වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ සිනමාව රෝපණය කළ යුත්තේ මේ පොළවේ

මගේ සිනමාව රෝපණය කළ යුත්තේ මේ පොළවේ

ගරිල්ලා සිනමාකරු සංජීව පුෂ්ප කුමාර සමඟ සුහද කතාබහක්

ත්‍රිකුණාමලේ ඉස්කෝලෙ යන කොට මගේ හිතේ අදහස් එළියට දාන්න හොඳම තැනැත්තා හැටියට මා දුටුවේ රූපවාහිනි නිවේදකයකු වීමයි. සිනමාකරුවෙකු වෙන්න මට උනන්දුුවක් තිබුණේ නැහැ. කොහොමටත් ඒ කාලයේ එහෙම සිහිනයක් මට ලොකු වැඩියි. ඒ දවස්වලම සිදත් වෙත්තමුණි මහත්තයාගේ මාර්ගයෙන් හඳුනා ගන්නා චන්ද්‍රශාන් පෙරේරා මහත්තයා නිසා මට දැන්වීම් සමාගමක රස්සාවක් ලැබුණා. එයින් පසු මට දැනෙනවා, මා සිතුවාට වඩා මගේ ලෝකය පුළුල් වෙන වගක්. ඒ අතර පුවත්පත් කලාවේදීන් වන සමන් ශ්‍රී ලියානගේ, ජයසිරි ජයසේකර හිතවතුන් නිසා මා පුවත්පත්වලට ලියන්න පටන් ගන්නවා. ජැක්සන් ඇන්තනි මහත්තයා මාව සවන රේඩියෝවට එකතු කර ගන්නවා. බණ්ඩාර ඇහැලියගොඩ මහත්තයාගේ හැඳුනුම්කම මත රූපවාහිනියට ගියාම පාලිත විජේසිංහ මහත්තයා දිරියක වරුණ වැඩසටහනේ නිවේදන කටයුතු මට බාර දෙනවා.

ඒ අතර වාරයේ හමු වන මනුබන්දු විද්‍යාපති හිතවතා කොළඹ තියෙන විවිධ සංස්කෘතික වැඩ කටයුතුවලට මා දායක කර ගන්නවා. මට ඔහු පුළුල් දැනුමක් ලබා දෙනවා. ප්‍රංශ සංස්කෘතික මධ්‍යස්ථානය. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානය, බ්‍රිතාන්‍ය කවුන්සලය, අමෙරිකානු මධ්‍යස්ථානයේ තිබෙන විවිධ චිත්‍රපට දැක්මවලට මා සහභාගි වන්නේ ඒ හරහා. චිත්‍රපට සංස්ථාවේ ඩිප්ලෝමාවට මා ඇතුළත් වන්නේත් එයින් පස්සේ. එය මෙහෙය වූවේ ආචාර්ය ටියුඩර් වීරසිංහ. මම හොඳම ශිෂ්‍යයා වෙනවා. මට කොරියාවට ශිෂ්‍යත්වයක් ලැබෙනවා. මෙනවා වුණත් සංස්ථාවේ හිටපු වැදගත් මහත්වරු කිහිප දෙනෙක් නිසා මට යන්නට ලැබෙනවා.

ඔහු පවසන්නේ තමා ආ දුෂ්කර ගමන ගැනය. අපේ කතාබහට බාධා කරමින් මහා හඬක් නඟාගෙන දුම්රියක් ඇදෙයි. එය අපට නොපෙනේ. මට සිහිපත් වනුයේ ඉංග්මාර් බර්ග්මාන්ගේ සයිලන්ස් චිත්‍රපටයයි. නොපෙනෙන දුම්රියක හඬ ද ආලෝකය ද එහි රූපය අප ඉදිරියේ මවනු ලබති. මගේ හමුව සංජීව පුෂ්පකුමාර සමඟය. තවමත් මෙරට නොහඳුනන එහෙත් අපට පෙරාතුව ලෝකය හඳුනා ගත් තරුණ සිනමාකරුවෙකි. ඔහුගේ මුල්ම නිර්මාණය තිරගත වන්නට පෙර මහත් ආන්දෝලනයට ලක් වුණු ඉගිළෙන මාළුවෝය. දෙවැන්න වැඩ නිම කළ දැවෙන විහඟුන්ය. මේ ආ ගිය කතාබහ ඒ නිමිිති කොටගෙනය.

සාමාන්‍යයෙන් අපේ රටේ සිනමාව හදාරන්නට බොහෝ දෙනා යන්නේ ඉන්දියාවටය. නැතිනම් ප්‍රංශය, එංගලන්තය හෝ අමෙරිකාවටය. සිනමාව හදාරන්නට කොරියාවට ගිය මුල්ම ලාංකිකයා සංජීව පුෂ්පකුමාර විය යුතුය.

මුලින්ම කුංජුං නගරයේ තරුණ සිනමා වැඩමුළුවකට සහභාගි වෙද්දී මට තේරුණා සිනමාව ඉගෙන ගන්නට හොඳම රට කොරියාව කියලා.

ඇයි ඒ,

වැදගත්ම දේ අමෙරිකාව, ඉන්දියාව වගේ ලෝකයේ ජාතික සිනමාවක් තිබෙන දැවැන්ත රාජ්‍යයක් වීම. සිනමා සංස්කෘතිය ඉතා හොඳින් ගොඩනංවලා තියෙනවා. තරුණ කොරියානුවන්ගේ දිනපතා තිබෙන්නේ කන්නේ මොනවාද? ඩ්‍රින්ක් එකක් දාමු? චිිත්‍රපටයක් බලමු කියන න්‍යාය.

ටෙලිවිෂන් තාක්ෂණය එපමණ තිබියදී?

ඒක කිසිසේත් ප්‍රශ්නයක් නොිවේ. ඒකට හේතුව ඔවුන් සිනමා සංස්කෘතියක් පාසල් අවධියේ සිටම ඇති කරලා තියෙන නිසා. ඒ විතරක් නොවේ. ජීවිතයේ කලාව යනු ඓන්ද්‍රීය අංගයක් ලෙස සලකන නිසා. ජීවත්වන්නට අවශ්‍ය ආහාර පමණක් නොව කලාව ඇසුරු කළ යුතු යැයි යන තත්ත්වය ඇති කරලා නිසා. එය සිනමාවට පමණක් පොදු නොවෙයි. විවිධ සංගීත ආරයන්, චිත්‍ර, නාට්‍ය මේ සියලු දේ ජීවිතය සමඟ බද්ධ වන කාරණාවන්.

කොරියාව කියන්නේ ගෘහස්ථ තාක්ෂණය ඉතාම දියුණු රටක්?

ඔව්. ඒ වුණාට ගෙදර කරන්නට බැරි දේවල් සිනමා ශාලාවල තිබෙනවා. ලෝකය දියුණු වෙද්දී 4ම් සිනමා ශාලා තියෙද්දී අපි තවම 2ම් ශාලා ගැන යෝජනා කරද්දී කොරියාව දියුණු කරන්නේ ගෙදරට එන්න බැරි තාක්ෂණය අරගෙන.

හොඳයි සිනමා වැඩ මුළුවෙන් පස්සේ?

ඊට පස්සේ මට කොරියානු රජයේ ශිෂ්‍යත්වයක් ලැබුණා අවුරුදු 3 ක් උපාධිය හදාරන්න. ඒ අනුව මම සිනමාව හදාරන්න පටන් ගත්තා චුං ආන් විශ්ව විද්‍යාලයේ. එය සිනමාව සම්බන්ධ විශාලම විද්‍යාලයක්.

උපාධියට පෙර ඔබ කෙටි චිත්‍රපටයක් මෙරටදී තැනුවා?

ටච්, වින්ග්ස් ටු ෆ්ලයි චිත්‍රපටය.

කොරියානු සිනමා උපාධියේදී ඔබ ලබා ගත් ප්‍රධාන දේ කොයි වගේද?

ලොකුම දේ තමා ආත්ම විශ්වාසය. කොහොමද අතේ ඇති මුදලින් තමාගේ සිනමා නිර්මාණය කරන්නේ කියන කාරණාව. කොරියානුවෙක් උදේ 10.00 ට ගෙදරින් ගියාම හැන්දෑ වනතුරු චිත්‍රපට බලන්න ශිෂ්‍යයන් හැටියට අඩු මුදලට විශේෂ ප්‍රවේශපත් තිබෙනවා. එය සිනමාව හදාරන්නට හොඳ අවස්ථාවක්. ස්වාධීන සිනමාකරුවකු හැටියට නැතිනම් ගරිල්ලා සිනමාකරුවකු හැටියට පවතින ආකාරය ඉගෙන ගත්තා.

සිනමා සංස්කෘතියේදී මේ අඩු මිල ප්‍රවේශ පත්‍රය ඉතා වැදගත්?

ඔව්, කොරියාව ඒක පුද්ගල ආදායම ඉහළ රටක් වුණත් ශිෂ්‍යයන්ට චිත්‍රපට නරඹන්නට පහසුකම් සලසන්නේ ඒ විදිහට. චිත්‍රපට ජීවිතයේ කොටසක් වන්නේ ඒ වගේ කාරණා නිසයි.

ඔබ ඉඟිළෙන මාළුවෝ තනන්නේ ඉගෙන ගන්න කාලේදී?

ඒ මට ජීවිතේ කියා ගන්න තිබුණ දෙයක්. අවුරුදු ගණනාවක් ඒ මගේ කතාව කියන්නට මගේ අත්දැකීම් හෙළි කරන්නට මම වෙහෙස වුණා. හැම සිනමාකරුවකුම මුලින්ම කරන්නේ තමන්ට දැනුණ දේ එළි කරන එක. මම ඒ පුවතත් එක්ක 2007 විතර ඉඳන් කටයුතු කළා.

කොරියාවේ ඉගෙන නොගෙන ඉඟිළෙන මාළුවෝ තැනුවා නම්?

එහෙනම් ෂුවර් එකට ටෙලි නාට්‍යයක් වගේ වෙයි.

කොහොමද එහි රූ ගැන් වුණේ?

මම හිතන්නේ එහෙම චිත්‍රපටයක් කවදාවත් කරලා තිබෙනවාද දන්නේ නැහැ. චිත්‍රපටයට සම්බන්ධ හැමෝගෙන්ම පුදුම සහායක් ලැබුණා. විශ්වාස කරනවාද, කෞශල්‍යා ප්‍රනාන්දුලා, සම්පත් ජයවීරලා, ගයේෂා පෙරේරලා රෑ බස් එකේ නැත්නම් කෝච්චියේ නැගලා, ත්‍රිකුණාමලේ ෂූටිංවලට ආවා කියලා. මට විශාල මුදල් තිබුණේ නැහැ ගෙවන්න. ඔවුන් ඒ කැපවීම කළා. මගේ කැමරා ශිල්පි විශ්වජිත් කරුණාරත්න මගෙන් සල්ලි ගත්තේ නැහැ. රූගත කරන අතරතුර මම ජීවත් වුණේ ඔහුගේ මුදලින්. කලා අධ්‍යක්ෂවරයා ඔහුගේ කණ්ඩායම අරන් ආවා නොමිළයේ.

එහෙම වුණේ?

වියදම් කරන්න තිබුණේ ලක්ෂ 25 යි. මේ මුළු කණ්ඩායමම චිත්‍රපටයට මුළු හදවතත්, ආත්මයත් දෙකම පූජා කරමින් කටයුතු කළා. එකම දේ මම හොඳ දෙයක් කරාවිය යන විශ්වාසය ඔවුන් තුළ තිබුණා. මට බලපෑම් ඇති වුණේ ඇතැම් දේශපාලන බලධාරීන්ගෙන්.

චිත්‍රපටය හදද්දිත්?

ඔව්. දුරකථන පණිවිඩ ආවා. ඒ සියල්ල මට පාලනය කරන්න පුළුවන් වුණේ කණ්ඩායම මා විශ්වාස කළ නිසායි.

චිත්‍රපටය ජාත්‍යන්තර කීර්තියට පත් වෙනවා?

ඔව්. මුලින්ම රොටර්ඩෑම් සිනමා උලෙළේ. එහි දර්ශන වාර හතරක් පැවැත්වූවා. එයටත් පසුව ලොව ජාත්‍යන්තර සිනමා උත්සව රාශියක තිරගත වෙමින් කීර්තියට පත් වුණා. ජාත්‍යන්තර සිනමා විචාරකයන් එය අගයනවා.

එහෙත් ‘ඉගිළෙන මාළුවෝ’ හිටි අඩියේ ලංකවේ තහනම් කළා?

ඔව්. ඒක මේ රටේ පාලනයේ දුර්වලකමක්. කොටින්ම චිත්‍රපටය තහනම් කරලා දවස් තුනක් යනතුරු රජයවත් දන්නේ නැහැ.

ඒ කොහොමද වුණේ?

ඇත්තටම චිත්‍රපටය තහනම් වුණේ තුන් දෙනෙකුගේ අවශ්‍යතාවයට. එක් කෙනෙක් එවකට ජනාධිපති උපදේශකවරයෙක්. දෙවැන්නා ආරක්ෂක මාධ්‍ය අංශයේ ලොක්කෙක්. තුන්වැන්නා රජයේ ටෙලිවිෂන් නාළිකාවක ලොක්කෙක්. ඒ අය තමයි මුලින් මේ තීන්දුව අරගෙන තිබුණේ.

මේක හරියට විස්තර කළොතේ?

චිත්‍රපටය ගැන ආරක්ෂක අංශ මාධ්‍ය නිලධාරියාගෙන් ඒ ගැන විමසුවා. ඔහු නරඹා තිබුණේ නැහැ. ජනාධිපති උපදේශකට මම කතා කළා. ඔහු මට පැවසුවේ චිත්‍රපට උලෙළකදී එය නැරඹුවා. එය අපේ සංස්කෘතියට ගැළපුණේ නැහැ. ඔහුට බලන් ඉන්න බෑ කියලා කිව්වා. ඒ පාර මාධ්‍ය ලොක්කා පැවසුවා මම නම් බැලුවේ නැහැ, හැබැයි උපදේශකතුමා පැවසුවා කියලා. හැබැයි ඔහු මගෙන් ප්‍රශ්න කළා ඇයි ඔබ හමුදාවට අපහාස කළේ කියලා. මම ඇහැව්වා ඔබතුමා එය නැරඹුවාද කියලා. ඔහුගේ උත්තරය බැලුවේ නැහැ යන්නයි. අන්තිමට එයා කිව්වා, මෙයා කිව්ව හින්දා චිත්‍රපටය තහනම් කළා කියලා.

ඒ වෙන විට රැඟුම් පාලක මණ්ඩලය චිත්‍රපටය අනුමත කරලාද?

මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා තිබුණේ නැහැ. හැබැයි එම උලෙළ සඳහා තිරගත කිරීමට රැඟුම් පාලක මණ්ඩලය අනුමැතිය දුන්නා.

ඔබ ඒ වන විට ලංකාවේද?

නැහැ. මම කොරියාවේ. මම අවසන් උපාධියට සූදානමින් සිටියේ. මට වසරකට නිවාඩු තිබුණේ දවස් 30 යි. ඒ අතරේ චිත්‍රපටය ජාත්‍යන්තර උත්සවවලට ගෙන යාම, අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු සැකසීම ආදිය තිබුණා.

මොන වගේ හැඟීමක් ද ඔබට ඇති වුණේ?

මට දුකක් ඇති වුණා. විශේෂයෙන් චිත්‍රපටයට දායක වුණ පිරිස ගැන. මොකද ඔවුන් දායක වුණේ මගේ නිර්මාණයකට. අනිත් කරුණ චිත්‍රපටයකට බය රටකද අපි චිත්‍රපට හදන්නේ කියලා මහ කනගාටුවක් ඇති වුණා.

චිත්‍රපටයකට බය කිව්වේ?

මම හිතන්නේ චිත්‍රපටයකට පුද්ගල බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි පොදු සමාජයකට කරන්න පුළුවන් බලපෑම ටිකයි. දැන් ඔබ නැතුව ඔබ එක්ක, බොර දිය පොකුණ වගේ චිත්‍රපට පෙන්වූවා. පොදු සමාජයට එයින් බලපෑමක් කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. හැබැයි එක් එක් මිනිසකුට තනි තනිව සිනමාවට බලපෑම් කරන්න පුළුවන්.

ඔබේ පවුලේ අයගේ ප්‍රතිචාරය කොයි වගේද?

මගේ අම්මා සහෝදර සහෝදරියෝ මේ ඔක්කොම ත්‍රිකුණාමලයේ. ඔවුන් හරි පීඩා වින්දා. මගේ ගමේ අය පවා හිතුවේ මට එල්. ටී. ටී. ඊ. එකෙන් සල්ලි ලැබුණා කියලා. ඔබ දන්නවාද පසුගියදා දවසක මං ජීවිතේ මුල් වතාවට පොලීසියට ගියා.

හේතුව?

ගමේ පැරැණි ප්‍රාදේශීය දේශපාලන හිතවතෙක් මගෙන් ඇහුවා මල්ලී උඹට කොච්චර හම්බ වුණාද කියලා. මට බයට ඇඬුණා. ඒ චිත්‍රපටය හදපු හැටි දන්නේ මමනෙ.

ඒ හේතුව නිසා චිත්‍රපටයට ජාත්‍යන්තර වාසියක් වුණේ නැද්ද?

ඒ වන විට එය ලෝකයට ගිහින් ඉවරයි. මට මතකයි රටේ අප පිළිගත් සිනමාකරුවකු කියා සිටියේ එයට නිව්යෝක් ටයිම්ස් හා වෝල් ස්ට්‍රිට් සඟරාවේ විචාරයක් පළ වුණා කියා. ඒ විචාරය පළ වුණේ එයට කලින්.

මේ තර්ජනය ආශිර්වාදයක් වුණේ නැද්ද?

මට දේශපාලන රැකවරණ ලබන්න පහසුවෙන් ඉඩ තිබුණා. ප්‍රංශයේ හා එංගලන්තයේ සමහරු මට ආරාධනා කළා. ඒත් මගේ අභිලාෂය වුණේ සිනමාකරුවකු වීම. මගේ විශ්වාසය මා උපන් භූමියේ චිත්‍රපට කළ යුතුයි යන්නයි. මට වෙන රටක මගේ සිනමාව රෝපණය කරන්න බැහැ. පුදුමේ කියන්නේ සමහර මහා ලොකු වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් මට පැවසුවේ මල්ලි ඔන්න චාන්ස් එක. රට පලයං කියලා.

මගේ අලුත් චිත්‍රපටයටත් මේ ප්‍රශ්න ඇති වුණා.

ඉතා මෑතක? ඒ කියන්නේ දැවෙන විහඟුන් හදද්දී?

ඔව්. රූ ගත කරන්න සැලසුම් කරලා දවස් දෙකකට කලින් මට සී. අයි. ඩී එකෙන් කතා කළා. මට යන්න විදියක් නෑ. මගේ සැලසුම් අවුල් වෙනවා. මම පස්සේ විස්තරේ කිව්වා. ඔවුන් එය පිළිගත්තා. ඒ කාගේදෝ පණිවුඩයක් අනුවයි ඔවුන් මට කතා කර තිබුණේ.

අපි දැවෙන විහඟුන් ගැන කතා කරමු?

මේ චිත්‍රපටයේ තිර නාටකය සමඟ මම වසර ගණනාවක් කතා කළා. මේ චිත්‍රපටය තනන්නට ආධාර කළේ කාන් උලෙළ සිනමා පදනම. ඔවුන් ලෝකයේ තරුණ අධ්‍යක්ෂවරුන් 12 දෙනෙකු වසරකට තෝරා ගන්නවා. ජෙරුසලමේදී මං මගේ නිෂ්පාදක සමඟ තිර නාටක උපදේශක සමඟ දැවෙන විහඟුන් කටයුතු කළා. මේ චිත්‍රපට තුන් ඈදුතු මාලාවක්. පළමුවැන්න ඉඟිළෙන මාළුවෝ, දෙවැන්න දැවෙන විහඟුන්. තුන්වැන්න මොනර විලාපය.

ඔබ හැම විටම රූගත කරන්නේ ත්‍රිකුණාමලයේ. ඔබ කර්කශ පොළවට ඉතා කැමති බවයි පේන්නේ?

ඔව්. ඒ මං උපන් පළාත. මම දන්න සිදුවීම්. මට දැනෙන දේවල්. ඒ සියල්ල එකතු වුණේ එහිදී.

තවත් දුම්රියක් මහ පොළව දෙදරා යයි. වැහිබර අහස් තලය අපේ සිතුවිලිවලට හරස් කපයි. දැනට මෙලෙස සංවාදය අපි නිම කළෙමු. ඉඟිළෙන මාළුවෝ ළඟදී අපේ ප්‍රේක්ෂකයන් අතරට එන බව මෙහි මම සඳහන් කරමි.