වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




එකට වැඩ

එකට වැඩ

 

කලා ලෝකයේ නිර්මාණකරණයේදී දකින්න ලැබෙන්නේ දැඩි තරගකාරිත්වයක්. ඒ නිසා එකිනෙකා අබිබවමින් තම තමන්ගේ නිර්මාණ කරන්නයි හැමෝම වෙහෙසෙන්නේ. ඒ අතරේ පසුගිය දවසක බොහොම සමගියෙන් එකට දර්ශන තලය දෙකට බෙදාගෙන රූගත කිරිම් කළ අධ්‍යක්ෂවරු දෙදෙනෙක් ගැන ආරංචි වුණා. උදයකාන්ත වර්ණසූරිය සහ ලකී ඩයස් තමයි මේ අධ්‍යක්ෂවරු දෙදෙනා.

ලකි ඩයස් සිය නවතම ටෙලි නාට්‍ය වන 'දඩබ්බරි' ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරන විට ඒ දර්ශන තලයේම තවත් කොටසක උදයකාන්ත තම නවතම සිනමා නිර්මාණය 'බන්ධන'යේ අමතර රූගත කිරිම් කොටසක් කළා. මේ දෙන්නාගේම රූගත කිරීම් යොදාගෙන තිබුණේ හොරණ, මොරොන්තුඩුවේ පිහිටි පැරැණි වලව්වක.

එකම දර්ශන තලයක රූගත කිරීම් දෙකක් කළත් බොහොම සහයෝගයෙන් නිර්මාණ කණ්ඩායම් දෙකම වැඩ කරලා. ඒ විතරක් නෙවෙයි. මේ වලව්වේ වතුර පහසුකම් තිබිලත් නැහැ. විදුලිය නම් කවදාවත් මේ වලව්වේ තිබිලාම නැහැ. රාත්‍රියේ රූගත කිරිම්වලට එළිය දුන්නේ ලන්තෑරුම්.

'දඩබ්බරී' නිර්මාණ කණ්ඩායක් 'බන්ධනය' නිර්මාණ කණ්ඩායමත් ලහි ලහියේ තම රූගත කිරීම් කරලා අවසානයේ පුංචි සාදයක් පවත්වන්න හැදුවත් කණ්ඩායම් දෙකටම ඉක්මනට කොළඹ එන්න වැඩ කටයුතු යෙදිලා තිබුණු නිසා තම තමන්ගේ නිවෙස් බලා පිටත් වෙලා ගියා. ආදරණීය ප්‍රේක්ෂක ඔබට 'දඩබ්බරි' ටෙලි නාට්‍යය වගේම 'බන්ධනය' චිත්‍රපටයත් මේ වසරේදී දැකගන්න ලැබේවි.