වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




බෑනාගේ සංගීතයට නැන්දාට ගීයක්

බෑනාගේ සංගීතයට නැන්දාට ගීයක්

සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියලා කියන්නේ අපිට සිටින ප්‍රවීණතම සහ අති දක්ෂතම ගී පද රචකයෙක්. කවිකාරියේ සිංදු කියනා ළඳේ, සෙව්වන්දියකට පෙම් බැන්දා, සමකෝණී ත්‍රිකෝණයකි ආදී ජනප්‍රිය ගී රැසක් ඔහුගේ අතින් ලියවිලා තියෙනවා.

සමන් පළමුවරට චිත්‍රපටයක් සඳහා ගීතයක් රචනා කළේ අදින් වසර හතළිහකට පමණ පෙර. ඒ ශීලා චිත්‍රපටය වෙනුවෙන් මල්සර දෝතේ නමැති එම ගීය එදා ගයනු ලැබුවේ හෙළ ගීත කෝකිලාවිය වන කලාසූරි ලතා වල්පොල. රොක්සාමි මාස්ටර් තමයි එය සංගීතවත් කළේ.

එය එසේ සිදු වී දශක හතරක් ගත වෙද්දී සමන් තවත් චිත්‍රපට ගීතයක් ලියලා. එය ගයන්නෙත් ලතා. කලල් දියේ පිපුණාට යනුවෙන් නම් කොට ඇති එම ගීතයෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද දන්නවද කලල් දියේ ගීය සංගීතවත් කොට තියෙන්නේ ලතාගේ බෑණනුවන් වන මහින්ද බණ්ඩාර.

මහින්දගේ කුලුඳුල් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය වන්නේ එයයි. සමන් චිත්‍රපට සඳහා ලියූ පළමු ගීතය ගැයුවෙත් ලතා. ඒ වගේම මහින්ද සංගීතවත් කළ පළමු චිත්‍රපටයේ සමන් ලියූ ගීතය ගයන්නෙත් ලතා.