වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

ලූකා ළමා චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටය හෝගානා පොකුණ

ඉන්දික ෆර්ඩිනැන්ඩු විසින් අධ්‍යක්ෂණය කරන ලද පළමු සිනමා කෘතිය වන හෝගානා පොකුණ තවත් අන්තර් ජාතික සම්මානයකින් පිදුම් ලබයි. ඒ ජර්මනියේ ලූකා ළමා චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටයට හිමි ද ලූකා සම්මානයෙන් අභිසෙස් ලබමිනි. ජර්මනියේ ෆැන්ක්ෆර්ට් නුවරදී තිස් අට වැනි වරටත් පැවැත් වූ මෙම සම්මාන උළෙල සඳහා තෝරා ගත් චිත්‍රපට 20 ක් ඉදිරිපත් කොට තිබිණි.

හෝගානා පොකුණෙහි ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, අනසුයා සුබසිංහ, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, හයිසින්ත් විජේරත්න, සැනෙට් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, අමා විජේසේකර ආදී නළු නිළියන් සමඟ ළමා නළු නිළියන් දහඅට දෙනෙකු රංගනයේ යෙදෙති. හෝගානා පොකුණ සිනමාපටය මීට ප්‍රථම අවස්ථා කිහිපයකදීම අන්තර්ජාතික සම්මාන ලද්දේය. ඒ අතරින් චෙක් ජනරජයේ ස්ලින් නගරයේ පැවැති 55 වැනි අන්තර් ජාතික සිනමා උළෙලේ සිටි ඔෆ් ස්ලින් සම්මානය විශේෂ වේ. එසේ වනුයේ දැනට පවතින පැරැණිතම සිනමා උලෙළකින් ලැබූ ඒ සම්මානය චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට මෙන්ම එහි රඟපෑ ළමුන් දහඅට දෙනාගේම රංගනයට උරුමකම් කියන බැවිනි.

ලබන දෙසැම්බරයේදී හෝගානා පොකුණ තිරගත වනු ඇතැයි විශ්වාස කෙරේ.


ස්වර්ණා කල්කටා උලෙළේජූරියට

සම්මානනීය රංගවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි කල්කටා අන්තර් ජාතික සිනමා උලෙළේ ජූරි සභාවට තේරී පත් වී ඇත. මෙරට කලාකාරිණියක් එම සම්මාන උලෙළේ ජූරි සභිකයකු වශයෙන් කටයුතු කරන ප්‍රථම අවස්ථාව වන්නේ මෙයයි. උලෙළ එළඹෙන නොවැම්බර් මස 13 වැනිදා ඉන්දියාවේ කල්කටා නුවරදී ඇරැඹීමට නියමිතය.


ලෙලුම් එක්ක හැන්දෑවක්

ආචාර්ය වික්ටර් රත්නායකගේ බාල පුතු වන ලෙලුම් රත්නායක ගී ගයන 'ලෙලුම් එක්ක හැන්දෑව' විචිත්‍රවත් ගී ප්‍රසංගය මෙම මස 17 වැනිදා එනම් එන සෙනසුරාදා සවස බත්තරමුල්ල ජයන්ති පුර පාරේ අංක 30 දරණ ස්ථානයේ පිහිටි කැන් මියුසික් ඇන්ඩ් ෆිල්ම් ඇකඩමි පරිශ්‍රයේදී පැවැත් වෙයි. මෙහිදී ඔහුගේ ස්වතන්ත්‍ර ගී මෙන්ම වික්ටර්ගේ ජනප්‍රිය ගීත කිහිපයක් ලෙලුම් විසින් ගැයීමට නියමිතය.

දිගු කලක සිට ගායන මෙන්ම වාද්‍ය ශිල්පියකු වශයෙන් කටයුතු කරන ලෙලුම් ඔහුටම අනන්‍ය වූ රිද්මයකින් සංයුක්ත තැටි කිහිපයක් ඔස්සේ තම ගායන හැකියාව ප්‍රකට කෙරුවේය. පසුගිය වසරේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත් වූ හෙතෙම 'ලෙලුම් එක්ක හැන්දෑවක්' හරහා නවමු සංගීතමය අත්දැකීමක් සංගීත ලෝලීන්ට පිරිනැමීමට සූදානම් වේ.


සිසිර කොතලාවල මියයයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර කොතලාවල අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු පනස් නවයකි. රජයේ චිත්‍රපට අංශයේ සිනමා සංස්කාරකවරයකු වශයෙන් කටයුතු කොට ජාතික රූපවාහිනිය ආරම්භයේදීම ඊට නිෂ්පාදකවරයකු වශයෙන් එක් වූ සිසිර එහි විවිධ තනතුරු දැරීය. ඔහු ඉන් ඉවත් වූයේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු ලෙසිනි. පසුව නේපාලයේ තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියකු වශයෙන් සේවය කළේය. දෙරණ නාළිකාවේ නාට්‍ය අංශයේ සේවය කරන චරිත් කොතලාවල ඇතුළු දරු තිදෙනෙකුගේ ආදරණීය පියකු වූ සිසිරගේ අවසන් කටයුතු පසුගිය ඉරු දින ගම්පහ කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු විය. සිසිර ජාතික රූපවාහිනයේ පුරෝගාමී වැඩ සටහනක් වූ සිංදුයි බිංදුයි ඇතුළු ළමා වැඩ සටහන් රැසක් ද එකල සිසිර අතින් නිර්මාණය විය.


සුගත්ගෙන් නළු නිළි බැංකුවක්

සුගත් සමරකෝන් නළු නිළි බැංකුවක් ආරම්භ කරලා. ඒකට ඔහු බඳවා ගන්නේ තමන් විසින් මෙහෙය වන රංගන පාඨමාලාව හදාරපු අයව. ඉරිදා දිනවල සුදර්ශියට පැමිණ මෙම නළු නිළි බැංකුවේ ලියාපදිංචි වෙන්න කියලා සුගත් අපට පවසා සිටියා.


සමන් 170 වැනි වරටත් රට

අපේ ගායකයෝ විවිධ වාර්තා තියනවානේ. මේ දවස්වල නම් අපේ කට්ටිය ලෝකේ වැඩිපුරම විරහ ගීත ගයපු ගායකයෝ ඉන්න රට හැටියට ලංකාව ඔසවා තබන්නට සෑහෙන්න උත්සාහ ගන්නවා. තව සමහරු කියලා නෙවෙයි සිංදු අනුභව කරලා වාර්තා තියනවා. ඒ අය අතරේ සුපිරි වාර්තා තියන අයත් නැතුවම නෙවෙයි. සමන් ද සිල්වා ඒ වගේ කෙනෙක්. ඔන්න මෙයා මේ වන විට තමන්ගේ එකසිය හැත්තෑ වැනි විදෙස් ප්‍රසංගයට සහභාගි වෙමිනුයි ඉන්නේ. ඒ ක්වේට්වල. ඇරෝ ස්ටාර් සමඟයි සමන් තමන්ගේ මේ එකසිය හැත්තෑ වැනි විදෙස් සංචාරයට එකතු වුණේ. මෙරට වැඩිම විදෙස් සංචාර ප්‍රමාණයකට සහභාගි වු ගායකයා තමයි සමන්. ඒ වාර්තාව අභිබවා යන්නට තවමත් කෙනෙකු බිහි වෙලා නැහැ. 1985 දී තමයි සමන් තමන්ගේ පළමුවැනි විදෙස් සංචාරයට එකතු වන්නේ.


ඉවසලා බැරිම තැන

ශේෂාද්‍රි පිළිබඳ එක්තරා පුවතක් පසුගියදා වෙබ් පිටුවල පළ වුණා. ඒ ඇය දික්කසාද වෙන්න යනවා කියලා. ඇයගේ සැමියා විසින් ශේෂාද්‍රිට මෙම දික්කසාද නඩුව පැවරුවා කියලයි එම පුවත්වල සටහන් වුණේ. අපි ඒ ප්‍රවෘත්තිය ගැන සොයලා බැලුවා. ශේෂාද්‍රි දික්කසාද වෙන්නලු හදන්නේ. හැබැයි සැමියා විසින් ශේෂාද්‍රිට නෙවෙයි ශේෂාද්‍රි විසින් සැමියාට තමයිලු මේ නඩුව පවරලා තියෙන්නේ. පසුගිය මැයි 29 දිනයේ සිට ශේෂාද්‍රි තම නිවසින් පැමිණ පවුලේ අය සමඟ ජීවත් වෙලා තියෙනවා. ඉන් පසුව තමයි මෙම නඩුව ඇය විසින් පවරලා තියෙන්නේ. සැමියා සමඟ එකට කල්ගත කරන්නට බැරිම තැන ඇය විසින් මෙම දික්කසාද නඩුව ෆයිල් කළා කියලයි ආරංචිය.


ඔබ නැතුව ඔබ එක්ක සරසවිය පාඨකයන්ට විශේෂ තිළිණයක්

ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ 'ඔබ නැතුව ඔබ එක්ක' සිනමා කෘතිය ප්‍රදර්ශනය වන දිවයිනේ ඕනෑම සිනමා ශාලාවකදී ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගත් විට මෙම සරසවිය පුවත්පත ඉදිරිපත් කිරීමෙන් තුන්වැනි ප්‍රවේශ පත්‍රය ඔබට නොමිලේ ලබා ගත හැකිය.

ඒ සඳහා ඔබ මෙම පුවත්පත සිනමා ශාලාවට බාර දිය යුතුය. මෙම ප්‍රවේශ පත්‍ර නිකුත් කරනුයේ ඔක්තෝබර් 22 දක්වා පමණි.


සුමිත්ට අලුතින් නළු නිළියන්

ස්තූතියි නැවත එන්න සිනමාපටය අධ්‍යක්ෂණය කළ සුමිත් රෝහණ තිත්තවැල්ලගේ නවතම සිනමාපට සඳහා වයස අවුරුදු 8 - 18 ත් අතර ළමා නළු නිළියන් අවශ්‍ය බව ඔහු සරසවියට දන්වා සිටියේය. මේ වෙනුවෙන් නවකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරික්ෂණයක් මෙම මස 18 වැනිදා එනම් එන ඉරිදා කොළඹ 07 ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය ආයතනයේදී පැවැත්වෙනු ඇත.