වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම සම්මානය සරසවිය සම්මානය වීම අමුතු සතුටක්

මුල්ම සම්මානය සරසවිය සම්මානය වීම අමුතු සතුටක්

සංගීතවේදී එච්. එම් ජයවර්ධන

එච්. එම් ජයවර්ධන යනු අපේ රටේ සිටින අති දක්ෂ සංගීත ශිල්පියෙක් බව කියන්නට අමුතු උපහැරණ නම් අනවශ්‍ය ය. “ඔබයි රම්‍ය සඳ කිරණ ගන අන්ධකාරේ”, ‘සඳ තරු නිහඬයි”, “එක යායට මල් පීදුන බිම් තීරේ”, “සියක් අයු ගෙන”, “වී පැදුරෙන් ඉගිලී යන” ගීතයන්හි තනු පමණක් නොව තවත් ජනප්‍රිය ගී තනු දහසකට අඩු නොවන ගණනක් නිර්මාණය කරමින් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉතා විශාල සේවයක් ඉටු කළා සේම අදටද ඔහු එය වගකීමක් කොට ගෙන සංගීත මෙහෙවරෙහි යෙදෙන්නේය. යුග ගණනක ගායක ගායිකාවන් බබළවන ගී තනු රැසක් නිර්මාණය කළ මේ අපූරු සංගීතඥයා 1982 වසරේ සරසවිය සම්මාන උලෙළේදී ද හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට වාසනාවන්ත වීය. ඒ ආචාර්ය රෝහණ වීරසිංහ ද සමඟිනි. ඒ එච්. එම් සහ රෝහණ එක්ව සංගීත අධ්‍යක්ෂණය කළ ‘ආරාධනා’ චිත්‍රපටය නිසා ය. ‘ආරාධනා’ චිත්‍රපටය, එච්. එම්ගේත් රෝහණගේත් කුළුඳුල් සිනමා සංගීත අධ්‍යක්ෂණයයි.

* මුලින්ම සරසවිය සම්මාන උලෙළකට ආරාධනා හිමි වූ දා ලද සතුට කොහොමද?

මට මුලින්ම සරසවිය සම්මාන උලෙළකට ආරාධනා ලැබුණේ ‘ආරාධනා ‘ චිත්‍රපටය නිසා. එහි සංගීත අධ්‍යක්ෂණය කළේ මමයි ආචාර්ය රෝහණ වීරසිංහයි. අපි දෙන්නාගේම ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය එය යි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ විජය ධර්ම ශ්‍රී මහත්මයා. සරසවිය සම්මාන උලෙළ අපේ රටේ සිනමාව වෙනුවෙන් පැවති ඉහළතම සම්මාන උලෙළ වුණා. ඒ වෙනතෙක් මම කිසිම දිනෙක මම සරසවිය සම්මාන උලෙළකට සහභාගි වෙලා තිබුණේ නැහැ.

* එදා සරසවිය සම්මාන උලෙළට පැමිණෙන විට සම්මානයක් ගැන බලාපොරොත්තුවක් තිබුණාද?

මම කිසිම නිර්මාණයක් කරන්නේ සම්මාන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ‘ආරාධනා’ චිත්‍රපටය මගේ ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂණය නිසා කොහොමටත් සම්මාන ලැබේවි කියලා හිතුවේ නැහැ. හැබැයි සම්මාන උලෙළට සහභාගි වෙන්න නම් අමුතුවෙන් සූදානම් වුණා.

* ඒ ගැනත් විස්තර කියමු ?

සරසවිය සම්මාන උලෙළ අපේ රටේ විශේෂ වූ සම්මාන උලෙළක් නිසා වැදගත් විදියට යන්න ඕනි කියලා මම හිතුවා. ඒ වෙනුවෙන් කෝට් එකක් ඇඳගෙන යන්න මං තීරණය කළා. බොරු කියන්නේ මොකටද මට එහෙම යන්න ආසාවකුත් ඇති වෙලා තිබුණේ. හැබැයි මං ළඟ කෝට් එකක් තිබුණේ නැහැ. මගේ මිතුරෙක් ඔහුගේ මංගල උත්සවයට ඇඳපු කෝට් එකක් මං ඉල්ලා‍ ගත්තා. ඒක ඇඳගෙන තමයි මම සරසවිය සම්මාන උලෙළට ගියේ. බොහොම සතුටෙන් ඒවගේම උනන්දුවෙන් සූදානම් වෙලා සම්මාන උලෙළට ගියාම මටත් සම්මානයක් හිමි වුණා. ඒ සතුට ගොඩක් ඉහළයි.

* එදා හොඳම අධ්‍යක්ෂණයට සරසවිය සම්මානය සමඟින් ලද සතුට ගැනත් කියමු?

මම වගේම රෝහණත් එදා හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඇත්තටම ප්‍රථම නිර්මාණය සම්මානනීයවීම නිර්මාණකරුවෙකු ලබන විශාල ජයග්‍රහණයක්. එය සරසවිය සම්මායක් වීම ඊටත් සුවිශාල ජයග්‍රහණයක්. ඒක අමුතුම සතුටකුත් ගෙන දුන්නා. මම සහ රෝහණ වගේම පණ්ඩිත් අමරදේවයන් හොඳම ගායකයා ලෙසිනුත් කුලරත්න ආරියවංශ ‍හොඳම ගී පද රචනය වෙනුවෙනුත් සරසවිය සම්මානයන්ට පාත්‍ර වුණා.

* ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂණය මොන වගේ අත්දැකීමක් වුණා ද?

විජය ධර්ම ශ්‍රී මහත්මය යි නිෂ්පාදක විජය රාමනායක මහත්මය යි අපි දෙන්නට ආරාධනා කළා. ඒ වෙලාවේ දී අපිට පුදුමත් හිතුනා. මොකද මීට පෙර මමවත් රෝහණවත් චිත්‍රපටවල සංගීත නිර්මාණයට දායක වෙලා තිබුණේ නැහැ. ඔවුන් අපි ‘ආරාධනා’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයට තෝරා ගෙන තිබුණේ ඒ වෙනකොට අපි කළ නිර්මාණ දැකලා ලොකු විශ්වාසයකින්. විජය ධර්ම ශ්‍රී ගීතයන්ට අදාළ රූප රාමු ගැන අපට හොඳීන් පැහැදිලා කළා. ඒ පැහැදිලි කිරීම් අනුව රචනාකර තිබූ ගීත වෙනුවෙන් අපි සංගීතය නිර්මාණ කළා.

* ‘ආරාධනා’ චිත්‍රපටයේ සංගීත නිර්මාණ කාර්යය සිදුවුණේ කොහොමද ?

‘ආරාධනා’ චිත්‍රපටයේ සංගීත පටිගත කිරීම් සිදු කළේ කැලණිය සරසවි චිත්‍රාගාරයේදීයි. පණ්ඩිත් අමරදේව, මිල්ටන් මල්ලවආරච්චි, මාලනි බුලත්සිංහල, විජය කුමාරණතුංග, දමයන්ති ජයසූරිය ගීත ගායනා කළා. ‘සීත අරණේ’, ‘ජීවිතයේ තනි මංසල අතරමං වෙලා’, ‘සිනාවකින් පුතුගේ මුවේ’ වැනි ගීත ගොඩක් ජනප්‍රිය වුණා. සුනිල් සරත් පෙරේරා, කුලරත්න ආරියවංශ ගීත රචනා කළා. ශබ්ද පරිපාලක වුණේ මර්වින් බෙන්ස්.

‘සිනාවකින් පුතුගේ මුවේ’ ගීතය මුලින් ගායනා කරන්න සූදානම්ව සිටියේ විජය රාමනායක මහත්මයාගේ මිතුරෙක්. පටිගත කිරීමට ආවත් තමන්ගේ කටහඬ ගොරෝසු වැඩි නිසා ගැලපෙන එකක් නැහැ නේද කියලා ගීතය ගායනා කිරීම ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ මමයි රෝහණයි අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයා සමඟින් කතා කරලා දමයන්ති ජයසූරිය සමඟින් මේ ගීතය ගයන්න විජය කුමාරණතුංගට ආරාධනා කළා. ගීතයට අදාළ වුණේ මවක් සහ පියෙක් පුංචි පුතෙක් හුරතල් කරන දර්ශනයෙන්. ඒ දර්ශනයට පෙනී හිටියේ රවීන්ද්‍ර රන්දෙනිය සහ මාලිනි ෆොන්සේකා සමඟින් විජය රාමනායක මහත්තයාගේ පුතා.

* දෙදෙනෙක් සමඟින් එක් සංගීත නිර්මාණ කාර්යයක් කිරීමේදි එකඟවිය නොහැකි අවස්ථා එහෙමත් තියෙන්න ඇති?

රෝහණයි මමයි අතර නම් එහෙම කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. මගේ අදහස්වලට රෝහණ එකඟ වුණා වගේම රෝහණගේ අදහසුත් මම අනුමත කළා. දෙන්නාගේම එකම බලාපොරොත්තුව වුණේ පොදුවේ සාර්ථක නිර්මාණ කාර්යයක් ඉටු කිරීම තමයි. එය ඇත්තටම සාර්ථක වුණා.

* මේ දක්වා සිනමාව තුළ සංගීතය සමඟින් පැමිණි ගමන ගැන මොකද හිතෙන්නේ?

ප්‍රථම නිර්මාණ කාර්යයට සරසවිය සම්මානයක් හිමිවීමෙන් පසු තවත් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණ කාර්යයන් කිහිපයක් මා වෙත පැවරුණා. මුහුදු ලිහිණි, මංගල තෑග්ග ආදි වූ චිත්‍රපට ඒ අතරේ වෙනවා. මේ දක්වාම සංගීත ක්ෂේත්‍රයේ පැමිණි ගමන ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්. සරසවිය සම්මානය වගේම දෙවරක් හොඳම පසුබිම් සංගීතයට සහ හොඳම ගී තනුව ලෙසින් ජනාධිපති සම්මානයටත් පාත්‍ර වුණා. නමුත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ විශිෂ්ට සංගීත නිර්මාණයක් වූ ‘තුන්වැනි යාමය’ චිත්‍රපටයත් ඒ අතර තිබුණා. ඒ සමඟින් බලනවිට මට මා මඳ බව හැඟුණු නිසා මම ඒ සම්මාන දෙකම ප්‍රතික්ෂේප කළා. ඒ සමඟින් ගොඩක් චිත්‍රපට අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු මට චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය භාර දෙන්න බිය වුණා. හැබැයි ඒ ගැන නම් පොඩි දුකක්වත් හිතේ නැහැ. පණ්ඩිත් අමරදේවයන්ගේ සිට අද වර්තමාන පරපුර දක්වා ගායක ගායිකාවන් රැසකට මම ගී තනු නිර්මාණය කර තිබෙනවා. එවැනි කාර්යයක් ඉටු කිරීමට ලැබීම මා ලද සුවිශාල භාග්‍යයක්.

* අලුත් නිර්මාණ ගැනත් කියමු ?

මේ දිනවල මම වකුගඩු ආබාධයකින් පෙළෙන නිසා ඒ වෙනුවෙන් ප්‍රථිකාර ගන්නත් මට කාලය වෙන් කරන්න සිදු වෙලා. නමුත් මම මගේ සංගීත නිර්මාණ කටයුතු නම් අතපසු කරන්නේ නැහැ. පටිගත කිරීම්වලට සහභාගි වෙනවා. ළඟදී මම අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ වෙනුවෙන් අලුත් ගී තනු නිර්මාණය කළා.