වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




තල මලේ රංබරණා ගුරුන්නාන්සේට කුසලානයක්

තල මලේ රංබරණා ගුරුන්නාන්සේට කුසලානයක්

මේ දවස්වල ජයලත් මමෝරත්න ඕස්ට්‍රේලියාවේ සංචාරයක, තනිව නෙවි නාට්‍ය දෙකක කණ්ඩායමක් එක්ක. අන්දරේලා සහ ගුරු තරුව තමයි මනෝගේ නාට්‍ය. මෙල්බර්න් හි බ්‍රිස්බේන් නගරවල පළමු වතාවට සිංහල නාට්‍ය දෙකක් එක්වර රඟ දැක්වෙන්නේ දැන් තමයි. මනෝ ආවම සංචාරයේ විස්තර දැනගන්න පුළුවන්. ඒ අතරේ මේ වතාවෙන් පසු වේදිකාවට මනෝගේම තවත් නාට්‍යයක වේදිකා පාලක කණ්ඩායම සම්බන්ධ කතාවක් තමයි මතක් වුණේ. නාට්‍යය තල මල පිපිලා. මනෝගේ නාට්‍ය අතර මම නම් වඩාත්ම කැමැති අපූරු නාට්‍යයි. ඒත් රාජ්‍ය නාට්‍ය උත්සවයකදී (1990) තල මල පිපිලා නාට්‍යයට අසාධාරණකම් සිදු වුණු බව සම්මාන උලෙළේ ඉතිහාසය කියවන කොට දකින්න ලැබෙනවා.

කොහොම වුණත් උලෙළේ හොඳම නළුවාගේ සම්මානය හිමි වන්නේ රංබරණා ගුරුන්නාන්සේගේ චරිතය අපූරුවට රංගභූමිය මත ප්‍රතිනිර්මාණය කළ ජයලත් මනෝරත්නට. වේදිකාවේ කතාවලට හුඟක් වෙලාවට සම්බන්ධ වෙන්නේ වේදිකා පරිපාලකයෝ එහෙමත් නැත්නම් අංග රචනා ශිල්පියෝ, සංගීතඥයෝ වගේ චරිත. තල මල පිපිලා 1988 දීයි මුලින්ම වේදිකා ගත වෙන්නේ. ඒත් අද කතාව ඇහෙන්නේ 1993 දී විතර, කිරිඳිවැල පාසලක දර්ශනයකදී. පුත්‍ර සමාගමේදී වගේම මෙහිත් ප්‍රධාන භූමිකාව වේදිකා පරිපාලන කණ්ඩායමේ අසෝක සොයිසාත් නිෂ්පාදක ප්‍රධාන නළු ජයලත් මනෝරත්නත් අතර.

රංබරණා ගුරුන්නාන්සෙ කියන්නේ පැරැණි ගමක සාම්ප්‍රදායික ගායන නර්තන කලාව රැකගෙන ඒ කලාව අලුත් පරම්පරාවට උගන්වන පාරම්පරික නර්තනවේදියෙක්. ඔහුගේ කලාව වාණිජ පරමාර්ථවලින් දූෂ්‍ය වෙලා නෑ. නිර්මලයි. ඒත් අපේ රටට විවෘත ආර්ථිකයත් සමඟ ආපු නොයෙක් දේශපාලන ආර්ථික වෙනස්වීම් සමඟ ගම, ගම්වල තිබුණු පාරම්පරික කලා, නර්තන, සංස්කෘතික වටිනාකම් බිඳ වැටෙන්න ගන්නවා. රංබරණා ගුරුන්නාන්සෙත් මේ ක්‍රමයේ ගොදුරක් වෙනවා. නාට්‍යයේ කතාවට අනුව ගමට පිවිසෙන විදේශීය චරිතයක්, ප්‍රාදේශීය දේශපාලනඥයෙකුත් සමඟ (සම්පත් තෙන්නකෝන් හා ලාල් කුලරත්න) ශ්‍රියන්ත මෙන්ඩිස් තුන්දෙනාගේ සැලසුම වෙන්නේ රංබරණා ගුරුන්නාන්සේ නැටුම් කියා දෙන මහා නුග ගස් හෙවණ එතනින් ඉවත් කරලා සංචාරකයන් කැඳවන්න පුළුවන් නවීන රංග ශාලාවක් හදන්න. රංබරණා ගුරුන්නාන්සේ මේකට එක හෙලාම විරුද්ධ වෙනවා.

ඒත් විදේශිකයා දේශපාලනඥයා, ගුරුන්නාන්සේගේ පුතා බාල බණ්ඩාර (ශ්‍රියන්ත) තුන් දෙනා සැලසුම් කරන්නේ ගුරුන්නාන්සේට උපහාර උත්සවයක් පවත්වල විරෝධය අඩු කර ගන්න. උපහාර උත්සයේ අන්තිමේදී රංබරණාට විශාල කුසලානයක් දෙන ජවනිකාවක්. කුසලානේ කොච්චර ලොකු ද කිව්වොත් ගුරුන්නාන්සේ ඒක කරේ තියාගෙන තමයි යන්නේ. නාට්‍යයක රංග භාණ්ඩ ලොකුවට හදන්නේ ශාලාවේ කෙළවර ඉන්න ප්‍රේක්ෂකයටත් පේන්න ඕනෑ නිසා. කිරිඳිවැල දර්ශනේදී චන්දන නිශාන්ත (ලකී ට), සුනෙත් නන්දලාල්, අශෝක සොයිසා රංග භූමි පාලකයන්ට තරු පේනවා, මොකද අර රංබරණා ගුරුන්නාන්සේට පිරිනමන විශාල කුසලානේ ගේන්න අමතක වෙලා බව දැනගෙන. අසෝක සොයිසා පුරුදු විදියට කිසිම ගාණක් නැතුව කුල් පිට සගයන්ට කියනවා ‘ලකී මල්ලී බය වෙන්නෙපා මම කප් එකක් හොයලා දෙන්නම් වෙලාවට කියලා. ශාලාව වටේ රවුමක් ගහපු අසෝකා නාට්‍ය බලන්න ආපු පොඩි මල්ලි කෙනෙක් අල්ලගෙන අහනවා මල්ලි ස්පෝර්ට්මීට්වලදී ගත්තු කප් එහෙම නැද්ද කියලා. අයියේ අයියේ මට මීටර් 100, 200 දුවලා කප් දෙක තුනක්ම තියෙනවා නේ. පොඩි එකා කියාපි. අසෝකට දැන් බය නෑ. කප් එකක් හොයා ගත්තනේ. උපහාර උත්සවේ අවසානයේ සුදු ජාතිකයා දේශපාලනඥයා, නාට්‍යයට හදාපු විශාල කුසලානේ දෙන ජවනිකාව.

කිරිඳිවැලදී ලැබෙන්නේ අඟල් හයක් උස නැති පුංචි රිදී පාට කප් එකක් රංබරණා ගුරුන්න්සේට. මනෝට ඉහිලුම් නෑ කරපු වැඩේට. නාට්‍යයෙන් පස්සේ පුපුරමින් හිටපු මනෝ ස්්ටේජ් මැනේජ්මන්ට් ටීම් එකට කතා කරනවා. යකෝ උඹල පස් දෙනෙක් ඉඳලත් අමතක වුණේ කොහොමද එච්චර ලොකු ප්‍රොප් එකක්. ඊටත් දැන් අවුරුදු පහක් තිස්සෙම ගේන භාණ්ඩෙ. අරකත් කප් එකක් ද පරම්පරාගත නැටුම් ගුරුවරයෙකුට දෙන? කවුරුත් නිශ්ශබ්දයි. මොනව කියන්නද? අශෝක සොයිසා නම් පරාජය බාර ගන්නේ නෑ. ‘නෑ මනෝ අපි උවමනාවෙන්ම තමයි පුංචි කප් එකක් වේදිකාවට එව්වේ. එතකොට ප්‍රේක්ෂකයෝ කල්පනා කරනවානේ හත්දෙයියනේ මේ තරම රට රාජ්‍යවල ප්‍රසිද්ධ නැටුම් ගුරුවරයෙකුට දුන්න කුසලානෙක තරම කියලා. මනෝට තවත් කේන්තියි අසෝකගේ උත්තරේට.

මමෝ කූල්පිට අසෝකට මෙහෙම කිව්වා. ‘ඔව් අසෝක උඹ කියපු කාරණාවත් හරි තමයි බලාගෙන ගියාම. ඒත් උඹට අවුරුදු පහක්ම යනකල් ඔය අදහස පහළ වුණේ නැති එක තමයි මට පුදුමේ.’