වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මම මෝහිනීගේ අවතාරය කියා හිතලා මිනිහා දිව්වේ

මම මෝහිනීගේ අවතාරය කියා හිතලා මිනිහා දිව්වේ උසේන් බෝල්ටත් වඩා වේගෙන්

සුපිරි නළු රන්ජන් රාමනායක ‘මායා’ රස රහස් හෙළි කරයි

ඇය නමින් ‘මායා’ය. එහෙත් මායා උපත ලබන්නේ පිරිමි දරුවකු ලෙසිනි. හෝමෝන ආශ්‍රිත වෙනස්වීමක් නිසා ගැහැනු, පිරිමි ද්විත්ව ගති ලක්ෂණ ප්‍රකට කරන මේ අසම්මත මනුෂ්‍ය පරාණය වඩාත් නැඹුරු ස්ත්‍රී වේෂයට නිසා මිනිසුන් ඇය ‘මායා’ නමින් හඳුන්වනු ලබයි.

මායා ඉතා අවිහිංසක, කරුණාබර හදවතකින් යුත් කාන්තාවකි. එහෙත් මේ ලිංගික විපර්යාසය නිසා සමාජයේ ගැරහුමට අවඥාවට මෙන්ම අපහාසයට ලක් වීමට ඇයට සිදුවේ. මේ සියලු කරදර, කම්කටොලු උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් ඈ ජීවිතයට මුහුණ දෙන්නේ දිරිය ගැහැනියක් ලෙසිනි.

සැබැවින්ම මේ ‘මායා’ කවුරුන්ද? ඇගේ ජීවන ඉරණම කෙබඳුද?

අද සිට ප්‍රදර්ශනය කෙරෙන ‘මායා’ චිත්‍රපටය නරඹන ඔබට ඊට පිළිතුරු ලැබෙනු නිසැකය.

මායාගේ චරිතයට පණ පොවන්නේ සුපිරි නළු රන්ජන් රාමනායකය. ‘මායා’ නැරඹු බොහෝ දෙනෙකු පවසන්නේ එය රන්ජන්ගේ විශිෂ්ටතම රංගනයක් බවය. එය තම රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් බව රන්ජන් ද මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

අද සිට E. A. P මණ්ඩලයේ සිනමාහල් රැසක ‘මායා’ ප්‍රදර්ශනය ඇරඹෙනවා. මම හිතන්නේ මේ ඔබ මහත් බලාපොරොත්තු සහගතව සිටි චිත්‍රපටයක්?

ඔව්. ඇත්තෙන්ම අසංක මේක කවුරුත් කතා කරන්න අකැමැති, එහෙම නැතිනම් බයෙන් හිටපු මාතෘකාවක්. නිෂ්පාදක ආර්. සදේශ් කුමාර්, අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත, තිර කතා රචක පුබුදු චතුරංග, නිෂ්පාදක කළමනාකරු අශෝක ආරියරත්න ඇතුළු පිරිස තමයි මේ චිත්‍රපටයට මට කතා කරන්න ආවේ. මුලින්ම ඒ සියළුම දෙනාට මගේ ස්තූතිය පිරිනමන්න කැමැතියි මේ මොහොතේ.

ඔබේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් මේ?

මායාගේ චරිතය එක පැත්තකින් මගේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් මඩ පාරක් වදින චිත්‍රපටයක්. ඔවුන්ට මේක හොඳ කටගැස්මක් බව මම දැනගෙන හිටියා. ඇත්තටම මේ චරිතය මට Offer කරපුවාම මම ඒක දෙතුන් වරක්ම ප්‍රතික්ෂේප කළා. නිෂ්පාදක සදේශ් කුමාර් තරයේම කියා සිටියා මේ චරිතය මම භාර ගත්තේ නැත්නම් චිත්‍රපටය නිෂ්පාදනය නොකරන බව. ඔහු ස්ථිරවම ඒ බව ප්‍රකාශ කර සිටියා. ‘මායා’ කෝටි හත, අටක් වැය කර තනන චිත්‍රපටයක්. තේ හදන, පෝස්ටර් ගහන දරුවාගේ ඉඳන් බොහෝ පිරිසක් යැපෙන මාධ්‍යයක් සිනමා කර්මාන්තය කියන්නේ.

ඒ ගැනත් හිතලා ඔබ මේ චරිතය බාර ගත්තා?

ඔයා ඉතින් හැමදාම පීඩිතයන් වෙනුවෙන් පෙනී හිටපු චරිතයක්නේ. මැද පෙරදිග පීඩිතයන් වෙනුවෙන් ඔයා පෙනී හිටියා. සේයා සදෙව්මි ඝාතනය ගැන කතා කළා. ඒ නිසා මේ චරිතය බාරගන්න කියලා බොහෝ දෙනෙක් මට කිව්වා. මොකද මේ මායා කියන්නේ ගෑනු, පිරිමි ද්විත්ව ගති ලක්ෂණ තිබෙන චරිතයක්. එහෙම අය ඕනෑ තරම් මේ සමාජයේ ඉන්නවා. කුඩා කාලේ ඉඳන්ම ඒ අය පාසලේදී පවා කොන් වෙනවා. ‘පොන්නයා’, ‘නපුංසකයා’ වගේ වචනවලින් තමයි සමාජය ඔවුන් හඳුන්වන්නේ. ඇත්තටම මවුපින්ගේ නොයෙක් වැරදි නිසා තමයි මේ වගේ හෝමෝන වෙනස්කම්වලින් යුත් දරුවෝ බිහිවෙන්නේ.

බොහෝ හේතු මීට බලපානවා?

ඔව්. හෂීස්, මරිජුවානා වගේ මත් ද්‍රව්‍යය නිතර පාවිච්චි කරන අයගේ දරුවන් මේ වගේ වෙන්න පුළුවන්. එතකොට වෛද්‍යවරු දැන් හොයාගෙන තියෙන දෙයක් තමයි ‘කාබයිඩ්’ යෙදූ විෂ ආහාරවලින් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් බව. මේ වගේ හේතු කිහිපයක් තියෙනවා. ඉතින් මෙහෙම උපදින අය තමන් කිසිදාක නොකළ වරදකට සමාජයෙන් දඬුවම් විඳිනවා. ඇත්තම කිව්වොත් මේ සමාජය ඔවුන් නොමරා මරනවා. ඉතින් මෙහෙම බලවත් අසාධාරණයට ලක්වුණු පිරිසක් වෙනුවෙන් තමයි මම මේ චරිතය බාර ගත්තේ.

මායා ඔබේ විරුද්ධවාදීන්ට හොඳ ‘කටගැස්මක්’ බව ඔබ කිව්වා. මොකක්ද ඒ කතාවේ තේරුම?

මම සමාජයේ තියෙන දූෂණ, වැරැදි, හොරකම් ගැන කෙළින් කතා කරන කෙනෙක් බව කවුරුත් දන්නවානේ. ‘ඔවා දෙනු පරහට, තමා සම්මතෙහි පිහිටා සිට’ කිව්වා වගේ මගෙන් කිසිම වරදක් වෙන්න බෑ. මට පවුලක් නෑ රකින්න. අදටත් මටම කියලා නිවසක් නෑ. මගේ නමට වාහනයක් නෑ. සුපිරි ජීවිතයක් නෙවේ මම ගත කරන්නේ. බොහොම අල්පේච්ඡ ජීවිතයක්. ඉතින් මට මඩ ගහන්න කිසිම දෙයක් නෑ. ‘ආ රන්ජන් ගෑනියෙකුට රඟපානවා’ කියලා තමයි දැන් ඒ අය මට කියන්නේ. හොඳ ‘බයිට්’ එකක්නේ මම දීලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ. දැනටමත් මට Facebook  එක හරහා නොයෙක් මඩ ප්‍රහාර එල්ල වෙනවානේ.

මෙවැනි දේවල් ගැන කලාකරුවෙක් විදිහට ඔබට මොකද හිතෙන්නේ?

සමහරුන්ගේ පටු ආකල්ප ගැන කනගාටුයි. ඒත් රංගන ශිල්පියෙක් හැටියට මම දායක වූණේ හොඳ දේකට. ඇත්තටම ගැහැනු චරිතයක් වුණාට මේකත් One Shot  වගේ චරිතයක්. මොකද මායා කියන්නේ අසාධාරණයට, අයුක්තියට විරුද්ධව සටන් කරන කෙනෙක්. සැබෑ ජීවිතයේ මම කරන්නෙත් ඒකයි. මම ‘රන්ජා’ කරද්දී අර රතුපස්වල වතුර කේස් එක ආවනේ අසංක. ‘රතුපස්වල රන්ජා’ කියලා නම දාන්න පවා සෙට් වුණා. එදා මහ ඇමැතිගේ අනින් හමුදාව ඒ බොන්න වතුර ඉල්ලපු අහිංසක ජනතාවට වෙඩි තිබ්බා. තරුණයෙක් මරුණා.

‘රන්ජා’ චිත්‍රපටයෙත් එහෙම වතුර ප්‍රශ්නයක් තිබුණානේ?

කර්මාන්ත ශාලාවකින් එන අපද්‍රව්‍ය සියල්ලම එකතු වෙන්නේ පානීය ජලයට. මේ ප්‍රශ්නය නිසානේ ‘රන්ජා’ ඇමැතිතුමා එක්ක ෆයිට් කරන්නේ ජනතාව වෙනුවෙන්. දැන් ‘මායා’ චිත්‍රපටයේ කියැවෙන්නේ ඉඩම් කොල්ලයක් ගැන. ඇමැතිතුමාත් එක්ක තමයි ‘මායා’ හැප්පෙන්නේ. එතකොට මෙහෙත් මහ ඇමැතිවරයෙකුට විරුද්ධව ඉඩම් මංකොල්ලයක් ගැන මම F.C.I.D  එකේ පැමිණිල්ලක් කළා. මේ ඇමැතිවරයා තමන්ගේ අනියම් බිරියට තමයි මේ ගොඩ කරපු ඉඩම ලියලා දෙන්නේ. එතකොට ‘මායා’ ට පිහියෙන් අනින්නෙත් ඇමැතිගේ අනියම් බිරිය. තාම ඇන්නේ නෑ මට නම්. ඉතින් අසංක මේවායේ හරි සමානකම් තියෙනවානේ නේද?

චිත්‍රපටය නැරඹූ එක් මාධ්‍ය සඟයෙක් මට කිව්වේ රන්ජන් හැරෙන්න මේ චරිතය රඟපාන්න ලංකාවේ වෙන නළුවෙක් නෑ කියලයි. මේ තක්සේරුව ගැන ඔබට මොකද හිතෙන්නේ?

ඔහු පැවසූ දෙය මම නිහතමානීව පිළිගන්නවා. නමුත් මම එහෙම හිතන්නේ නෑ. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග කියන දැවැන්තයෝ මිය ගියා කියලා සිනමාව නැවතුණේ නෑ. මට වඩා හොඳට ඒ චරිතය රඟපාන්න පුළුවන් නළුවෝ ඇති කියලා මට හිතෙනවා.

එතකොට ඔබේ රංගනය ගැන සෑහීමකට පත් වෙන්නේ නැද්ද?

නෑ, එහෙම දෙයක් නෙවෙයි මම අදහස් කළේ. මේ චිත්‍රපටය නරඹා මමත් සතුටු වුණා මගේ රංගනය ගැන. ඒ සතුටම ඔබේ මාධ්‍ය මිතුරටත් දැනෙන්නට ඇති. නමුත් මට වඩා මේ චරිතය හොඳට රඟපාන්න පුළුවන් අය ඇති කියලයි මම කිව්වේ.

‘කාංචනා’ නමැති දැවැන්ත දමිළ චිත්‍රපටය අනුසාරයෙන් තමයි ‘මායා’ නිර්මාණය වුණේ. ඔබේ චරිතය ගොඩ නඟා ගැනීමේදී යම් ආභාෂයක් ලැබුවාද ‘කාංචනා’ චිත්‍රපටයෙන්?

‘මායා’ චිත්‍රපටයේ තිර රචනය ලියූ පුබුදු චතුරංග ඊට අපේ මුහුණුවරක් දී තිබුණා. ඒ හින්දා මේක කොපියක්ම නෙවෙයි. අර භික්ෂූන් වහන්සේගේ චරිතය ඊට උදාහරණයක්. මේ අමනුෂ්‍ය ආත්මයන් සියල්ලම මෙල්ල කරන්නේ පිරිත් බලයෙන්. ඔබට මතක ඇති ඒ සිද්ධිය. එතනත් බෞද්ධාගම තමයි ඉස්මතු කරන්නේ. උඹලා මොන යක්ෂයන් වුණත් මේ ගෞතම බුදුරජාණන්ගේ ධර්මය එක්ක හැප්පෙන්න එපා කියලානේ කියන්නේ. ඒක ‘කාංචනා’ චිත්‍රපටයේ දෙබසක් නෙවෙයිනේ. ඒ නිසා එතැන අනුවර්තන පරිවර්තන නෑ. ඒක පුබුදු ලස්සනට ලෝකලයිස් කරලා තමයි ස්ක්‍රිප්ට් එක ලියලා තිබුණේ.

කිසිම කෙනෙකුට බය නැති ‘මායා’ පවා බුද්ධ චීවරයට අවනත වෙනවා?

ඔව්. මායා බය වෙන්නේ බුද්ධ චීවරයට පමණයි. සැදැහැවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ‘බලය’ පෙන්වනවා එතනදී.

ඔබ කතෝලිකයෙක් හැටියට බුද්ධාගම පිළිබඳ එසේ විවරණයක් දීම මම හිතන්නේ අනෙක් අයටත් හොඳ ආදර්ශයක්?

බුදුරජාණන් වහන්සේගේ චරිතය පිළිබඳ මම හරිම අවබෝධයක් ලැබුවේ ඇත්තටම ‘සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටය කරන්න ගියාට පස්සේ. ඒ චිත්‍රපටයේ රඟපාන කාලේ මම ගොඩක් දුරට බුදු දහම හැදෑරුවා. මොකද මම ඒ චිත්‍රපටයේ රඟපෑවේ සුද්ධෝදන රජතුමාගේ චරිතය. ඔහු තමුන්ගේ පුතු මාළිගාවේ රඳවාගන්න යුව රජකම දෙනවා. රම්‍ය, සුරම්‍ය, සුභ කියලා මාළිගා තුනක් හදනවා. වටේම ඉන්න ලස්සනම කාන්තාවෝ දීලා රවට්ටන්න හදනවා. නච්ච, ගීත, වාදිත අංගවලින් සිත බන්ධනය කරන්න හදනවා. එක එක්කෙනාට අල්ලස් දීලා රෝගීන්, මහල්ලන්, මළමිනී හංගනවා. ඒත් ඒ මොනවා කළත් සිද්ධාර්ථ කුමාරයා ගිහි ගෙයින් නික්මෙන එක වලක්වන්න බැරි වුණානේ සුද්ධෝදන රජතුමාට. සියලු සැපසම්පත් හැර දමා ඔහු තමන්ගේ විමුක්තිය, ලෝකයාගේ විමුක්තිය හොයාගෙන යනවා. බුද්ධත්වයට පත් වෙනවා.

ගැඹුරු අවබෝධයත් සමඟයි ඔබ බුදු දහමට ගරු කරන්නේ?

ආගම් බේදයකින් තොරව මෙබඳු ශ්‍රේෂ්ඨ උතුමන්ට අපි ගරු කළ යුතුයි. ජේසුස් වහන්සේ වේවා, නබිනායක තුමන් වේවා මේ සියලුම ආගමික ශාස්තෘවරු ලෝකේ දේශනා කළේ උතුම් දහමක්. අද සමහරු අන්ධ භක්තියකින් තමයි මේ ආගම දහම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. බණ්ඩාරනායක මහත්තයාට වෙඩි තිබ්බ සෝමාරාමත් චීවරධාරියෙක්. නමුත් මට බෑනේ ඔහුගේ දෙපා වඳින්න. හැබැයි බලංගොඩ ආනන්ද මෛත්‍රිය හාමුදුරුවන්ට නමස්කාර කරන්න මට පුළුවන්. ඒ වගේම මට මර්සලින් ජයකොඩි පියතුමන්ගේ දෙපා වඳින්න පුළුවන්. ඒත් මැතිව් පීරිස්ට එහෙම කරන්න බෑනේ. ඒ වගේ මම ගරු කළ යුත්තාට ගරු කරන, පිදිය යුත්තා පුදන කෙනෙක්. මම හැම වෙලේම ඉන්නේ පුද්ගලයෝ එක්ක මිසක් ආගම් එක්ක පක්ෂ එක්ක නෙවෙයි.

ඔබේ බාහිර ස්වරූපය සහමුලින්ම වෙනස් වෙනවා මේ චරිතයේදී. ඒ කියන්නේ රන්ජන් රාමනායක සුරූපී ළඳක් බවට පත් වෙනවා. මේ කර්තව්‍ය පිටුපස මම හිතන්නේ එක්තරා සුවිශේෂී පුද්ගලයෙක් හිටියා?

මුලින්ම නිෂ්පාදක සදේශ් කුමාර් මට කිව්වේ මේක ටිකක් සංකීර්ණ මේකප් එකක්. ඉන්දියාවේ මේකප් ආටිස්ට් කෙනෙක් මේක කරන්න එනවයි කියලා. ඉන්දියන් කැමරමන් කෙනෙක්, ඉන්දියන් ෆයිට් ඩිරෙක්ට්ස්ලා එනවා, ටෙක්නොලිජි එක හුඟක් පාවිච්චි කරනවා කියලා ඔහු පැවසුවා. ඒ මේකප් ටෙස්ට් එකට මට ඉන්දියාවට යන්න තිබුණා. නමුත් මගේ වැඩ එක්ක ඒක කරන්න බැරි නිසා මම ඉල්ලීමක් කළා අපි මේ මේකප් එකට අපේ කෙනෙක් දාගමු කියලා. ඊට පස්සේ තමයි නලින් ප්‍රේමතිලක පැය දෙකහමාරක් විතර වෙහෙසක් දරලා මේ මේකප් එක දැම්මේ. යකඩ පිහාටු, වන් ෂොට්, ලීඩර් වගේ චරිත රඟපාපු මාව සුරූපි ළඳක් කරන එක ටිකක් අමාරු කාර්යයක් වුණා.

අවසානයේ සාර්ථක ප්‍රතිඵල අත් වුණා?

වැඩේ සක්සස් වුණා. ඒත් මාර කට්ටක් කෑවා අසංක. ඇයි හැම දෙයක්ම වෙනස් කළානේ. ඇඟපුරා රෝම ඉවත් කරලා, මේකප් තවරලා, ඇහි බැමි ගාලා, ඒ මදිවට මොට්ටු තියලා, කියුටෙක්ස් ලිප්ස්ටික් තවරගෙන සාරියක් ඇඳගෙන ඉන්න එක මොන තරම් අපහසුද කියලා ඔයා හිතන්න. කොහොම හරි මේකප් ටෙස්ට් එකේදී නලින් මාව වෙනම ළඳක් බවට පත් කළා. ඊට පස්සේ තමයි නලින්ට මේ චිත්‍රපටයේ් මේකප් ආර්ටිස්ට් වෙන්න අවස්ථාව දුන්නේ නිෂ්පාදකතුමා. අර භූතයන්ගේ, යක්කුන්ගේ මේකප් දැම්මෙත් නලින්ම තමයි.

බාහිර ස්වරූපය වෙනස් වූ පමණින්ම චරිතයක් සාර්ථක වෙන්නේ නෑනේ. ඇතුලාන්තයෙන් නළුවා හෝ නිළිය ඊට යමක් එක් කළ යුතුයි?

අනිවාර්යයෙන්ම.

ඔබ මේ ගැහැනු ආත්මය ඇතුළට සූක්ෂමව රිංගනවා. ඊට පස්සේ තමයි අර ‘මායා’ කියන අපූර්ව කාන්තා චරිතය ප්‍රතිනිර්මාණය වෙන්නේ. ඒක අසීරු අභියෝගයක්?

චිත්‍රපටයේ අර අන්තිම සටන් ජවනිකාව අපි කළේ කොචින්වල. ඉන්දියාවේ නිදි මරාගෙන දවස් තුනක් අපි ඒ ෆයිට් එක ෂූට් කළා. ලක්ෂ අසූවක මුදලක් වැය වුණා ඒ ෆයිට් එක ඉවර කරන්න. ලංකාවේ ෆිල්ම් එකක බජට් එක ගියා ෆයිට් එකට. මේ බිහිසුණු සටන් ජවනිකා කරන්නේ කාන්තාවක් කියන එක මට සැනෙකින් අමතක වෙනවා. ෆයිට් එකට එද්දී මගදී අර ‘මායා’ පස්ස වන වනා එන ගමන අමතක වෙලා එක පාරටම ‘වන් ෂොට්’ වෝක් එක එනවා.

ඉතින්?

එතකොට ෆයිටින් ඩිරෙක්ටර් ඇවිත් කියනවා Sir, you are walking like a hero, That’s not a hero. you’re a heroin’ කියලා. ආයේ කට්ටිය සෙට් කරලා ඇක්ෂන් කියපු ගමන් මම එනවා ගහගන්න අර ‘ලීඩර්’ වගේ. ‘no no you’re lady lady’ කියලා ෆයිට්න් ඩිරෙක්ටර් ආයේ කියනවා. ආයේ කට් කියනවා. ෆයිට් එක පටන් ගන්නේ ගෑනියෙක් විදිහට. මැදදී මම ගහනවා ඩෝං කියලා. ගෑනු මිට මොලවලා ගහන්නේ නෑනේ. ඉතිං හෙන අමාරු වුණා මේක කරන්න. ඒ කියන්නේ චරිතය මැදදී මාව මතු වෙනවා. ඒ ආත්මෙට රිංගන එක ලේසි වුණේ නෑ. ‘මායා’ එනවා. ආයේ ‘රන්ජන්’ මතු වෙනවා. ආයේ ‘මායා’ එනවා. හරි විකාරයක් ඒක.

‘මායා’ Horror ටයිප් එකේ චිත්‍රපටයක්. මෙබඳු බිහිසුණු ගණයේ චිත්‍රපටයකට ලංකාවේ සිංහල චිත්‍රපට නරඹන ප්‍රේකෂකයෝ කොයි වගේ ප්‍රතිචාරයක් දක්වාවිද?

මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ පෘථිවියේ වෙසෙන අහිංසකම ජන කොට්ඨාශයක් ගැන. තමන් නොකළ වරදකට නිර්දය ලෙස විවේචනයට බඳුන් වෙන, ගර්හාවට ලක්වෙන, අසාධාරණයට ලක් වෙන ජීවින් කොට්ඨාසයක් ගැන. ඒක ඇත්තටම සමාජයේ කතාබහට ලක්විය යුතු මාතෘකාවක්. සංවාදයට විවෘත වෙන්න ඕනෑ දෙයක් හැටියට මම දකිනවා. අපි හැමදාම මේක හංගනවා. චිත්‍රපටයේ ඒ අය පිළිබඳ ‘මායා’ හරහා කතා වෙනවා. ඇත්තටම මේ වගේ ලිංග විපර්යාසයකට ගොදුරු වූ අය වෛද්‍යවරුන් අතර ඉන්නවා. ඉංජිනේරුවන් අතර ඉන්නවා. ගුරුවරු අතර ඉන්නවා. විවිධ තැන්වල මේ අය ඉන්නවා. මේ හැරස්මන්ට් එකට ලක් වෙවී ලෝකෙටම සාප කර කර දුක් විඳ විඳ මේ අය ජීවත් වෙනවා. මේක බිහිසුණු ගණයේ චිත්‍රපටයක් වගේම එබඳු අවිහිංසක මනුෂ්‍ය කොට්ඨාශයක් ගැන කතා කරන චිත්‍රපටයක්. අනෙක ‘මායා ‘ පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය රූගත කිරීම් අතරතුරේ රසවත් සිදුවීම් ගොඩක් වුණා කියලා ආරංචියි. රන්ජන් රාමනායක ඉන්න සෙට් එකක ඕවා ආගන්තුක දේවල් නෙවෙයිනේ?

ඔබට මතකද අර වැල්ලේ සටන් දර්ශනය. අපි ඒවා ෂූට් කළේ පානදුර පැත්තේ බීච් එකක. පාන්දර 6.00 ට විතර කවුද මිනිහෙක් මුහුදු වෙරළට ඇවිත් හිටියා ෆයිල් එකකුත් අරගෙන. පස්සේ දැන ගත්තේ මිනිහා ඇවිත් තියෙන්නේ මොකක්ද ඉන්ටර්වීව් එකකට. ‘මායා’ ලේ පෙරාගෙන හතුරන් එක්ක ෆයිට් කරන සීන් එකක් ෂූට් කරලා ඉවර වුණා විතරයි. පොඩි කොලෙප්පමක් කරන්න හිතුණා, අර මනුස්සයට.

මොකද කළේ?

මම එක පාරටම අර වැල්ලෙන් මතුවෙලා මිනිහා පස්සේ පන්නන්න පටන් ගත්තා. ලේ පෙරාගෙන මෝහිනී වගේ ගෑනියෙක් තමන් පස්සේ මහා පාන්දර පන්නගෙන එනකොට මිනිහට මොනවා හිතෙන්න ඇද්ද? මේ යකා අර ෆයිල් එකත් පැත්තකට විසි කරලා දුවන්න පටන් ගත්තා දිවිල්ලක් අර පානදුර බීච් එකේ ඉඳන් ගාලු පාරටම. මටත් හොඳ එක්සයිස් එකනේ. පැන්නුවා තවත් වේගෙන්. අරූ අසංක උසේන් බෝල්ට්ටත් වඩා වේගෙන් දිව්වා කියන්නකෝ. පැයකට විතර පස්සේ මිනිහා අර ෆයිල් එක ගන්න ආවා. ඩොනල්ඩ් ජයන්ත ඇතුළු පිරිස කිව්වා මිනිහා පස්සේ පැන්නුවේ රන්ජන් රාමනායක කියලා. එතකොට අර මිනිහා මොකද කිව්වේ දන්නවද? ‘පිස්සුද රන්ජන් අයියා ඔයවගේ නොහිබිනා වැඩ කරන්නේ නෑ’ කියලයි. කොච්චර කිව්වත් මිනිහා ඒක විශ්වාස කළේ නෑ. මිනිහා හිතලා තියෙන්නේ මම අර සුනාමියට අහු වුණ ගෑනු කෙනෙකුගේ අවතාරයක් කියලා.