වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




ආසියානු සිනමා ඇකඩමියේ ඇදුරු මඩුල්ලට විමුක්ති

ආසියානු සිනමා ඇකඩමියේ ඇදුරු මඩුල්ලට විමුක්ති

සිනමා ක්ෂේත්‍රය සම්බන්ධ උනන්දුවක් දක්වන ආසියානු කලාපීය කුසලතා පූර්ණ යොවුන් සිනමා ශිල්පීන්හට ප්‍රශස්ථ මට්ටමේ න්‍යාත්මක සහ ප්‍රායෝගික අධ්‍යානයක් ලබා දීමේ අරමුණින් 2005 වර්ෂයේ ඇරඹි ආසියානු සිනමා ඇකඩමිය (Asian Film Academy), අන්තර්ජාතික සිනමා උළෙලයක් හා අනුබද්ධිතව වර්තමාන ආසියාවේ කි‍්‍රයාත්මක වන ප්‍රබලතම සිනමා ඇකඩමිය ලෙසින් සැලකේ.නුතන ආසියාවේ ප්‍රමුඛතම සහ සුවිසල්ම සිනමා උලෙළ ලෙසින් බුහුමන් ලබන බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළ ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වන මෙම ඇකඩමිය, 2016 අධ්‍යන යන වර්ෂය වෙනුවෙන් වූ සිය ඇදුරු මඩුල්ල සහ ශිෂ්‍ය නාම ලේඛනය පසුගියදා නිළ වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද්දේ ශී‍්‍ර ලාංකේය සිනමා කරුවෙකුට යම් සුවිශේෂී වටිනාකමක් එක්කරලමිනි.

බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළ සතු ප්‍රබලත්වය හේතුවෙන් සමාරම්භක වර්ෂයේ පටන් සෑම අධ්‍යයන වර්ෂයකම, එදා මෙදා තුර ආසියානු කලාපය තුල බිහිවූ විශිෂ්ටතම සිනමා වෘත්තිකයින්ගෙන් සිනමා ඇකඩමියේ ඇදුරු මඩුල්ල සමන්විත කරලීමට ආසියානු සිනමා ඇකඩමියේ සංවිධායක මණ්ඩලය වග බල ගැනීම දක්නට ලැබුණි.(ඇතැම් අවස්ථාවන්හිදී යුරෝපීය සිනමා වෘත්තිකයින්ගේ දායකත්වයද මේ සඳහා හිමිව ඇත). එලෙසින් ආසියාවේ බිහි වූ විශිෂ්ටතම සිනමා කරුවෙකු ලෙසින් 2016 අධ්‍යයන වර්ෂය වෙනුවෙන් පත්කල ති‍්‍රපුද්ගල ඇදුරු මඩුල්ලට ශී‍්‍ර ලාංකේය සිනමා අධ්යසක්ෂ විමුක්ති ජයසුන්දරවද එක්කොට තිබීම, ඔහු මෙන්ම ශී‍්‍ර ලාංකේය සිනමාවද ලද සුවිසල් ජයග්‍රහණයකි. එකොලොස් වසරක් පුරාවට අබ්බාස් කියොරස්තාමි, බෙල තාර්වැනි සම්මානනීය සිනමා නිර්මාණකරුවන් 45 කට අසන්න පිරිසකගේ දායකත්වයෙන් ගොඩනැගුනු ආසියානු සිනමා ඇකඩමියේ ඇදුරු මඩුල්ලට එදා මෙදා තුර ශී‍්‍ර ලාංකිකයෙකු පත්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර, දකුණු ආසියානු සිනමා අධ්‍යක්ෂකවරයෙකුට එකී අවස්ථාව හිමිවූ දෙවැනි අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වේ. මෙවර ඇදුරු මඩුල්ලේ ප්‍රධානත්වය වෙනීස්, බර්ලින් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂක සායි මින් ලියෑන් සතුවේ.

සිනමා ඇකඩමිය සඳහා සුදුසුකම්කම් ලබන ශිෂ්‍යයන් උදෙසා හිමිවන සුවිසල් වරප්‍රසාදයන් හේතුකොටගෙන, අතිවිශාල අයදුම්පත් සංඛාවක් වාර්ෂිකව සියළුම ආසියාතික රටවල් නියෝජනය කරමින් ආසියානු සිනමා ඇකඩමිය වෙත යොමුවීම සුවිශේෂී කරුණකි. එනමුදු ඒ අතුරින් එක් අධ්‍යයන වර්ෂයක් උදෙසා අධ්‍යාපනය ලැබීමට වරම් හිමිවන්නේ ශිෂ්‍යයයන් 24 දෙනෙකුට පමණකි. එලෙසින් 2005 වර්ෂයේ සිට 2015 දක්වා වූ එකොලොස් වසරක් පුරාවට ඇකඩමියේ අධ්‍යයන වරම් ලද ශිෂ්‍යයන් 265 දෙනා අතරට එක්වීමට රුවන් වල්පොල (2005), කාලිංග දේශපි‍්‍රය(2005), ඉලංගෝ රාමනාතන් (2006), සංජීව පුෂ්පකුමාර(2009),චතුරිකා නිමලචන්ද්‍ර (2010), සුමුදු අතුකෝරල(2011), සමන් ඇල්විටිගල (2013) සහ චානක විදුරංග(2014)යන ශී‍්‍ර ලාංකිකයන් 08දෙනා සමත්ව තිබීම කැපීපෙනේ.

ආසියානු සිනමා ඇකඩමියේ ඇදුරු මඩුල්ලට සුදුසුකම් ලද පළමු ශී‍්‍ර ලාංකේය සිනමා නිර්මාණවේදියා ලෙසින් එළඹෙන සැප්තැම්බර් මස 23 දින විමුක්ති ජයසුන්දර දකුණු කොරියාව බලා පිටත්වීමට නියමිතය.


අර්ජුන සඳමලී සමඟ පුංචි තිරයට

රංගන ශිල්පී අර්ජුන කමලනාත් පළමුවරට ටෙලි නාට්‍යයත් අධ්‍යක්ෂණය කිරීමට සූදානම් වෙයි. එය නම්කොට ඇත්තේ ‘සඳමලී’ යනුවෙනි. පසුගියදා කොළඹ එක්සෙල් වර්ල්ඩ්හි පැවති මුහුරත් උලෙළකින් අනතුරුව ‘සඳමලි‘ හි වැඩකටයුතු ආරම්භ කරන ලදී.

සැප්තැම්බර් මාසයේදී රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත ‘සඳමලි‘ කතාව සඳමලී නැමති දිළිඳු තරුණියක් වටා ගෙතී ඇත. අමීෂා කාවින්දි විසින් එම චරිතය නිරූපණය කරනු ලබයි.

අර්ජුන කමලනාත්, අනුර ධර්මසිරිවර්ධන, රජිත හිරාන් චාමිකර, මොරින් චාර්ණි, නිරෝෂා තලගල, චාමර ප්‍රියදර්ශන, හර්ෂණ බෙත්මගේ, චංචලා වර්ණකුලසූරිය, කුමුදුනි අධිකාරි, බන්දුල සූරියබණ්ඩාර, සමන්ති ලැනරෝල්, අනිල් ජයසිංහ, ජයන්ත ගලගෙදර, මනෝහාරි විමලතුංග, චතුර පෙරේරා, අනුරාධා එදිරිසිංහ, රෝලන්ඩ් හෙලන්, අංජන ප්‍රේමරත්න, නිලුක්ෂි මධුෂිකා, අනුර බණ්ඩාර රාජගුරු, උඩවත්තගේ රවීන්ද්‍ර ඇතුළු පිරිසක් ‘සඳමලී’හි රංගන දායකත්වය සපයති.

පුෂ්ප රුවන්, ලියනගේ රූපවාහිනි රචනයකි, ඩිලාන් ගුණවර්ධන, කැමරා අධයක්ෂවරයාය. සුරේෂ් ඉන්දික අංගරචනයෙන්ද, සුමති කුඩලිගම කලා අධ්‍යක්ෂණයෙන්ද, සුරේෂ් කුමාරසිංහ සහය අධ්‍යක්ෂණයෙන්ද මේ සඳහා දායක වෙති.

ලස්සන ජයසේකරගේ සංගීත අධ්‍යක්ෂණයකි. ශෂිකා නිසංසලා ගීත ගායනයෙන් දායක වේ. ගී පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ ය. අජිත් ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරුය. ‘සඳමලි‘ කුල්නෙත් මීඩියා ඉදිරිපත් කිරීමක් වන අතර ඉසුරු ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.


‘උලත් එකයි පිලත් එකයි’ තරු සිනමාහල්වලට එති

'උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටයේ නළු නිළියන් කණ්ඩායම මෙම මස 03 වැනිදා සහ 04 වැනිදා චිත්‍රපටය ප්‍රදර්ශනය වන ශාලා කිහිපයකට පැමිණීමට නියමිතය. ඒ අනුව 03 වැනිදා උදෑසන 9.30ට මේඛලා ගම්පහ, දහවල් 12.00ට කන්ට්‍රාස් දළුගම, සවස 2.00ට රිකී කොළඹ, සවස 4.00ට නැෂනල් මහරගම යන සිනමා ශාලාවන්ට පැමිණෙනු ඇත. 04 වැනිදා 10.00ට මහලේකම් කුලියාපිටිය, සවස 2.00ට සිනෙස්ටාර් අනුරාධපුර යන සිනමා ශාලාවන්ට උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේ නළු නිළියන් කණ්ඩායම පැමිණේ.


ගිරිෂ් කසරවල්ලි ලංකාවට එයි වාර්තා චිත්‍රපටය 6 වැනිදා

සුප්‍රකට‍ ඉන්දියානු සිනමාකරු ගිරිෂ් කසරවල්ලි පිළිබඳ නිර්මාණය වූ මිනිත්තු 84ක ධාවන කාලයකින් යුතු Life in Metaphors - A Portrait of Gris Kasaravalli නැමැති වාර්තා චිත්‍රපටය සැප්තැම්බර් මස 06 වැනිදා සවස කොළඹ 07 ග්‍රෙගරි පාරේ අංක 16/3 දරණ ස්ථානයේ පිහිටි ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී තිරගත වේ.

ගිරිෂ් සකරවල්ලි කර්නාටක ප්‍රාන්තය පසුබිම් කරගත් විශිෂ්ටතම කණ්ණඩ සිනමාකරු වේ. මෙම චිත්‍රපට දර්ශනය සඳහා ඔහුද සහභාගි සහභාගි වනු ඇත. ගිරිෂ් කසරවල්ලි පිළිබඳ වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබූයේ, ඩී. පී ශ්‍රීවාස්තව විසිනි.

මෙම චිත්‍රපටය දර්ශනය ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය, නෙට්පැක් ශ්‍රී ලංකා ශාඛාව වන ආසියානු සිනමා කේන්ද්‍රය හා ඒකාබද්ධව සංවිධානය කරනු ලබන්නකි. පූනාහි ඉන්දිය චිත්‍රපට සහ රූපවාහිනි ආයතනයේ චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ රන් පදක්කම් ලාභි‍යකු වන ගිරිෂ් කසරවල්ලි ඉන්දියානු සමාන්තර සිනමාවේ පුරෝගාමි‍යකු ද වේ.

2011 වසරේදී ඔහු ඉන්දියානු රජය මගින් පිරිනමන ලද පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුගේ ගතශ්‍රාධා, තබරන කතේ, තායි සංගම්, සහ ද්වීපායන චිත්‍රපට විසින් හොඳම වෘතාන්ත චිත්‍රපට සඳහා වන ජාතික සම්මානය දිනා ගන්නා ලදී.

2010 වසරේදී කර්ණාටක ප්‍රාන්තයේ කුවෙම්පු විශ්වවිද්‍යාලය ඔහු වෙනුවෙන් ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. පසුගිය දශක තුනක කාලය තුළ ගිරිෂ් කසරවල්ලි විසින් චිත්‍රපට 11ක් අධ්‍යක්ෂණය කරන ලදී.


සිහිල් ඇම් සිරිසේන වියතාණන්ට ශ්‍රීපාලි උපහාර

හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු හා ඉන් පසුව එම විද්‍යාලයේ චිත්‍ර කලා ගුරුවරයකු ලෙසින් සේවය කළ කලා භූෂණ, කලාසූරි, ශාස්ත්‍රවේදි සිහිල් ඇම් සිරිසේන ගුරුපියාණන් වෙත උපහාර පිදීමේ උලෙළක් සැප්තැම්බර් 03 වැනි සෙනසුරාදා පෙරවරු 9.00ට හොරණ ශ්‍රීපාලි නව රංග ශාලාවේදි පැවැත්වේ. ගුරු උපදේශකවරයකු හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙසින් ද කටයුතු කළ සිහිල් ඇම් සිරිසේනයන් වසර හැටකට අධික කාලයක් ලාංකේය කලා ක්ෂේත්‍රයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ කලාකරුවෙකි.

ශ්‍රීපාලි විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය කොළඹ ශාඛාව මඟින් සංවිධානය කර ඇති මෙම විශේෂ ගුරු උපහාර උලෙළේදී සිහිල් ඇම් සිරිසේන වියතාණන් විසින් රචිත ‘මණ්ඩුක සංදේශය’ කෘතිය එළිදැක්වීමද විශේෂ අවස්ථාවකි.


‘පත්තිනි සිනමා තිරනාටකය’ එළිදකියි

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘පත්තිනි’ චිත්‍රපටයේ තිරනාටකය ‘පත්තිනි සිනමා තිරනාටකය’ නමින් ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශනයක් ලෙස පසුගියදා එළිදැක්විණි.

ජාතික සහජීවනය උදෙසා දෙමළ සාහිත්‍යය සිංහල පාථකයාට හඳුන්වා දෙමින් සිටින විද්වතුන් දෙතුන් දෙනාගෙන් කෙනෙකු වන මහාචාර්ය සුනිල් ආරිරත්න කම්බන් නමැති දෙමළ මහා කවියාගේ නාමයෙන් පිරිනැමෙන ‘කම්බන් ගෞරව විරුදු සම්මායෙන් ද පිදුම් ලැබීය.

සුනිල් ආරියරත්න රචනා කර අධ්‍යක්ෂණය කළ ‘පත්තිනි’ විත්‍රපටය ද එකී සහජීවන ක්‍රියාදාමයේ තවත් දිගුවක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් ‘පත්තිනි මූලාශ්‍රය වනාහි ‘සිලප්පදිකාරම් සහ මණිමේඛල යන දෙමළ වීරකාව්‍ය යුග්මය වන බැවිනි. ඒ නිසා දෙමළ සාහිත්‍යයෙන් උද්ගත වූ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස ද ‘පත්තිනි හඳුන්වාදීම නිරවද්‍ය වෙයි. සිංහල සිනමාවට පැමිණි ප්‍රථම දේවකතාව ද වන්නේ ‘පත්තිනි ය.

ලංකාවේ සිනමා ඉතිහාසයට එකතු වූ නවතම ග්‍රන්ථය වන ‘පත්තිනි’ ට පෙර ඔහු අතෙන් රචනා වූ අනෙක් තිරරචනය වන්නේ ‘ක්‍රිස්තු චරිතය’යයි.