වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කාන්තාවකගේ ධෛර්යය ‘අපේ කාලේ නාරිලතා’තේමාවයි

කාන්තාවකගේ ධෛර්යය ‘අපේ කාලේ නාරිලතා’තේමාවයි

ධර්මරත්න පෙරේරා

ලේඛකයෙක් කියන්නේ සමාජයේ විශාල වගකීමක් පැවරී තිබෙන පුද්ගලයෙක්. ඔහුට සමාජය වෙනුවෙන් කරන්න පැවරී ඇති දේ බොහෝමයි. ලේඛනය ඔස්සේත් ටෙලි සහ චිත්‍රපට නිර්මාණ ඔස්සේත් ඒ වගකීම ඔහුට ඉටු කරන්න පුළුවන්. එවැනි කලාකරුවන් රැසක් අප අතර ද සිටිනවා. ධර්මරත්න පෙරේරා කවිය, ගීතය වගේම කෙටි කතාව සහ නවකතාව ඔස්සේ සමාජය දෙස බලන එවැනි අපූරු කලාකරුවෙක්. ඔහු රචනා කළ ගීත ඉතාම ජනප්‍රිය යි. ‘නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ’, ‘කන්දෙ විහාරේ’, ළිහිණින් රෑන පියා සලන්නේ’ වැනි ගීත සංගීත ක්ෂේත්‍රයේ රැව් පිළිරැව් දෙන ගීත. ධර්මරත්න පෙරේරා ‘අපේ කාලේ නාරිලතා’ නවකතාව එළිදැක්වූයේ 2007 වසරේදීයි. සාර්ථක ප්‍රතිචාර ලද ‘අපේ කාලේ නාරිලතා’ කියන්නේ සුන්දර දිවි ගමනින් මිදී මුදල් පසුපස හඹාගිය ගැහැනියකගේ කඳුළු කතාවක්.

“සොහොන දැවී හළුවන තුරුම ඔවුහු එතැනම රැඳී සිටියහ. සියල්ල උපේක්ෂාවෙන් විඳ දරාගෙන සිටි නිශ්ශංකගේ නෙතින් අවසානයේ කඳුළු කඩා වැටිණ. මලිත්ති ඔහු අතට තම ලේන්සුව දුන්නේ කඳුළු පිසදමා ගන්නටය. විරාජ් සහ වාසනාට ඔවුන්ගේ ලෝකය අහිමි විය. සුදු හාමිනේ කියන්නේ විරාජ් සහ වාසනාගේ හෙවණට සිටි මහා දැවැන්ත වෘක්ෂයකි. පුතුට ලේලියට මෙන්ම දියණියට බෑණාටද ජීවත්වන තුරා සුදු හාමිනේගේ නාමය අමතක නොවන බව නම් සහතිකය. එක් එක්කෙනාගේ බුද්ධියට අනුව සුදු හාමිනේගේ චරිතය විමසා බැලිය හැකිය. එහෙත් සුදු හාමිනේ සමාජයේ විවිධ සංසිද්ධීන් සමඟ ජීවිතය ජය ගන්නට වෙර දැරූ අසාමාන්‍ය චරිතයකි”

ඔබට ඔබේ කෘති අතර ‘අපේ කාලේ නාරිලතා’ කෘතිය විශේෂ වෙන්න හේතුව?

මේ කෘතිය විචාරකයන්ගේ ඇගයීමට ලක් වූ කෘතියක් ලෙසින් පැසසුම් ලැබුවා. ඒ අතරින් බොහෝ දෙනෙකුගේ අදහස වුණේ මා ලියූ කෘති අතරින් හොඳම කෘතිය මෙය බවයි. එය මමත් මේ කෘතියට විශේෂ හේතුවක් දක්වන්න හේතු වුණා. ඒ වගේ විශේෂ ඇගයීම් ඇත්ත වශයෙන්ම ලේඛකයන් උනන්දු කරන්න සමත් වෙනවා.

අපේ කාලයේ නාරිලතා කෘතියක් ලෙසින් එළිදකින්නත් විශේෂ හේතුවක් බලපාන්න ඇති?

මේ කෘතිය නිර්මාණයට බලපෑවේ පුංචි සිදුවීමක්. ඒ සිදුවීම ඇසුරු කරගෙන එයින් ඔබ්බට ගොස් මගේ පරිකල්පන ශක්තියෙන් එතැනින් එහාට ගිය දීර්ඝ කතාවක් ලෙසින් මෙය නවකතාවක් ලෙසින් නිර්මාණ කළා. එක දවසක් මම මගේ මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයකට පිළියම් යෙදීමට එක්තරා මෝටර් රථ අලුත්වැඩියා කෙරෙන ස්ථානයකට ගියා. එහි සිටි බාස් උන්නැහේ තමයි මේ නවකතාවේ එන ඩැනී බාස්. එහිදී ඔහුගේ අත් උදව්වට සිටියේ ඔහුගේ බිරියයි. මේ සිදුවීම මගේ මනසේ සුවිශේෂ අන්දමින් රැඳුණා. ඉතිං එතැනින් එහාට ගොස් මේ දෙදෙනාගේ ව්‍යාපාරය සාර්ථක කරන්න මට අවශ්‍ය වුණා. ඒ නිසා විවිධ හැලහැප්පීම් වලට මුහුණ දුන්නත් ව්‍යාපාරිකයකු සමඟින් කොළඹට පැමිණ ඔවුන් ජීවිතය ජය ගන්නා අයුරු ලෝකයට කියන්න මට අවශ්‍ය වුණා. නමුත් සත්‍ය සිදුවීම නම් සැමියෙකු සහ බිරියක විසින් පවත්වාගෙන ගිය මෝටර් රථ අලුත්වැඩියා කෙරෙන ස්ථානයකට ගොස් මම මගේ වාහනයේ දෝෂය නිවැරදිකර ගත්තා පමණයි.

මෙහි එන කතාව තරමක් වෙනස්. එහිදී මව සහ දියණිය එකම පුරුෂයෙකුට ප්‍රේම කිරීම සමාජයට මෙන්ම සංස්කෘතියට බලපෑමක් වන්නේ නැතිද?

මට වැඩියෙන්ම අවශ්‍ය වුණේ මේ කාන්තාවගේ ධෛර්යවන්ත නැඟි සිටීම පෙන්වන්නයි. විවිධ හැලහැප්පීම් මැද අවසානයේ ඇයට සාර්ථක මට්ටමකට එන්න හැකි වුණා. මේ මම පරිකල්පනයෙන් නිර්මාණයට එක් කළ දෙයක්. නමුත් අද බලනකොට නම් එහිද විශේෂ වෙනසක් මට පෙනෙන්නේ නැහැ. ඒ වගේම බොහොමයක් දකින්න ලැබෙන්නේ පරාජිත චරිත. හැමදාම ජීවිතවල පරාජය වෙනුවට සාර්ථකත්වය දකින්න මට ඕනැ වුණා. මේ කතාවේ සුදු හාමිනේ විතරක් නොවෙයි, දේවිකා, විරාජ් පවා ජීවිතවල සාර්ථකත්වය ළඟා කර ගන්නා අයුරින් රචනා කළා. ඒ අනුව අපේ කාලේ නාරිලතා කෘතිය පුරා සිටින්නේ සුබවාදී චරිත.

චරිත මන:කල්පිත යැයි සඳහන් කළත් විශේෂිත චරිතවල ගුණාංග මෙහි එන පුද්ගල චරිත තුළින් අපට දකින්න පුළුවන්?

එදිනෙදා හමුවන ව්‍යාපාරිකයන් වගේම විවිධ පුද්ගලයන්ගේ චරිත ලක්ෂණ මේ චරිත ඇතුළේ මුසුව තිබෙනවා. සුදු හාමිනේ ගේ ආදරණීය පුත්‍රයා විරාජ්ගේ චරිතය ගත්තොත් මම ඔහුගේ චරිතය නිර්මාණය කළේ විදෙස් රටකට ගොස් සාර්ථක වූ තරුණයෙක් ලෙසින්. නමුත් බොහෝ දෙනා මීට වඩා හාත්පසින් වෙනස්. බොහෝ දෙනා විදෙස් රටවලට ගිය පසු ඒ ඒ විදියට අනුගත වෙනවා විතරක් නොවෙයි ඇතැම් පුද්ගලයන් තම ජීවිත නාස්ති කර ගන්නා අවස්ථා අපට අනන්තවත් අහන්න, දකින්න ලැබෙනවා. මේ කෘතිය තුළ ඔහු ජීවිතය ජය ගෙන පැමිණ සිටිනවා.

මෙහිදී එක පිරිමියෙක් කාන්තාවන් කිහිප දෙනකුගේම ජීවිතවලට බලපෑම් කරනවා. එය විශේෂත්වයක් විදියට ගළපා ගත්තේ ඇයි?

අද ලෝකය ගත්තත් අපේ සමාජය ගත්තත් මේ වගේ චරිත බොහොමයක් දකින්න පුළුවන්. මේක ධනවත් ලෙස සැලකෙන එක් පැළැන්තියකට විතරක් සීමා වූවක් නොවෙයි. නැති බැරි මිනිසුන් අතරේත් මේ වගේ මිනිසුන් සිටිනවා. ධනවතුන් අතරේ එය සුලබව දකින්න පුළුවන්. ධනය සහ බලය මඟින් බොහෝ දෙනෙක් මේ වැනි තත්ත්වයකට පත් වී සිටිනවා. නමුත් අනෙකුත් සමාජ පන්ති අතරේත් මේ වැනි පුද්ලයන් ගැන අසන්න ලැබෙනවා. අද ප්‍රවෘත්ති දෙස බලනකොට මේ වැනි හේතු නිසා ඇති වන විවිධාකාර වූ ගැටුම්, මිනිමැරුම් ආදිය කොතෙකුත් නම් අපට අසන්න දකින්න ලැබෙනවාද? ඇත්තටම මමත් මේ සිදුවීම් අහුලා ගත්තේ අපේ මේ සමාජයෙන්මයි.

අපේ කාලේ නාරිලතා පොදුවේ පීඩනට පත් වූ කාන්තාවන්ගේ නියෝජනයක්ද?

එහෙම දෙයකුත් තියෙනවා. සුදුහාමිනේගේ චරිතය ගත්තොත් ඇයට බොහොම දුක් ගැහැට පැමිණෙනවා. ඇය කොළඹට ගෙන ආවේත් මේ නිසාද කියලා එක වෙලාවකට හිතෙනවා. කුමන ආකාරයෙන් බැලුවත් විවිධාකාර තාඩන පීඩනවලට ලක්වෙනවා වගේම එලෙස පීඩනයට පත් වුවත් දිරියෙන් නැඟි සිටින කාන්තාවන් අනන්තවත් අපේ මේ සමාජයේ සිටිනවා. නිවසේ මූලිකවම ආර්ථිකය මෙහෙයවන ඇතැම් කාත්නාවන් වගේම ස්වාමියාගේ නොසැලකිල්ල නිසා ජීවිතය වැරදුනත් නොවැටී ජය ගන්නා ධෛර්යවන්ත කාන්තාවන් පවා අපේ රටේ සිටිනවා. වර්තමානය වන විට කාන්තාව තම පවුල, සමාජය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නියැළී සිටිනවා. ඒ අතින් බලන කල යම් අවස්ථාවකදී නොමඟ ගියත් සුදුහාමිනේ ජීවිතය ජයගත් කාන්තාවක්. ඒ නිසා ජයග්‍රාහී උත්සහවන්ත කාන්තාව ඇය විසින් නියෝජනය කරනවා.

වර්තමානයේදී සුදුහාමිනේ, පියවදනී, දේවිකා වගේ කාන්තාවන් සිටිනවාද?

මම හිතන්නේ මම මේ කෘතිය ලියූ කාලයට වඩා වර්තමානයේ මේ වගේ චරිත බහුලයි. මුදල් පසුපස හඹා යාම නිසාම. විවෘත ආර්ථිකයත් සමඟ මිනිසුන් මුදල් පසුබස හඹා යාම මෙවැනි තත්ත්වයකට ප්‍රධානම හේතුව වුණා. අපේ තරුණ කාලයේදී අපිට මුදල්වල ලොකු අගයක් වගේම ඒ වෙනුවෙන් වූ විශාල තණ්හාවක් තිබුණේ නැහැ. මෙයින් සිදු කෙරෙන්නේ විවෘත ආර්ථිකයෙන් පසු ඇති මුදල මූලික වූ ජීවිත පිළිබඳ විවරණයයි. ඒ ඔස්සේ ගොස් ජීවිතය වරදවා ගැනීම වෙනුවට යහමින් මුදල් අතගැවසුණත් ජීවිතය යහපත් ලෙසින් පවත්වා ගැනීමට ඔවුන් සමත් වෙනවා. බොහෝවිට දකින්න ලැබුණේ විවෘත ආර්ථිකය සමඟින් මුදල් පසුපස හඹා ගොස් අසාර්ථක වූ ජීවිතයි. නමුත් මෙහි අවසානයේදී සියල්ලන්ගේම ජීවිතවල සාර්ථකත්වය අපිට දකින්න පුළුවන්. එය සුබවාදි චින්තනයකට මුල පුරනවා.

නවකතාවකින් සමාජය ආමන්ත්‍රණය කිරීමේදී ලේඛකයාට යම් යම් සීමා පැනවෙනවාද?

එහෙම සීමාවන් පැනවෙනවා යැයි මම හිතන්නේ නැහැ. නමුත් මම හිතනවා පණිවුඩ කෙසේ වෙතත් කිසියම් වටිනා දෙයක් අපි ෙමි ඔස්සේ සමාජයට ලබාදිය යුතුයි කියා. පොතක් කියවා අවසානයේ හිස් බවට පත් නොවී පාඨකයාට එයින් යමක් ජීවිතයට ගත හැකි නම් එය ලබාදීම තමයි ලේඛකයාගේ යුතුකම වන්නේ. පොත කියවා පසෙකින් තැබූ විට පාඨකයා එයින් ලද යමක් තිබිය යුතු බව මා තරයේ අදහන දෙයක්.

මේ කෘතියෙන් ඔබ සමාජයට කියන්න උත්සාහ කළේ?

විවෘත ආර්ථිකයෙන් පසු විනාශ වූ ජීවිත බොහොමයක් අපට දකින්න ලැබුණා. බොහොමයක් දෙනා කළේ මුදල් පසුපස හඹාගෙන යාම පමණයි. ඒ වගේම බොහෙමයක් කෘතිවලින් පවා අපට හමු වුණේ අසාර්ථක වූ ජීවිත. ඉතිං මේ තත්ත්වය වෙනස් කරන්න මට ඕනෑ වුණා. ඒ නිසා මම අපේ කාලේ නාරිලතා රචනා කළේ විවිධාකාර බාධක හමුවේ ජීවිතය සාර්ථක කරගත් පවුලක කතාව සමාජයට කියන්නයි.

මේ වෙනුවෙන් වූ පාඨක ප්‍රතිචාර?

මේ කෘතියට පාඨක ප්‍රතිචාර රැසක් හිමි වුණා. මෙහි එන සමහර චරිත තම තමන්ට සමාන බව ඇතැම් අය දුරකථනයෙන් කතාකර මට කිව්වා.“කොහොමද මේ චරිතය ගැන ලිව්වේ. ඇත්තටම ඒ මම ගැනමයි ලියලා තියෙන්නේ” කියලා සමහරු මට ඔවුන්ගේ අදහස් පළ කළා. ඒ විතරක් නොවෙයි විචාරකයන්ගෙන් පවා යහපත් ප්‍රතිචාර ලැබුණා. කිහිප වරක්ම නැවත නැවත මුද්‍රණය කරන්නත් සිදු වුණා. බොහෝ දෙනාගේ ඉල්ලීම වුණේ තවත් කෘතියක් රචනා කරන ලෙසයි. නමුත් ඒක සිදු වුණේ නැහැ. මොකද මම ලියන්න තරමක් කම්මැලියි.

මේ ගැන කනගාටුදායක කතාවකුත් තියෙනවා. එළිදැක් වූ දා පටන් මේ පොතේ හොඳ අලෙවියක් තිබුණා. ඒ කාලයේ මේ කෘතියේ කවරය ඉතාම ආකර්ෂණීය එකක් වුණා. මගේම යහළුවෙක් මේ කවරයම යොදා ගෙන ඔහුගේ පොතක් එළිදැක්වූවා. මම ඒකට මොකුත් කිව්වෙත් නැහැ. හැබැයි ගෙදර අය නම් ගොඩක් දුක් වුණා. “කලාකාරයෝ වුණාම එකම අදහස් එනවනේ” කියලා ඔහුම දවසක් මට කතා කරලා කිව්වා. මම කිව්වේ ඔව්” කියලා විතරයි.

ටෙලි නිර්මාණ රූප මාධ්‍යයට නැඟීම පිළිබඳ ඔබේ අදහස?

නවකතාවකින් සාර්ථක ටෙලි නිර්මාණයක් කරන්න පුළුවන්. නමුත් නවකතාවටම ඇබ්බැහි වෙලා ඒ නිර්මාණය කරන්න අපහසුයි. ටෙලි නිර්මාණයකට හෝ සිනමා නිර්මාණයකට අවශ්‍ය ආකාරයට එහි යම් යම් වෙනස්කම් සිදුකළ යුතුයි. නමුත් වර්තමානයේ මේ ආකාරයේ සාර්ථක නිර්මාණ බිහිවෙන ආකාරය නම් දකින්න ලැබෙන්නේ නැති තරම්.

වර්තමානයේ සමාජ ප්‍රවණතාව සමඟ නවකතාවේ ස්වරූපය ඔබ දකින්නේ කෙසේද?

ඇත්තටම මේ කාරණාව ගත්තොත් එහි දෙපැත්තක් තියෙනවා. ජනප්‍රිය නවකතා රැල්ලක් සහ සාර්ථක නවකතා කියා. මෑත කාලයේ තරුණ පරම්පරාවෙන් ඉතා සාර්ථක නිර්මාණකරුවන් ඉදිරියට පැමිණ සිටිනවා. නමුත් සම්මාන ලැබූ පමණින්ම ඇතැම් කෘති සාර්ථක කෘති වෙන්නේ නැහැ. අතීතයේ නවකතාවකට සම්මානයක් හිමි වුණාම හැමෝම ඒ කෘතිය අරගෙන බලන තත්ත්වයක් තිබුණා. නමුත් අද එහෙම නැහැ. සම්මාන ලැබුණත් අද ඇතැම් කෘති කියවන්න බැරි තරමේ ඒවා. ඒ වගේම බොහොමයක් කෘති එකිනෙකට සමාන කමක් දකින්න ලැබෙන අවස්ථාත් සුලබයි. ප්‍රවීණයන් පවා මේ රැල්ලට අහු වෙලා.

වර්තමානයේදී නවකතා වෙනුවෙන් වස්තු බීජ රැසක් සමාජයේ දකින්න පුළුවන්. එහිදී කතාකරුවෙකු විසින් කළ යුතු දේ විශාලයි. නමුත් කළ යුතු ප්‍රමාණයට කටයුතු කරන බවක් නම් පෙනෙන්න නැහැ. ඔවුන් මවන්නේ වෙන වෙන ලෝක. හොඳ වස්තු බීජයක් හරහා සමාජයට වැදගත් දේ ලබාදීම ලේඛකයකු සතු වගකීමක්.

තරුණ පරම්පරාව නවකතාව සමඟ සබැඳියාව ඔබ දකින්නේ?

පරිහරණය දෙස බැලුවොත්, එය ඉතා සාර්ථක බව මගේ අදහසයි. තරුණ පරම්පරවේ කොටසක් ජනප්‍රිය නවකතා රැල්ලට හසු වෙලා. නමුත් අනිත් පිරිස ගැන නම් සුබවාදි ආකල්පයක් තියා ගන්න පුළුවන්. ඔවුන් හොඳ පොත් පත් පරිශීලනය කරනවා වගේම සාර්ථක කෘති නිර්මාණයේ නිරතව සිටිනවා.

වර්තමානයේ බොහෝ දෙනා රූපවාහිනියට ඇලී ගැලී සිටිනවා. මේ තත්ත්වය කෘති පරිශීලනයට කුමන හෝ බලපෑමක් කරනවාද?

ඇත්තටම අද වනවිට පොත් කියවන අය අඩුයි. බොහෝ දෙනෙක් වැඩි කාලයක් ගත කරන්නේ රූපවාහිනිය ඉදිරිපිට. රූපවාහිනිය ආකර්ෂණීය මාධ්‍යයක් වීම එයට හේතුවයි. ඒ වගේම පොත පත අද පාසලෙනුත් ඈත් වෙලා. අද දරුවන් පවා පරිහරණය කරනට පුරුදුවී සිටින්නේ විෂය නිර්දේශයට අදාළ පොත් පමණයි. බාහිර පත පොත පරිශීලනයෙන් ඔවුන් ඈත් වෙලා. නමුත් අපි ඒ කාලයේ ඕනෑ තරම් පොත් පරිශීලනය කළා. ඇත්තටම ඒ කාලයේ රූපවාහිනිය තිබුණෙත් නැහැ. ඒ නිසාම වෙන්න ඇති අපි පොතේම ඇලිලා හිටියා. අද ළමුන්ට රූපවාහිනිය විතරක් නොවෙයි, පරිගණක, ලැප්ටොප්, ජංගම දුරකථන ආදි නොයෙකුත් දේ තියෙනවා. ඔවුන් නවීන තාක්ෂණයට යොමු වෙලා. ඒ නිසා මගේ හැඟීම නම්, නවීන ආකර්ෂණීය මාධ්‍ය සමඟින් පොත වර්තමානයේ දී තරමක් දුරට ගිළිහිලා ඇති බවයි.

නමුත් සැප්තැම්බර් මාසයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අතුරු සිදුරු නැතුව ජනතාවගෙන් පිරී පවතිනවා නේද?

දිගු පෝළිම්, මලු ගණන් පොත් රැගෙන යන වැඩිහිටියන් වගේම ළමයින් අපට දකින්න පුළුවන්. මේ අතරේ පොත් කියවන අය වගේම පොත් නොකියවන අයත් ඉන්නවා. ඇතැම් අය පොත් මලු ගණන් රැගෙන ගියත් කියවන්නේ නැතුව ඇති කියලත් හිතෙනවා. සමහරු පොත් ගන්නේ ඒ පොත්වල තියෙන ආකර්ෂණය නිසයි. මට නම් සැකයි. මේ සෙනඟ දැක්කම් පොත් කොච්චර නම් විකිණිය යුතුද? ඒ වුණත් පොත් දාහක් විකුණා ගන්න එක අද හරි අමාරු දෙයක්. ඒ වෙනුවෙන් පුදුම සටනක් දෙන්න ඕනි. මේ සෙනඟ දැක්කම ඒ ගැන ඇති වෙන්නේ කුතුහලයක්.

සම්මාන උලෙළ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒ ගැන තියෙන ගැටලුව නම් එහි විනිශ්චය මණ්ඩලය යි. මොකද මේ විනිශ්චය මණ්ඩලවල හැමදාම සිටින්නේ එකම පිරිසක්. ඇතැම් වෙලාවට ඉතාම හොඳ කෘති ඔවුන්ගෙන් මඟ හැරෙනවා කියලා හිතෙනවා. ඇතැම් සම්මාන උලෙළවල තීරණ මට පිළිගන්න අපහසුයි. සාහිත්‍ය සම්මාන උලෙළ විතරක් නොවයි අනෙක් කලා ක්ෂේත්‍රවලත් දකින්න තියෙන්නේ මේ තත්ත්වයම තමයි.

මේ දිනවල සිදුකෙරෙන ඔබගේ අලුත්ම නිර්මාණ කටයුතු?

පසුගිය කාලයේ අසනීප වෙලා සිටියදී මම ගීත රචනාවක් කළා. ඒක ආදර ගීතයක්. රංගන ශිල්පී කුමාර තිරිමාදුර ළඟදී මා බලන්න පැමිණියා. “දැන් ඉතිං අසනීප වෙලා මානසිකවත් වැටිලානේ ඇත්තේ. ඔන්න මම බෙහෙතක් අරගෙන ආවා” කියලා අර ගීත මට අහන්න සැලැස්සුවා. ඇත්තටම මගේ හිතට ලොකු සතුටක් සහනයක් දැණුනා. නවකතා නම් කිහිපයක්ම රචනා කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ හැම එකක්ම ටික ටික ලියලා අතරමඟ නැවතිලා. මේ දිනවල “ෆීනික්ස් කුරුල්ලා” නමින් කවි එකතුවක් වෙනුවෙන් කවි රචනා කරනවා. මම නැවතත් නැඟිටිනවා කියන අදහසින් තමයි මේ කවි එකතුව රචනා කරන්නේ. ෆීනික්ස් කුරුල්ලාත් අළුමතින් නැඟිටිනවා වගේ මමත් අසනීප තත්ත්වයෙන් පසුව මේ කවි එකතුව සමඟින් නැවතත් නැගිටිනවා. ඇත්තටම කවිය නවකතාවකටත් වඩා බරපතළ වෙන අවස්ථා තියෙනවා.