වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




අසාමාන්‍ය රංගධරයා

අසාමාන්‍ය රංගධරයා

නිහාල් ගැන මනෝගෙන් ඕස්ට්‍රේලියාවේ සිට

රූපණය පිළිබඳව ශ්‍රී ලංකාවේ විධිමත් අධ්‍යාපනයක් හෝ විද්‍යාත්මක පදනමක් සහිත ඉගැන්වීමක් නැත. උසස් නාට්‍ය කලාවක් වෙනුවෙන් ස්වකීය නිර්මාණ ශ්‍රමය කැප කරන නාට්‍ය අධ්‍යක්ෂවරුනට පරිපූර්ණ රංගනයක් උදෙසා ස්වකීය නිර්මාණාවේශය පුබුදුකරවාලීමට වෙහෙසෙන රූපණ ශිල්පීන්ට මෙන්ම, ප්‍රශස්ත රස වින්දනයක් උදෙසා රඟහලට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට ද මෙය ඉමහත් අවාසියකි.

විශේෂයෙන් ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය රූපණ ශිල්පීන් විවිධ නාට්‍යයන් සඳහා රංගාවතරණය සිදු කරනු ලබනුයේ ජීවිත චාරිකාවේ දහසකුත් අභියෝග, සමාජීය ජීවිතයේ දහසකුත් ගැටලු, නිර්මාණකරණයේදී දහසකුත් දුෂ්කරතා මධ්‍යයේය. ඔවුනගේ පරම අරමුණ වන උසස් නාට්‍යයකට උසස් රංගනයක් ඉදිරිපත් කිරීමේ වගකීමේ වගකීම ඔවුන් බොහෝ විට සපුරා ගනුයේ 'කැප කිරීම' යන අතිශය ශාරීරික හා මානසිකව වන වෙහෙසකර ක්‍රියාදාමය තුළිනි. ජීවිත කාලයක් පුරාම ස්වකීය පරම උත්කෘෂ්ට අරමුණ වෙනුවෙන් කරනු ලබන මෙකී කැප කිරීම සඳහා (එනම් රසිකයන්ගේ උත්තරීතර ආනන්දය වෙනුවෙන් ස්වේච්ඡාවෙන් සිදු කරනු ලබන මෙකී වෙහෙස කර නිර්මාණ ශ්‍රමය පුද දීම සඳහා) අවසන වන්දි ගෙවීමට සිදුවනුයේ ද එකී රූපණ ශිල්පින්ටමය. පසුගිය දශක 6 ක 7 ක මුළුල්ලේ නොකඩවා සිදු වන මෙම අභාග්‍යසම්පන්න ඉරණම ඇස් පනා පිට අත්දකිමින් ශ්‍රී ලාංකික අපි ද ඔහේ කල් ගෙවමු.

නිහාල් ප්‍රනාන්දු වූ කලී, අද්‍යතන යුගයේ ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ වෙසෙන අතිශය අසාමාන්‍ය රංග පෞරුෂයකින් හෙබි ප්‍රශස්ත ගණයේ රංගධරයෙකි. පිටපත් රචකයෙකි. නිර්මාණ අධ්‍යක්ෂවරයෙකි. මේ සැමටම ඉහළින්, සමාජයේ අතිශය චාම් දිවියක් ගත කරන, නිහතමානී, සංවේදී පුද්ගලයෙකි. මිත්‍රයෙකි. නිහාල් මා ප්‍රථම වරට වේදිකා රංගනයක යෙදෙණු දුටුවේ ශ්‍රී ලාංකික විශිෂ්ටම නාට්‍යවේදියකු වන ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ 'එකා - අධිපති' නාට්‍යය රංගනගත වූ මුල්ම අවධියේ, එනම් 1970 දශකයේදීය. මනා කඩවසම් ශරීරයකින් ද ළගන්නා සුලු ගැඹුරු කටහඬකින් ද යුක්ත වූ මෙම භද්‍ර යෞවනයා, අනාගතයේදී විශිෂ්ට රංගධරයකු වීමට වුවමනා කරන ශක්තිමත් පදනම රසිකයා වෙත විදහා දැක්වීය. එම අනාගත අපේක්ෂාව සහ ප්‍රේක්ෂක මනදොළ සපුරලමින් ගෙවී ගිය කාලය මුළුල්ලේ ඔහු විසින් ගොඩනංවන්නට යෙදුණු විවිධ භූමිකා 'ස්වල්පය' ශ්‍රී ලාංකික වේදිකා නාට්‍ය වංශ කතාවේ බරසාර අන්දමින් ස්ථාපිත වූ බව එකී මාධ්‍යය පිළිබඳව ස්මරණය කරන ඕනෑම රසිකයෙකුට, විචාරකයකුට අවංකව සිහිපත් කළ හැකිය. සයිමන් නවගත්තේගම 'සුභ සහ යස', රංජිත් ධර්මකීර්ති 'අංගාරා ගඟ ගලා බසී', විජිත ගුණරත්න 'නෝරාගේ ගෙදර', බන්දුල විතානගේ නිර්මාණයන් සමඟ පමණක් වුව ද නිහාල්ගේ ප්‍රශස්ත මට්ටමේ භූමිකා රංගනයට සාක්ෂි සපයනු ඇත. ඒ හැරුණු කොට ඔහු විසින් නිර්මිත නාටකවල චරිත නිර්මාණයන් ද රසික මතකයේ සදා ජීවත් වෙනු ඇත.

නිහාල් රඟපෑ ඉතා සුළුතර වූ, එහෙත් සෑම භූමිකාවක් ගැනම උසස් රසඥතාවක් අපේක්ෂා කරන රසිකයෙකුට කතාබහ කළ හැක්කේ කවර නම් සාධකයක් නිසා විය හැකිද? ඔහු තමා නියැළෙන සෑම කෘතියක් උදෙසාම, ස්වකීය නිර්මාණ ශ්‍රමය සලසා දීම සඳහා අවංකව උපරිම කැප කිරිම පුද කිරීට ගනු ලැබූ අපරිමිත වෙහෙස නිසාමය. එපමණක් ද නොව, සිරිලක හෝ ලොව බිහි වූ විවිධ නාට්‍ය ශාස්ත්‍රවරුන් විසින් ප්‍රකාශිත අප්‍රමාණ උවදෙස්, න්‍යාය ධර්මයන් සවිඥානිකව හෝ අවිඥානිකව උකහා ගත් නිසාමය.

අදටත් ලොව බොහෝ දියුණු රටවල රංගධරයන් උදෙසා අනුගමනය කරනු ලබන රුසියාවේ ස්ටැනිස්ලව්ස්කි රූපණ විධි ක්‍රමය, ශ්‍රී ලංකාවේදී විධිමත්ව හැදෑරීමට අවස්ථාවක් නොමැති බව රහසක් නොවේ. 'අවස්තාව' නොතිබුණත් 'අවස්ථාව' තිබේ නම් එබන්දක් කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු නොවන බව, දෑතෙහි ඇඟිලිවලින් ගිණිය හැකි ප්‍රමාණය රූපණ ශිල්පීන් අප රට තුළ වෙසෙන බව ද රහසක් නොවේ. අප ආසන්නතම මහ රට වන ඉන්දියාවේ භරතමුණි නාට්‍ය ශාස්ත්‍රය හැදෑරීම ද ඊට සමානය.

ස්ටැනිස්ලව්ස්කිගේ රූපණ විධි ක්‍රමයේ පදනම ගැටලු හා අන්තර් ඥානය තුළින් ආවේශය ඔස්සේ, චරිතයක සත්‍යය, බාහිර හා ආත්මීය වශයෙන් සාක්ෂාත් කර ගැනීමේ ක්‍රමෝපායකි. මෙය භරතමුනිවරයාගේ නාට්‍ය ශාස්ත්‍රයේ එන චතුර්විධ අභිනය ඔස්සේ නළුවා ලබන 'සමාරෝප' සංකල්පයට බෙහෙවින් නෑකම් කියයි. ආංගික, වාචික, සාත්වික, ආහාර්ය අභිනයන්ට අමතරව, නළුවා බුද්ධිමය වශයෙන්, පරිකල්පනයෙන් නිරීක්ෂණයෙන් හා අත්දැකීමෙන් එකතු කර ගන්නා ඥානය තුළින් සවිඥානිකව අවිඥානික වීම, ස්ටැනිස්ලව්ස්කිගේ නියමයන් තුළ දැවටී ඇත. නළුවෙකු ස්වකීය අන්තර් බලවේග ශක්තිමක් ලෙස වැඩි දියුණු කර ගත යුතුය. 'මම චරිතයක් රඟමි . . .' යන අදහසින් රඟපෑමට ප්‍රවේශ නොවී, මම අසවලා නම් මගේ හැඟීම්වල සත්‍ය ස්වරූපය කුමක් ද? එවිට මම නියැළෙන සත්‍ය ශාරීරික චලනයන් හා මානසික හැඟීම් කවරේද යන්න, මානසික සහ ශාරීරික අභ්‍යාසවලින් ගොඩනඟා ගත යුතුය.

ස්ටැනිස්ලව්ස්කිගේ රංගවේදය සිතා මතා අනුගමනය කළ ද, නොකළ ද නිහාල් ප්‍රනාන්දු නම් රංගධරයාගේ වේදිකා නාට්‍ය භූමිකරණය කොයි තරම් දුරට ඒ හා සමගාමී වන්නේදැයි එම නිර්මාණයන් සූක්ෂමව නිරික්ෂණය කරන විද්‍යාර්ථියකුට වැටහෙනු ඇත. නිහාල් තම නම්‍යශීලී ශරීරය ද, පුළුල් පරාසයක විහිදෙන ගැඹුරු කටහඬ ද පාලනය කර ගත හැකි මානසික පරිසරය ද එබඳු චරිතාංග උද්දීපනය කිරීම සඳහා යොදා ගන්නා බව නැවත නැවත එකී භූමිකා සිහිපත් කර ගතහොත් මැවී පෙනෙනු ඇත.

ප්‍රතිභාව හෙවත් උපන් හපන්කම හෝ අවේශ වීම මඟින් ඉටු වනුයේ, චරිතයක් ගොඩ නැංවීමේ නිර්මාණමය කටයුත්තෙන් දහයෙන් එක කොටසක් පමණි. ඉතිරි දහයෙන් නවයම අභ්‍යන්තරිකව එනම් හැඟීම් සහ අන්තර් ඥානයෙන් නළුවාම ගොඩනඟා ගත යුතුය. මෙම අසීරු ඉලක්කය කරා ළඟා විය හැක්කේ, වසර ගණනාවක් තිස්සේ කැපවීමෙන්, අභ්‍යාසයෙන් හා ගැටලු අධ්‍යයනයෙන් පමණක් බව නිහාල් වටහා ගත් බවත්, ඒ නිසාම සියුම් චරිත නිරූපණය කිරිම සඳහා ස්වකීය ජීවිතයෙන් වැඩි කොටසක් කාලයෙන් ද, ශ්‍රමයෙන් ද, ධනයනේ ද කැප කළ බවක් අපට වැටෙහෙන සත්‍යයකි.

වසර ගණනාවක් මුළුල්ලේ හුදකලාව සටනක නිරත වෙමින්, රසිකයාට උසස් වින්දනයක් කලා කෘති හරහා සලසා දිමේ අසීරු සද්කාර්යයක නියැලුණු අවංක නිහාල්, අද පසුවනුයේ රෝගී තත්ත්වයෙනි. එය වනාහි ශාරීරිකව පමණක් නොව මානසිකව ද කඩා හැලුණු රෝගී තත්ත්වයකි. මුළු මහත් සමාජයම රෝගීව ඔද්දල්ව පවත්නා මෙබඳු සමයකදී, අප සැම වෙනුවෙන් හෘදසංවේදී නිර්මාණ සටනක දිගු කලක් මුළුල්ලේ යුධ වැදුණු රංගධර සෙන්පතියෙකු වන නිහාල් ප්‍රනාන්දු නම් අසාමාන්‍ය ගුණවත් මිනිසාට, මිනිස්කම පෙන්විය හැකි, පෙන්විය යුතු අවශ්‍යම වෙලාව මෙය බව වටහා ගනිමු.

ආදර නිහාල් . . . ඔබට ඉක්මන් නිරෝගී සුව!

ඔබේ ආදර මනෝ (ආචාර්ය ජයලත් මනෝරත්න)

2015 ඔක්තෝබර් 10 ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර සිට

නිහාල් ප්‍රනාන්දු  උපහාර උලෙළ 17 දා

එක්සත් කලා සංසදය විසින් නිහාල් ප්‍රනාන්දු කලාකරුවාට උපහාර පිණිස සංවිධානය කරන ලද නාට්‍ය උලෙළ මේ මස 16 සහ 17 වැනි දිනවල සවස 3.30 ට සහ 6.30 ට කොළඹ මහානාම විදුහල් ශාලාවේදී වේදිකා ගතවෙයි. 16 වැනිදා සවස 6.30 ට සයිමන් නවගත්තේගමගේ 'සුභ සහ යස' නාට්‍යයත්, 17 වැනිදා සවස 3.00 ට ධර්මසිරි බණ්ඩාරනායකගේ 'ධවල භීෂණ' නාටය්‍යත් වේදිකා ගතවීමට නියමිතය. 17 වැනිදා සවස 6.00 ට නිහාල් ප්‍රනාන්දු කලාකරුවාණන්ට උපහාර උළෙලක් පැවැත්වීමට නියමිත අතර එය පැවැත් වෙන්නේ ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක, සංස්කෘතික ඇමැති එස්. බී. නාවින්න, කථානායක කරු ජයසූරිය යන මහත්වරන්ගේ ප්‍රධානත්වයෙනි.

දැනට හෘද සැත්කම් දෙකකට භාජනය වී තවත් සැත්කමක් සඳහා මුහුණදීමට සිදුව සිටින ප්‍රවීණ රංගවේදී නිහාල් ප්‍රනාන්දු කලාකරුවාණන්ට ආර්ථික ශක්තියක් ලබාදීම සඳහා මේ නාට්‍ය උලෙළ සංවිධානය කරන අතර සියලුම කලාකාමී ප්‍රේක්ෂක ජනතාවට ටිකට් පතක් මිලදී ගෙන ඒ නාට්‍ය උලෙළට සහභාගි වී ඔහුට ශක්තියක් ලබාදෙන ලෙස එක්සත් කලා සංසදය ඉල්ලා සිටියි.