වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




රැඟුමට ඡායාරූප ශිල්පයට ළැදි බර්නාඩ් ෂෝ

රැඟුමට ඡායාරූප ශිල්පයට ළැදි බර්නාඩ් ෂෝ

‘බර්නාඩ් ෂෝ' යන නම ඇසූ සැනින් මතකයට නැඟෙන්නේ, බ්‍රිතාන්‍යයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම නාට්‍යවේදියාවයි. නමුත් මේ කියන්නට සැරසෙන්නේ නම් ඔහු ගැන නොවේ. ලංකාවේ ඉපිද ලංකාවේම හැදී වැඩී ලාංකික කලාවට පිවිසි අයකු පිළිබඳවය. එනම් බර්නාඩ් ෂෝ දිසානායක නම් කලාකරුවා පිළිබඳවය. මීරිගම ප්‍රදේශයේ උපත ලද මොහු සිප්සතර හැදෑරුවේ මීරිගම ඩී. එස්. සේනානායක මධ්‍ය විද්‍යාලයෙනි.

පාසල් යන වියේ පටන්ම කලාවට ළැදි බර්නාඩ්, පසුව ජයන්ත චන්ද්‍රසිරි මෙහෙය වූ රංගන පාඨමාලාව සාර්ථකව හදාරා නිම කළේය. පසුව ජාතික තරුණ සේවා සභාවේද නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරන කාලයේ බර්නාඩ් කලා කටයුතු හා සම්බන්ධීවීමට දොරටු විවරකර ගත්තේය. සිය පාසලේ නාට්‍ය හා රංග කලාව විෂය හැදෑරූ ප්‍රථම ශිෂ්‍යයා වන්නේද මොහුමය. කලාව පිළිබඳ ඉගෙනීමට එතැනින් තිත නොතිබූ මොහු නාට්‍ය හා රංග කලාව විෂය තම උපාධිය සඳහා ද තෝරා ගනු ලැබීය.

චන්ද්‍රරත්න මාපිටිගමගේ වෙස් මුහුණ, දඬුබස්නාමානය, ආරියරත්න ඇතුගලගේ සිත්තර ගුරුන්නාන්සේ යන ටෙලි නාට්‍යවලට අමතරව සූරිය විංසති, රම්‍ය නගරය, සුභා සහ ප්‍රභා, සමර්ථා, පෙරේරාට එරෙහිව කුරේරා, නිල්දිය රළ, යර්ස් බොස්, යර්ස් මැඩම්, භවත්‍රා ඇතුළු ටෙලි නාට්‍ය 25 කට පමණ දායක වී ඇති අතර සඳරේණු, සුවඳ, කිංකිණි වැනි පුවත්පත්වල ද විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කර ඇත. මේ වන විට ඔහු මාධ්‍ය ආයතනයක ඡායාරූප ශිල්පියකු ලෙස සේවයේ යෙදෙයි.

'කල්‍යාණ චන්ද්‍රසේකර මහත්මයාගේ 'නටන් නැතිව දින්නා' චිත්‍රපටයටත් මම දායක වෙලා තියෙනවා. ඒ වගේම ඉනෝකා සත්‍යාංගනීගේ 'සින්ඩ්‍රෙල්ලා' චිත්‍රපටයේ දෙවැනි කොටස සඳහාත් මම දායක වුණා. ඒක ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ චිත්‍රපටයකත් මට රඟපාන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා විද්‍යාත්මක රංගනය පිළිබඳ වැඩමුළුවක් තියලා රංගනයයි, නිරූපණ ශිල්පයයි දෙකම උගන්වන්න. එමඟින් රංගන පදනමක් නිර්මාණය කරන්න අදහසකුත් තියෙනවා'.

මගේ ඊළඟ බලාපොරොත්තුව ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි අධ්‍යක්ෂණය කරන එක. ඒ නිර්මාණයේම රංගනයෙන් දායක වන්නටත් මගේ කැමැත්තක් තියෙනවා' ඔහු පවසයි.

ආරියරත්න ඇතුගල, ජයන්ත චන්ද්‍රසිරි, ඉනෝකා සත්‍යාංගනී, අරුණ ගුණරත්න, සුනිල් මිහිඳුකුල, සුනිල් ආරියරත්න, සුරංජන් විජේනාම යන අයව සිහිපත් කරන්නටත් බර්නාඩ් අමතක කළේ නෑ.

බර්නාඩ් ෂෝ දිසානායක, 'සත්සර', නයින්ගල, කිතුල්වල, මීරිගම.

0712955979 ඔහුගේ ලිපිනය සහ දුරකථන අංකයයි.