වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




රත්නමාලි සුදු චරිතයක් කරන්න මට වුවමනා වුණා

රත්නමාලි සුදු චරිතයක් කරන්න මට වුවමනා වුණා

අමිලා නදීෂානිගේ කුළුදුල් නවකතාව රළකරළිය 07 දා එළිදකියි

අමිලා නදීෂානි ශ්‍රී ලංකාවේ ජනතාව අතර වඩාත් ප්‍රකට වන්නේ සිරස සුපර් ස්ටාර්වලින් පැමිණි ගායිකාවක ලෙසිනි. එහෙත් ඒ භූමිකාවෙන් මිදී ඈ අලුත් කටයුත්තකට පිවිස ඇත. ඒ ‘රළකරළිය’ නමින් ඇගේ කුලුඳුල් නවකතාව ලියමිනි. අමිලා ලියූ ‘රළකරළිය’ නවකතාව මේ මස 07 වැනිදා පස්වරු 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී එළිදකියි. මේ ඇගේ නවකතාව ‘රළකරළිය’ පිළිබඳ ‘සරසවිය’ සමඟ කතාබහකි.

* ගායිකාවක් විදියට ජනතාව අතර ප්‍රසිද්ධ ඔබ නවකතාවක් ලියන්න සිතුවේ ඇයි?

මම කුඩා කාලයේ පටන් ම ලියන්න කැමැති කෙනෙක්. ඒක මගේ විනෝදාංශයක්. පාසල් යන කාලයේ පටන් ම කවි, කෙටිකතා, රචනා තරගවලට ගියා. ඉන් ජයග්‍රහණය ලැබුවා. ඊට පස්සේ සිරස සුපර් ස්ටාර් තරගාවලියට මා සහභාගි වෙනවා. ඉන් පස්සේ එහි ප්‍රසංගවලට විදේශ ගතවන අවස්ථාවලදී අපට දින, දෙක, තුනක් තරම් විවේකයක් ලැබුණු අවස්ථා තිබුණා. ඒ වගේ අවස්ථාවලදි මා කළේ ලියන එකයි. එහෙමත් නැත්නම් දිගු විදේශ ගමන්වලදි මා කළේ ගුවන්යානයේ ඉඳගෙන ලිවීමයි. නිවෙසේ විවේකීව ඉන්න වෙලාවටත් මා ලිව්වා. ඒ ලිවීමේ පෙලඹවීමයි මා මෙතැනට ඔසවා තැබුවේ.

* ඒ කියන්නේ ඔබ නවකතාවක් ලිවිය යුතුයැයි සිතමින් නොලිව්ව බව ද?

මම නවකතාවක් ලියන්න ඕනෑ යැයි සිතමින් නවකතාවක් ලිව්වේ නැහැ. නමුත් ටිකෙන් ටික ලිව්වා. ඒ සියල්ලේ එකතුව අවසානයේ කරුණු ටිකෙන් ටික ගොනුවුණා. ඒ කරුණු සියල්ලේ එකමුතුව නවකතාවක් බවට පත්වුණා.

* ‘රළකරළිය’ නවකතාවේ වස්තුබීජය ඔබගේ සිතට පිවිසෙන්නේ කොහොම ද?

මුලින් ම මේ නවකතාවට වස්තුබීජයක් තිබුණේ නැහැ. නමුත් මමයි, පුතයි අතර තිබෙන බැඳීිම ගැන අත්දැකීමක් මට තිබෙනවා. ඒ බැඳීමයි මේ නවකතාවේ අම්මයි, පුතයි යන චරිත ද්විත්වය නිර්මාණය කරන්නේ. මේ චරිතයට දුවෙක් මා නොගන්නේ, අම්මත් පරිස්සම් වෙන ගමන් ගැහැනු ළමයකුත් පරිස්සම් කරන්න පහසු නැති නිසයි. ඒ විදියට මගේ වටපිටාවේ අසන්නට ලැබුණු අත්දැකීම්, ඒ අම්මාගේ හා පුතාගේ චරිතවලට ගොනුකරමිනුයි නවකතාව ලිව්වේ.

* ‘රළකරළිය’ට රියැලිටි වැඩසටහනකුත් පාදක වෙනවා.

රියැලිටි අත්දැකීම මගේ අත්දැකීමක් බව ඇත්තයි. මුලින් ම ‘රළකරළිය’ සඳහා රියැලිටි වැඩසටහනක් මා යොදා ගන්න සිතුවේ නැහැ. නමුත් ඒ කාන්තාවට ගීත ගයන්න හැකියාවක් වගේ ම අසාවක් තිබුණු කෙනෙක්. ඒ කාරණය නවකතාවේ මුල දී පටන් ම කියැවෙනවා. ඒ නිසයි නවකතාව ගලාගෙන යෑමේ දී ඇයව රියැලිටි වැඩසටහනකට සහභාගි කරන්න සිතුවේ.

* රත්නමාලිගේ චරිතය ගොඩනැඟෙන්නේ ඔබගේ ජීවිතය ආශ්‍රය කරගනිමින් ද?

මා සංගීත ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්නේ පුංචි කාලයේ පටන්මයි. එතැන ඉඳන් මා අද ඉන්න තත්ත්වයට එන්නට ගොඩක් මහන්සි වුණා, කට්ට කෑවා. නමුත් නවකතාවේ චරිතය එහෙම කෙනක් නොවෙයි. නිකම් ගීත ගය ගය ඉඳලා, කවුරුත් කියනවාට, නිකම්ම තරගයට ඉදිරිපත් වන කෙනෙක්. එහෙම අයත් අපේ රියැලිටි වැඩසටහනේ ගීත ගැයුවා. එවැනි තරගකරුවන් තරගයේ අතරමගදි ඉවත් වුණත්, ඔවුන් කිසිම දවසක සංගීතයට ගීතයක් ගයලා තිබුණේ නැහැ. ඒත් ඒ අයගේ හැකියාව ආයතනය තේරුම් අරගෙන තිබුණා. නමුත් ඔවුන් පස්සේ ඉහළ ම තැනකට ආවා. වැඩසටහන ඔස්සේ ලැබුණු පුහුණුවෙන් ඔවුන් උපරිම පල නෙළා ගත්තා. එවැනි චරිතයකුයි රත්නමාලි කියන්නේ.

* ‘රළකරළිය’ ඔබගේ ජීවිත කතාව නොවුණත්, චරිත නිරූපණය සඳහා ඔබ යොදාගෙන තිබෙන්නේ අපේ සමාජයේ නිරන්තරයෙන් අපට හමුවන චරිතයි?

ඒ අතරෙන් සමහර චරිත සමාජයේ දැකලා තිබුණත්, අර්නි, බාසුරු, පුංචිරාළ මාමා වගේ චරිත මට කිසිම දවසක මුණ ගැසිලා නැහැ. ඒත් ඒ චරිතවලට ඈඳ‍ ගන්න හැකි චරිත මට මගේ ජීවිතයේ දි මුණ ගැසිලා තිබුණා. මේ කතාවේ ඉන්න පුංචිරාළ මාමාත් එවැනි කෙනෙක්. ඒ චරිතය ප්‍රතිනිර්මාණය වන්නේ මම රත්නපුරේ දි දැකලා තිබුණු ලී ඉරන සීයලාගේ රූපයෙන්. ඇඟට ම ඇලුණු බඩ, නිරුවත් උඩුකය, කැහැපොට ගහගත්ත සරමෙන් සිටින ඔවුන් කියත අදින විට ශරීරයේ දහඩිය එහාමෙහා යන විදිය මා බලාගෙන සිටියා. එවිට මේ තරම් කුඩා මිනිස්සු බර වැඩ කරන්නේ කොහොමද කියලා මා පුදුමයට පත්වුණු අයුරු මට අද වගේ මතකයි. මා ජීවත් වූ සමාජයේ දැක්ක එවැනි චරිත නවකතාවේ දී වෙනස් චරිත ඔස්සේ ප්‍රතිනිර්මාණය වුණා.

* ඔබ නවකතාව ආරම්භ කළ පළමු පරිච්ජේදයෙන් ම නවකතාවේ ගලායෑමේ රටාවට ඇති කරන්නේ බාධාවක්. සම්ප්‍රදායික කතාවක වගේ රත්නමාලිත්, ජයන්තවත් මුණ ගස්සවන්නට ඔබට වුවමනා වුණේ ඇයි?

රත්නමාලිගෙත්, ජයන්තගෙත් හමුවීම නවකතාවේ අවසාන පරිච්ඡේදයක් ලෙස එකතු කරන්න සිතුණත්, මා එසේ නොකළේ ළමයාට ඇදෙන ලොතරැයිය පිළිබඳ සිදුවීම වඩාත් මගේ සිත්ගත් නිසයි. මෙහි සිටින කාන්තාවගෙන් පමණක් නොවෙයි මේ නවකතාව ගොඩනැඟෙන්නේ. ළමයාත් ඊට බෙහෙවින් ම සම්බන්ධ වෙනවා. කාන්තාවගෙන් ළමයා මග හැරීම කියන කාරණය ඔස්සේ මේ ළමයා ගොඩක් දුක් විඳීනවා. මට වුවමනා වුණේ දරුවා නිසා පවුල දියුණු වුණා කියන කාරණය ඉස්මතු කරන්නයි. අවසානයේ දී ජයන්ත මුණු ගැසීමේදී ඒ කාන්තාව කුමන තත්ත්වයක සිටියත් ඔහුව භාර ගන්න හැකි මට්ටමේ සිටීම මට වැදගත් වුණා. එහෙම නැතිව අවසන් කොටසෙන් ජයන්ත මුණ නොගැසුණා නම් පාඨකයා රත්නමාලි ගැන විවිධ සිතුවිලි සිය සිතේ මවා ගනීවි. මෙයා විවාහ වෙන්න ඇති, වෙන ම ජීවිතයක් ගත කරන්න ඇති කියමින් යම් යම් දේවල් ඔවුන්ගේ සිතේ මවා ගන්න පුළුවන්. එවැනි මැවීමක් ඇති කරවන්න මට වුවමනා වුණේ නැහැ. ඒ නිසයි මා එවැනි පරිච්ඡේදයක් නවකතාව මුලට ඔබ්බ වන්නේ.

* නමුත් නවකතාකරුවා කළ යුත්තේ ඔහු ඉදිරිපත් වී කතාව පැවසීම නොවෙයි. සිය නවකතාවේ දී ඉබේ සිදුවීම් පෙළට, චරිතවලට ගලාගෙන යෑමට ඉඩ සැලැස්වීමයි. එයයි හොඳ නවකතාවක ලක්ෂණයක් විය යුත්තේ?

‘රළකරළිය’ ලිව්වට පස්සේ ඒ බොහෝ දේ ගැන මා එක් එක් අයගෙන් ඉගෙන ගත්තා. නවකතාවක තිබිය යුතු කොටස් මොනවද කියලා මා දැන් දන්නවා.

නවකතාවක චරිතයක් නිරූපණය කරද්දී චරිතයකට වුවමනා විදියට ගලාගෙන යන්න ඉඩදිය යුතුයි. ඒ වග මා දන්නවා. මේ වනවිට මා නවකතා ඕනෑ තරම් කියවා තිබෙනවා. ඒත් මේ නවකතාව ඒ එක කතාවක් වගේවත් නොවන බව මා දන්නවා.

* ඔබ ‘රළකරළිය’ නවකතාව ලිව්වේ ඊට පෙර නවකතාව ගැන පරිශීලනය නොකිරීමෙන් බව ද ඔය පවසන්නේ?

ඇත්තෙන් ම ඔව්. ඒ නිසා ‘රළකරළිය’ කියැ වූ ඕනෑ ම කෙනෙකු ඒ නවකතාව සම්බන්ධයෙන් පවසන වැරැදි භාර ගන්නට මා දෙවරක් පැකිළෙන්නේ නැහැ. එහෙම වැරැදි මේ පොතේ තිබෙනවා කියලා, මේ පොත එළිදක්වන්නේ නැතිව කවදාහරි වෙනත් නවකතාවක් ලියලා එළිදක්වන්න සිටියා නම්, මට කිසිම දවසක පොතක් එළිදක්වන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ‘රළකරළියට’ ලැබෙන හොඳ හෝ නරක ප්‍රතිචාර සියල්ල ම මා භාර ගන්නවා. ඒ සියල්ල ම ඉගෙන ගන්නයි මා නවකතාව ලිව්වේ. එහෙම නොලිව්වා නම් මගේ වැරැදි හදා ගන්නට කිසිම දවසක මට හැකියාව ලැබෙන්නේ නැහැ.

* මෙහි කතානායිකාව මුහුණපාන දුක්ගැහැට සමඟ සිදුවන සිදුවීම් පාඨකයාගේ සිතේ විශ්වසනීයත්වයක් ඇති කරන්නේ නැහැ. ඔබ රත්නමාලිව සුදු චරිතයක් ලෙස නිර්මාණය කළේ ඇයි?

ඒ කාන්තාවගේ චරිතය සුදු චරිතයක් බවට පත්කරන්නට මට දැඩි අවශ්‍යතාවක් තිබුණා. මගේ යෙහෙළියක් සිටිනවා ඇගේ චරිතයත් මේ වගේමයි. ඈට මේ නවකතාව කියවන්නට දුන්නට පස්සේ මේ මගේ කතාව වගේමයි කියමින් හඬා වැටුණා. කෙසේ නමුත් අපි මේ රත්නමාලි කියන චරිතය ගැන කතා කරමු. අද සමාජයේ කාන්තාවක් අසරණ වන සෑම අවස්ථාවක ම යම් පුරුෂයකු, ඒ කාන්තාවගෙන් ප්‍රයෝජනයක් ගන්න බලාගෙන ඉන්නවා නම් ඒක වැරැදියි. එහෙම නොවන පුරුෂයෝ මේ ලෝකයේ ඕනෑ තරම් ඉන්න පුළුවන්. ඒ නිසා නවකතාව ඔස්සේ මේ ජඩ සමාජයේ එවැනි ජඩ මිනිසුන් අතර මනුෂ්‍යකමින් පිරුණු මිනිස්සුත් ඉන්න පුළුවන් කියලයි මට කියන්න වුවමනා වුණේ. රත්නමාලි නිතරම බලන්නේ මේ සමාජයෙන් රැකෙන්නේ කොහොම ද කියලයි. ඕනෑ ම කාන්තාවක් දරුවකු සමඟ තනි වුණාට පස්සේ වෙනත් කෙනෙකුගේ සරණ පතන එක නිවැරැදියි. නමුත් මෙතැනදි ඒ මනුෂ්‍යයාත් හොඳ වීම නිසයි සුදු චරිතයක් බවට පත්වන්නේ. සමහර විට අර්නිත් සුදු චරිතයක් නොවුණා නම් රත්නමාලිටත් එහෙම වෙන්න තිබුණා. නමුත් කතාවේ චරිත ඒ විදියට ගැළපුණා.

* නමුත් ඕනෑ ම සුදු චරිතයක් ඇතුළේ පුංචි පුංචි හෝ කළු චරිත ලක්ෂණත් ගැබ්විය හැකියි.

මේ කතාවේ ඒ වගේ තැන් ඕනෑ තරම් තිබෙනවා. සමහර විට රත්නමාලිට නිරුවත් උඩුකය සහිත අර්නිගේ පපුවට ඇහුම්කන් දෙන්න හිතෙනවා. ඇගේ සිතේ ඔහු කෙරේ ඇතිවන ආදරයට කකුල්දෙක අල්ලලා වඳීන්න සිතීම, බංකරේ ඉන්න හමුදා නිලධාරිය දෙස බැලීම වගේ දේවල් ඇගේ සිතේ ඇතිවෙනවා. යළිත් එවැනි සිතුවිලිවලින් ඈත්වන ඈ සත්‍ය ජීවිතයේ තමා කවුදැයි තමන්ගෙන් ම ප්‍රශ්න කරනවා.

* අවසාන වශයෙන් ඔබට ඔබගේ රසිකයන්ට කුමක් ද කියන්න තිබෙන්නේ?

සමහර සිද්ධි රසවත් ආකාරයෙන් ඉදිරිපත් කරන්න මා මහන්සි ගත්තා. ලංකාව වගේ සමාජයක බොහෝ දුක්කම්කටොළුවලට මුහුණ පාන දුප්පත් පවුල් බොහොමයි. මගේ නවකතාව ඒ අයට උත්සාහවන්තව ජීවිතය දිනන්නට හේතුවක් වේවි කියලා මා සිතනවා. සියල්ලන්ට ම මනුෂ්‍යත්වය උගන්වන්නයි මට වුවමනා වුණේ. ඒ වගේ ම එදාට නවකතාව එළි දැක්වීමේ උලෙළට සියල්ලන්ට ම සහභාගි වන්න කියලත් මා ආරාධනා කරනවා. ප්‍රධාන දේශකයා වන්නේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්මායි. මගේ නවකතාව එළිදැක්වීමට උදව් කළ සියල්ලන්ටමත් ස්තූති කිරීමට මේ අවස්ථාවක් කර ගැනීමට මා කැමැතියි.