වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

ඉන්දුලගේ දොරට වැඩුම



 



සිහිනයක් වූ ප්‍රේමයේ සොහොන මත
පරවී ගිලිහුණ සෙනෙහසේ හදමල
පිපේවිද යළි විකසිතව කිසිදා
නුඹවමට සුවඳක් වෙලා

නෙතේ නොඉම් වූ කඳුළු ගලා
හදේ සුසුම් ගිනි ඇවිලිලා
දිනාගන්නට ප්‍රථම ප්‍රේමය
සටන් වැදි අපි වෙන් වෙලා

සන්තාප සෝ දුක් නිවා
කෙසේ හිනැහෙමුද ළං වෙලා
සයුර තරමට හැඬූ නුඹ මට
ලොවේ කඳුළම හිමි වෙලා

ගායනය සහ සංගීත අධ්‍යක්ෂණය -
ඉන්දුල චිරාත් ඩයස්
පද රචනය - ශ්‍යාමලී ජයමහ


ජෝතිපාලයන්ගේ සදා අමරණීය ගී යුවළක් වන මේ නොනිමෙන දිවි ගමනේ සහ පුංචි දෝණි තරහා වෙලා රචනා කළ තිස්ස ඩයස්ගේ ගේ පුතණුවන් තමයි ඉන්දුල චිරාත් ඩයස්. ඔහු විසින් ගායනා කරන ලද ඔහුගේ කුලුඳුල් ගීතය වන්නේ මෙයයි. එපමණක් ද නොව මෙම ගීතය රචනා කොට ඇත්තේ තිස්සගේ ආදරණීය බිරිය වන ශ්‍යාමලී ජයමහයි. ජේ. එච්. ප්‍රියදර්ශනගේ රූප රචනා අධ්‍යක්ෂණයෙන් හැඩ වූ මෙම ගීය පිළියන්දල අවට රූගත කොට තිබෙනවා. දිගු කලකට පසු ආශා එදිරිසිංහ රූප රචනාවකට දායක වී ඇත්තේ මේ ගීතය තුළිනුයි. ඇය සමඟ ඉන්දුල මෙහි පෙම්වතුන් ලෙස රඟපෑවත් කිසිම දර්ශනයක ඔවුනොවුන් ස්පර්ශ නොවීම ද විශේෂත්වයක්. අඩුම තරමේ අතින්වත් නොඅල්ලා තමයි ආශා සහ ඉන්දුල මෙහි රඟපාලා තියෙන්නේ. ඒ වගේම හරියටම පැය 24 ක් ඇතුළත ගීිතයේ රූප රචනාව අවසන්ව තිබෙනවා. මෙම ගීය ගායනා කරන ඉන්දුල වෙනුවෙන් ඔහුගේ මව සහ පියා ගීත දෙකක් රචනා කොට තිබෙනවා. එකක් තමයි ඩබ්ලිව්. ප්‍රේමරත්න විසින් ගයන කළුවලා මැද රිදී රේඛා ගීතය. එය ශ්‍යාමලීගේ රචනයක්. අනෙක් ගීතය වනුයේ ඇන්ටන් රොද්‍රිගෝ ගයන ඉන්දුල පුංචි පුතේ. තිස්ස ඩයස් තමයි එම ගීතය ලියලා තියෙන්නේ.

 


නිරංජන්ගේ තෙවැන්න




සුළඟේ පාවීගියා
මහදේ පෙම් මාලිගා
නෙතගෙ කඳුලැල් තියා
සිහිනෙන් ඇවිදින් ගියා
සසරේ සෙනෙහෙ පුදා සඳවතිය
සිතුසේ සිත පාරලා නික්මී ගියේ

ආදරෙන් කවියක් වෙලා
ජීවිතේ ලඟ නැවතුණා
කී වදන් සිත සනසලා
මා ළයේ අද තනි වෙලා
සසරේ සෙනෙහේ පුදා . . .

මා ළඟින් උණුහුම තියා
ඔබ මගේ සිත ගෙන ගියා
පාළුවේ ඈ තනි වෙලා
ජීවිතේ විඳවමි මෙමා
සසරේ සෙනෙහෙ පුදා . . .

ගායනය - නිරන්ජන් නාවුල්ලගේ
රචනය - සජීව වීරසිංහ
සංගීතය - ලක්ෂිත මාතරආරච්චි


ගායන ශිල්පියකු මෙන්ම නළුවකු ලෙසින් ද ක්ෂේත්‍රය තුළ කටයුතු කරන නිරන්ජන්ගේ තෙවැනි ගීතය වන්නේ මෙයයි. මේ වන විට තවත් ගීත කිහිපයක් නිර්මාණය කොට ඇති නිරන්ජන් ගායකයකු වශයෙන් ජනප්‍රියතාවයට පත් වුයේ මෙම ගීතයෙනි. නුවරඑළිය අවට ප්‍රදේශයන්හි සීතලේ ගැහෙමින් දින දෙකක් පුරවාට රූගත කළ මෙහි නිරන්ජන් සමඟ නදීෂානි නිලුක්ෂි රගනයේ යෙදෙයි. කැලණිය ගුරුකුල විදුහලේ ආදි ශිෂ්‍යයකු වන නිරන්ජන් ක්ෂේත්‍රයට පිවිසෙන්නේ චෙරියෝ ඩාලිං චිත්‍රපටයෙනි. අනතුරුව නිර්මාණ ගණනාවකට දායක වන හෙතෙම පසුකාලීනව ගීත ගායනයට පිවිසියේය. ඉකුත් වසරේදී විකාශය වූ මල්මි ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතයක් රඟපෑ නිරන්ජන් තම නවතම ගීතය මේ දිනවල නිර්මාණය කරමින් සිටියි. එය නම් කොට ඇත්තේ නොකියාම යන්න තිබුණා යනුවෙනි.