වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මෙලනි අශෝකාගෙන් සිලෝනා වේදිකාවට

මෙලනි අශෝකාගෙන් සිලෝනා වේදිකාවට

රංගන ශිල්පිනියක මෙන්ම හඬකැවීම් ශිල්පිනියක වන මෙලනි අශෝකාගේ නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍යය ‘සිලෝනා’ මේ මස 04 වැනිදා සවස 3.30 ට කඩුවෙල මහිලා සමිති ශාලාවේ දී වේදිකා ගතවෙයි.

මෙහි රංගනයෙන් ගාමිණී අම්බලන්ගොඩ, චතුර පෙරේරා, මෙලනි අශෝකා ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් පණ පොවන ‘සිලෝනා’ හි අංගරචනයෙන් ඇඹුල්දෙණිය සහය වෙයි. සංගීතය රමේෂ් ද රංගාලෝකයෙන් වසන්ත සහය වන මේ වේදිකා නාට්‍යයේ රචනය හා නිෂ්පාදනය, අධ්‍යක්ෂණය මෙලනි අශෝකාගෙනි.

‘සුභාවි රඟමඬල’ වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් වේදිකාවට පැමිණි මෙලනි අශෝකාගේ ‘සිලෝනා’ ඇගේ තෙවැනි වේදිකා නාට්‍යය නිර්මාණයයි. හැත්තෑව දශකයේ රෝයි ජයවර්ධනගේ ‘සැලීනා’ වේදිකා නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදකාවට පා නගන ඈ දිගින් දිගටම ලයනල් රන්වල හා විනී රන්වලගේ වේදිකා නාට්‍යවල රංගනයේ යෙදෙයි. එමෙන්ම මෙලනි අශෝකා සිනමාවට හා ටෙලි නාට්‍ය කලාවට පිවිසෙන්නේ අසූව දශකයේ මුල් කාලයේයි. සිනමාවේදී ‘සම්බුදු මහිම’ චිත්‍රපටයේ අඩ්ඩකාසි තෙණියගේ චරිතය රඟපාන ඈ රඟපෑ පළමු ටෙලි නාට්‍යය වන්නේ විනී රන්වලගේ ‘මනමාලයෝ’ ටෙලි නාට්‍යයයි. මේ වනවිටත් නිර්මාණ රැසකටම රංගනයෙන් දායක වී ඇති මෙලනි අ‍ශෝකා ‘වැහිලිහිණි’, ‘වරාමලී’, ‘මුහන්දිරම් වලව්ව’ මෑත කාලයේ රඟපෑ ටෙලි නාට්‍ය රැසකි.


යාපනයට නාට්‍ය උලෙළක් හා චිත්‍රපට ප්‍රදර්ශනයක් 7 සිට

ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ල මෙහෙය වන ජනකරළිය නාට්‍ය හා රංග කලායතනය පවත්වනු ලබන නාට්‍ය උලෙළ මේ මස 07 වැනිදා සිට 21 වැනිදා දක්වා යාපනයේ නල්ලූර්හි චෙම්මිනි පාරේ, සාධානා විද්‍යාලයීය ක්‍රීඩාපිටියේ ස්ථාපනය කරන ලද ජනකරළිය රඟහලේ දී රඟ දැක්වෙයි.

මේ සඳහා සිංහල හා දෙමළ භාෂාවලින් රඟ දැක්වෙන් නාට්‍ය මාලාවක් ඇතුළත් වන අතර මේ මස 07 වැනිදා බදාදා 6.30 ට පරාක්‍රම නිරිඇල්ල සහ කේ.රතිධරන්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මාණය කරන ලද ‘වෙන්කට්ටි වට්ටම්’ රඟ දැක්වීමෙන් ජනකරළිය නාට්‍ය උලෙළ ආරම්භ කිරීමට නියමිතය. එය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘දකොකේසියන් චෝක් සර්කල්’ නාට්‍යයේ පිටපතට අනුව ආචාර්ය ෂන්මුගලිංගම් දමිළ භාෂාවට පරිවර්තනය කරන ලද්දකි. ඉන්පසුව පරාක්‍රම නිරිඇල්ලගේ ‘චරන්දාස්’, ‘මායාපට්ටාඩෛ’, ‘එරික්කලම් පූ’, ‘හුණුවටය’(සිංහල නිෂ්පාදනය) ‘භාෂා සහ මොලී’, රාසයියා ලෝගනන්දන්ගේ ‘ඉරුම්බිය පොරුත්තිය ඉදයම්’, සෙල්රාජ් ලීලාවතී ‘පරයන්, ‘මිසිස් කෝහිලා මාධවන්’, ත්‍යාගරාජා ශිවනේසන් ‘එලි පොරියිල් පූනෛ’, ‘මායා කල්වි’, අජන්තන් ශාන්තකුමාර්ගේ ‘කල්‍යාණ කදෙයි’, රොනිකා චාමලී සහ සෙල්වරාජ් ලීලාවතීගේ ‘පයනිහල්’, රංග ගතකරනු ඇත. ඊට අමතරව යාපනයේ ප්‍රාසාංගික කලා මධ්‍යස්ථානයේ නාට්‍ය නිෂ්පාදනයක් වන ජොන්සන් රාජ්කුමාර්ගේ ‘කුසෙලාර්’ සහ යාපනයේ නාට්‍ය කලා ඇකඩමියේ නාට්‍ය නිෂ්පාදනයක් වන ‘කරුසිතයිවු’, කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය නිෂ්පාදනයක් වන දේවින්ද වික්‍රමසිංහගේ ‘මම අඩකුඹයි’ නාට්‍යයේ දමිළ පරිවර්තනය ‘වහුප්පු නාන් අරෙයිකම්බම්’ නමින් ආරාධිත නාට්‍යය ලෙස ජනකරළිය නාට්‍ය උලෙළේ රංග ගතවීමට නියමිත ය.

මේ උලෙළේ දී නාට්‍ය රඟ දැක්වීමට අමතරව මේ මස 16 වැනිදා ප්‍රවීණ නාට්‍ය හා සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කළ ‘පාරාදීසය සොයා’ චිත්‍රපටයේ ඉංග්‍රීසි පිටපත තිරගත කරන අතර 22, 23 දිනවල කොළඹ පදනම් ආයතනයේ ඩිජිටල් සිනමා ඇකඩමිය සංවිධානය කරන චිත්‍රපට උලෙළක් ප්‍රවීණ සිනමාවේදී සුදත් මහදිවුල්වැවගේ මෙහෙයවීමෙන් පැවැත්වෙයි. මේ නාට්‍ය උලෙළේ සියලු ම නාට්‍ය දර්ශන නොමිලේ පැවැත්වෙයි. මෙහි සංවිධාන කටයුතු මෙහෙයවනු ලබන්නේ ජනකරළිය නාට්‍ය කණ්ඩායමයි.


ස්පැරෝස් ඌරගස් මංහන්දියේ 02 දා

සුනිල් ධර්මසිරි ප්‍රමුඛ ස්පැරෝස් සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන 'ෆන් නයිට්' සංගීත ප්‍රසංගය හෙට (සැප්තැම්බර් 02) රාත්‍රිය පුරා ඌරගස් මංහන්දිය ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. අමිලා නදීශානි, පූර්ණ සචින්ත, පාලිත එදිරිසිංහ, සුමිත් හෂේන්ද්‍ර, රජිත හිරාන් (පිංපොං), යෂිකා සුභාෂිණි සමඟින් ආටක නාටක ශිල්පීන් ප්‍රසංගය ගායනවෙන් රසගන්වනු ලබයි. නර්තනය දිව්‍යා විත් ස්පැරෝස් කණ්ඩායමෙනි. රංජිත් කුමාර විසින් කථනයෙන් ප්‍රංසගය මෙහෙවයි.


නාමෙල් වීරමුනිගේ නාට්‍ය කෘති දෙකක් 06දා දොරට වඩී

පැරණි පුරපුරේ සිට නාට්‍යකරණයෙහි නිරත වූ නාමෙල් වීරමුනි විසින් රචිත 'ගන්ධබ්බා රාජ්‍යයක්' සහ 'කවුද සතුරෝ' නාට්‍ය කෘති දෙක එළිදැක්වීම ලබන 06 වැනිදා (සැප්තැම්බර් 06) සවස 4.00ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදි සිදුකිරීමට නියමිතය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විසින් මුලසුන හොබවන මෙහිදී ප්‍රවීණ මාධ්‍යවේදීන් වන තිලකරත්න කුරුවිට බණ්ඩාර සහ ගාමිණි සුමනසේකර විසින් සිදු කෙරේ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ ආචාර්ය ජයලත් මනෝරත්නයන්ද මෙහිදී අදහස් දැක්වීමට නියමිතය.


සංඝදාසගේ චූටි කලිසම පොතක් වෙයි

අසංක සායක්කාර විසින් නිර්මාණය කරන ලද 'සංඝදාසගේ චූටි කලිසම' වේදිකා නාට්‍යයේ පිටපත කෘතියක් ලෙස එළිදැක්වීම සැප්තැම්බර් මස 03 වැනිදා බොරැල්ල පුංචි තියටර්හිදී සිදු කිරීමට නියමිතය. නාට්‍ය පිටපතට අමතරව මේ දක්වා නාට්‍යය පිළිබඳ මුද්‍රිත මාධ්‍ය තුළ පළ වූ විචාරයන්ද එම ග්‍රන්ථයේ අන්තර්ගත වී ඇත. 'සංඝදාසගේ චූටි කලිසම' වේදිකා නාට්‍යයේ 25 වැනි දැක්ම යෙදී තිබෙන්නේද එදිනටය.


සුමුදුගේ ‘විනිවිඳීන සිතිවිලි’ ජනගත කරයි

සොබාදහම, ආදරය සහ ජීවිත සොයායන නිර්මාණ චාරිකාවක සටහන් සමුදායක් ඇතුළත් සිළුමිණ පුවත්පතේ ‘සත්මඬල’ අතිරේකයේ ප්‍රධාන සංස්කාරිකා සුමුදු චතුරාණි ජයවර්ධනගේ ‘විනිවිඳීන සිතිවිලි’ නිර්මාණශීලී සටහන් සමුච්චය මේ මස 06 වැනිදා සවස 3.00 ට කොළඹ ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ ලිලියන් ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරෙයි.

එහිදී සාහිත්‍යමය සංගීත සන්ධ්‍යාවක් පැවැත්වීමට නියමිත අතර සංගීතය මෙහෙය වීම ප්‍රවීණ සංගීතඥ නවරත්නගමගේ ගෙනි. මේ සොඳුරු සන්ධ්‍යාව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, නීතිඥ ඩබ්ලිව්. ඒ. අබේසිංහ, ටී. එම්. ජයරත්න, ජයන්ත චන්ද්‍රසිරි, දමයන්ති දර්ශා, දුලීකා මාරපන, ජගත් ගුණවර්ධන, සුලෝචන වික්‍රමසිංහ ඇතුළු සාහිත්‍යධරයෝ, කලාකරුවන් සහ පාඨකයන් රැසක් මේ අවස්ථාවට සහභාගි වීමට නියමිත ය. එන්න, ඔබත් මේ සොඳුරු සන්ධ්‍යාවට සහභාගි වී වෙනස්ම අත්දැකීමක් විඳගන්න. සංවිධායක කමිටුව සහෘද ඔබ සැමට ආරාධනා කරයි.


කලා සංගමයේ ඡායාරූප ප්‍රදර්ශනය 02දා

ශ්‍රි ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 41 වැනි වාර්ෂික ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 02 වැනිදා කොළඹ 07, ජේ. ඩී. ඒ පෙරේරා කලාගාරයේදී ආරම්භවේ. සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ අතින් ප්‍රදර්ශනය විවෘත වන අතර කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඇතුළු කලාකරුවන් කිහිප දෙනෙකු මේ අවස්ථාවට ආරාධිතයන් වශයෙන් එක්වනු ඇත.


ජෝතිගේ ගී සියයක් - තැටියටයි, පොතටයි

අසහාය ගායක එච්. ආර් ජොත්පාලයන් ගැයූ අතිශය ජනප්‍රිය ආදර ගීත සියයක් ඇතුළත් ග්‍රන්ථයක් සහ එම ගීත අඩංගු ඩී.වී.ඩි තැටියක් එළඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත් කිරීමට නියමිතව ඇත. සිනමා ලේඛක රූපසේන සිල්වා විසින් සම්පාදිත එම ගීත පොත 'සදාතනික ගායක එච්. ආර් ජෝතිපාල' යනුවෙන් නම්කොට ඇත. ඒ සඳහා ජෝති පසුබිම් ගායනයෙන් සහ රංගනයෙන් දායකත්වය සැපයූ චිත්‍රපටවල පූර්ණ නාමාවලියක්ද අන්තර්ගතය. පසුවදන සරසවිය සහ රසඳුන හිටපු කර්තෘ සුනිල් මිහිඳුකුල විසින් රචනා කරන ලදී. ප්‍රේම් දිසානායකගේ කවර නිර්මාණයකි. සදාතනික ගායක එච්. ආර් ජෝතිපාල ග්‍රන්ථය ඩබ්ලිව්. ජයසේන ද අල්විස්ගේ ප්‍රකාශනයකි. ඩී.වී.ඩි ගැටිය ජයනන්ද බෙදාහැරීමකි.


අගසර ප්‍රකාශකයන් වෙතින් ළමා පොත් පෙළක්

ලේඛිකා ගංගා ෂයිනි ගමගේ ලියූ ‘සපත්තු දාන පූසා’, ‘අඟුටු මිට්ටා සහ සපත්තු සීයා’, ‘සූර වීර තරුණයා’, ‘වලස් පවුල සහ රත්තරන් වරලසී’, ‘විශ්මලන්තයට ඇලිස්’, ‘පුංචි රතු කිකිළි’, ‘හිමකුමාරි සහ අඟුටුමිට්ටෝ හත්දෙනා’, ‘චිකන් ලිකන්’ ළමා පොත් අටත්, නදීකා බන්ඩාර ලියූ ‘මකර රැජිනගේ මාලිගාව’, ‘ සිංදු කියන මුහුදට ආ දිය කිඳුරි’,‘සොරාගත් අත්තටු’, ‘ගෙඹි පැටිත්තියක වූ පුංචි දැරිය’, ‘රොසෙන්කාගේ සිතුවම’, ‘කතන්දර සාප්පුවට ගිය පුංචි ලිලී’, ‘සිනිඳු සළු වියූ කෙකිනි බිරිඳ’ ළමාපොත් සතත්, චන්දිමා ශිරානි කන්නන්ගර ලියූ ‘හිරු කාගෙද? හා වෘකයා සහ එළු පැටව් සත්දෙනා යන ළමා පරිවර්තන පොත් ද්විත්වයත්, යමුනා ලක්මාලිගේ ‘ආඩම්බරකාර ආච්නේ ඛමා පොතත්, ප්‍රසන්න ද සොයිසා ලියූ ‘සමදරාගේ චුක්කි ළමා පොත් පෙළ පසුගියදා එළිදැක්විණි. මේ පොත්පෙළ අගසර ප්‍රකාශනයකි.


2016 රාජ්‍ය සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් දේශන අද

මේ මස 08 වැනිදා පැවැත් වීමට නියමිත 2016 රාජ්‍ය සාහිත්‍ය උත්සවය නිමිත්තෙන් සංවිධානය කරන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන අද දින සවස 3.00ට කොළඹ නිදහස් මාවතේ පිහිටි පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ උත්සව දේශනයේ දී ‘සිංහල පද්‍ය සාහිත්‍ය යේ ප්‍රතිබිම්භිත විවිධත්වය පිළිබඳ විචාරාත්මක ප්‍රත්‍යාවලෝකනය’ මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතා දෙසුමක් පවත්වයි. ‘දයානන්ද ගුණවර්ධන නාට්‍යවේදීන් ප්‍රතීත රංගනයේ සාහිත්‍යමය ලක්ෂණ හා විශේෂතා’ මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලත් මනෝරත්න ය. රංගනය හා ගායනයෙන් නිශ්ශංක දිද්දෙණිය, ජැක්සන් ඇන්තනී, රත්නා ලාලනී ජයකොඩි, මාධනී මල්වත්තගේ, ජගත් බෙනරගම ඇතුළු පිරිස සහභාගි වන අතර සංගීතය රංජිත් බාලසූරියගෙනි. මේ දේශන සංවිධානය කරන්නේ රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයයි.