වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය

ඩොක්ටර්ට මෙච්චර ලස්සන දුවෙක් ?

ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්‍රශිල්පී අරවින්ද ගේ සිතුවමින්

ඔයාට රඟපාන්න පුළුවන් කියලා මං දන්නවා. හැබැයි නිවේදනය කරන්න පුළුවන් කියලා දන්නේ අද'

රවිඳු දුණුවිල මානවීගේ සුරත තදින් මිරිකුවාය. ඒ අත සිනිඳුය. කිසි කලක මහන්සි වී වැඩක් පලක් කර නැති පිරිමි අතක් යැයි මානවිට සිතිණ. රවිඳු උසය. ඒ ගාණට මහතය. හැඩයි. යාන්තමට රැවුල වවාගෙනය. කොළඹ ඉහළ පාසලක ඉගෙනුම ලැබූ ඔහු උසස් අධ්‍යාපනය ලද්දේ අමෙරිකාවේදීය. ඔහුගේ සිංහල උච්ඡාරණය තුළ ඉංග්‍රීසි හුරුවක් තිබුණ ද එය ද නිරවුල්ය.

'තැන්ක් යූ. මට රඟපාන්න පුළුවන් කියලා කොහොමද දන්නේ?'

'ඇයි මං ටෙලිවිෂන් නාට්‍ය බලනවනේ'

'ඔක්කොම?'

'නෑ තෝරලා බේරලා'

විදුලි පහන්වල ඇත්තේ දැඩි දම් පැහැයකි. එය ප්‍රිය සාදයකට සුදුසුය. මෙයට හෝරාවකට පමණ පෙර හෝටලයේ යාබද ශාලාව වෙන්ව තිබුණේ ග්‍රන්ථයක් දොරට වැඩීමටය. ඒ වීරප්පෙරුම විසින් රචනා කරන ලද 'දස රාජ ධර්මය සහ නිදහසින් පසු ලංකාව' ග්‍රන්ථය දොරට වැඩීම වෙනුවෙනි. උලෙළ මහ ඉහළින් සංවිධානය කිරීම විරප්පෙරුමගේ අවශ්‍යතාව විය. ඒ සඳහා ඔහු ප්‍රධාන පෙලේ උත්සව සංවිධායක සමාගමකට කටයුත්ත බාර දුන්නේය. උලෙළේ නිවේදන කටයුතු සඳහා රූපවාහිනියේ ජනප්‍රිය නිවේදකයකු වූ තිස්ස සමඟ මානවී හවුල් වූවාය. මානවී ඒ සඳහා තෝරා ගත්තේ විරප්පෙරුමගේ වුවමනාවටය.

'මං කරලා නෑනේ'

ඈ මුලින් විරෝධය පළ කළාය.

'හැම දේම පුරුදු වෙන්න. මං හිතන්නේ මේ උත්සවේට එළියක් වෙයි'

වීරප්පෙරුම සැක දුරු කළේය. මානවී හිස වැනුවාය. උත්සවයේ නිවේදන කටයුතු සඳහා අවශ්‍ය පිටපත ලැබිණ. මානවී තිස්ස සමඟ එය ප්‍රගුණ කළාය.

'අනේ මට නම් බයයි අයියේ. ඔය පොලිටිෂියන්ස්ලාගේ නමක් වැරදුනොත් එහෙම ඔක්කොම ඉවරයි'

'බය වෙන්න එපා. මං ගොඩ දාන්නම්'

ඔහු ඇයව අස්වසාලුවේය. උත්සවයට සපැමිණෙන ආරාධිතයන් පිළිබඳව මානවී කලින් දැන සිටියාය. ආරාධනා පත්‍ර ලියැවුණේ වීරප්පෙරුමගේ නිවහනේ සිටය. ඒ සඳහා පෞද්ගලික ලේකම් ජයතුංග ඇතුළු රාශියක් දායකව සිටියේය. මානවී එයට සම්බන්ධවන්නට සැරසුණත් වීරප්පෙරුම එය කාරුණිකව ඉවත දැම්මේය.

'ඔය දරුවට වැඩ තියෙනවානේ. මං ඕනෑ වෙලාවට කියන්නම්'

වීරප්පෙරුමගේ පෞද්ගලික ලේකම් ජයතුංග දිගු කලක් රාජ්‍ය සේවයේ යෙදී සිටියෙකි.

'මේ ළමයා කවදාවත් අපේ රාජකාරිවලට ඇඟිලි ගහලා නෑ. කාටවත් රස්සාවක් දෙන්න කියලා ඉල්ලා නෑ'

විරප්පෙරුම ජයතුංගට පැවසුවේය. පැරැණි අත්දැකීම් කටුකය.

'ඒක නං ඇත්ත සර්'

ජීවිතයේ සියලු රහස් දැන සිටියද කෙළ බිඳක් හෝ එලියට නොදාන ජාතියේ මිනිසකු ලෙස වීරප්පෙරුම ජයතුංග හඳුනාගෙන සිටියේය.

විරප්පෙරුමගේ ග්‍රන්ථය එළි දැක්වීමේ උත්සවයට ඉන්දියානු දේශපාලන විද්‍යා මහාචාර්යවරයකු වූ අර්ජුන් සිං ද පැමිණ සිටියේය. මුඛ්‍ය දේශනය ඔහුගේය. උත්සවය සම්බන්ධව ප්‍රිය සාදයක් ද විය. සාදයට පෙර ග්‍රන්ථය දොරට වැඩීමේ උලෙළ පැවත් වූ අතර එයට ආරාධනා ලද මහ සඟරුවන එයින් පසු ආපසු වැඩම කළහ. පක්ෂ, විපක්ෂ දේශපාලකයෝ රැසක් ද විද්වතුන් රැසක් ද එහි වූහ.

සබා ගැබ අරඹන්නට වේදිකාවට පැමිණි මානවී ගැහෙන්නට පටන් ගත්තේ එම පිරිස දුටු විටය. තමා ඉදිරිපිට කැමරාවක් නැත. සිටින්නේ බහුතරය රට පිළිගත් ප්‍රභූවරුය. ඇය තිස්ස දෙස බැලුවාය. ඇගේ අසරණකම පළපුරුද්දෙන් වටහා ගත් තිස්ස වහා නිවේදන කටයුතු ඇරඹුවේය. මානවී ළය පුරා හුස්මක් ගෙන සබා ගැබ දෙස නෙත් විහිදා බැලුවාය. අනතුරුව ඈ තිස්ස දෙස බැලුවේ තමන් සූදානම් බව හඟවන්නටය. එහි දේශන දෙකකි. එකක් ඉන්දියානු විද්වතාගේය. දෙවැන්න අපේ මහාචාර්යවරයෙකි. විශේෂ දෙසුමක් පැවැත් වූ නා හිමිපාණන් වහන්සේ වීරප්පෙරුම නම් වියතාණන්ගේ යටගියාව රසවත්ව හෙළි කළේය. එතුමන් එය නිම කළේ මෙම කෘතස්ත විද්වතාණන් දේශපාලන මඩ ගොහොරුවක ගිලුණ වග හඟවමිනි.

සාදය ඇරඹෙන විට මානවී සිටියේ සැහැල්ලු සිතිණි. ඇය තිස්ස කැටුව සාදයට ගියාය. යුරෝපීය ඇඳුමෙන් කදිමට සැරසුණු මහත්වරුන් මෝනාවරුන් එහි පිරී සිටියහ. ඇයට බඩගින්නක් ඇතිව තිබිණ. ඇය වට පිට බැලුවාය. මධු සාදයේ සිටින්නේ පෙර සබා ගැබේ සිටි සන්සුන් මිනිසුන් නොවේ. ඉතා සිහින් සංගීත රාවය පරදවා මිනිසුන්ගේ කෙඳිරිලි හඬ ඉස්මතු විය. මානවී රත් වෙමින් තිබූ මොනවා හෝ ආහාරයක් ගන්නට සැරසිණ. රවිඳු ඇයට හමු වූයේ එතැනදීය.

'මානවී මං මේ කොහෙද කියලා බැලුවා'

ඈ හැරී බැලුවාය. ජයතුංග එතැනට පැමිණ සිටියේය.

'අන්න සර් පොඩ්ඩක් කතා කරනවා'

රවිඳුගෙන් සමුගත් ඇය වීරප්පෙරුම හමුවට ගියාය. වීරප්පෙරුම ඇඳ සිටියේ ජාතික ඇඳුමකි. ඔහු සමඟ අසුන්ගෙන සිටිනුයේ පක්ෂයේ නායකයාය. ඒ සමඟ මහාචාර්ය අර්ජුන් සිං සිටියි.

විරප්පෙරුම අමුත්තන් සමඟ කතාව හමර කරන තෙක් මානවී සිටගෙන බලා සිටියාය. පක්ෂ නායකතුමා මානවී දැක විරප්පෙරුමට ඉඟි කළාය. වීරප්පෙරුම හැරී බැලුවේය.

'සර් ඇහුවේ මේ මානවී ගැනනේ, මගේ දු වෙන කෙනෙක්'

වීරප්පෙරුම මානවී හඳුන්වා දුන්නේ එලෙසය. මානවී දෙස බැලූ පක්ෂ නායක විජයනායක මානවීට අත දිගු කළාය. අනතුරුව අර්ජුන් සිංය. කැමරාවක විදුලි ආලෝකයක් පත්තු වී විජයනායක මානවීගේ වගතුග විමසන්නට මිනිත්තු කිහිපයක් කැප කළාය. අර්ජුන් සිං ද ඒ කතාවට හවුල් විය.

'ඩොක්ටර්ට මෙච්චර ලස්සන දුවක් ඉන්නවා කියලා මං අදනෙ දන්නේ'

විජයනායක ඉංග්‍රීසියෙන් පැවැසුවේ සිනහවෙමිනි.

'ඇයි මෙයා දේශපාලනයට ගේන්නේ නැත්තේ'

විජයනායක ඇසුවේ අර්ජුන් සිං සිනහගන්වමිනි.

'ඒක තමා ආසියාවේ දේශපාලනය. දස රාජ ධර්මය'

අර්ජුන් සිං විජයනායකට ඌන පූර්ණයක් එක් කළේය.

'ඩොක්ටර් වීරප්පෙරුමගේ පුතා අමෙරිකාවේ, දුව ඕස්ට්‍රේලියාවේ. ඉතින් කවුරු හරි එනව නම් හොඳයි. අනිත් කාරණය ආසනයක් ඉල්ලන්න පුළුවන්නේ මේ ළමයට බය නැතුව ජාතික ලැයිස්තුවෙන් නැතුව'

විජයනායක මානවීගේ උරහිසට අත තැබුවේය.

'හිතලා බලන්න, සුබ පැතුම්'

මානවී සිනහසුණාය. ලෝකය විශාලය. අමුත්තන් අතරින් කිහිප දෙනෙක් ඇය විජයනායක සමඟ කතා කරනු බලා උන්හ. ඔවුන් මානවී ආපසු එද්දී හැරී බැලුවේ සිනහමුසු මුහුණිනි. ලෝකය කෙතරම් පුළුල්දැයි ඇය සිතා බැලුවාය. මුලින්ම ඇගේ ලෝකයේ තිබුණේ ගම්මානයයි. එහි සිටියේ සුළුතරයකි. අනතුරුව ඇය නගරයට පිවිසියාය. රංගනය වෘත්තීය කර ගත් පසු ඇය ලෝකය වඩා පුළුල් බව වටහා ගත්තයා. අද ලෝකය තවත් පුළුල් එකක් ලෙස ඇයට වැටහිණ.

තවත් කිසිවකු සමඟින් කතා කරමින් සිටි රවිඳු ඈ දෙස බලා සිනාසුණි.

'ඩොක්ටර් ඔයාගේ කවුද?'

'මගේ ද? මාමා'

මානවී වහා පිළිතුරු දුන්නාය. රවිඳුගේ අත වූයේ වීදුරුවකි.

'ඔයා වයින් එකක් බොනවද?'

ඈ හිස සලා කැමැත්ත පළ කළාය. වේටර්වරයකු එතැනින් යද්දී රවිඳු ඔහුට සන් කළේය. රවිඳු හා කතාවට තවත් කෙනෙකු එක් විය. මානවීට තනි වූවා වැනි හැඟීමක් ඇති විය. වෙනත් තැනකදී දන්නා පිරිස් එමට වුවත් මෙතැනදී ඈ නොදන්නෝ බොහෝය. ඔවුන්ගෙන් ඇතැමෙකු මානවී හඳුනන්නා සේ සිනාසෙති. ඔවුනට පෙරළා සිනාවෙන්නට ඈ මැලි නොවූවාය.

'ඔයා ටෙලි ඩ්‍රාමාස් ඇක්ට්‍රස් නේද? මම හරි කැමැතියි ඔයාගේ රඟපෑමට'

කොණ්ඩය උඩට කොට බැඳගත් මහළු විය සඟවාලනු රිසි ගැහැනියක මානවීට පවසා සිටියාය.

'මිසිස් ධර්මවර්ධන එයා ආසයි මේ වගේ ෆන්ක්ෂන්වල පෙනී ඉන්න'

රවිඳු හීන් සිනහවකින් මානවීට පැවසුවේය.

'මම මේ වගේ එකකට එන්නේ කලාතුරකින්. හැබැයි අද වැඩේ නම් හොඳයි'

රවිඳු තොරතෝංචියක් නැතුව කියාගෙන යයි. හිස් වන හැම විටම ඔහුගේ මධුවිත පිරෙයි.

'ඉතින් ඔයා දිගටම රඟපානවද?'

අනතුරුව ඔහු කෙළින්ම මානවී හා කතාවට බැස්සේය.

'බලමු'

ඇයට මලිත් සිහි විය. දේශපාලකයකුගේ පුතකු වූ මලිත් සමඟ ඇගේ සබඳතාව දැන් අවසානය. එහෙත් රවිඳු එයට වෙනස්ය.

'මේ පොතේ ඔයාටත් ස්තූතියක් කරලා තිබුණා ඔයාගේ මාමා'

රවිඳු එක් අතක තබාගෙන සිටි විරප්පෙරුමගේ ග්‍රන්ථය මානවීට ගෙනහැර පෑවේය. එහි විශේෂ ස්තූතිය පිරිනැමූවන් අතර මානවී ද උන්නාය.

'ඔයා මාමට මොන වගේ උදව්වවක් ද කළේ?'

මානවී කිසිත් නොකියා සිනාසුණාය.

'මාත් පොතක් ලිව්වා. ආර්ථික විද්‍යාව ගැන. මට ඒක සිංහලට පරිවර්තනය කරන්න ඕනෑ'

'මට නම් බෑ'

'මම දන්නවා ඔයාට බෑ කියලා. මං කිව්වේ කවුරු හරි ඉන්නවද කියලා'

'මං හොයලා බලන්නම්'

'ඉතින් දැන් ඔයා මොනවද ඇට් කරන්නේ අලුතින්'

මානවී විස්තර කියන්නට ගත්තාය. ඒ අතරවාරයේ සාදයේ පිරිවර අඩු වන අයුරු ඇයට දැනිණ. වටපිට බැලුවේ වීරප්පෙරුම ඉන්නේ ද සොයන්නටය. ඔහු තවත් කිසිවකු සමඟ කතාවකය. තිස්ස ද නික්ම ගොසිනි.

'ගොඩක් රෑ වුණා'

මානවී අත් ඔරලෝසුව බැලුවාය.

'ඔයා කොහෙටද යන්නේ'

'මං මාමත් එක්ක යනවා'

රවිඳු හිස සැලුවේය. වීරප්පෙරුම ජයතුංග සමඟ එදෙසට ආවේය.

'මාත් එක්ක යනවා නේද?'

ඔහු මානවීගෙන් ඇසුවේය. ඔහු අනතුරුව රවිඳු දෙසට යොමු විය.

'කොහොමද ඉලන්දාරියා අපට හම්බු වෙලා කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා'

'ඒක තමයි ඩොක්ටර් මං මානවීටත් කිව්වේ'

'ඕන වෙලාවක, දැන් මම නිදහස්'

මානවී වීරප්පෙරුම සමඟ හෝටලයෙන් එළියට ගියේය. ඔහුගේ රියදුරු මෝටර් රථය පහත මාලයට ගෙන ආවේය.

'මම මගේ වාහනෙන් එතැනට එන්නම්'

වීරප්පෙරුම හිස සලා සමු ගත්තේය. රවිඳු පහත මාලයට එනු ඇයට පෙනිණ. ඇය හෝටලයේ තිබූ රථ ගාලට ඉක්මන් ගමනින් ගියාය.

'හොඳ අනාගතයක් තියෙන ඉගෙන ගත්තු ඉලන්දාරියෙක්'

විරප්පෙරුම මානවීට පැවසුවේ තවත් හෝරාවක් පමණ ගෙවුණු තැනය.

මානවී සිනාසුණාය.

'හැබැයි ටිකක් පිස්සු කේස් එකක් වගේ' මානවී සිනාසුණාය.

'ඔව් දේශපාලනය කරනවානේ'

එබසට මානවිට සිනහව නතර කර ගත නොහැකි විය.

'මොනවද ඒ හාදයා ඔච්චර ඇහුවේ'

'සර් එක්ක මගේ තියෙන සම්බන්දෙ මොකක්ද කියලා'

'මොනවද කිව්වේ'

'මං කිව්වා මාම කියලා'

මානවී නියපොතු සපමින් පැවසුවාය. ඇයගේ ඇස් විදුලි එළියට දිලිසෙයි. වීරප්පෙරුම මානවීගේ මුහණට එබුණාය.

'ඇයි සර්මනේ කිව්වේ මම දුවෙක් කියලා'