් සැකසීමයි මට එහි තිබුණු ව්‍යාපෘතියක් වුණේ. මා මේ සඳහා පාදක කරගත්තේ මරියාගේ ‘ද වොන් ට්‍රැප් ෆැමිලි සින්ග්ර්ස්’ කියන ජීවිත කතාව ලියැවුණු මුල් කෘතියයි. මේ කතාව ආශ්‍රිතව ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටය හැදුණේ කොහොම ද? කියන එකයි මගේ ගවේෂණය වුණේ. ඒ හරහා මෙහි මුල් පොත හා චිත්‍රපටය යන නිර්මාණ දෙක ම මා ගැඹුරින් අධ්‍යයනය කළා. ඒ අතරතුරදියි මේ නිර්මාණයෙන් කවුරු හෝ චිත්‍රපටයක් කරනවා නම් යන සිතුවිල්ල මගේ සිතේ ඇතිවුණේ. ඒ කාලයේ නම් චිත්‍රපට කරන්න මගේ සිතකවත් තිබුණේ නැහැ. නමුත් පසු කාලයේ මා අධ්‍යක්ෂණයට පිවිසෙනවා. ඒ ලබාගත් අත්දැකීම් අනුව මරියාගේ මුල් කෘතිය ඔස්සේ නිර්මාණයක් කිරීමට සුදුසු ම කාලය මේ යැයි මට සිතුණා. එය පාදක කරගෙන, එහි වස්තුබීජය අරගෙන, මුල් කෘතියේ තිබුණු සමහර දේවල් ඉවත් කරමින් අපේ රටට උචිත අයුරින් සැකසුණ අලුත් අනුවර්තනයක් තමයි ‘සරිගම’ කියන්නේ. එහෙම නැතිව ‘සරිගම’ චිත්‍රපටය කොපියක් ලෙස හැඳීන්වීම වැරැදියි.

‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයේ අවසන් කොටස ‘සරිගම’ චිත්‍රපටයේ නොමැති වුණත්, ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටය හා ‘සරිගම’ චිත්‍රපටය වෙනස් වන්නේ බොහොම සුළු සුළු කාරණාවලින්. ඒ නිසා ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටය නැරැඹූ සිනමා ප්‍රේක්ෂකයන් සිතන්නේ ‘සරිගම’ එහි කොපියක් බවයි?

නමුත් ඒ කිසිවෙකුත් මේ නිර්මාණ සඳහා පාදක වුණු මුල් කෘතිය කියවලා නැහැ. ඒ කෘතිය කියැවූ අයට දැනෙයි ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයේ තියෙන්නේ ඒ මුල් කෘතියේ තිබෙන සෑම ජවනිකාවක් ම කියලා. උදාහරණයක් විදියට මුල් කෘතියේ තිබෙනවා නම් ළමයින් ජලාශයක බෝට්ටුවකින් යනවා කියලා, අපිත් කොහේ හරි ජලාශයක ඔරුවකින් හරි යන දර්ශනයක් ගන්න ඕනෑ. ඉතිං ඒක ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටයෙත් තිබෙනවා. ‘සරිගම’ නරඹද්දි ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ නැරැඹූ අයට මේ කොටස පෙනෙනවා. හැබැයි මුල් පොත කියැවූ අයෙක් සිතයි රොබට් වයිස් ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ කරලා තිබෙන්නෙත් පොතේ තිබුණු ඒවා ඒ විදියට ම කොපි කරලා කියලා. එය එසේ විය යුතුයි. එහෙම නොවුණොත් ඒ පොතට යම් නිර්මාණකරුවකු කරන්නේ අසාධාරණයක්.

මරියාගේ ‘ද වොන් ට්‍රැප් ෆැමිලි සින්ග්ර්ස්’‍ ජීවිත කතාව අවසන් වන්නේ ‘සවුන්ඩ් ඔෆ් මියුසික්’ චිත්‍රපටය අවසන් වන ආකාරයෙන්. ඔබ ඒ කොටස ‘සරිගම’ චිත්‍රපටයෙන් ඉවත් කරන්නේ ඇයි?

මට උවමනා නම් ඒ කොටස ‘සරිගම’ චිත්‍රපටය සඳහා ගළප්පවා ගන්න හොඳ අවස්ථාවකුත් තිබුණා. ඊට දේශපාලන මුහුණුවරක් දිය හැකිව තිබුණා. මුල් කෘතියේ අවසන් වන්නේත් එවැනි දේශපාලන මුහුණු වරක් ඒ නිර්මාණයට ලබාදීමෙන්. ඒත් මා ඒ සිදුවීම ප්‍රතික්ෂේප කළා. ‘සරිගම’ චිත්‍රපටයේ මෙන් මේ චිත්‍රපට කතාව අවසන් කිරීමට සිතුවා. මුල් කෘතියේ දී මා දකින්නේ මරියාගේ හා දරුවන්ගේ, කැප්ටන්ගේ අතර තිබෙන මානුෂීය සම්බන්ධයයි. ඒ මානව සබඳතාවයි මේ නිර්මාණයේ දී ප්‍රධාන වන්නේ. මේ තිබෙන මානව සබඳතා අතරට, දේශපාලන සබඳතාවක් ගෙනාවට පස්සේ ගොඩනැඟෙන මානව සබඳතාව කැඩෙනවා. මුල් කෘතියේ හා චිත්‍රපටයේ තිබෙන අඩුවක් ලෙසයි මා ඒ කාරණය දකින්නේ. එය කතාවේ ගලායෑමට යම් බාධාවක්. මේ දුටු නිසාමයි මා මගේ නිර්මාණයේ දී ඒ කොටස ඉවත් කරන්නේ.

ඔබ මෙතෙක් සිනමා ප්‍රේක්ෂකයන් හමුවට රැගෙන පැමිණියේ ස්වතන්ත්‍රයි. අලුත් ම නිර්මාණය අනුවර්තනයක්. ඒ සඳහා ඔබ ‘ද වොන් ට්‍රැප් ෆැමිලි සින්ග්ර්ස්’ නම් මුල් කෘතිය ම තෝරා ගන්න විශේෂ හේතුවක් තිබුණා ද?

මුලින් ම මා මෙය අධ්‍යයනය කළ විෂයක්. ඒ කාරණය වගේ ම ඒ නවකතාවට මගේ තිබුණු කැමැත්තත් මේ නිර්මාණය කරන්න හේතුවුණා. අනෙක් කාරණය නම් මෙය සංගීතමය චිත්‍රපටයක්. සංගීතය තුළිනුයි කතාව ගලා යන්නේ. මරියා වොන් ට්‍රැප් කියන්නේත් සංගීතමය චරිතයක්. ඇය වටා ඉන්නේ සංගීතමය ළමයි. ඇය ළමයින්ට සංගීතය උගන්වනවා. කැප්ටන් සංගීතය දන්න, ගීත ගයන්න පුළුවන් ගායකයෙක්. මේ අය එකතු කරගෙන සංගීතමය චිත්‍රපටයක් හදන්න මට ලොකු ආසාවක් තිබුණා. කොතැනද මොන කතාවද පාදක කර ගන්නේ කියලා මට නිශ්චිත තීරණයක් තිබුණේ නැහැ. ඒ සඳහා අවශ්‍ය පසුබිම මරියාගේ ජීවිත කතාවේ තිබුණා. එය අපේ රටට උචිත ආකාරයෙන් අනුවර්තනය කර ගැනීමේ හැකියාව එහි තිබුණා. ‘සරිගම’ චිත්‍රපටයේ ගීත දහතුනක් තිබෙනවා. ඒ සඳහා මා අලුත් ම ගී තනු හා ගී පදමාලා භාවිත කළා. මෙලෙස මුල් කෘතියේ වූ විශ්ව සම්භාව්‍ය වටිනාකමත්, සංගීතමය රසවත් භාවයයි අනුවර්තනයක් කරන්න මගේ සිත පෙලඹෙව්වේ.

ඔබ වෙළෙඳ පොළ ක්‍රමවේදය හොඳීන් හඳුනාගෙන කටයුතු කරන බවයි අපට පෙනෙන්නේ?

ඕනෑ ම නිර්මාණකරුවකු වෙළෙඳ පොළ හඳුනා ගත යුතුයි. වෙළෙඳ පොළ කියන්නේ මොකක් ද? වෙළෙඳ පොළ කියන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය දේ ලබාදීමයි. එතැනදි විය යුත්තේ ඔවුන්ට අවශ්‍ය දේ කියලා විකිණෙන දේ ලබාදීම නොවෙයි. අන්න එතැනයි එහි වටිනාකම රඳා පවතින්නේ. මුදල් ඉපයීම පමණක් ඉලක්ක කරගෙන නිර්මාණ කරනවා නම් මට චිත්‍රපට හදන්න උවමනා නැහැ. මුදල් ඉපයීම මගේ ඉලක්කය නොවෙයි. නමුත් මගේ නිර්මාණවලින් මුදල් ලැබෙනවා නම් ඒක ආශිර්වාදයක්. මගේ රටේ මිනිස්සුන්ගේ රසඥතාව ගැන මා දන්නවා. මොකද මමත් ඔවුන් අතර හැදුණු වැඩුණු කෙනෙක්. ඒ නිසා ඔවුන්ගේ ඒ රසඥතාවට හානියක් නොකර, ඔවුන්ට නරක දෙයක් නොදී, යහපත් දෙයක් ලබාදීම මඟින් මා කිසියම් විදියක ව්‍යාපාරික සාර්ථකත්වයක් ලබනවා යැයි සිතන්න. එය මගේ නොවෙයි, සිනමාවේ හා කලා ක්ෂේත්‍රයේ යහපතක් ලෙසයි මා දකින්නේ.

‘සරිගම’ චිත්‍රපටයේ ගීත දහතුනේ ම සංගීත නිර්මාණය කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයි. මෙහි ගීත නිර්මාණය වන්නේ කෙසේ ද?

මෙහි ගීත නිර්මාණය ගැන රෝහණ වීරසිංහයන් සමඟ කතා කරන්නේ චිත්‍රපටය කිරීමට වසරකට කලින්. ඒ අනුව ගීත නිර්මාණය වන්නේ චිත්‍රපටය රූගත කරන්න කලින්. සාමාන්‍යයෙන් මගේ චිත්‍රපටවල ගීත නිර්මාණය වන්නේ රූ ගත කිරීමේ අදියරෙන් පසුවයි. ඒ කාරණය මේ චිත්‍රපටයේ දී වෙනස් වුණා. එනම් මෙය සංගීතමය චිත්‍රපටයක් නිසාමත්, රූ ගත කිරීම්වලදි ගීත අවශ්‍ය නිසාත්. මුල් නිර්මාණවල සංගීතය මේ සඳහා යොදා නොගෙන, ගී පද බැඳුණේ දේශීයත්වයට මුල්තැන දෙමින්. මෙහි තිබෙන ගීතවලට හොඳීන් ඇහුම්කන් දුන්නොත් ජන ගායනා, වන්නම්, නැළවිලි ගීත ආදී දේශීය නාද රටා හඳුනා ගන්න යමකුට පුළුවන්. සංගීත නිර්මාණය කිරීමේදී මගේ අවශ්‍යතාව ගැන මා රෝහණ වීරසිංහට කිව්වා. ඒවා ගැන අප දෙදෙනා හුඟක් කතිකා කරලා, වාද කරලා, සංවාද කරලා බොහොම එකමුතුවකිනුයි ගීතවල සංගීතය නිර්මාණය වුණේ. රෝහණ වෙනත් කිසිම චිත්‍රපටයකට නොයෙදුව කැපකිරීමක් මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය සඳහා යෙදුවා. මෙහි ගීත නිර්මාණය කිරීම සඳහා පමණක් අපට චිත්‍රපට දෙකක් හදන සල්ලි වැයවුණා. ගීත ගැයුවේ විශාරදයන් පස්දෙනෙක්. ඒ නන්දා මාලිනී, එඩ්වඩ් ජයකොඩි, උරේෂා රවිහාරි, ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක යන ගායන ශිල්පීන් හා ශිල්පිනියන්. ඒ ගීත සිනමා ක්ෂේත්‍රයට නොවෙයි සංගීත ක්ෂේත්‍රයට එකතු වන හොඳ ගීත කිහිපයක් ලෙසයි මා දකින්නේ.

‘සරිගම’ චිත්‍රපටය ඔස්සේ ඉදිරිපත් කරන රූප රාමු සකසන්නේ බොහොම සෞන්දර්යාත්මකවයි. ඒ සෞන්දර්යාත්මක බව වගේ ම චිත්‍රපටයේ රඟන නළු - නිළියන් පිළිබඳත් යමක් කියමු ද?

‘සරිගම’ චිත්‍රපටය සඳහා ශ්‍රී ලංකාවේ පුරා ම දර්ශන තල භාවිත වුණා. මහනුවර, අනුරාධපුර, හපුතලේ, නුවරඑළිය, කළුතර, මස්කෙළිය කියන දිස්ත්‍රික්ක ඒ අතරින් ප්‍රධානයි. මේ සඳහා විශාල බර පැනක් දරන්න සිදුවුණේ මෙහි නිෂ්පාදිකා රේනුකා බාලසූරියටයි. ඒ වගේ ම නළු නිළියන් තෝරා ගැනීම පිළිබඳත් යමක් පැවසිය යුතුයි. මෙහි කැප්ටන්ගේ චරිතයට මා යොදා ගන්නේ අශාන්වයි. ‘සිරිපැරකුම්’ චිත්‍රපටයේ පතිරාජ සෙනෙවියාගේ චරිතය නිරූපණය කළේ ඔහුයි. ඔහුට හොඳ හැකියාවක් තිබුණා. කැප්ටන්ගේ චරිතයට ඔහුව වයස්ගත කිරීමටත් සිදුවුණා. ප්‍රධාන මව්තුමියගේ චරිතයට මට උවමනා වුණේ දැවැන්ත රංගන කුසලතාවක් තිබෙන, ඒ චරිතය මනා ලෙස වටහා ගන්න නිළියක්. නිළි රැජින මාලනී ෆොන්සේකා ඒ අවස්ථාව භාර ගත්තේ බොහොම කැමැත්තෙන්. අනෙක් අවශේෂ චරිත රඟපෑ ගයනි ගිසන්තිකා ඇතුළු අනෙක් සැමත් චිත්‍රපටයට මනා සහයෝගයක් ලබා දුන්නා. ළමා චරිත සඳහා වැඩමුළු පැවැත්වීමෙන් පසුවයි ඒ ඒ චරිතයට ළමයින් තෝරා ගත්තේ. ඉන්පසුව චිත්‍රපටය රූගත කිරීම් සිදුකළේ බොහෝ දුෂ්කරතා මැද්දෙයි. මෙහි යම් සාර්ථකත්වයක් දකිනවා නම් එහි තිබෙන්නේ අප දැරූ පරිශ්‍රමයයි. කාලය හා ධනයයි. චිත්‍රපටය නරඹලා මිනිස්සු ඒ ගැන කතා කරද්දි අපට හැඟෙන්නේ අප දැරූ පරිශ්‍රමය අපතේ නොගිය බවයි.