වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




 පුලී

 පුලී

ලංකාවේදීත් සිනමා ශාලා 32ක

ශ්‍රී දේවි නැවතත් දෙමළ සිනමාවට

මරුධීරන්, ගෝත්‍රික නායක වෙම්බුනාදන්ගේ පුත්‍රයා වේ. යාබද රාජධානියක් වන වේදලපුරයේ සිට පැමිණෙන බලසම්පන්න වේදලයන් ගෙන් ස්වකීය ගම්වැසියන්ට සිදුවන වද හිංසාවලට මරුධීරන් විසින් කුඩා කල සිටම මුහුණ දෙයි. තරුණ වියට පත් මරුධීරන් සැමවිටම සිය ගම් වැසියන් ෙවිදලයන් ගෙන් ආරක්ෂා කර ගනියි. මේ නිසා ඔහු ගම්වැසියන්ගේ නිරන්තර ගෞරවයටද පාත්‍රව සිටියි.

තම කුඩා කල මිතුරිය වන පවසමලී සමඟ තරුණ මරුධීරන් ආලයෙන් වෙළෙයි. දෙදෙනා විවාහ වීමට ද තීරණය කරති. එක් දිනක් මරුධීරන්ගේ ගමට කඩා වැදෙන වේදලයන් වෙම්බුනාදන් ද මරාදමා පවසමලී පැහැර ගෙන යති. මේ සිදුවීමෙන් කෝපාවිෂ්ඨ වන මරුධීරන්, ඔහුගේ කුළුපඟ මිතුරන් වන කොඩංගී සහ සාමා සමඟ වේදලපුරයට ගමන් ආරම්භ කරති. වික්‍රමාන්විත වූත් දුෂ්කර වූත් ගමනක යෙදෙන මේ තරුණයින්ගේ අවසාන අභිප්‍රාය වන්නේ නපුරු වේදලපුර රැජනත් ඇගේ සෙන්පතීන් විනාශ කර දමා පවසමලී සමඟ නැවත ගමට පැමිණ ස්වකීය ජනතාවට සැනසීම උදාකරදීමයි.

මේ අපූරු කතාන්දරය මේ වන විට ලොවපුරා රීදි තිරයෙන් ඔබ හමුවට පැමිණෙන ‘පුලී’ (puli) චිත්‍රපටයේ සංක්ෂිප්ත වූ කතා වස්තුවයි. පසුගිය පළමු වැනිදා සිට තිරගත වීම ඇරඹි පුලී මේ වන විට ශ්‍රී ලංකාවේද සිනමා ශාලා රැසක සාර්ථක අයුරින් තිරගත වේ. චිම්බු දේවන්ගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් වන ‘පුලී’ ශිබු තමීන්ස් සහ පී. ටී සෙල්වකුමාර්ගේ නිෂ්පාදනයකි. ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ මරුධීරන්ගේ චරිතයට පණ පොවන අතර ගෝත්‍රික නායක වෙම්බුනාදන්ගේ චරිතය ප්‍රභූ ගනේෂන් විසින්ද පවසමලීගේ චරිතයට ශෘති හසන් ද පණ පොවයි. නපුරු රැජන යාවනරාණීගේ චරිතය ශ්‍රී දේවි විසින් රඟදක්වන අතර සුදීප්, රැජනගේ සෙන්පති වන ජලතරංගන්ගේ චරිතයට පණ පොවයි.දේව් ශ්‍රී ප්‍රසාද්ගේ සංගීතයෙන් හැඩ වුණු ‘පුලී’ නටරාජන් සුබ්‍රමණියම්ගේ සිනමාකරණයක් සහ එස්. කේ. ටී ස්ටුඩියෝස්හි නිර්මාණයකි. විනාඩි 154ක් පුරා දිවෙන මෙම ඓතිහාසිත කතාන්දරය ඉන්දීය රුපියල් කෝටි 118ක පිරිවැයකින් නිර්මාණය කෙරී ඇති අතර මේ වන විට වාර්තා කළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 75කි.

‘පුලි’ මේ වන විට දකුණු ඉන්දීය සිනමාවේ වැඩිම පිරිවැයක් දරා නිර්මාණය කළ එස්. එස් රාජ්මෞලිගේ ‘බාහුබාලි’ චිත්‍රපටයට අභියෝගයක් එල්ල කරමින් සිටින බව ඇතැමුන්ගේ අදහසයි. ‘බාහුබාලි’ නිර්මාණ පිරිවැය ඉන්දීය රුපියල් කෝටි 120කි. එය ඉන්දීය සිනමාපට අතරේ පළමු සති අන්තයේදී ඉහළ ආදායම් ලද නිර්මාණ ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමි කර ගත්තේය. ලොවපුරා තිරගත කිරීමෙන් ප්‍රථම සති අන්තය තුළ ඉන්දීය රුපියල් කෝටි 255ක් උපයා ගත් ‘බාහුබාලි’ දකුණු ඉන්දීය සිනමාව නියෝජනය කරමින් දින නවයත් ඇතුළත ලොවපුරා තිරගත වී ඉන්දීය රුපියල් කෝටි 300ක ආදායමක් වාර්තා කළේය. පසුගිය ජුලි 10 වැනි තිරගත වීම ආරම්භ කළ බාහුබාලි මේ වන විට වාර්තා කළ ආදායම ඉන්දීය රුපියල් කෝටි 600ක්.

‘පුලී’ චිත්‍රපටයද ආරම්භක දිනයේදී තමිල්නාඩුවේ පමණක් ඉන්දීය රුපියල් මිලියන 100.75ක් වාර්තා කළ අතර චෙන්නායි බොක්ස් ඔෆිස් වාර්තාවේ ‘පුලී’ තිරගත වී දින හතරක් ඇතුළත දර්ශන වාර 465කින් ඉන්දීය රුපියල් කෝටි 2.84ක් වාර්තා කළේය. ‘බාහුබාලි’ පළමු සති අන්තයේදී දර්ශන වාර 363කින් වාර්තා කළේ ඉන්දීය රුපියල් කෝටි 1.66කි. ‘බිහයින්ඩ් වර්ඩ්ස්’ වෙබ් අඩවිය විසින් පුලී චිත්‍රපටය ලකුණු 2.75/5ක් ද ‘ද ටයිමිස් ඔෆ් ඉන්දියා’ සහ ‘ඩේලි නිවුස් ඇන්ඩ් ඇනලසිස්’ විසින් 2.5/5ක්ද ලෙසද අගයා ඇත. කෙසේ නමුත් ‘පුලී’හි කතා වස්තුව, වේගය, රඟපෑම, සංගීතය සහ තාර්කික බව පිළිබඳ පොදුවේ ගත් කළ විචාරකයින්ගේ අසතුට පළ කෙරුණ අතර ඇඳුම් පැළඳුම් සහ දෘෂ්‍ය ප්‍රයෝග භාවිතයට පැසසුම් හිමි වී තිබේ.