වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




තව පොඩ්ඩෙන් ජැක්සන්ට ඇඩ්‍රස් නෑ

තිර නාටකය කුණු ගොඩේ

තව පොඩ්ඩෙන් ජැක්සන්ට ඇඩ්‍රස් නෑ

ලබන සතියේ තිරගත වන ඇඩ්‍රස් නෑ ගැන රස සිදුවීම්

ඇඩුස් නෑ චිත්‍රපටය නිර්මාණය කරන්න පටන් ගත්තු වෙලාවේ ඉඳලා එහි අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනී ඇඩ්‍රස් නැති සිදුවීම් කිහිපයකට මුහුණ දුන්නලු. ඒ සිදුවීම් ටික ඔහු අපිත් එක්ක මෙන්න මේ විදිහට බෙදා ගත්තා.

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයේ පිටපත ලියන්නට මට මාස හයක පමණ කාලයක් වැය වුණා. මගේ සියලු රාජකාරීන් මැද්දේ තමයි මම ඒ කාර්යය සිදු කළේ. චිත්‍රපටයේ හොඳම හරිය ලියද්දී මං හිටියේ මහ පොළවෙන් උඩ. ඒක වුණේ මෙහෙමයි. පිටපත සකසමින් ඉන්න කාලයේ මට විදෙස් සංචාරයකට ඇරැයුම් ලැබුණා. යුරෝපා රටවල් කිහිපයකටයි එය යෙදී තිබුණේ. චිත්‍රපටයේ පිටපත අතරමග දාලා මේ ගමනට එකතුවෙන්න බැහැ. එම විදෙස් සංචාරයත් අත නොහැරිය හැකි වටිනා කියන එකක්. එහෙයින් මා තීරණය කළා පිටපතත් රැගෙන යන්න. අහස් යන්තරාවට ගොඩ වෙච්ච වෙලාවේ ඉඳලා මං කළේ පිටපත ලියන එක. පළමුව මා ඉතාලියට පා තැබුවා. එහිදීත් මං පිටපත ලිව්වා. ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට අදාළ වුණේ මුඩුක්කු බද පරිසරයක් හා සබැඳි කතාවක්නේ. කුණු කන්දල් දූලි මංමාවත් තමයි මගේ ඔළුවෙ මැවිලා තිබුණේ. අනික ඒ පරිසරයේ ජීවත් වන්නේ අන්ත දිළිඳු පුද්ගලයෝ. මෙවන් වූ කතාවක් දැන් මං ලියන්නේ ඉතාම සුපිරිසුදු සහ දියුණු රටක ඉඳලා. දුටු දුටු තැන පෙනෙන්නේ අතිශය සුන්දර දසුන්. තවත් විටෙක ජීවිතය ගත කළේ හිම කඳු මැද. මේ මනස්කාන්ත පරිසරයක් දිහා බල බල තමයි මං ඇඩ්‍රස් නෑ ලිව්වේ. මේ සංචාරය අතරතුර එන ගමන් ෆ්ලයිට් එකේදී මං චිත්‍රපටය කතාව ලියලා ඉවර කළා. මට හරිම සන්තෝෂයි.

ඒ සොම්නසත් හිතේ තියාගෙන මං කටුනායක ගුවන් තොටුපළින් එළියට ආවා. ඇවිත් මගේ බඩු බාහිරාදිය ක්ලියර් කරගන්න කොට තමයි මං දුටුවේ ඇඩ්‍රස් නෑ පිටපත එතන නැහැ කියලා. එය මං හිටපු ආසනයේ ඒක තිබ්බා කියලා යන්තම් මතකයි. මං වහාම අදාළ නිලධාරීන්ට ඒ බව දැන්නුවා. කියන්න කණගාටුයි ෆ්ලයිට් එක ආපහු ගිහින්. මගේ ඔළුව ගිනි ගත්තා වගේ දැනුණා. ඊට පසුව මං ඔවුනට කිව්වා පිටපතේ කොල ටිකක් නිසා ඒක ගාර්බේජ් ලොරියකටවත් දාන්න ඇති කියලා. අපරාදේ කියන්න බෑ ඒ නිලධාරීන් ෆ්ලයිට් එකේ කුණු එකතු කරලා දාපු ලොරිය අවුස්සලා තියෙනවා. මෙන්න දෙයියනේ පිටපතේ කොල එකින් එක ඔවුන් ගෙනාවා. මං ඒවා පිළිවෙලට සකස් කරලා නැවත පිටපත අමුණ ගත්තා. තව පොඩ්ඩෙන් එදාම මට ඇඩ්‍රස් නෑ. මට ඔවුන් පිටපත යළි ගෙනෙද්දි දැනුණේ දරුවෙකු නැති වෙලා ඉඳලා යළි හමු වුණා වගේ හැඟීමක්.

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයෙහි මා රඟපානවා චරිතයක්. ඒකේ නම නාසිවත්තේ හිට්ලර්. මිහිහා අමු මැරයෙක්. මීට කලින් මං කරපු කිසිම නිර්මාණයක මම අධ්‍යක්ෂණය කරමින් රඟපාලා නෑ. ඒත් මට හිතුණා මේ චරිතය මමම කරන්න. නමුත් තවත් වෙලාවකට හිතෙනවා එක්කො රඟපාන්න ඕනෑ නෑ. අධ්‍යක්ෂණය විතරක් කරනවා කියලා. ආයෙත් හිතෙනවා නාසිවත්තේ හිට්ලර්ට පණ පොවන්නත්. මේ වගේ දෙගිඩියාවෙනුයි මං කාලය ගෙව්වේ. මං ඊළඟට හිතුවා මං මේ චරිතය කරන්නේ නැත්නම් මේක කාටද දෙන්නේ කියලා. බිමල් ජයකොඩි තමයි හොඳ. එහෙම හිතුණු මම බිමල්ට කතා කළා. ඔහුට කීවා ඇතැම් විට ආයේ හිතුණොත් මමම ඒ චරිය රඟපානවා කියලා. බිමල් කිව්වා ජැක්සන් අයියේ මම ප්‍රර්ථනා කරනවා 'ඔයාට නාසිවත්තේ හිට්ලර්ගේ චරිතය රඟ නොපෑමට හිතක් පහළ වේවා' කියලා. නමුත් බිමල්ගේ ප්‍රාර්ථනාව ඉටු වුණේ නැහැ. මං ඒ චරිතය කළා. බිමල්ව මං තෝර ගත්තා චිත්‍රපටයේ පොලිස් පරීක්ෂකවරයාගේ චරිතයට. කොහොම හරි පිටපතට අනුව බිමල් විසින් මට පහර දීලා ඇදගෙන යනවා. එහෙම ඇදගෙන යන ගමන් ඔහු මට හොරෙන් කියනවා මෙන්න මෙහෙම. 'ජැක්සන් අයියා, නාසිවත්තේ හිට්ලර් නොදුන්නට මේක තමයි ඔයාට දෙන පනිෂ්මන්ට් එක' එහෙම කියලා ඔහු පහර දිදී මාව ඇදගෙන ගියා.

සාමාන්‍යයෙන් අපි චිත්‍රපටයක් රූපගත කරද්දී එහි පළමු දර්ශනයට යොදා ගන්නේ සුබ නළුවෙක් හෝ නිළියක්. ඔහු හෝ ඇය රඟපෑ චිත්‍රපට ඉතාම සාර්ථක වී තිබීම ඔහු හෝ ඇයව පළමු දර්ශනයට යොදා ගැනීමට හේතුපාදක වී තිබුණා. මේක චිත්‍රපට කලාවේ එන සම්ප්‍රදායක්. අබා චිත්‍රපටයේ පළමු දර්ශනයට මං යොදා ගත්තේ සබීතාව. ඇය පළමු දර්ශනයට යොදා ගත්තොත් චිත්‍රපටය සාර්ථක වනවා කියලා මතයක් තියෙනවා. ඒ හින්දා එදා මං අබා සඳහා ඇයව ගෙන්නුවේ ජර්මනියේ ඉඳලා. ඇඩ්‍රස් නෑ පළමු දර්ශනයටත් යොදා ගන්න හිටියේ ඇයව. අභාග්‍යකට සබීතා ඒ වන කොට සිංගප්පූරුවේ ගිහිල්ලා. ඇයව ගෙන්වා ගන්න විදිහක් ඇත්තේම නෑ. අන්තිමේ තීරණය වුණා මගේ දර්ශනයකින් චිත්‍රපටයේ රූගත කිරීම් අරඹන්න. අපි එදා පිරිත් සජ්ඣායනය මධ්‍යයේ රූගත කිරීම් ආරම්භ කළා. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ තමයි පිරිත් කිව්වේ. මට තිබුණේ ඇඹිලිපිටියේ කරා හෙවත් රොෂාන් රවීන්ද්‍රට මිනීමරන කොන්ත්‍රාත් එකක් දෙන්න. අර පැත්තෙන් සෙත් පිරිත් ඇසෙද්දී මං මිනී මරන්නට කොන්ත්‍රාත් දෙන දර්ශනය මේ පැත්තෙන් රූගත කළා.

ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට ගීත තුනක් රචනා කරන්න මං මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ආරාධනා කෙරුවා. ඒ සමඟම මා කිව්වා මට රස්තියාදු සිංදුවකුත් ඕනෑ කියලා. මහාචාර්යතුමා මුලදී බෙහෙවින් එයට අදිමදි කළා.

මට සිදු වුණා රස්තියාදුකාර වචන විසිපහක් එතුමාට දෙන්න. මට ඒ සඳහා උදව් කළේ මගේ සහායිකාව වන දිනුෂා රාජපතිරණ. කොහොම හරි ඒ රස්තියාදුකාර වචන දාලා මහාචාර්යතුමා සිංදුවක් ලිව්වා. ඒක තමයි ඇඩ්‍රස් නෑ එකේ තීම් සෝංග් එක වුණේ.