වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් කතාවක් අලුත් චාරිකාවක් Bad Moms

අලුත් කතාවක් අලුත් චාරිකාවක් Bad Moms

ඒමි මිචෙල්, යහපත් ස්වාමි පුරුෂයෙක් සහ අති දක්ෂ දරුවන් සිටින, අලංකාර නිවසක් සහ සාර්ථක වෘත්තීය ජීවිතයක් ඇති කාන්තාවක්. එබැවින්ම ඇය බොහෝ කැපකිරීම් කරන, අති කාර්යබහුල කාන්තාවකද වෙයි. සිය කාර්යබහුලත්වයෙන් හෙම්බත්ව සිටින ඒමි ආතතිය නිසා කඩා වැටීමකට ඉතා ආසන්නව සිටින්නීය. එක්තරා පීඩාකාරී දිනක, ඒමි ට තවත් ඇයවන් කාන්තාවන් දෙදෙනකු වන කාර්ලා සහ කිකී හමුවෙයි. තිදෙනා එක්ව ගමන් ආරම්භ කරන්නේ සිය කාර්යබහුල ආතතිකාරී ජීවිතයෙන් වෙන්ව කොහේ හෝ යන අදහසිනි.

‘Bad Moms’ මේ චාරිකාව අතර ඔවුන්ට අත්විඳීමට සිදුවන, විනෝදකාරී සහ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් අළලා නිමැවුණු චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටය තිර රචනය කර අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෝන් ලූකස් සහ ස්කොට් මුවර් විසිනි. මේ දෙදෙනාම හාස්‍යෝත්පාදක චිත්‍රපට තිර රචනයෙහි ප්‍රසිද්ධ වන අතර, ද හැංඕවර්, ද චේන්ජ් අප්, ෆ්ලයි පේපර් ආදී චිත්‍රපට මොවුන් දෙදෙනා එක්ව තිර රචනය කළ ඒවා වේ. ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ්, ද රෝමෑන්ටික්ස් සහ මෙමෙන්ටෝ ආදී චිත්‍රපට නිෂ්පාදක සුසේන් ටොඩ්, සහ බිල් බ්ලොක් විසින් මෙය නිෂ්පාදනය කර ඇත. මිලා කුනිස් (ඔස් ද ග්‍රේට් ඇන්ඩ් පවර්ෆුල්, ජුපිටර් ඇසෙන්ඩින්) ඒමි ගේ චරිතයට පණ පොවන අතර, කාර්ලා සහ කිකී ගේ චරිතයන්ට පිළිවෙලින් කැතරින් හහ්න් (ද ඩික්ටේටර්, ටුමොරෝලන්ඩ්) සහ ක්‍රිගස්ටන් බෙල් (ෆ්‍රෝසන්, වෙරෝනිකා මාස්) රංගනයෙන් දායක වෙති. STX එන්ටර්ටේන්මන්ට් විසින් බෙදාහරිනු ලබන මෙම චිත්‍රපටය විනාඩි 100 ක ධාවන කාලයකින් යුතුව ජූලි 29 වැනිදා සිට ලොව පුරා තිරගත වේ.

අමෙරිකානු ඩොලර් මිලියන 20ක පිරිවැයකින් නිමවා ඇති මෙම චිත්‍රපටය ලොව පුරා ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 110 ඉක්මවා ඇත. ‘Bad Moms’ මිශ්‍ර සහ යහපත් විචාරක ප්‍රතිචාර ලත් චිත්‍රපටයකි. IMDB හි එය 6.7/10 ක ලකුණු ප්‍රමාණයක් වාර්තා කර ඇති අතර, ‘රෝටන් ටෝමාටෝස්’ හි සියයට 61 ක් සහ මෙටා ක්‍රිටික් හි සියයට 60 ක් වාර්තා කර ඇත. “විශිෂ්ට රංගන ශිල්පීන් පිරිසක් සහ අලුත් කතාවක් පවුලේ විනෝදාස්වාදය සඳහා ගෙන එන මෙම චිත්‍රපටය එහි සියලුම සම්පත් හොඳීන් ප්‍රයෝජනයට ගෙන නොමැති වුවත්, ඉහත කරුණු ඒ බව මඟ හරවා චිත්‍රපටය සාර්ථක එකක් බවට පත්කර ඇත” යනුවෙන් මේ ගැන රෝටන් ටෝමාටෝස් හි ප්‍රමුඛ විචාරයේ දැක්වේ.