වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




විවේකය ලැබුණු වෙලාවට එළවළු වවනවා

විවේකය ලැබුණු වෙලාවට එළවළු වවනවා

නීල පැහැයෙන් දිදුලන අහස් කුසේ පුළුන්වල පැහැය ගත් වලාකුළු රටා තැනින් තැන විසිර තිබේ. ඒ හරියට ම අපට සිහිපත් කරන්නේ සිත්තරකු සිය නිල් පැහැති කැන්වසය මත අඳීන ලද සිතුවමකි. වරින්වර කැදැලි කරා පියඹා යන කුරුල්ලන්ගෙන් හා සුදු කොකුන්ගේ දසුන සිතට ප්‍රිය උපදවයි. වරෙක සිතුවමක් ලෙස ද, තවත් වරෙක නිල්පැහැ වියනක් ද ආකාරය ගත් අහස් කුසේ පැහැය වැදී දිදුලන ඔයේ ජල තලය ගලා බසින්නේ ලතාවකට ය. සිය දඩයම අතහරින්නට අකැමැති වූ පිළිහුඬු නයිදේ අසල ගසක ඇති අත්තක් මත ලැඟුම් ගත්තේ තවත් වරක් කුඩමසකු ඩැහැ ගන්නට ය. තුරු අතර සැඟව යන හිරුගේ කිරණින් තලවතුගොඩ ප්‍රදේශය නැහැවෙද්දී දියවන්නා ඔයේ අසිරිය විඳීමින් සිටි මා පය ඉක්මන් කළේ මහේන්ද්‍ර පෙරේරා නම් රංගන ශිල්පියාගේ කැදැල්ල සොයා නෑගම් යන්නට ය. වැලි පාරේ මද දුරක් ගියතැන හමුවන අතුරුපාරෙන් හැරී අඩි සියයක ගමනෙන් පසුව අපි ඔබ වඩාත් ආදරය කරන මේ දක්ෂ රංගන ශිල්පියාගේ නිවෙස සොයා ගත්තෙමු. දෙවැනි මහලේ කවුළුවෙන් ඔහු එබී බැලුවේ මේ අතර ය.

“ පොඩ්ඩක් ඉන්න ”

නෝවාගේ බිරුම් හඬ මැද්දෙන් මහේන්ද්‍ර පැවසුවේ ඌට නිශ්ශබ්ද වන්නට ද අණ කරමිනි.

“ එයාලා කොහොමත් අඳුනන්නේ නැති අය ආවොත් ඔහොමම තමයි. ”

සුහදව අප පිළිගන්නා ගමන් ඔහු පැවසුවේ සුපුරුදු ලෙස නැඟෙන සිහින් මන්දස්මිතය ද මුවඟට නංවමිනි.

“මේ දවස්වල රූපවාහිනි වැඩසටහන් ටික කරගෙන යනවා. දෙරණ රූපවාහිනියෙත් අඟහරුවාදා මල්බර දෙරණ කියන වැඩසටහනටත් මේ ළඟදීම නිවේදන කටයුතුවලින් සහභාගි වුණා. රංගනය පිළිබඳ වැඩමුළු මාලාවක් ආරම්භ කළා. ඊට අමතරව කාලයකට පස්සේ මේ දවස් කිහිපයේ පුංචි නිවාඩුවකුත් ලැබුණා. ඒ අතර ලාල් ප්‍රියදේවගේ අලුත් චිත්‍රපටයේ රඟපෑමේ කටයුතුවලටත් සූදානම් වෙනවා. ‘ඇඩ්ඩ්‍රස් නෑ’ චිත්‍රපටයත් 23 වැනිදා තිරගත වුණාට පස්සේ නැවතත් රූගත කිරීම් ආරම්භ වෙනවා. ඒ විදයටයි කාලය ගත වෙන්නේ.”

තමන් කරන දේ හරියට කරන මහේන්ද්‍ර කියන්නේ බොහොම සරලව ජීවත් වන කෙනෙකි. ඒ සරල බව ඔහුගේ නිවෙසට ගිය ඕනෑම කෙනෙකුට අත්විඳීය හැකිය. හිස්ව ඇති පහළ මාලයේ පුටුවකට බරව අවටින් පැමිණෙන සුළඟේ සිසිලස විඳීමින් ඔහු ගීතයක් රස විඳීයි. නැත්නම් හඬ පුහුණුවීමක යෙදෙයි.

“ ඔබගේ රංගන කටයුතුවලට බිරියගෙන් ලැබෙන සහයෝගය මොන වගේ ද? ”

“ ඇගෙන් ලැබෙන්නේ පුදුම සහයෝගයක්. අපි කරන්නේ පැය අටේ රස්සාවල් නොවෙයි නේ. දවස තිස්සේ, සති ගණන්, මාස ගණන් එක එක තැන්වල වැඩ. ඒ කටයුතුත් එක්ක දරා ගැනීම හා විඳ ගැනීම කියන කාරණා එනවා. එතැනදි ඇගෙන් සහයෝගයක් ලැබුණේ නැත්නම් මට රංගන කටයුතු නිදහසේ කරන්න ලැබෙන්නේ නැහැ. නිවෙසේ ම වගේම දරුවන් දෙදෙනාගේත් බර කරට අරගෙන ඈ මේ කරන කැපවීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි.”

තක්ෂිලා දමයන්තිත් මහේන්ද්‍රත් එකම කැදැල්ලකට වන්නේ සොඳුරු ප්‍රේම තරගයකින් පසුව ය. හිරිමල් යොවුන් වියේ පටන්ම මහේන්ද්‍ර, දමයන්තිට බැඳී හාදකම පිළිබඳ ඇයට කියන්නට ලැබෙන්නේ ඒ පාසල් කාලයෙන් පසුව ය. දුර නෑකමකින් බැඳුණු මේ යුවළගේ ආදරයට වැඩිහිටියන්ගෙන් ලැබුණේ යහපත් ප්‍රතිචාර නොවේ. ඒ සියලු අභියෝගවලට මුහුණ දෙමින් මහේන්ද්‍ර, දමයන්ති කැන්ඳන් ආවේ රටක් රාජ්‍යයක් ජය ලැබූවකු පරිද්දෙනි.

“ මේ සොඳුර නිවහන ගොඩනැඟෙන්නේ ඔබ දෙපළගේම උත්සාහයෙන් ද? ”

“ ඒ දවස්වල මම ඒ තරමට ඉතුරු කළේ නැහැ. තමන්ගේම කියලා නිවෙසක් හදන අදහස ඉදිරිපත් වුණේ බිරියගෙන් තමයි. මේ ඉඩම ගන්නේත් ඇගේ අදහසක් අනුවයි. මෙතැනට ඇවිත් හෙමින් හෙමින් අපි අපේ ජීවිතය ගොඩනඟා ගත්තා. මම හම්බ කරන මුදල ගෙනැත් දුන්නේ දමයන්ති අතටයි. ඈ ඒ මුදලින් දරුවන් තුන්දෙනාගේ වියදම් වගේම ගෙදර වියදම් ටිකත් කොහොම හරි පිරිමහගෙන අරපිරිමැස්මෙන් කටයුතු කළා. ඒ ප්‍රතිඵලයි අපි මේ භුක්ති විඳීන්නේ. ”

ලොකුපුතා උවින් ගයනක රැකියාව කරන්නේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේයි. දෙවැන්නා නවීන් චන්දුල පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ය. ඔහුගේ බිරිය චාමලී කෝරළේ ගෙදරයි. ඈ නර්තන ශිල්පිනියකි. ප්‍රවීන් ඉෂංක තුන්වැන්නා ය. ඔහු තවමත් අධ්‍යාපනයේ නියැළෙයි. ඒ අනාගතයේ ගෘහ අලංකරණ ශිල්පියෙක් වීමේ අදහසෙනි.

“ පුතාලාගෙන් කවුරු හෝ තාත්තා ගිය අඩිපාරේ යාවි ද? ”

ලොකුපුතා හොඳට ගීත අහනවා විතරයි. ගයන්නේ නැහැ. දෙවැනි පුතාට හොඳට සින්දු කියන්න, ගිටාර් එක ප්ලේ කරන්න පුළුවන්. එයා ඕස්ට්‍රේලියාවේ ඉඳගෙන ඉගෙන ගන්න ගමන් එහේ කලා කටයුතුවලටත් උදව් වෙනවා. පොඩි පුතාටත් ඒ හැකියාවන් තිබෙනවා. ඒත් මේ කිසිම කෙනෙක් රංගනය පැත්තට යොමු වෙන්න කිසිම කැමැත්තක් දක් වන්නේ නැහැ. ඒ නිසා රංගනයේ නියැළිය යුතුයි කියලා ඔවුන්ට බල කිරීමක් කරන්නත් බැහැ. ඒ අයගේ ජීවිතය සොයාගන්න එයාලටම ඉඩ හැරලා ඊට අවශ්‍ය සහයෝගයක් ලබාදීමයි මා මෙතෙක් කළේ. ”

ඉඳලා හිටලා නිවෙසෙන් ඇසෙන ගිටාරයේ ස්වරය ඒ අවට විහිදෙන්නේ තාලයට ය. නවීන් ගිටාරය වයද්දී ප්‍රවීන් ඊට තාල අල්ලයි. ඒ තාලයට මහේන්ද්‍ර ගේ ගී ස්වරය උස් පහත් වෙයි. මේ හැමෝටම සංග්‍රහ කරමින් ඔවුන් ළඟ හිදින්නී දමයන්තියයි. හැමෝම නිවෙසට එකතු වුණු වෙලාවේ දමන සාජ්ජය පවුලේ බැඳීම නැවුම් කරන්නේ ඉබේම ය. මේ බැඳීම සිහි කරන අතරතුර අප අතරට පැමිණෙන්නේ මහේන්ද්‍ර ගේ ප්‍රිය බිරිය දමයන්ති ය.

නිවෙසට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන එන්නේ ඔබම ද? ”

“ සමහර වෙලාවට මහේන්ද්‍ර ගෙදර හිටියොත් එයත් එක්කම අවශ්‍ය බඩු ගන්න යනවා. ඒත් මම නිවෙසට අවශ්‍ය බඩු ගන්නතුරු එයා පැත්තකට වෙලා ඉන්නවා. එතැනදි මාසයකටම අවශ්‍ය විදියට එක්වරම අතශ්‍යවශ්‍ය බඩු අරගෙන එන්නත් අපි අමතක කරන්නේ නැහැ. අනෙක් කෑමබීම ගේන්නේ උවමනාව අනුවයි. හැමෝගෙම කැමැත්ත අනුවයි නිවෙසේ කෑමබීම තැනෙන්නේ. මහේන්ද්‍ර නම් හදලා දෙන ඕනෑම දෙයක් කනවා. පුතාලා දෙන්නට එහෙම බැහැ. අලුත්පන්නයේ කෑම වර්ග එයාලට උවමනායි. ඒ නිසා ඒ අයගේ කැමැත්තටත් මුල්තැන ලැබෙනවා. ”

මහේන්ද්‍ර කුඩාකල පටන්ම වගා කරන්නට දක්වන්නේ ඉමහත් කැමැත්තකි. ඒ අදහස කවදා හෝ දිනෙක මල්පල ගැන්විය යුතුයැයි සිතා ගත්තේ කලකට පෙර ය.

“එළවළු වවන්නද කල්පනාව ? ”

“ එළවළු වවන සැලසුම මගේ හිතේ තිබුණේ මෙතැනට පැමිණිදා ඉඳලයි. ඒ සඳහා තුන්වැනි මහලේ පුංචි සූදානමක් තිබෙනවා. අපට එදිනෙදා කෑමවලට ගන්න ගොටුකොළ, කංකුං, මුකුණුවැන්න වගේ කොළ වර්ග, බණ්ඩක්කා, වම්බටු, මිරිස් ගස් කිහිපයක් වවා ගන්න තිබෙනවා නම් වඩාත් හොඳයි. විවේකය ලැබෙන සෑම අවස්ථාවක්ම ඒ කටයුතුවල නියැළෙන්නයි මා අදහස් කරගෙන සිටින්නේ. ”

රූගත කිරීම් කරන්නට ගිය ද එහි ලස්සන මල් පැළයක් දුටුවේ නම් එය රැගෙන එන්නට ද මහේන්ද්‍ර අමතක නොකරයි. ඒ සියල්ලම වැවී පල දරන විට සිතට දැනෙනා සතුට විඳීන්නට ඔහු කැමැති ය. ගෙවත්ත අලංකාර වී ඇත්තේ එසේ ඔහු ගෙනෙනු ලැබූ මල් පැළවල හටගත් සුන්දර මල්වලිනි. ඒ මල්වල සුන්දරත්වය විඳීමින් අපි මහේන්ද්‍ර - දමයන්ති කැදැල්ලෙන් සමුගතිමු.