වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




වින්දනීය සිනමා සටහනක්

වින්දනීය සිනමා සටහනක්

සිනමා ගුරුන්ගෙත් ගුරු මාර්ටින් ස්කෝසේසී

ඇමරිකා එක්සත් ජනපදය
නොවැම්බර් 17, 1942
විශිෂ්ට චිත්‍රපට - ටැක්සි ඩ්‍රයිවර්, රේජිං බුල්, ගුඩ් ෆෙලාස්, එවියේටර්, ද ඩිපාර්ටඩ්

මාර්ටින් ස්කොසේසී ඔහුගේ පරම්පරවේ ශ්‍රේෂ්ඨතම ඇමරිකානු අධ්‍යක්ෂවරයා බව පොදු පිළිගැනීමයි. ඔහු දිනා ඇති විචාරක පැසසුම් අපමණයි. ඔස්කාර්හි ඔහුව ඇගයිමක ලක් නොවීම ඔහුට ක්ෂේත්‍රය තුළ ඇති ගෞරවය වැඩි කිරීමට සමත් වී තිබෙනවා. විචාරකයින්ගෙන් සිනමාකරුවන්ගේ මේසා ඇගයීම හේතුවෙන් ඔහුගේ චිත්‍රපට බොහොමයක සීමිත හෝ නැත්තටම නැති බොක්ස් ඔෆිස් සාර්ථකත්වයක් ලැබුව ද නොසෑහෙන සංස්කෘතික නම්බුවක් / ගෞරවයක් / ප්‍රසිද්ධීයක් සහ බලයක් ගොඩ නඟා ගැනීමට ස්කෝසේසී සමත් වී තිබෙනවා. ස්ටීවන් ස්පිල්බර්ග් ඔහුගේ බොක්ස් ඔෆිස් සාර්ථකත්වය සහ ඔස්කාර් ඇගයීම අනුව එම පරම්පරාවේ වඩාත් ජනප්‍රියම නියෝජිතයා ලෙස හැඳින්වුවොත් ස්කෝසේසී පැහැදිලිවම එම පරපුරේම විචාරක ප්‍රියයා යැයි හැඳින්වීම නිවැරදියි. මාර්ටින් ස්්කොසේසීගේ ඔහුටම විශේෂිත වූ බහුශ්‍රැත දෘෂ්ටිය ඔහු සිනමාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ අධ්‍යක්ෂවරයකු බවට පත් කර තිබෙනවා.

මාර්ටින් ස්කෝසේසී උපත ලැබුවෙ නිව්යෝක් නගරයේය. ඔහුගේ පියා ලුසියානෝ චාල්ස් ස්කෝසේසී (1913 - 1993) සහ මව කැතරින් කැප්පා (1912 - 1997) දෙදෙනාම නිව්යෝක් නගරයේ ඇඟලුම් දිස්ත්‍රික්කයේ සේවය කළා. පියා රෙදි මදින්නෙකු වූ අතර මව රෙදි මනින්නියක් වූවා. බ්‍රොන්ක්ස් හී කාදිනල් හේස් උසස් පාසලේ ඉගෙනුම ලබන කාලය අතරතුර පූජකයෙකු වීමට සියුම් බලාපොරොත්තුවක් ස්කෝසේසීට තිබූ නමුත් සිනමාවට ඇති වුණු ආශාව හේතුවෙන් එය මැකී ගියා. ඔහු නිව්යෝක් විශ්ව විද්‍යාලයේ සිනමා පාසලට ඇතුළු වී ඉංග්‍රීසි විෂයෙහි ශාස්ත්‍රවේදී උපාධියක් ද (1964) සිනමාව සඳහා ලලිත කලාපති උපාධියක් ද (1966) ලබා ගත්තේ කෙටි චිත්‍රපට තනන අතරමයි. 1967 දී ස්කෝසේසී තමාගේ ප්‍රථම වෘත්තාන්ත චිත්‍රපටය වූ කළු සුදු අයි කෝල් ෆස්ට් නිමැ වු අතර එහි නම පසුව හූස් දැට් නොකිං ඇට් මයි ඩෝර් යනුවෙන් වෙනස් වුණා.

1972 දී ස්කෝසේසී ඇමරිකාව ආර්ථික අවපාතයෙන් පෙළුණු කාලයේ සිටි උපයෝජකයෙකු වූ බොක්ස්කාර් බර්තා ගැන චිත්‍රපටයක් නිර්මාණය කළා. චිත්‍රපටය තිරගත වූ පසු සිනමාවේදී ජෝන් කැසවෙටිස්, අනුන්ගේ ව්‍යාපෘති බාරගෙන කරනවාට තමා තමන්ට නිර්මාණය කිරීමට අවශ්‍ය චිත්‍රපට නිමවන ලෙස ස්කෝසේසීව උනන්දු කළා.

1973 මින් ස්ට්‍රිට්ස් ස්කෝසේසීගේ සිනමා ජීවිතයේ විශාල ඉදිරි පියවරක් තැබුවා. මේ වන විට ස්කෝසේසීගේ ඔහුටම ආවේණික වූ ශෛලය ස්ථාපිතව තිබුණා. එය නව අදහස් ඇති චිත්‍රපටයක් වුවත්, එහි අවුල් සහගත චිත්ත වේග ස්වභාවය, සුමට නැති වාර්තා චිත්‍රපට ශෛලිය සහ ධෛර්යවන්ත වීදි මට්ටමේ අධ්‍යක්ෂණය සිනමාකරුවන් වන ජෝන් කැසවෙටිස්, සැමුවෙල් ෆුලර් සහ මුල්කාලීන ජෝන් ලුක් ගොඩාඩ්ගේ ආභාසය පිළිබිඹු කළා.

1974 දී ජනප්‍රිය නිළි එලන් බර්න්ස්ටයින් ඇලිස් ඩසන්ට් ලිව් හියර් එනිමෝර් චිත්‍රපටයේ ඇයව අධ්‍යක්ෂණය කිරීමට ස්කෝසේසීව තෝරා ගත්තා. ඇයට ඒ රංගනය වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මාන ලැබුණා. ඉතා හොඳ පිළිගැනීමක් තිබුණත් මෙම චිත්‍රපටය ස්කෝසේසීගේ මුල්කාලීන සිනමා ජීවිතයේ නොගැළපීමක් හැටියට දැක්විය හැක්කේ එය ගැහැනු චරිතයක් ප්‍රධාන කරගෙන ඒ වටා ගෙතුණ කතාවක් වූ බැවිනි.

ප්‍රතිමාමක ටැක්සි ඩ්‍රයිවර් බිහි වුණේ 1976 දීය. එක් තනිවුණ මිනිසෙකු ටිකින් ටික සෙමෙන් සිහිවිකල් වීම පිළිබඳ ස්කෝසේසීගේ අඳුරු නාගරික බියකරු සිහිනය ඔහු ඉතා ඉහළ දක්ෂතාවයකින් යුතුව මෙහෙය වෙන නිපුණ විශාරද සිනමාකරුවෙකු බවට ස්ථාපිත කළා. කරදරයට පත් එමෙන්ම සයිකෝසියාවෙන් පෙළුණු ට්‍රැවිස් බිකල්ගේ චරිතය ඉතා නිර්මාණශිලී ලෙස නිරූපණය කළ රොබට් ඩි නීරෝව ඉමහත් පිළිගැනීමකට ලක් වුණා. එහි සහය චරිත අතර ජෝඩ් ෆෝස්ටර් ගේ මතභේදයන්ට තුඩු දුන් බාල වයස් ගණිකාවගේ චරිතයත් ඇගේ පිම්පියා ලෙස ලෙස හාවි කයිටේල් නිරුපණය කළ චරිතත් ප්‍රධාන වුණා. ටැක්සි ඩ්‍රයිවර් 1976 Palme d’or  (කැන්ස් සිනමා උලෙළ) ත්‍යාගය දිනා ගත්තේ ඔස්කාර් සම්මාන හතරකට ද නිර්දේශ වෙමිනි.

ටැක්සි ඩ්‍රයිවර් තුළින් ලැබූ විචාරක සම්මානය හේතුවෙන් ස්කෝසේසී තමාගේ ප්‍රථම බිග් බජට් චිත්‍රපටය සඳහා සූදානම් වුණේ අතිශයින්ම ශෛලිගත කළ සංගීතමය නිර්මාණයක් වූ නිව්යෝක් නිව්යෝක් සමඟයි. ස්කෝසේසීගේ උපන් නගරයට සහ ක්ලැසික් හොලිවුඩ් සංගීත චිත්‍රපටවලට උපහාරයක් ලෙස නිමැවුණු මෙය වාණිජමය වශෆයන් අසාර්ථක වුණා. නිව්යෝක් නිව්යෝක් අධ්‍යක්ෂවරයා රොබට් ඩි නීරෝ සමග එකතුව කළ තෙවැනි නිර්මාණය වුණා. ඊට අමතරව එහි ජනප්‍රිය නිළි ලයිසා මිනෙල්ලි ද රඟපෑවා. මේ චිත්‍රපටය අද බොහෝ දෙනකුගේ මකකයේ රැඳී තිබෙන්නේ ෆ්‍රෑන්ක් සිනාත්‍රා විසින් ගායනා කරන ලද අතිශයින්ම ප්‍රචලිත වූ එහි තේමා ගීතය නිසයි.

කෙසේ වෙතත් ස්කෝසේසී නැවතත් තම නිර්මාණ ශක්තිය පිළිබිඹු කරමින් විශිෂ්ට ද ලාස්ට් වෝල්ට්ස් අධ්‍යක්ෂණය කළා. එය ද බැන්ඩ් කණ්ඩායමේ අවසාන ප්‍රසංගය වාර්තා කරමින් සෑදුණු චිත්‍රපටයක් වුවා. ඔහු අනෙකුත් ව්‍යාපෘති හේතුවෙන් කාර්යබහුල වී සිටි හෙයින් එහි තිරගත වීම 1978 දක්වා කල් ගියා.

1980 දී ස්කෝසේසී ඔහුගේ ශ්‍රේෂ්ඨතම චිත්‍රපටය වූ රෙජිං බුල් නිර්මාණය කළා. ඔහු තමාගේ මුළු ශක්තියම වැය කර මිඩිල්වේට් බොක්සිං ශූර ජෙක් ලා මොට්ටාගේ ජීවිතය පිළිබඳව මේ ප්‍රචණ්ඩ සත්‍ය කතාව තිරයට නැඟුවේ එය චිත්‍රපට හැදීමේ කමකාසී ක්‍රමයයි පවසමිනි. මේ චිත්‍රපටය ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම සිනමා කෘතියක් බවට පිළිගැනෙනවා. රෙජිං බුල් හොඳම අධ්‍යක්ෂක, හොඳම චිත්‍රපටය ඇතුළු ඔස්කාර් සම්මාන 8 කට නිර්දේශ වුණේ රොබට් ඩී නීරෝට හොඳම නළුවාට හිමි සම්මානය ද තෙල්මා ෂුමේකර්ට හොඳම සංස්කරණය සඳහා සම්මාන ලබා දෙමිනි. මෙය ස්කෝසේසීව අධ්‍යක්ෂණය සඳහා නිර්දේශ වුණ ප්‍රථම අවස්ථාව වූ අතර අවසානයේදී එම ඔස්කාර් සම්මානය ඔඩ්නරි පීපල් අධ්‍යක්ෂ රොබට් රෙඩ්ෆර්ඩ්ට හිමි වුණා.

ස්කෝසේසී මීළඟ ව්‍යාපෘතිය රොබට් නීරෝ හා ඔහු අතර වූ පස්වනි සිනමා සුසංයෝගය වුවා. එම චිත්‍රපටය ද කිං ඔෆ් කොමඩි (1983) වූවා. මාධ්‍ය ලෝකය හා ජනප්‍රිය චරිත උපහාසයට ලක් කරමින් නිමැවුණු එම චිත්‍රපටය ස්කෝසේසීට වඩාත් හුරු හැඟීම්වලට කැපවුණු චිත්‍රපට අතරින් වෙනසක් ගත්තා. එසේ වුවත් මේ චිත්‍රපටයේත් ස්කෝසේසිගේ ට්‍රේඩ්මාර්ක් ලක්ෂණ බොහෝමයක් ඇතුළත් වුණා. එක් පුද්ගලයකු අපරාධයක් කරමින් දෛවයේ සරදමට මෙන්ම එයින්ම ප්‍රසිද්ධ පුද්ගලයෙකු වෙන ආකාරය ගැන ගෙතුණු මෙම චිත්‍රපටය වාණිජමය වශයන් අසාර්ථක වුව ද එය තිරගත වී කාලයක් ගත වු පසුත් අද වෙනතුරු ද කිං ඔෆ් කොමඩි විචාරකයින්ගේ ඉහළ පිළිගැනිමට ලක් වී තිබෙනවා. කෙසේ වෙතත් ස්කෝසේසී විශ්වාස කරන්නේ මෙය රොබට් ඩී නීරෝ ඔහුගේ චිත්‍රපටයක දක්වන ලද හොඳම රංගනය බවයි.

ස්කෝසේසී ඊළඟ චිත්‍රපටය සඳහා සම්පූර්ණයෙන්ම වෙනස් අකාරයේ මඟකට පිවිසෙමින් ඉතාම අඩු වියදමක් දරා ආෆ්ටර් අවර්ස් (1985) නම් කළු විකට චිත්‍රපටය නිර්මාණය කළා. නිව්යෝක් නගරයේ වෙසෙන තැන්පත් තරුණයකු මුහුණ දෙන අවාසනාවන්ත රැයක් පිළිබඳව ගෙතණු කතාවක් එයට මුල් වුණා. ආෆ්ටර් අවර්ස් 1980 ගණන්වල ජනප්‍රිය වූ අඩු වියදම් කල්ටි චිත්‍රපට අතර ප්‍රධාන තැනක් ගත්තා.

1986 දී ස්කෝසේසී 1961 දී ඉතා ජනාදරයට පත් පෝල් නිව්මන් රඟපෑ ද හස්ලර් චිත්‍රපටයේ දෙවන කෙටස ද කලර් ඔෆ් මනී ලෙස නිර්මණය කළා. ඔහුගේ පෙර චිත්‍රපටවල ගුණාත්මකභාවය රැකගෙන තිබුණ ද මේ චිත්‍රපටය ස්කෝසේසී ප්‍රථම වරට ජනප්‍රිය වාණිජමය ප්‍රවාහයට අවතීර්ණ වූ ප්‍රථම චිත්‍රපටය වූවා. මෙය පෝල් නිව්මන්ට හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ලබා දුන් අතර ස්කෝසේසීට ඔහු කාලයක් තිස්සේ සිතේ රඳවාගෙන සිටි ද ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට් චිත්‍රපටය සෑදීමට අවශ්‍ය මුල්‍යමය පහසුකම් සපයා දෙන්නට සමත් වුණා.

1988 දී ස්කෝසෙසී තම සිනමා ජීවිතයේ වඩාත්ම ආන්දෝලනාත්මක පියවරක් ඉදිරියට තබමින් ඔහුට ඉතාමත් පුද්ගලික වශයෙන් වැදගත් වූ ද ලාස්්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට් නිර්මාණය කළා. නිකෝස් කැසැන්සකිස් ගේ මතභේදාත්මක 1960 පල වූ පොතක අනුවර්තයක් වූ එම කතාව ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය දිව්‍යමය පැත්තෙන් නැතිව මිනිස් භාවයෙන් ගෙන ගෙතුණක් වූවා. චිත්‍රපටය තිරගත වෙන්නටත් පෙර එය ලොව කලඹන්නට පටන් ගත්තා. ලොව පුරා එයට විරුද්ධව නැඟුණු මතය ඉතා අඩු වියදම් ස්වාධීන චිත්‍රපටයක් මාධ්‍ය භාවෝද්දීපනයක් බවට පරිවර්තනය කරන්නට සමත් වුණා. වැඩිම ආන්දෝලනයක් සිදු වූයේ චිත්‍රපටය අවසානයේ එන දර්ශන පෙළක් සම්බන්ධවයි. එහිදී කුරුසයේ ඇන ගසා සිටින ක්‍රිස්තුස් වහන්සේ සාතන් විසින් මවන ලද භාන්තියකට අනුව මරියා මග්දලීනා විවාහ කරගෙන පවුලක් ගොඩනගන සැටි චිත්‍රපටයේ පෙන්නුම් කළා. මතභේදවලින් එහාට අවධානය යොමු කරමින් මේ චිත්‍රපටය විචාරක සම්මානයට පාත්‍ර වී අදත් ස්කෝසේසීගේ නිර්මාණ පෙළේ වැදගත් ස්ථානයක් රැකගෙන තිබේ. මෙය අධ්‍යක්ෂකට ඔහුගේ දෙවන හොඳම ඔස්කාර් නිර්දේශය ලැබුණත් අවසානයේ ජයග්‍රහණය කළේ රේන් මෑන් සඳහා බැරි ලෙවින්සන්ය.

වුඩ් ඇලන් සහ ෆ්‍රැන්සිස් ෆෝඩ් කොපොලා සමග ස්කෝසේසී 1989 දී සංයුක්ත චිත්‍රපටයක් වූ නිව්යෝක් ස්ටොරීස් හි එක කෙටසක් වූ ලයිෆ් ලෙසන්ස් අධ්‍යක්ෂණය කළා.

මැර කාව්‍යයක් වූ ගුඩ්ෆෙලාස් (1990) ස්කෝසේසීව නැවතත් ඔහුගේ නිර්මාණ හැකියාවේ හිණිපෙත්තටම ගෙන එමින් රෙජිං බුල්ට පසුව ඔහු විසින් අධ්‍යක්ෂණය කළ වඩාත්ම විශ්වාසනීය එමෙන්ම සම්පූර්ණයෙන්ම ඔහුට අවශ්‍ය ආකාරයෙන්ම නිමැවුණු චිත්‍රපටය බවට පත් වුණා. නිව්යෝක් නගරයේ පුංචි ඉතාලිය වෙත නැවත ආගමනයක් කළ රොබට් ඩී නීරෝ, ජෝ පෙචී රංගනයෙන් සහය වුණු ගුඩ්ෆෙලාස් අධ්‍යක්ෂකගේ සුවිශේෂී කුසලතාවයෙන් සපිරි සිනමා ප්‍රවිධිය විදහා පෑමක් වුණා. එය ඔහුගේ නමට වූ ගෞරවය යළි ස්ථාපිත කර, වැඩිදිියුණු කර, තර කර තැබීමට සමත් වුණා. බොහෝ දෙනාගේ මතයට අනුව මෙම චිත්‍රපටය ස්කෝසේසිගේ සිනමා ජිවිතයේ ශ්‍රේෂ්ඨතම ජයග්‍රාහී සළකුණක් ලෙස සැලකෙනවා. ස්කේසේසී 3 වන වරටත් හොඳම අධ්‍යක්ෂ ඔස්කාර් සම්මානයට නිර්දේශ වු නමුත් නැවත් එය ඔහුට අහිමි වුණේ කුලුදුල් අධ්‍යක්ෂක, ජනප්‍රිය නළු කෙවින් කොස්නර් හට ඩාන්සස් විත් වුල්විස් සඳහා එම ජයග්‍රහණය ලැබෙමිනි. හොඳම සහය නළුවාට හිමි ඔස්කාර් සම්මානය ගුඩ්ෆෙලාස් සඳහා ජෝ පෙචීට ලැබුණා.

1991 කේප් ෆියර් රිදී තිරයට ගෙන ආවා. 1962 තිරගත වුණු කල්ටි චිත්‍රපටයක් නැවත සෑදිමක් වූ මෙය ස්කෝසේසි රොබට් ඩී නිරෝ සමග වැඩ කළ 7 වෙනි චිත්‍රපටය වූවා. එය මිශ්‍ර විචාරක ප්‍රතිචාරවලට භාජනය වුණ අතර බොහෝ දෙනෙක් එහි නිරුපණය කළ නාරිද්වේශ ප්‍රචණ්ඩත්වය හෙළා දැක්කා. චිත්‍රපටය ඔස්කාර් සම්මාන 2 ක් සඳහා නිර්දේශ වුණා.

ඉතා අලංකාර ආඪ්‍ය සශ්‍රීක වාගේම මැනවින් පබැඳුණු ඒජ් ඔෆ් ඉනසන්ස් (1993) මතුපිටින් බැලූ විට ස්කෝසේසී තමන්ට හුරු රටාවෙන් පිටව ගොස් ඇතැයි හැඟෙන 19 වන සියවසේ අග භාගයේ නිව්යෝක් හි පටු පීඩනයෙන් පෙළෙන ඉහළ සමාජය ගැන ඊඩිත් වාර්ටන් ලියූ නවකතාවක අනුවර්තනයක් වුණා. එය විචාරකයින්ගේ ඉහළම ඇගයීමට ලක් වුණත් වාණිජමය වශයෙන් ඉතාමත් අසාර්ථක වුණා. එය ඔස්කාර් සම්මාන 5 කට නිර්දේශ වුණේ (ස්කෝසේසීට හොඳම අනුවර්තන තිර පිටපතට නිර්දේශයක් සමඟ) හොඳම ඇඳුම් නිර්මාණය සඳහා ඔස්කාර් සම්මානය දිනා ගනිමිනි.

1995දී ස්කෝසේසී කැසිනෝ චිත්‍රපටය සෑදුවා. ඊට විචාරකයින්ගෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයක්. එයට බොහෝ හේතු වුණේ කැසිනෝ ඔහුගේ ගුඩ්ෆෙලාස් චිත්‍රපටයේ ශෛලියට බොහෝ සමානකම් දැක්වීමයි. ගුඩ්ෆෙලාස් චිත්‍රපයේ දුටු ප්‍රයෝග සහ රූපාලංකාර භාවිතය මේ චිත්‍රපටයේදීත් ඉස්මතු වුණා. විශේෂයෙන්ම රොබට් ඩී නීරෝ සහ ජෝ පෙචී ප්‍රධාන චරිතවලට තෝරා ගැනීිම මූලිකම සමානකම වුණා. මේ චිත්‍රපටයෙන් පෙචී රඟපෑවේ මනෝ ව්‍යාධිකයෙකුගේ චරිතයයි. ෂැරන් ස්ටෝන් ඇගේ රංගනය වෙනුවෙන් හොඳම නිළිය සඳහා ඔස්කාර් සම්මානයකට නිර්දේශ වුණා.

ස්කේසේසීගේ ඒජ් ඔෆ් ඉනසන්ස් සමහර රසිකයින් අතරමං කළා හෝ පැටලුවා නම් 1997 තිරගත වූ කුන්ඩුන් ඊටත් පියවර කිහිපයක් ඉස්සරහට ගොස් රසිකයන්ව තවත් තනි කරන්නට සමත් වූවා. 14 වෙනි දලායි ලාමා වූ ටෙනිසින් ජියැට්සෝ ගේ ජීවිතයේ මුල් කාලය එහි කතාවට මුල් වුණා. චීන හමුදාව ටිබෙටයට ඇතුල්වීම දලයි ලාමාට ඉන්දියාවට පිටුවහල් වීම සිදුවීමත් චිත්‍රපටය තුළින් නිරූපණ වුණා. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ පිළිබඳව බොහෝ විචාරක අගැයිම්වලදී කුන්ඩුන් සඳහන් වුණේ ඉතාම අල්ප වශයෙනි.

තමන්ට සුපුරුදු වපසරියටම නැවත පිවිසිමට බ්‍රිංගිං අවුට් ද ඩෙඩ් සමග ස්කෝසේසී සමත් වුණා. ටැක්සි ඩ්‍රයිවර් ලියු පෝල් ෂ්‍රේඩර් සමඟ එකතු වී ස්කෝසේසී එම ටැක්සි ඩ්‍රයිවර් චිත්‍රපටයටම තද කළු කොමඩි අර්ථකථනයක් සපයමින් මේ චිත්‍රපටය නිර්මාණය කර තිබුණා. මීට කලින් ස්කෝසේසි - ෂේඩර් සුසංයෝගවල මෙන් මෙහිත් අවසාන දර්ශන පෙළේ ආධ්‍යාත්මික මෝක්ෂය ළඟා කර ගැනීම පැහැදිලවම රොබට් බෙ‍්‍රසෝන්ගේ චිත්‍රපට නැවත මතක් කිරීමක් වුණා. බ්‍රිංගිං අවුට් ද ඩෙඩ් සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණු නමුත් ස්කෝසේසිගේ සමහර චිත්‍රපටවලට මෙන් සර්ව ධනවාදී විචාරක ප්‍රශංසාවක් ලැබුණේ නැහැ.

අධ්‍යක්ෂකගේ ඊළඟ ව්‍යාපෘතිය වූයේ වීර කාව්‍යක් බඳු වූ ගැන්ග්ස් ඔෆ් නිව්යෝක් ඒ වනතුරු ස්කෝසේසීගේ නිර්මාණ අතරින් විශාලතම මෙන්ම වඩාත්ම ප්‍රධාන ප්‍රවාහයට අනුගත වුණු සිනමා අත්දැකිම වුණා. ද ඒජ් ඔෆ් ඉනසන්ස් මෙන්ම මෙයටත් පසුබිම් වී තිබුණේ 19 වන සියවසේ නිව්යෝක් වුවත් අවධානය යොමු කර තිබුණේ සමාජයේ අනෙක් කොන නියෝජනය මිනිසුන් ගැනයි. ඒජ් ඔෆ් ඉනසන්ස් වාගේම මෙහිත් ප්‍රධාන චරිතය ඩැනියල් ඩේ ලුවිස් රගපෑවා. මේ චිත්‍රපටයේ තවත් වැදගත්කමක් වන්නේ එය ස්කෝසේසී සහ ලියනාඩෝ ඩී. කැප්රියෝ එකතු වූ මුල්ම නිර්මාණය වීමයි. පසු කාලයේ ඔහුගේ චිත්‍රපට කිහිපයකටම දායක විමට ඩී කැප්‍රියෝට අවකාශ ලැබුණා. ගැන්ග්ස් ඔෆ් නිව්යෝක් ඔස්කාර් සම්මාන 10 ක් සඳහා නිර්දේශ වුණ අතර ස්කෝසේසී හොඳම අධ්‍යක්ෂණය සඳහා 4 වෙනි වතාවටත් නිර්දේශයක් ලැබුණා. බොහෝ අය සිතුවේ එම අවුරුද්ද ස්කෝසේසී සම්මානය ගෙන එන වසර බවයි. අවසානයේ චිත්‍රපටයට ඔස්කාර් සම්මාන එකක්වත් නොලැබුණු අතර හොඳම අධ්‍යක්ෂකට හිමි සම්මානය ද පියානිස්ට් වෙනුවෙන් රෝමන් පොලැන්ස්කි දිනා ගත්තා.

ස්කෝසේසීගේ ඊළඟ චිත්‍රපටය වූ එවියේටර් (2004) අසම්ත ගගන මූලාරම්භකයෙකු මෙන්ම චිත්‍රපට මෝගල් කෙනෙකු වූ හවර්ඩ් හියුස් ගේ ජිවිතය ගැන කියවුණු අධික වියදමක් දැරූ මහ පරිමාණයේ ජීවිත කාව්‍යයකි. එය ඩි කැප්‍රියෝ ස්කෝසේසී සමඟ අත්වැල් බැඳගත් දෙවැනි අවස්ථාව වුණා. චිත්‍රපටයට ඉතා උසස් විචාරක ප්‍රතිචාර ලැබුණු අතර වාණිජමය වශයෙන් ද යම් සාර්ථකත්වයක් ලැබුවා. 77 වන ඔස්කාර් සම්මාන උලෙළේදී සම්මාන 11 කට නිර්දේශ වෙමින් වැඩිම නිර්දේශ ලබාගත් චිත්‍රපටය බවට පත්විමට එවියේටර්ට හැකි වුණා. ස්කෝසේසීට ඔහුගේ පස්වන හොඳම අධ්‍යක්ෂක නිර්දේශය ද, ඩී කැප්‍රියෝට හොඳම නළුවා, හොඳම සහය නිළිය ලෙස කේට් බ්ලැන්ෂෙට් සහ හොඳම සහය නළුවා ලෙස ඇලන් ඇල්ඩා ද එම නිර්දේශ අතර ප්‍රධාන තැනක් ගත්තා. නිර්දේශ 11 ක් තිබුණත් අවසානයේ චිත්‍රපටය දිනා ගත්තේ ඔස්කාර් සම්මාන 5 ක් පමණය. (හොඳම සහය නිළිය, කලා අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, සංස්කරණය සහ කැමරා අධ්‍යක්ෂණය) ස්කෝසේසී මෙවර පැරදුණේ මිලියන් ඩොලර් බේබි අධ්‍යක්ෂණය කළ ක්ලින්ට් ඊස්ට්වුඩ්ටයි. මිලියන් ඩොලර් බේබි හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද දිනා ගත්තා.

ස්කෝසේසී නැවතත් අපරාධ චිත්‍රපට ශෛලියට හැරුණේ ඔහුගේ ඊළඟ නිර්මාණය සඳහායි. බොස්ටන් නගරය පසුබිම් කරගත් මෙම ත්‍රාසජනක චිත්‍රපටය ද ඩිපාර්ටඩ් නම් වුණා. එය හොංකොං පොලිස් චිත්‍රපටයක් වූ ඉන්ෆර්නල් අෆෙයාර්ස් ඇසුරෙන් ගොඩ නැඟුණා. මෙය ජැක් නිකල්සන් සහ මැට් ඩේමන් සමඟ ස්කෝසේසී ප්‍රථම වරට එකතු වුණ අවස්ථාව වුණා. ඩි කැප්‍රියෝ මෙහිත් ප්‍රධාන චරිතය රඟපෑවා. ඩිපාර්ටඩ් ඉමහත් විචාරක පැසසුම් මැද තිරගත වු අතර සමහරෙක් කියා සිටිියේ එය ගුඩ්ෆෙලාස්ට පසු ස්කෝසේසීගේ හොඳම නිර්මාණය බවයි. තවත් සමහරු එය ඔහුගේ සිනමා දිවියේ වඩාත්ම බැබළුණු නිර්මාණය වූ ටැක්සි ඩ්‍රයිවර් සහ රෙජිං බුල් යන ක්ලැසික් චිත්‍රපට මට්ටමටම ඩිපාර්ටඩ් සැසඳුවා. ඩිපාර්ටඩ් ස්කෝසේසීගේ වැඩිම ආදායමක් ඉපයූ චිත්‍රපටය වුණා.

ඩිපාර්ටඩ් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා මාර්ටින් ස්කේසේසීට තම ප්‍රථම හොඳම අධ්‍යක්ෂක ඔස්කාර් සම්මානය ලැබුණා. බොහෝ අයගේ මතය වූයේ ස්කෝසේසීට එය ලැබෙන්න තිබුණේ ඊට හුඟක් කලින් බවයි. ඒ හේතුව නිසාම සමහර විචාරකයින් ඔහු එම චිත්‍රපටය සඳහා හොඳම අධ්‍යක්ෂණයෙන් පිදුම් ලැබීම සුදුසු නැති යයි පැවසුවා. ඩිපාර්ටඩ් 2006 හොඳම චිත්‍රපටය, හොඳම තිර නාටකය, හොඳම සංස්කරණය සඳහා (බොහේ කාලයක සිට ඔහු සමඟ වැඩ කරන තෙල්මා ෂුන්මේකර් ස්කෝසේසී චිත්‍රපටයක් සඳහා දිනාගත් 3 වන ඔස්කාර් සම්මානය) ඔස්කාර් සම්මාන දිනා ගත්තා.

2010 ස්කෝසේසී ලියනාඩෝ ඩි කැප්‍රියෝ සමඟ සිව් වෙනි වරටත් නැවත එක් වුණේ ෂටර් අයිලන්ඩ් චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහායි. එහි මාක් රෆලෝ, බෙන් කිංස්ලි සහ මිෂෙල් විලියම්ස් ද රඟපෑවා. මෙයත් හොඳ විචාරක ප්‍රතිචාරවලට භාජනය වෙමින් ස්කෝසේසීගේ චිත්‍රපට අතරින් දෙවැනියට වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත් වුණා.

දශක 4 ක් පුරා විසිර යන කාල සීමාවක ස්කෝසේසී වෘත්තාන්ත චිත්‍රපට හා වාර්තා චිත්‍රපට 22 ක් අධ්‍යක්ෂණය කර තිබුණා. ඔහු ඊට අමතරව 1968 ඔහගේ ප්‍රථම චිත්‍රපටයේ සිට තිිරනාටක ගණනාවක් ද ලියා තිබෙනවා. ඔහුගේ ඉතාලියානු ඇමරිකානු කතෝලික උරුමය ඔහුගේ චිත්‍රපටවලට බොහෝ දුරට පසුබිම් වී තිබෙනවා. මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ ඔහුගේ ඇති දැක්මත් ඒ දැක්ම උපයෝගී කරගෙන සිනමා කර්මාන්තයේ අමතක නොවෙන චරිත නිර්මාණය කිරීමට ඔහුට ඇති හැකියාවත් ස්කෝසේසීගේ මේ සාර්ථකත්වයට පාදක වුණු බව සඳහන් කළ හැකිය. සිනමාවේදී සත්‍යජිත් රායි ඔහුගේ සිනමා දිවියට මහත් බලපෑමක් කර ඇතැයි ස්කෝසේසී පවසා තිබෙනවා.

PERSONAL QUOTE

සිනමාව කියන්නේ රූපරාමුව ඇතුළේ තිබෙන්නේ මොනවාද ඇතුළේ නොතිබෙන්නේ මොනවාද කියන එක පමණයි.