වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




Bollywood

සම්මානයේ අගය

අනූව දශකයේ ඉහළ ජනප්‍රියත්වයක් ලබාගෙන සිටි රවීනා තන්දන් පසුගියදා සම්මානයට පාත්‍ර වුණා. ඒ ntertainment Trade Award  2016 දී යි. ඇයට මේ සම්මානය පිරිනැමුණේ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර විසින්.

රවීනා කියන්නේ බොලිවුඩයට නිළියක් වුණාට ධර්මේන්ද්‍රගේ රසිකාවක්. තමන් දැඩි සේ ප්‍රිය කරන නළුවා අතින් තමන්ට සම්මානයක් පිරි නැමීමට කටයුතු යෙදීම ගැන රවීනා ntertainment Trade Award  සංවිධාකයන්ට ස්තූතිකර සිටියා. මේ නිසා සම්මානයේ අගය තවත් බොහො සේ ඉහළ බව ඇය පවසනවා. 41 හැවිරිදි රවීනා මේ වසරේදී බොලිවුඩ් රිදි තිරයේ දකින්න අවස්ථාව ලැබෙනවා. ඒ Shab සහ Maatr - The Mother  චිත්‍රපට ද්විත්වයෙන්.


දොළොස් වසරක් ලියූ කෘතියක්

නළු නිළියන් තමන්ගේ අදහස් තමන් ළඟම තියා ගන්න එක ‍වඩාත් හොඳ බව ප්‍රවීන බොලිවුඩ් නළු නසරුදීන් ෂා පවසනවා. නමුත් ජනතාව සමඟින් ජනතාවට යමක් දිය යුතු නම් ඒ වෙනුවෙන් වඩාත් ගැලපෙන්නේ තමන් රඟන චරිත බවත් පසුගිය දවසක ඔහු සඳහන් කළා. “මිනිස්සු කොහොමත් නළු නිළියන්ගේ අදහස් ගණන් ගන්නේ නැහැ. ඔවුන් ඒවා අහගෙන ඉඳීවි. ඒ ගැන විහිළුවක් කරාවි. නමුත් ඒවා වැදගත් විදියට නම් ගණන් ගන්නේ නැහැ “ ඔහුගේ අදහස එය යි.

නසරුදීන් ෂා මෙසේ පවසන්නේ මරාති බසින් රචිත ඔහුගේ කෘතිය සමඟින්. මුල් කෘතිය ඉංග්‍රිසි බසින් රචනා කළත් පසුව එය මරාති බසට පරිවර්තනය කර තිබෙනවා. එහි ඇතුළත් වෙන්නේ ඔහුගේ ජීවන අත්දැකීම්. ‍ඒ විතරක් නෙවෙයි මේ පොත ලියන්න ඔහුට අවුරුදු දොළහකුත් ගත වෙලා. “මට පොතක් ලියන්න මේ තරම් කාලයක් ගත වුණේ, මම ලේඛකයකු නොවන නිස යි. මං මට පුළුවන් වෙලාවට ලිව්වා. ඒත් කවදාවත් එය පොතක් වේවි යැයි හිතුවේ නැහැ” නසරුදීන් ෂා පවසනවා.


අමීර්ගේ දායාදය

සුපිරි නළු අමීර් ඛාන් ගැන කාලයක සිට විවිධ කතා පැතිරෙනවා. ඒ අතරේ තවත් විශේෂ ආරංචියක් තියෙනවා. එය නම් සෑම වසරකම ශිෂ්‍යයින් දෙදෙනෙකුට සිනමා ලෝකයේ පුහුණුවක් ලබාදීමට ඔහු ගත් තීරණය යි. ඒ අනුව ඔවුන් යම්කිසි කාලසීමාවකට යටත්ව පූර්ණ කාලිනව අමීර් යටතේ පුහුණුවනු ඇති බව කියවෙනවා.

ඔවුන් එක් තැනකට සීමා කරන්නත් අමීර් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු සහභාගි වන රූගත කිරීම්, සිනමාවට සම්බන්ධ විවිධ හමුවන්, පෙර පුහුණුවීම් ආදි සියල්ලකටම මේ සිසුන් කැඳවා ගෙන යන්න සූදානම්. මේ ඔස්සේ තමන් සිනමා ක්ෂේත්‍රයේ ලද දැනුම සහ අත්දැකීම් ඊළඟ පරම්පරාවට දායාද කිරීම අමීර්ගේ බලාපොරොත්තුවයි.


අලුත්ම යුවළ කන්ගනා - ශාරුක්

කන්ගනා රනවුත් විවිධ චරිත නිරූපණයන් සමඟින් බොලිවුඩයේ සම්මානනීය ලෙසින් නමක් දිනූ නිළියක්. ඒ විතරක් නෙවෙයි ඇයගේ දක්ෂතාවය නිසාම ඇය වටා විශාල රසික රසිකාවන් පිරිසක් රොක් වී සිටිනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන හතරක් සහ ඉන්දිය ජාතික සම්මන ත්‍රිත්වයක් ඇතුළුව තවත් සම්මාන රැසකට හිමිකම් කියන කන්ගනාට 2006 වසරේ සිට මේ දක්වා බොහෝ නළුවන් සමඟින් තම චරිත නිරූපණයන් කළද තවමත් ශාරුක් ඛාන් සමඟින් චිත්‍රපටයකට දායක වෙන්න අවස්ථාව ලැබිලා නැහැ.

ඒ වුණත් ළඟදීම ඒ අවස්ථාවත් උදා වෙන බව බොලිවුඩ් ආරංචි ගෙන එනවා. සන්ජේලීලා බන්සාලිගේ නිර්මාණයක් වන එය තවමත් ළදරු අවධියේ පවතින බවත් ආරංචියි. බොලිවුඩයේ කිං ඛාන් සමඟින් රඟපෑමට අවස්ථාවක් ලැබීම ගැන කන්ගනා ගොඩක් සතුටින් ඉන්නවා කියලත් ආරංචියි.


දීපිකා ලොව වැඩිම මුදලක් අය කරන නිළියන් අතර

දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා දැන් බොලිවුඩයේ වගේම‍ හොලිවුඩයටත් තම රංගන දායකත්වය ලබා දෙන නිසා තරගකාරි බවකුත් දකින්න ලැබෙන බව බොලිවුඩයෙන් ආරංචි වෙනවා. මෑතකදි ‘ෆෝබ්ස්’ සඟරාව කළ සමීක්ෂණයකට අනුව දීපිකා පදුකෝන් ලොව ඉහළම මුදලක් අය කරන නිළියන් දස දෙනා අතරට පැමිණ සිටිනවා. ඇයගේ වසරක ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10ක් බව එහි සඳහන්. දීපිකාට මෙම ලැයිස්තුවේ හිමි වී තිබෙන්නේ දස වැනි ස්ථානය යි.

නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව ඉහළම මිලක් අය කරන නිළිය ලෙසින් නම් වී තිබෙන්නේ  ‘Hunger Games’ චිත්‍රපට මාලාව ඔස්සේ ඉහළ ජනප්‍රිත්වයක් ළඟාකර ගත් ජෙනිෆර් ලෝරන්ස්. ඉන් පසුව Ghostbusters  චිත්‍රපටයේ නිළි මෙලිසා මැකාර්ති දෙවන ස්ථානයට පැමිණ සිටිනවා. ස්කාලට් ජොහැන්සන්, ජෙනිෆර් ඇනිස්ටන්, චාලීස් තෙරොන්, ඇමි අඩම්ස්, ජූලියා රොබට්ස් සහ මිලා කුනිස් පිළිවෙලින් තෙවන ස්ථානයේ සිට නමවැනි ස්ථානය දක්වා හිමිකර ගෙන සිටිනවා. මෙම ලැයිස්තුවේ සිටින එකම ඉන්දීය නිළිය වෙන්නේ දීපිකා. ප්‍රියංකා චොප්රා ද මෙම ලැයිස්තුවට එක්වනු ඇති බව බොහෝ දෙනා අනුමාන කළත් ඇයට එහි ස්ථානයක් අහිමි වී තිබෙනවා.