වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කොච්චර දුක හිතුණත් මම අඬන්නේ නම් නැහැ

කොච්චර දුක හිතුණත් මම අඬන්නේ නම් නැහැ

හංචි අරෝරා

නම කියන්න බලන්න?

හංචි අරෝරා.

මොකක්?

හංචි අරෝරා.

ඔයා ලංකාවේ කෙනෙක්ද?

ඔව්.

ගම කොහෙද?

පුත්තලමෙ.

කවුද ඔයාට ඔය වගේ නමක් තියලා තියෙන්නේ?

මමමයි නම තියා ගත්තේ.

ඒ කොහොමද?

මගේ ඇත්ත නම නෙවෙයි.

එහෙනම් මොකක්ද ඒ?

මේකයි මගේ ඇත්ත නම හංසි රත්නායක. යාළුවො මට ආදරේට හංසි කියන නම වෙනුවට හංචි කියන්න පටන් ගත්තා. අරෝරා කියන කෑල්ල මං දාගත්තේ. ෆීල්ඩ් එකේ ප්‍රසිද්ධ වුණේ හංචි අරෝරා කියන නමින්. අපේ රටේ ඕනෑ තරම් නළු නිළියො ඉන්නේ අන්වර්ථ නමින් ජනප්‍රිය වෙච්ච.

හරි, හංචි කොයි කාලෙදි ද ක්ෂේත්‍රයට එන්නේ?

දෙදහස් නවයේ විතර රත්නා පුෂ්පකුමාරි මැඩම්ගේ රංගන සහ නිවේදන පාඨමාලාව හදාරමින් තමයි මං ක්ෂේත්‍රයට එන්නේ. ඒ අතරතුරදි මං මගේ පළමු ටෙලි නාට්‍ය රංගනයට එකතු වෙනවා.

මොකක්ද ඒ නාට්‍යය?

ප්‍රියන්ත සමරකෝන් මහත්මයාගේ සඳ මැදියම.

සඳ මැදියමේ ඔබ කවුද?

කුමුදුමලී.

ඔබ ඉන් පසුව රඟපෑ නාට්‍ය පෙළ ගැන මතක් කළොත්?

අළු පාට හීන, අහස් ගව්ව, සිත්තරාවී, තාත්තේ අපි ආවා, දිය මත ලියමි.

කාලයක් ඔබ රංගනයෙන් ඈත් වෙලා හිටියා?

ඔව්. මං අපොස උසස් පෙළ කළේ ගිය අවුරුද්දේ. ඒක නිසා ඒ කාලේ අධ්‍යාපනයටයි මුල් තැන දුන්නේ.

ඒ කාලේ වෙන්න ඇති ඔබ මේ වගේ මහත් වෙන්න පටන් ගත්තේ?

ඒකනෙ. මුකුත්ම වැඩක් නොකොට කකා බිබි එක තැන ඉන්න කොට මහත් වෙන්නේ නැද්ද ඉතින්.

නිළියක් විදිහට ඉදිරියට යද්දී ඔය මහත ඔබට මහත් වූ අවාසියක් නොවේද?

ඇත්ත. මේ දවස්වල කෙට්ටු වෙන්න ක්‍රම හොයමින් ඉන්නවා.

කොහොමද රංගන ක්ෂේත්‍රය ඔබට දැනෙන්නේ?

සුන්දරයි.

අසුන්දර වෙච්ච අවස්ථාවන් එහෙම නැතිද?

තියෙනවා.

කියමු බලන්න?

මට හොඳ අවස්ථා ලැබිලා නැති වුණු වෙලාවල් අනන්තයි. ගොඩක් අයගෙන් කැපිලි තමයි හිමි වුණේ.

ඒ කියන්නේ ඔබට අයුතු යෝජනා කරන්න ඇති?

ඔව්.

මේ වන විට අයුතු යෝජනා කීයක් විතර ඇවිත් තියෙනවද?

අපොයි ගොඩක් ඇවිත් තියෙනවා.

ඒ වගේ වෙලාවල්වලදී ඔබ මොකද කරන්නේ?

සුහදව ප්‍රතික්ෂේප කරනවා.

ඒ අයට බනින්නේ නැද්ද?

කවදාවත්ම නැහැ. මං කැමැති නැහැ කාවවත් තරහ කරගන්න. ඒ හින්දා හොඳින් තේරුම් කරලා දීලා පාඩුවේ ඉන්නවා.

අවස්ථා අහිමි වෙද්දී දුක හිතිලා නැතිද?

කලකිරීමක් ඇති වෙනවා. ඒ නැතිවුණු අවස්ථා යළි ලබා ගැනීමට මං වෙනමම වැඩක් කරමිනුයි සිටින්නේ.

ඒ මොකක්ද?

පිටපත් ලියනවා. නවකතා ලියනවා.

සාමාන්‍යයෙන් ඔබට දුකක් හිතුණම මොකද කරන්නේ?

සද්ද නැතුව ඉන්නවා. කොච්චර දුක වුණත් අඬන්නෙ නම් නැහැ.

ඔබ හරිම දරදඬු කෙනෙක් වගෙයි?

ඔව්. ටිකක් විතර.

ගැහැනු ළමයි හරිම සංවේදියි නේද?

වෙන්න ඇති. ඒ වුණාට මම එහෙම නැහැ. මං හරි වෙනස්. මගේ වෙනස ගෙදර අයත් දන්නවා. මං ආසයි මුස්ලිම් විදිහට අඳින්න. උපන් දිනය දවසට ඒක සමරන්නේ නැතුව ඒ මුදල් අසරණයින්ට මං දෙනවා.

අනිත් නිළියෝ වගේ උත්සව ගන්නේ නැත්තේ ඇයි තමන්ගේ උපන් දිනයටවත්?

උපන් දින සමරන නිළියන් ගැන මං මුකුත් කියන්නේ නැහැ. ඒක එයාලගේ කැමැත්ත. මං නම් හිතන්නේ මෙහෙමයි. අපි තවත් වයසට යන එක දිනයක් මොකටද සමරන්නේ. ඊට වඩා හොඳයි එදින මොකක් හරි පින්කමක් කරන එක.

හංචි චිත්‍රපටවල රඟපාලා නැතිද?

ලංකාවේ චිත්‍රපටවල රඟපාලා නැහැ. හැබැයි දමිළ සිනමාපටයකට කතා කළා. ඒකේ නම ද ටවුන්. අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය ෆයිසල් හම්සාගේ. මා එහි පොලිස් කාන්තාවක්. ළඟදීම මෙරටදී ඒක රූ ගැන්වේවි.

හංචි මේ වන විට පෙම්වතියක්?

ඔව්.

එයා ගැනත් විස්තර කියමු?

ඔහු විදුෂ මධුසංඛ.

විදුෂ කැමැතිද ඔබ රඟපානවට?

එයා තමයි මට දැන් ගොඩක් උදව් කරන්නේ. මගේ වැඩවලදී පස්සෙන්ම ඉන්නේ එයා.

විදුෂට ෆීල්ඩ් එක ගැන බයක් නැද්ද?

දැනට නැහැ. මං ඔහුට සියලු දේ කියනවා.

තව කොච්චර කාලෙකින් ද විවාහ වන්නට හිතාගෙන ඉන්නේ?

අවුරුදු පහකින් විතර.

කොහොමද ඉදිරිය?

චරිතාංග නිළියක් වන්නට තමයි බලාපොරොත්තුව.

හංචිගේ පාසල ගැන කිව්වොත් හොඳයි?

මගේ ගම පුත්තලමෙ වුණාට මං ඉගෙන ගත්තේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන්. එතකොට නැවතිලා හිටියේ මහරගම.

හංචිගේ උපන් දිනය?

1994. 07. 21

කාටද තුති පුදන්න තියෙන්නේ?

අම්මට, අප්පච්චිට, විදූෂගෙ පවුලේ අයට, ධනුෂ්ක හුලංගමුව වන මගේ මාමට, නිසංසලා මිස්ට.