වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජස්ටින්ගේ චරිතයට බලපෑවේ අපේ තාත්තා
මනෝගෙන් සම්මාන වාර්තාවක්

ජස්ටින්ගේ චරිතයට බලපෑවේ අපේ තාත්තා

හොඳම සහාය නළු ආචාර්ය ජයලත් මනෝරත්න

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ ජස්ටින් මාමා, ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේත් බොහොම සිත ගත්ත චරිතයකි. එමෙන්ම ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය තරමට ම ඔහු හැමෝම අතර ජනප්‍රිය චරිතයකි. ඒ වග අපට හැඟුණේ ඔහු යන එන තැන සිටින බොහෝදෙනා ඔහුව අමතන්නේ ඒ නමෙන් නිසා ය. පසුගිය දිනවල තිබුණු සරසවිය සම්මාන උලෙළේ දි හොඳම සහය නළුවාට හිමි සම්මානයත් ලැබුණේ ද ඒ චරිතයට පණදුන් අපේ ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නට ය.

ඒත් ඒ සම්මානය ගන්න ඔබ එදා එහි සිටියේ නැහැ?

සාමාන්‍යයෙන් තමන් ලබන සම්මානයක් ගන්න මොහොතක ළඟ ඉන්න නොලැබෙන එක කනගාටුවට කාරණයක්. සරසවිය සම්මාන උලෙළ විශිෂ්ටතම සම්මාන උලෙළක් විදියටයි මා දකින්නේ. අප පාසල් යන අවධියේ පටන් අසා ඇති මේ සම්මාන උලෙළේ දී සම්මානයක් ගන්නට තරම් වාසනාවක් තිබේයැයි මා කිසිදිනෙක සිතුවේ නැහැ.

සරසවිය සම්මාන උලෙළේ දී ඔබ මීට පෙරත් සම්මාන ලබා තිබෙනවා නේද?

එහිදී මා මේ ලබන්නේ සිවුවැනි සම්මානයයි. මීට පෙර මා රඟපෑ ‘මංගල තෑග්ග’ චිත්‍රපටය වෙනුවෙනුයි, සරසවිය සම්මාන උලෙළේ දී පළමුවරට සම්මානයක් හිමිකර ගන්නේ. ඊට පසුව ඒ උලෙළේ ම, මා රඟපෑ ‘සුදුකළුවර’ චිත්‍රපටය සඳහා හොඳම සහය නළුවා ලෙසත්, ‘බේරුණ්ඩ පක්ෂියා’ චිත්‍රපටය සඳහා හොඳම සහය නළුවා ලෙසත් සම්මාන ලබන්නට තරම් වාසනාවන්ත වුණා. යළිත් සිව්වන වතාවටත් පසුගියදා මා ඒ සම්මාන උලෙළේ දී ම හොඳම සහය නළුවා ලෙසට සම්මාන ලබනවා.

ඒ වගේ ම 2016 වසරේ ඔබ ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය සඳහා ම සම්මාන උලෙළ කිහිපයකදිම සම්මාන ලබන්නේ හොඳම සහය නළුවා ලෙසයි?

මා සිතන්නේ එකම වසරක් ඇතුළේ, එකම චිත්‍රපටයක් සඳහා එකම නළුවකු, එකම චරිතයක් වෙනුවෙන් සම්මාන උලෙළවල් හතරකදි සම්මාන ලබා ගැනීම සුවිශේෂයි. ඒ ඕ.සී.අයි.සී, හිරු ගොල්ඩන්, රාජ්‍ය, සරසවිය සම්මාන උලෙළවල් සතරෙදියි. මා සිතන්නේ එය වාර්තාවක් වෙන්න ඇති බවයි.

සරසවිය සම්මාන උලෙළ පැවැත්වෙන දිනය දන්වා යැවූ ආරාධනා පත්‍රයට පෙර ද ඔබ විදේශ ගතවන්නේ?

ආරාධනා පත්‍රය ලැබෙන විටත් මා විදේශ ගතවී අවසන්. මට ගෙදරින් කතා කරලා පැවසුවා ආරාධනා පත්‍රය ලැබුණු බව. ඒ අවස්ථාවේ මා පැවසුවේ සම්මානයක් තිබුණොත් කවුරුන් හෝ ගොස් සම්මානය ගන්න කියලයි.

ඒ වනවිටත් සම්මානයක් ලැබෙනවා කියන අදහස ඔබගේ සිතේ ගැබ්වෙලා තිබුණා ද?

අනෙක් සම්මාන උලෙළවල සම්මානයක් ලැබුණු නිසා, සරසවිය සම්මාන උලෙළ පිළිබඳත් සිතේ එක් කොණක පුංචි බලාපොරොත්තුවකුත් තිබුණා. මොකද සරසවිය සම්මාන උලෙළකදි සම්මානයකට නිර්දේශිත වීම ම වුණත් නළුවකුට බොහොම වටින කාරණයක්.

සරසවිය සම්මානය ඔය තරම්ම වටිනවා නම් ඔබ නොපැමිණියේ ඇයි?

මා පළමු වැනිදා ඕස්ට්‍රේලියාවට ගියේ පස් වැනිදා පැමිණෙන්න බලාගෙනයි. ඒ අප එහි ගියේ මගේ මිනිබිරියන් බලන්නයි. එහි ගියාට පසුවයි අපට හැඟුණේ දවස් කිහිපයෙන් එන්න නොහැකියි කියන වග. එහි යනවිට බිරියගේ කකුලේ පුංචි ආබාධයක් තිබුණා. ගියාට පසුව ඒ ආබාධ තත්ත්වය නොසිතුව විදියට වර්ධනය වුණා. ඒ නිසා ගමන කල්දාන්න සිදුවුණා. එහෙම නොවූණා නම් මා අනිවාර්යයෙන් ම සරසවිය සම්මාන උලෙළට සහභාගි වෙනවා.

මේ දවස්වල ක්ෂේත්‍රයේ කතාවක් යන්නේ ජයලත් මනෝරත්න අමීර් ඛාන් වගේ කියලා. ඒ කතාව ඇත්තක් ද?

ඇත්තට ම ඒ කතාවට නම් මටත් සිනහ නැඟෙනවා. අමීර් ඛාන් කියන්නේ මා කැමැත්තක් දක්වන දක්ෂතම නළුවෙක්. ඒත් මා සොයලා බැලුවා ඇයි මමත් අමීර් ඛාන් වගේ කියලා කිව්වේ කියලා. අමීර් ඛාන් සාමාන්‍යයෙන් සම්මාන උලෙළවල් සඳහා එන්නේ නැතිලු. ඒ නිසයි මූණු පොතෙත් එවැනි කතාවක් ගිහින් තිබුණේ. මම අමීර් ඛාන් වගේ නොවෙයි. මට සිදුවුණු ඇබැද්දිය නිසයි සරසවිය සම්මාන උලෙළට එන්න නොහැකි වුණේ.

සම්මානය ලැබුණු බව දැන ගත්ත මොහොතේ මොන වගේ හැඟිමක් ද ඔබගේ සිතේ ඉපැදුණේ?

මුලින් ම සතුටක් දැනුණා. ඊට පස්සේ සිතේ ඇතිවුණේ දැඩි දුකක්. ඒ අවස්ථාවේ එතැන ඉන්නට නොලැබීම ගැන. එදා මා වෙනුවට ගොස් සම්මානය අරගෙන තිබුණේ මගේ බෑණා.

‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටයේ ජස්ටින්ට සිනමා ප්‍රේක්ෂකයන් අතරේ ලැබුණු ප්‍රතිචාර කොහොම ද?

මට ලැබෙන චරිතයක් හැම වෙලාවෙම මා ඉතා හොඳීන් කරන්න උත්සාහ ගන්නවා. ඒ අනුව ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණාට පස්සේ ජස්ටින්ට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒත් මුලින් ම නම් මේ චරිතයට සම්මානයක් ලැබේවිය කියලා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

ඒ බලාපොරොත්තුව ඇතිවුණේ කුමන අවස්ථාවෙ ද?

මුලින් ම මේ චරිතයේ රඟපෑම අගය කරමින් සම්මානයක්, දෙකක් ලැබුණු මොහොතේ මේ චරිතය ඇතුළේ කුමක් දෝ දෙයක් තිබෙනවා ඇතැයි කියන අදහස මගේ සිතේ ඇතිවුණා.

සම්මානය ලැබීමත් සමඟ ලැබෙන ප්‍රතිචාර මොන වගේ ද?

දරුවන් වගේ ම වැඩිහිටියන්ගෙනුත් ‘සූරිය අරණ’, ‘සිරිරජ සිරි’, ‘දරුවනේ’ ඇතුළු මා මෙතෙක් රඟපෑ ළමා චිත්‍රපටවලදි මට බොහොම ප්‍රතිචාර ලැබුණා. ඔවුන් මා ඒ නිර්මාණවල නිරූපණය කළ චරිතවලට කැමැතියි. ඒ නිසාමදෝ ඔවුන් මා හමු වූ විටදි පින්තූර ගන්න පෙලඹෙන්නේ. මේ ඊයේ පෙරේදාත් මම පාරේ ගමන් කරමින් සිටිද්දි වාහන තදබදයට හසුවුණු අවස්ථාවලදි ඒ අසල සිටි අය පැවසුවේ මේ දැනුත් ‘සිරිරජසිරි’ චිත්‍රපටය නාලිකාවක විකාශය වන බවයි. ඔවුන්ගේ එවැනි ඇල්මක් මට තිබෙනවා. ඒක සතුටට කාරණයක්.

ඔබ ජස්ටින්ගේ චරිතය ප්‍රතිනිර්මාණය කළ අයුරු මතක ද?

මට හිතෙන විදියට අද ගැන සිතන විට ජස්ටින් සිටින ගම කාල්පනික ගමක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් මා මැවූ මේ චරිතය සඳහා මට හොඳ ප්‍රතිචාර ලැබුණා. මට මතකයි වරක් පරාක්‍රම කොඩිතුවක්කු කවියා දුරකථනයෙන් මා අමතා පැවසූ වදන් පෙළක්. “ජස්ටින් කියන්නේ ඔය ගමන නොයා ඉන්න මනුස්සයෙක් නොවෙයි. සම්පූර්ණයෙන් ම ඒක වැරැදි අදහසක්. අපේ ගම්වල ඉන්න සී.ටී.බී. ඩ්‍රයිවර්ලා කවදාවත් ඔය වගේ දෙයක් පැහැර හරින්නේ නැහැ. හරි නම් තිබුණේ ජස්ටින්ට ඒ ගමන යන්න හරින එකයි. ගමේ අය කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නෑ” ඔහු පැවසූ වදන් පෙළ මගේ හිතේ හොඳීන් කා වැඳුණා.

ජස්ටින් වගේ ගැමියන් ඒ වගේ වැඩ පැහැර හරින අය නොවේ කියල ද ඔබ ඔය පවසන්නේ?

මටත් එහෙම සිතුණු අවස්ථා තිබුණා. ජස්ටින් ගමේ ඉන්න අවංක, දැන උගත්කමක් නැති, අඩුම ගණනේ ලයිසන් එකක්වත් නැතුව ගමට සේවය කරන ගැමියෙක්. අපිත් ගම්වල සිටි අය නිසා එවැනි අදහස් සිතට පිවිසෙනවා. අනෙක් කාරණය නම් මගේ තාත්තාත් ලොරි රියැදුරෙක්. සම්මාන ගන්න අවස්ථාවල මේ කාරණය මට නිතර ම මතක් වෙනවා. ඒ නිසා වෙන්න ඇති මට මෙවැනි චරිත හොඳීන් නිරූපණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ.

ඔබ මීට පෙරත් රියැදුරෙකුගේ චරිතයක් නිරූපණය කරනවා?

ඒ ප්‍රසන්න ජයකොඩිගේ ‘සඳ අමාවකයි’ ටෙලි නාට්‍යයේ පීටර් අයියා කියන බස්රථ රියැදුරාගේ චරිතයයි මා නිරූපණය කරන්නේ. ඒ චරිතය වෙනුවෙන් මට හොඳම නළුවාට හිමි සම්මානයත් හිමි වෙනවා. මා සිතන්නේ ලොරි රියැදුරෙකුගේ මුහුණත් තිබෙන නිසා වෙන්න ඇති මට එවැනි චරිත ලැබෙන්නේ. යමක් අධ්‍යක්ෂවරයකුට උකහා ගන්න හැකියාව ලැබෙන්නේ සීනි බෝල මුහුණකට වඩා එවැනි මුහුණකින් යැයි, ඔවුන් සිතන නිසා වෙන්න ඇති මට මෙවැනි චරිත ලැබෙන්නේ.

ඔබගේ සිතේ තාත්තාගේ මතකය රැඳීලා තිබෙන්නේ කුමන ආකාරයෙන් ද?

ඒ තරම්ම තාත්තා ගැන මතකයක් මගේ සිතේ නැහැ. මා කුඩා කාලයේ දිමයි තාත්තා මිය යන්නේ. ඒත් තාත්තා ගැන පවුලේ අය වගේ ම ගමේ අය කියන දේවල් මා අහල තිබෙනවා. ඔහු අනෙක් අයට උදව් පදව් කරන, අවංක රියැදුරෙක්. ඔහු රාජකාරිය සලකලා තිබෙන්නේ දේවකාරියක් විදියට. වෙලාවට වැඩ කිරීමටත්, පිළිවෙළකට වැඩ කිරීමත් ඔහු ප්‍රිය කරලා තිබුණා. ඒ කාලයේ එවැනි වැඩපිළිවෙළක් ගැමියකුගෙන් දකින්න නොමැති වුණත් තාත්තා කටයුතු කර තිබුණේ ඒ ආකාරයෙන්. ඒ මොකද ඔහු මේ රැකියාව කරන්නට පෙර වැඩ කරලා තිබුණේ සුද්දෙකු ගාවයි. ඒ නිසා වෙන්න ඇති එවැනි පිළිවෙළක් ඔහුගේ ජීවිතයට ලැබුණේ. ඔහු හවසට හීන් අඩියක් ගහලා, ගෙදර තිබුණු සර්පිනාව වයමින් ගීත ගයන අයුරු ගමේ සියල්ලන් ම මතකයට නඟනවා. ඒ නිසා ඔහුගේ චරිතය බොහොම ආස්වාදජනකයි. ඒ කාරණා ජස්ටින්ගේ චරිතය ගොඩනඟා ගැනීමේදී මට බෙහෙවින් උපකාරී වුණා.