වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මානනීය වැඩ සටහනක් රූ ගැන් වූ හැටි අතුල විස්තර කරයි

උඩරට මැණිකේ තැටියට එයි

සම්මානනීය වැඩ සටහනක් රූ ගැන් වූ හැටි අතුල විස්තර කරයි

අලුත් වැඩසටහනට ඔබටත් අවස්ථාවක්

වට රවුම, වනමං මැදින් අකුරට, උඩරට මැණිකේ ආදී වැඩසටහන් ජාතික නාළිකාව වෙනුවෙන් නිෂ්පාදනය කළ අතුල දිසානායකගේ නවතම රූපවාහිනී සංචාර වැඩසටහනට අවස්ථාව ලබාදෙමින් නවක නිවේදිකාවක් හඳුන්වාදීමට ඔහු අපේක්ෂා කරයි. වයස අවුරුදු 25 - 30 අතර රුවැති තරුණියන් මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක්, තමා පිළිබඳ විස්තරයක් සහිතව 'නිවේදක වරම්' සරසවිය බාරේ, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට එවීමෙන් මෙහි මූලික සම්මුඛ පරික්ෂණයට සහභාගි විය හැකිය.

අප ගමන ආරම්භ කළේ කොළඹ කොටුව දුම්රිය ස්්ථානයෙන්. මා ඇතුළු අපේ ජාතික රූපවාහිනියේ නිෂ්පාදන කණ්ඩායම මේ පටන් ගත්තේ සැබැවින්ම අභියෝගාත්මක චාරිකාවක්. මටත් අප පිරිවරටත් නිෂ්පාදිකා මයුරි වානගුරුගේ සවිය නිරන්තරයෙන් ලැබුණා.

එහෙම නොතිබෙන්නට අපට මේ කාර්යය ලෙහෙසි පහසු එකක් වන්නේ නැහැ. අප සැවොම ලහි ලහියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නවත්වා තිබූ උඩරට මැණිකේ දුම්රියට නැංගා. දැන් මේ හදන්නේ එම දුම්රියේ අවසාන නැවතුම්පළ වන බදුල්ල දක්වා යන්න.

හැබැයි මේක නිකම්ම නිකම් ගමනක් වුණේ නැහැ. උඩරට මැණිකේ දුම්රිය බදුල්ලට යනකම් ඒ අතරතුර තියෙනවා ඓතිහාසික, සාමාජීය මෙන්ම භූගෝලමය වටිනාකමක් ඇති ස්ථාන. අන්න ඒවා ජාතික රූපවාහිනිය හරහා මේ වැඩසටහන ඔස්සේ ගෙන එන්න තමයි අපේ වෑයම. මේ අපූරු වැඩසටහන පටන් ගත්තේ 2008 අවුරුද්දේ. නම් කළේ උඩරට මැණිකේ යනුවෙන්. මේක ඇත්තටම කිසිම නාළිකාවක් මීට පෙර නොකළ වැඩක්. කොළඹ සිට බදුල්ල දක්වා දුම්රියේ යන ගමන හරිම චමත්කාරජනකයි.

හැබැයි මේ අවට ඇති වටිනා දේ ගැන වැඩි දෙනෙක් අහලා තිබුණේ නැහැ. ඒ හින්දම මෙවන් වැඩසටහනක් කිරීමට අපගේ දැඩි අවශ්‍යතාවයක් තිබුණා. අපගේ ඒ ගමනට නිවේදකයන් දෙදෙනෙකු සහ නිවේදිකාවක් එකතු වුණා. ඒ ගයන්ත, ශ්‍යාමෙන් සහ ඉරේෂා. මේක හිතන තරම් ලෙහෙසි ගමනක් වුණේ නැහැ.

අතිශය දුෂ්කරයි. දවස් හතරක් තිස්සේ රූගත කිරීම් සිදු කළ යුතුව තිබුණා. හරිම සංකීර්ණ වැඩක්. මේ වෙලාවේ මට උඩරට මැණිකේ රූපගත කිරීම් කරන්නට ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම් පෙළක්ම මතක් වෙනවා. මං ඒවා එකින් එක මෙහෙම කියන්නම්. උඩරට මැණිකේ දුම්රිය ගමනේදි අපට ජනප්‍රියම කඳුගැටයන් කිහිපයක් හමු වෙනවා. උදාහරණයක් විදිහට කිව්වහොත් උතුවන්කන්ද හෙවත් සරදියෙල් හිටපු කන්ද, බතලේගල ආදිය. අන්න ඒවාට අප අනිවාර්යයෙන්ම නැඟිය යුතු වෙනවා.

නෑ බෑ කියන්න බැහැනෙ. කට්ටිය හතිදාගෙන කඳු නැංගා. හවසට ඇඟපත රිදෙනවා හොඳටම. බාම් එහෙම ගාලා තමයි පහුවෙනිදාට ෂූටිං පටන් ගත්තේ. උඩරට මැණිකේ වෙනුවෙන් අප උඩරට හා බැඳුණු ගීත ප්‍රතිනිර්මාණය කළා. විශේෂයෙන්ම උඩරට කඳුකර වගේ ගීත. ඒවත් එක්ක උඩරට මැණිකේ වැඩසටහනට ලැබුණේ අමුතුම චමත්කාරයක්. දින කිහිපයකට පසු අපි ඔහියට ආවා. එහිදී අපිට දරාගන්න බැරි සීතලක් දැනුණා. කට කට ගාලා ගැහෙනවා. නවාතැන් ගෙන සිටි තැන වතුර අයිස් වගේ.

මේ තත්ත්වය මත වැඩි දෙනෙක් නාගන්න තියා ඇඟපත හෝදගන්ටත් කම්මැලි වුණා. සමහර අයට ඒ සීතල වැඩි ගාණක් වුණේ නැහැ. ඒ අය මොකද දන්නවද කළේ නොනෑව අය බලෙන් නාවපු එක. මොනවා කරන්නද සියල්ලන්ටම හොඳට නාන්න වුණා. අපේ කැමරා අධ්‍යක්ෂවරයා ගැන මේ වෙලාවේ වචනයක් කිව යුතුමයි. ඔහු සමහර වෙලාවල්වලදී කෝච්චියේ පිටත එල්ලිලා රූගත කිරීම් කළා. දන්නවනෙ ඉතින් උඩරට ප්‍රදේශයන්හි මීදුම් අධිකයි කියලා. ඉතින් එහෙම වෙලාවන්වලදිත් ඔහු පිටත සිට ෂූට් කළා.

බැරි වෙලාවත් ඉදිරියෙන් බාධකයක් තිබුණා නම් ළඟට එනකම්ම පෙන්නේ නැහැ මීදුම නිසා. නමුත් ඔහු ඒ කිසිවක් බාධකයන් හැටියට නොසලකා රූගත කිරීම් කළා. වාසනාවට අපට එහෙම කරදරයක් වුණේ නැහැ. කොළඹ ඉඳලා බදුල්ලට යනකම් දුම්රිය ස්ථාන අසූවක් පමණ තියෙනවා. ඒ වගේම බිං ගෙවල් හතළිහකට වැඩියි. මේවා සියල්ල පහු කරගෙන අප ස්ථාන දෙසීයකට වඩා රූපගත කිරීම් කළා. ඒ අතරේ අම්බුලුවාවේ කළ රූගත කිරිම නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ අවට කූඩැල්ලෝ ගොඩක් හිටියා.

කූඩැල්ලන්ගෙන් බේරි බේරි අප සෑහෙන්න කට්ටක් කෑවා වැඩේ ඉදිරියටම කරගෙන යන්න. උඩරට මැණිකේ සඳහා හිටිය එකම නිවේදිකාව තමයි ඉරේෂා. ඇය ඉතින් ටිකක් හැඩට ඉන්න ගැහැනු ළමයෙක්. ඒ හින්දා සමහර ප්‍රදේශවලින් ඇයට ලැබුණු සැලකුම් වැඩියි. ඔන්න දවසක් එක්තරා ගමක අප රූගත කිරිම් කර කර ඉන්න කොට ගැමියන් පිරිසක් ආවා.

ඔවුන් දැනගෙන අප රූගත කිරිම් කරගෙන යනවා කියලා උඩරට මැණිකේ වැඩ සටහනේ. ආගන්තුක සත්කාර ගැන දන්න ඒ අය අපිට වරක ගෙඩි දෙකක් ගෙනාවා. අපි හිතුවේ දෙකම අපිට කියලා. එහෙම නෙවෙයි, එකක් මුළු නිෂ්පාදන කණ්ඩායමට. අනෙක් එක තනිකරම ගෙඩිය ඉරේෂාට. බලන්නකෝ එකෙත් වැඩේ. එවලේ පටන් සෑහෙන වෙලාවක් යනකම් ඉරේෂා බයිට් වුණා.

උඩරට මැණිකේ අවසන් වෙද්දී බදුල්ල ස්්ටේෂන් එකේදී බදුල්ල මහ විද්‍යාලයේ ළමයි අපි වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය කරලා ගයලා අපිව මහත් හරසරින් පිළිගත්තා. එවන් වූ අවසානයක් සිදුවුණු උඩරට මැණිකේ වැඩසටහන නොසිතූ විරූ අන්දමින් ඉමහත් වූ ජනප්‍රසාදයක් ලැබුවා.

2009 රාජ්‍ය සම්මාන උලෙළේ හොඳම අධ්‍යාපන වැඩසටහන ලෙසටත් 2010 වසරේ ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සංචාරක වැඩ සටහන ලෙසටත් අභිෂේක ලැබුවා. අදටත් මිනිස්සුන්ට උඩරට මැණිකේ හොඳට මතකයි. නිතර අහනවා ඒ වැඩ සටහන ආයේ විකාශය වෙන්නේ නැතිද කියා. ඒ හින්දමයි අප මෙය ඩී. වී. ඩී. මාධ්‍යයෙන් නිකුත් කළේ. දැන් ඕනෑම ප්‍රේක්ෂකයකුට උඩරට මැණිකේ රස විඳින්නට හැකියි.

මම අතුල දිසානායක

උඩරට මැණිකේ වැඩසටහනහි නිෂ්පාදක.