වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




මගදිගට රස කතා

ප්‍රසන්නගේ සෙටින්ග්ස් මාරු වෙලා

ප්‍රසන්න විතානගේ නම් වූ අධ්‍යක්ෂවරයා ගැන අමුතුවෙන් සඳහන් කරන්න ඕනැ නැහැනෙ. එයා හදපු සෑම චිත්‍රපටයක්ම සම්මානයට පාත්‍ර වුණේ ඔහු තුළ ඇති සුවිශේෂි නිර්මාණාත්මක හැකියාව නිසයි. ප්‍රසන්නගේ චිත්‍රපටවල විශේෂයක් තියෙනවා. ඒ නළු නිළියන්ගේ දෙබස්වලින් ගත්ත රංගනයට වැඩිය ඔවුනගේ ඉරියව්වලින් කරන හැඟීම් ප්‍රකාශනයට මුල් තැන දීම. කෙටියෙන්ම කිව්වොත් ප්‍රසන්න තම සිනමාපටවල සිනමාත්මක රූපවලට තමයි මූලිකත්වය දෙන්නේ. ඔන්න මේ ප්‍රසන්නට හරි වැඩක් වෙලා. හරි වැඩක් කිව්වට මේක ඔහුට සිදු වෙච්ච අකරතැබ්බයක්. වැඩේ කියන්නේ ප්‍රසන්න වගේ අති දක්ෂයකුටවත් මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න බැරි වීම. ඔන්න ප්‍රසන්න ගිහිල්ලා කොළඹ අන්තර් ජාතික සිනමා උළෙලේ මාධ්‍ය හමුවට. මෙහිදී එතන සභාවේ ඉන්න කොට ප්‍රසන්නගේ ෆෝන් එක අතට ගත්තලු. මෙන්න බොලේ ඒකේ අමුතු භාෂාවක් පෙන්වනවා. හරියට ජපන් වගේ. ඒ අස්සේ මේකට ඇමතුම් එහෙමත් එනවා. කෙටි පණිවුඩත් එනවා. ඒවා ඔක්කොම වැටෙන්නේ ජපන් භාෂාවෙන්. දැන් හරි වැඩේ. ප්‍රසන්නට සෙටින්ග්ස් ගිහිල්ලා භාෂාව වෙනස් කර ගන්නවත් බැහැ. මොකද සෙටින්ග්ස් යන්නත් භාෂාව දන්නේ නැහැනේ. ප්‍රසන්න ෆෝන් එක දුන්නා ළඟ හිටපු ලාල් හවීන්ද්‍රනාත්ට. එයාටත් වැඩේ බැහැ. මොකද කරන්නේ දැන් හරි අවුල. ප්‍රසන්නට පිහිට වුණා සිනමාවට කොහෙත්ම සම්බන්ධ නැති කෙනෙක්. මෙයා ප්‍රසන්නට තියෙනවා වගේම ෆෝන් එකක් හොයාගෙන ඒකෙන් සෙටින්ග්ස් හොයාගෙන යන්තම් භාෂාව වෙනස් කළා. එතකොට තමයිලු ප්‍රසන්නගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

මායා කැනඩාවට ගිහිල්ලා

ඔන්න දවසක් මහ රෑ ජාමෙ අපිට කෙනෙක් කතා කළා. මෙයා දැන් තමන්ගේ විස්තර කියනවා ඉවරයක් නැහැ. ඉන්නෙ කැනඩාවෙලු. එහෙ ෂෝස්වලට යනවා කියලත් කියනවා. මේ තැනැත්තිය වෙන කවුරුවත් නෙවෙයි අපේ මායා දමයන්ති. ඇය තමන්ගේ දියණි ගාවලු මේ දිනවල කල් ගෙවන්නේ. දියණි ඉන්නේ කැනඩාවෙනෙ. දැන් මේ මායා එහෙට වෙලා විවේකයෙන් කාලය ගත කරනවලු.

හා හා ඔහොම යං

මේධා ජයරත්නව මතකයි නේද? අන්න එයා කාලයක් හිටියේ විදෙස් ගත වෙලා. වෙලාවකට හිතුණා මෙයාට ලංකාව අමතක වෙලාවත් ද කියලා. කාලයක් මේධා පුංචි තිරය ආක්‍රමණය කරගෙන හිටියා. ඒ නිවේදිකාවක් විදිහට. පසුව ඇය රංගනයටත් එකතු වුණා. ඇගේ සැමියා තමයි අංගානි, අනවරථ වගේ නාට්‍ය අධ්‍යක්ෂණය කළ සුරංග ලක්මාල් සෙනෙවිරත්න. ඔහුගේ නිර්මාණවලත් මේධා රඟපෑවා. ඔන්න ලංකාවට ඇවිත් මේධා යළිත් වැඩ පටන් අරගෙනලු. රූපවාහිනී වැඩ සටහනක් දෙකක් නිවේදනය කරන්න පටන් ගත්තු මේධා රංගන ගමනත් ආරම්භ කරලා. හිරු නාළිකාවේ විකාශය වන වස්සානෙ ප්‍රේමය ටෙලි සිතුවමේ මේධා උප ප්‍රධාන චරිතයක් මවනවා. ඒ වගේම සුරංගත් තවත් අලුත් නිර්මාණයකට මේ දිනවල සූදානම් වෙනවලු. ඒකේ නම කොළඹ අපි ආවා. සුරංග හා හා පුරා කියලා පළමුවෙන්ම තම අලුත්ම නිර්මාණයේ නම සනිටුහන් කළේ අපේ සරසවිය පුවත්පතේ. ඒකෙත් ප්‍රධාන චරිතය මවන්නේ මේධාලු. යසයි වැඩේ නේද. ඉස්සර නිවේදනයට පෙම් බැඳි මේධා අද වන විට රංගන ශිල්පිනියක් වන්නට පෙරුම් පුරනවලු. හා හා ඔහොම යමුකො මේධා.

අනේ මෙහෙමත් නිළියක්

අපේ සරසවිය පුවත්පතේ පළ වෙනවනේ FB කියලා ලිපියක්. අපි ඒකට එකතු කර ගන්නේ ක්ෂේත්‍රයට එකතු වුණු අලුත් නිළියන්. මෙන්න මේ විශේෂාංගයට සුදුසුයි කියලා හිතෙන නිළියකට අපි කතා කළා. එයා මේ දිනවල ජනප්‍රිය නාළිකාවක ජනප්‍රිය ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය මවන්නියක්. ඇයට එම චරිතය ලැබුණේ කලින් එම චරිතය කළ නිළිය හදිසි හේතුවක් මත නාට්‍යයෙන් ඉවත් වීම නිසා කසඹ මලක් සහිත නමක් තිබෙන. අනික ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ අපිත් එක්ක හිතවත්. ඒ හිතවත්කමටයි වැඩිපුරම අපි අර නිළියට FB පිටුවට කතා කළේ. මෙන්න මෙයා ඔක්කොම විස්තර අහගෙන අපෙන් අහපි ෆොටෝ ෂූට් එක කරන්නේ කොහෙද කියලා. සරසවියේ ස්ටුඩියෝ එකේනෙ අපි සියලු දෙනාගේ ෆොටෝස් ගන්නේ. මෙන්න මෙයා ඒක අහගත්තු ගමන් අදි මදි කරනවා ආර්ටිකල් එකට. 'පස්සේ කෝල් කරන්නම්කො අයියා' කියලා දුරකථනය විසංධි කළා. ආයෙ ටිකකින් එයා කතා කරලා මෙහෙම කියනවා.

'අයියා අර මං දුන්නු දිනය මට ෆ්‍රී නැහැ. මං ඩයරිය බලලා නෙවෙයි ඒක කිව්වේ. මට එදාට ෂූට් එකක්. ඔයාට බැරිද ෆොටෝ ග්‍රැෆර්ව මං ඉන්න ලොකේෂන් එකට එවන්න'.

ඔයා ගාවට ෆොටෝ ග්‍රැෆර්ව එවන්න ඔයා මාලිනී ෆොන්සේකා නෙවෙයිනේ. එහෙව් එකේ වෙන දිනයකවත් ඔයා සරසවියට එන්න.

අපි එහෙම කිව්වා.

අනේ එහෙනම් ඔය ආර්ටිකල් එක මට එපා. සොරි.

මාන්නයෙන් පිම්බුණු මහ ලොකු නිළියක් කියාගෙන හිතාන ඉන්න ඒ පරඬැල් නිළිය ගත් කටට කියපි ඒ විදිහට.

ශෂිරංගගෙන් පින්කමක්

රඟපපා විතරක් ඉන්නේ නැතුව මොකක් හරි පුණ්‍ය කටයුත්තක් කළා නම් හොඳයි කියලා නව පරපුරේ රංගන ශිල්පී ශෂිරංග වික්‍රමසේකරට හිතුණලු. එහෙම හිතලා හිතලා අපූරු අදහසක් පහළ කර ගත්තු ශෂිරංග හිතාගත්තලු මෙන්න මෙහෙම වැඩක් කරන්න. දිනක් ඔහු ගිහින් සුදුවැල්ල මහබෝධි විහාරයට. එහි නායක හාමුදුරුවන්ට තම අදහස පැවසුවාලු. හාමුදුරුවොත් ශෂිරංගගේ අදහස ඒකමතිකව සම්මත කළාලු. ඒ විහාරයේ දායක පිරිසට බුදු පිළිම ප්‍රදානය කරන්නයි ශෂිරංග සූදානම් වුණේ. සියලු දෙනාගේ ආශිර්වාදය මැද ශෂිරංග සුදුවැල්ල මහබෝධි විහාරයේ තෝරා ගත් දායක පිරිසකට බුද්ධ ප්‍රතිමා ප්‍රදානය කෙරුවලු. මේ අවස්ථාව සඳහා සුදුවැල්ල මහාබෝධි විහාරයේ නායක ස්වාමීන් වහන්සේ වන කොරියාවේ ප්‍රධාන සංඝ නායක වාචීස්වර හිමියන් ද වැඩම කොට තිබෙනවා.

අපොන්සුගේ ලියුම අපට කියා දුන් කතාව

මේක ටිකක් වෙනස් කතාවක්. වෙනස්ම කිව්වට වෙනසක්ම නැහැ. හැබැයි ඇත්ත කතාවක් මේ කියන්නේ. වදින අයට වදියි. එත් කරන්න දෙයක් නැහැ. අපේ පත්තරේට ආර්ටිකල් දාගන්න එන සමහර කලාකරුවෝ ඉන්නවා නේද? ඒ අය තමන්ගේ ලිපිය පළ කරනකම් ඉන්න දෙන්නේ නැහැ. කෝල් කරනවා, මැසේජ් කරනවා ඉවරයක් නැහැ. සමහරු පුවත්පතේ තමන්ගේ ලිපිය පළ වෙන්නේ කවදා ද කියලා අහන්න කෝල් කරන්නේ මැදියම් රැයේ. එහෙම නැත්නම් මහ පාන්දර. එයාලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ මාධ්‍යවේදියෝ කියන්නේ නිශාචරයෝ කියලා. එහෙම කරදර කරලා කරදර කරලා ලිපිය පළ කරවා ගත්තට පස්සේ සද්ද නැහැ. අඩුම තරමේ තුති පුදලා මැසේජ් එකක්වත් නැහැ. අනේ මන්දා මේ අයට 'ස්තුතියි' කියන වචනය කියන්න කට ඇරෙන්නේ නැද්ද කියලා. හැබැයි ඔය අතරේ ඉන්නවා පත්තරේ තමන්ගේ නම ගියොත් කතා කරලා තුති පුදන අය. ජයසේකර අපෝන්සු උන්නැහෙත් එහෙම කෙනෙක්. මෙයා මේ ළඟදි අපි එයාට කරලා දුන්නු ලිපියට අපට තුති පිදුවේ කෝල් කරලාවත් එස් එම් එස් එවලාවත් නෙවෙයි. අපොන්සු තමන්ගේම අත් අකුරින් ලියපු ලියුමක් අපට එවලයි තුති පිදුවේ. කෝල් එකකින්වත් අඩුම තරමේ මැසේජ් එකකින්වත් ස්තුතියක් නොකරන කලාකරුන් ඉන්න කාලෙ අපොන්සු වගේ ප්‍රවීණයෙක් ලිපියකින් තුති පුදපු එක අගය කරන්නම ඕනෑ. අපොන්සු අයියේ, ඔයාට ජයවේවා . . .