වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි

ඤාව්වෙක් නළුවෙක් කළ එදිරි

සමන් එදිරිමුණි පුවත්පත් තීරු ලිපි රචකයකු ලෙස නම ප්‍රකට වූ අයෙකි. එමෙන්ම ගුවන් විදුලි නාට්‍ය කිහිපයක්ම එදිරි අතින් රචනා විය. අනුත්තරා, සඳ ඔබ මගේ, ආදරේ අහස තරම් සහ සේයා ඉන් කිහිපයකි. මෙවාට අමතරව මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන සිඳු නමැති ජනප්‍රිය ළමා ටෙලි සිතුවම ද එදිරිගේ කතා පුවතකි. සිඳු හරහා පැමිණි සෝරත පොඩි හාමුදුරුවෝ, සිඳු සහ සරණ නමැති පූස් පැටවා අද වන විට අතිශය ජනාදරයට පාත්‍ර වී ඇත.

එදිරි ඔබ පිළිබඳ දන්න අයත් මේ ක්ෂේත්‍රයේ ඇති. නමුත් බොහෝ දෙනෙක් ඔබගේ ආරම්භය ගැන දන්නේ නැහැ. වඩාත් හොඳයි මේ කතාව එතනින්ම පටන් ගත්තා නම්?

මං කොළඹ කොල්ලෙක් නෙවෙයි. ගම උඩවලව. උඩවලව මහා විදුහලෙනුයි අධ්‍යාපනය ලැබුවේ. පුංචි කාලේ ගැමි සිරිය ඉතා උපරිමයෙන් වින්දා මං. මං පුවත්පත් කලාවට යොමුවිම පිටුපස අපූරු කතාවක් සැඟවිලා තියෙනවා. ඒක කොහෙන් පටන් ගන්න ද කියලා මට හිතාගන්න බැහැ.

මම මෙහෙම අහන්නම්. ඇයි ඔබ කලාවට ආදරය කළේ?

ඉස්සර අපි පුංචි කාලේ බිම පැදුරු එළලා නිදාගන්න කලින් අපේ සීයා උම්මග්ග ජාතකය කියනවා. අතින් පයින් විස්තර කර කර තමයි ඔහු එහෙම කියන්නේ. මට හොලිවුඩ් චිත්‍රපටයක් වගේ උම්මග්ග කතාව දැනුණේ. ඉතිං මං සිතින් ඒ සිදුවීම් මවා ගන්නවා. සීයා අපට එහෙම කතන්දර කියාදීමත් එක්ක මසිත නොදැනුවත්වම කලාවට ඇදිලා ගියා.

ඔබට ලියන්න පුළුවන් කියලා දැනුණේ කවදද?

උසස් පෙළ කරන්නට මොරටුව වේල්ස් කුමාර විදුහලට එන්න අවස්ථාව මට ලැබෙනවා. ඔන්න ඔය කාලේ ගමේ හිටියා එක්තරා ගැහැනු ළමයෙක්. ඇයට මං සිතින් ආදරේ කළා කියලා කිව්වොත් වැරැදි නැහැ. නමුත් මං ඇයට ඒ වග නොකියා මිතුරෙකු ලෙසට සමීප වුණා. ඇය වෙනුවෙන් තමයි මං මුලින්ම කවි ලිව්වේ. මොරටුවට ආවට පස්සේ මට ආරංචි වුණා ඇය වෙනත් කෙනෙකු සමඟ හාද වෙලා කියලා. එදා පටන් මගේ කවි ලියවිල්ල දෙගුණ තෙගුණ වුණා. කෙටියෙන්ම කිව්වොත් ආදරයටයි මං ලියන්න පටන් ගත්තේ. අන්තිමේ එය මගේ වෘත්තීය බවට පත් වුණා.

ඔය කාලේ ඔබ ලියූ නිසඳසක් පසුකාලීනව අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා නේද?

ඔව්. ඒක තමයි ක්‍රිෂාන්ත එරන්දක ගයන ලියූ කවි පද දාහක් අතරේ කියන සිංදුව.

එදිරිගේ සාටරය නමැති කොලම තුළින් ඔබ නොසිතූ විරූ අන්දමින් නමක් හදා ගන්නවා. කොහොමද එහෙම වුණේ?

පත්තරේට ඔය වැනි කොලමක් තිබුණොත් හොඳයි කියලා කිව්වේ කාංචන දසනායක අයියා. ඊට නමක් තැබුවෙත් ඔහු. හැබැයි මුලදී මං කැමැති වුණේ නැහැ. මගේ නමේ කොටසක් කොලමෙ නමට යොදා ගන්නවට. නමුත් අද හිතෙනවා කාංචන අයියා කරපු වැඩේ හරියටම හරි කියලා.

එදිරිගෙ සාටරේ තුළින් රටේ නමගිය බොහෝ පිරිසකගේ ක්‍රියා කලාපයන් චාටර් කරලා තිබුණා?

ඔව්.

ඊට අදාල අය කතා කරලා ඔබට තර්ජනය කරලා නැද්ද?

මොකද නැත්තේ. එවැනි සිදුවීම් ඕනෑ තරම් සිදු වුණා. එක්තරා රියැලිටි වැඩසටහනක ජජ් කරපු ප්‍රවීණ කලාකාරිණියක් ඕනෑවට වඩා හුරතල් වුණා. මං එය හාස්‍යයට ලක්කොට ලිව්වා. ඒ වගේම ජපන් නමක් ඇති නිළියක් රඟපාපු වෙළෙඳ දැන්වීමක් එහෙම් පිටින්ම චාටර් කරලා දැම්මා. මං ඉතින් ඇත්ත කතා කළේ. එහෙම වුණාම රිදෙනවා වැඩියි. ඔවුන් දෙදෙනාම අපිට කතා කරලා බැන්නා. අර නිළිය නම් නඩු දානවා කියලත් කිව්වා.

එදිරිගේ සාටරය තුළ ඉන්නවා අපූරු චරිත ටිකක්?

ඒ අය කිහිප දෙනෙක් මගේ ගමේ යාළුවො. දෙදෙනෙක් විතර මං උසස් පෙළ ලියන කාලේ පානදුරේදී හමු වුණ අය. සාටරේ තුළ මං පල් වෙන්නේ නැතුව යාළුවෝ ටික පල් කරනවා. හැබැයි ඔවුන් මාව හමු වුණාම සෙට් එකම එකතු වෙලා මාව පල් කරනවා.

ඒ යාළුවෝ ටික මොන වගේ තැන්වලද ඉන්නේ?

කැලුමා කඩුවෙල, කොටා ගමේ එ. ජී. ඔෆිස් එකේ, ගුස්පියා කොරියාවේ, සිප්පියා ඩුබායි, මට්ටියා තවම පානදුරේ.

ඔබ විසින් රචිත ජනප්‍රිය ගීත මොනවද?

කලින් කියපු ලියූ කවි පද එකක්, හිනවෙන්න බැරි තරමට, පුංචි වතේ රංචු ගැහෙන හීන මල් සොයා, සඳවත අහසින් මං ලියූ ගීත කිහිපයක්.

දැන් අපි එමු සිඳු ගාවට?

මං දෙරණ ගුවන් විදුලියට ලියන සේයා නාට්‍යහි ශෛලිය දැකලා දෙරණෙ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා මට ඇරැයුම් කළා නාට්‍යයක් ලියන්න. සාකච්ඡා වාරයේදී අපි තිරණය කළා එම නාට්‍ය ළමා එකක් විය යුතුයි කියලා. අපි පුංචි කාලෙදි ගම දැක්කට අද ළමයෙකුට ඒ අවස්ථාව නැහැ. ඒ වගේම ඉන්දියානු නාට්‍ය කලාව ඇතුළේ ළමුන් හිරවෙලා. අම්මලා ඔඩොක්කුවේ ළමයි තියාගෙන ඉන්දියානු නාට්‍ය බලනවා. මෙන්න මේ යුගයේ අපි ළමයින්ට නියම ළමා නාට්‍යයක් කළ යුතුයි කියන මතයේ හිටියා. එහි අවසාන ප්‍රතිඵලය තමයි මේ සිඳු. සාමනේර නමක් සහ සිඳු නමැති ළමයෙකු වටා තමයි නාට්‍යය ගොඩ නැඟී තියෙන්නේ. සිඳු ජානක සිරිවර්ධනගේ නිෂ්පාදනයක්, තිළිණ බොරලැස්සගේ අධ්‍යක්ෂණයක්.

සිඳු කියන නම කාගේ අදහසක්ද? කවුද ඒ නම දැම්මේ?

මම ඇතුළු මේ නාට්‍යයට සම්බන්ධ පිරිස එකතු වෙලා කරපු සාකච්ඡාවේදී තමයි ඔය නම යෝජනා වුණේ. සිඳු කියන්නේ අසීමිත බලයක් ඇතිව මුහුදෙන් එතෙර සිට පැමිණෙන ළමයෙක්. හරියට කිව්වහොත් මුහුද කලම්බා ලංකාවට එන කෙනෙක්. ඒ අදහසින් සිඳු කියන නම තිබ්බා.

සිඳු නාට්‍යහි සෝරත පොඩි හාමුදුරුවන්ගේ දෙබස් ඉතා රසවත් කියලා නරඹන බොහෝ දෙනෙක් කියනවා?

ඒවා විශේෂයෙන් හිතලා ලියන දේවල් නෙවෙයි. මම හිතාගෙන ඉන්නවා මම තමයි පොඩි හාමුදුරුවො කියලා. එහෙම චරිතය මවාගෙන මම දෙබස් ලියනවා. නැතුව පොඩි හාමුදුරුවො මෙහෙම කියයි, මෙහෙම හිතයි කියලා දෙබස් ලියන්නේ නැහැ.

සිඳු ඔබේ ඉලක්කය කරා ඇවිත්ද?

තවම නැහැ. මේ වන විට චරිත හඳුන්වා දෙමින් ඉදිරියට ඇදෙනවා. තව ඉදිරියට යද්දී පන්සල හා ගම එකතු වෙනවා. අන්න එතැන් පටන් තමයි මං දෙන්න හදන පණිවුඩය සමාජයට දෙන්න පටන් ගන්නේ.

සිඳු හි ඇතැම් දර්ශන ටිකක් කම්මැලි ගතියක් තියෙනවා කියලා ඇතැම් නරඹන්නෝ කියනවා?

බහුතරයක් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වෙන්නේ සරණ සහ පොඩි හාමුදුරුවෝ ඉන්න දර්ශන. ඒ අය අනෙක් චරිත සිටින සීන් දිහා බලන්නේ වැඩි කැමැත්තෙන් නොවෙයි වෙන්න පුළුවන්. සරණ සහ පොඩි හාමුදුරුවෝ විතරක් යොදාගෙන නාට්‍යයක් ලියන්න බැහනෙ. මෙහිදී තව කාරණයක් කියන්න ඕනෑ. අනෙක් නාට්‍යවල තියෙන සීන් ඔක්කොම බෝරිං නේද.

සරණ කියන නම දැන් ගොඩක් ජනප්‍රියයි. හිතුවද සරණව මෙතරම් ජනප්‍රිය වේවි කියලා?

අසරණව සරණක් සොයාගෙන එන සතෙක් තමයි සරණ. සමාජ ජාල හරහා සරණ ගොඩක් ජනප්‍රිය වෙලා. ඒක ඔවුන් විසින් කරන ලද්දක්.

ඔබ වෘත්තීය පිටපත් රචකයෙක්ද?

ඔව්. ලංකාව ඇතුළේ කලාව ඉහළ තැනක කියනවා. නමුත් මිල ඉතාම පහළ තතත්වයක් තියෙන්නේ. ඒ නිසා වෘත්තිය මේක වුණාම ගොඩක් වැඩ කරන්න වෙනවා. නිදහසේ ලියන්නවත් බැහැ.

ඔබ අද ලේඛන කලාවෙන් ඉදිරියටම ඇවිත් සිටිනවා. ඔබට අකුරු අමුනන්නට නොදැනුවත්ව හෝ යොමු කළ අර ගැහැනු ළමයා අද කෝ?

මම හරියටම දන්නේ නැහැ. අදින් අවුරුදු පහකට පමණ පෙර ඇය මට හමු වෙලා යාළුවෙකු විදිහට වෙන් වෙලා ගියා ගියාමයි ආයේ මට මුණ ගැසුණේ නැහැ.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මගේ බිරියව මතක් කළ යුතුමයි. ඇය අකිලා නිරාෂනි, අපේ කැදැල්ලේ බබාලා දෙන්නෙක් ඉන්නවා. මගේ බිරිය තමයි මගේ පළමු රසිකාවිය. මං ලියන ඒවා මුලින්ම පෙන්වන්නේ ඇයට. ඒ වගේම ඇය මගේ ලේඛන කලාවට ලබා දෙන සහාය ද අපමණයි.