වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබ ඇවිත් පිරෙන්න

ඔබ ඇවිත් පිරෙන්න

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ 2015

පසුගිය වසරේ අපි අපේ සිනමා ඉතිහාසයේ පළමුවරට සැබෑ ජාත්‍යන්තර උලෙළක ආහ්ලාදය විඳ ගත්තෙමු. සිනමා කෘති සියයකට ආසන්න ප්‍රමාණයක් එක පෙළට කොළඹ රිදී තිරවල දිග හැරෙද්දී දහස් ගණන් රසිකයන් ඒ ශාලා ඇතුළතත් පිටතත් තමන්ගේ අසුන වෙනුවෙන් පොරබදන දර්ශනය දැක වික්ෂිප්ත වූයෙමු. අපේ සිනමාවේ අර්බුදය ඇත්තේ සිනමා රසිකයින් වන පොදු ජනතාව අතර නොව සිනමාකරණයේ සහ ඒ ආශ්‍රිත කර්මාන්තය මෙහෙය වෙන ආකාරයේ බව අපි පසක් කර ගත්තෙමු. උදුරා සුනු විසුනු කරනු ලැබ ඇති පොදු මිනිසුන්ගේ සිනමා රසාස්වාදීය උවමනාව ඔසවා තබනු වස් අති මහත් ප්‍රතිිරෝධයන් මැද චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය ගත් උත්සාහයේ සාධණීය බව පිළිබඳ සහතිකය උලෙළට ලැබුණු දිරිගන්වන සුලු ජනතා ප්‍රතිචාරයයි.

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ - දෙවැනි වෙළුම එළඹෙන නොවැම්බර් මස 6 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වෙයි. පසුගිය වසරට වඩා පුළුල්වත්, විධිමත්වත් මෙවර උලෙළ පැවැත්වීමට දැනටමත් කටයුතු සූදානම් කර ඇත.

'ඔබ ඇවිත් පිරෙන්න' මෙවර සිනමා උලෙළේ තේමා පාඨයයි. සැබෑ සිනමා කෘතියක් නැරඹීම තුළ ඔබේ සිත් සතන් රසයෙන් පිරෙයි. ඔබ නුවනින් පුබුදන එය ජීවිතය පිළිබඳ අලුත් අත්දැකීම්වලින්, දැනුමින් පුරවයි. ඔබගේ ජීවිතය සුපුෂ්පිත වීම අවුරන සමාජ දේශපාලනික ප්‍රතිරෝධයන් වටහා ගැනීමට රුකුල් දෙයි. ඔබට ඔබවම එළිදරවු කර ගැනීමට ඉඩ පහදා දෙයි. ඔබව පිරිපුන් මිනිසෙකු කරයි. ඉතින් . . .

ඔබ ඇවිත් පිරෙන්න.

ලෝක සිනමාව පෝෂණය කළ සිනමාපට සියයක් පමණ මෙවරත් විවිධ අංශ ඔස්සේ ප්‍රේක්කෂක ඔබ වෙත ඉදිරිපත් කෙරෙනු ඇති.

නොවැම්බර් 6 - 11 දක්වා සංස්ථා පරිශ්‍රයේදී

ශ්‍රී ලාංකේය චිත්‍රපට කර්මාන්තයේ එදා සිට අද දක්වා ක්‍රමික විකාශනය අන්තර්ගත ප්‍රදර්ශනය, සිනමා සංස්කෘතියට අදලා පොත් පත්, දොරට වැඩුම්, වාර්තා චිත්‍රපට ප්‍රදර්ශනයන්, වේශ නිරූපණ ශිල්පයේ ක්‍රමවේදයන්, කලා අධ්‍යක්ෂණය සම්බන්ධ නිර්මාණ සහ සංගීත සැඳෑවන්.

2015 කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ සමාරම්භක චිත්‍රපටය'

2015 නෙවැම්බර් 06 දින කීර්තිමත් ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ ජැක් ඔඩ්යාඩ් විසින් අධ්‍යක්ෂණය කළ කෑන්ස් උලෙළේ ගෝල්ඩන් පාල්ම් සම්මානයෙන් පිදුම් ලද 'දීපන්'.

උසස් ආසියානු චිත්‍රපට තරඟකාරී අංශයට

මෙම වසරේ සිට ආසියානු තරගය නමින් නව අංශයක් දියත් කිරීමත් සමඟම කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ අද වන විට වඩාත් තරගකාරී චිත්‍රපට උලෙළක් බවට පත් වෙමින් ඇත. ආසියානු කලාපයේ රටවල සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට දහයක් උලෙළේ ප්‍රශස්තම සම්මානය සඳහා තරග වැදීමට ඉදිරිපත්ව ඇත.

ශ්‍රී ලාංකික නව සිනමාවේ විචිත්‍රත්වය

හොඳම චිත්‍රපටය තේරීම NETPAC ජූරිය මඟින්

උලෙළේ දේශීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් 2015 වසරේ සිට 'ශ්‍රී ලාංකික නව සිනමාවේ විචිත්‍රත්වය' නමින් නව තරග අංශයක් හඳුන්වා දී ඇත. NETPAC ජූරිය මඟින් නම් කරනු ලබන වසරේ වඩාත්ම සිනමාත්මක චිත්‍රපටය වෙනුවෙන් 'හෙට දවසේ සිනමා සම්මානය' පිරිනැමෙනු ඇත.

ප්‍රවීන සිනමාකරුවන්ගේ ප්‍රත්‍යාවලෝකනය

ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අදූර් ගෝපාල ක්‍රිෂ්ණන්ගේ සහ සර්බියානු සිනමාවේ මහා පුරුෂයකු වන එමීර් කුස්තුරිකාගේ අද්විතීය සිනමා නිර්මාණ කිහිපයක්ම මෙවර සිනමා උලෙළේ රිදී තිරයේ දිග හැරෙන අතර අදූර් ගෝපාල ක්‍රිෂ්ණන් සිනමාකරුවා උලෙළේදී උපහාරයට ද පාත්‍ර වනු ඇත.

නලෝක සිනමාවේ සම්භාව්‍ය සිනමා පට රැසක්

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට පුළුල් සිනමාත්මක අත්දැකීමක් ලබාදීමේ අරමුණින් විශ්ව කීර්තිධර සිනමාපට 50 කට අධික සංඛ්‍යාවක් ලෝක සිනමා අංශයට අදාළව ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ දී ප්‍රදර්ශනය වීමට නියමිතය. එම චිත්‍රපට අතර ජැක් ඔඩ්යාඩ් අධ්‍යක්ෂණය කළ කෑන්ස් ගෝල්ඩන් Palm  සම්මානය ලත් 'දීපන්' චිත්‍රපටය, ජෆාරි පනායි අධ්‍යක්ෂණය කළ බර්ලින් ගෝල්ඩන් බෙයාර් - සම්මාන ලත් ටැක්සි චිත්‍රපටය, ලෝක ප්‍රකට සිනමාවේදී පීටර් ග්‍රීනාවේ විසින් අධ්‍යක්ෂණය කළ  'Eisenstein in Guanajuato' සහ ඔලිවියර් ආසායස් විසින් අධ්‍යක්ෂණය කළ සයිලස් මාරියා යන චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ඇගයීමට, රසාස්වාදනයට පාත්‍ර වනු නිසැකය.

වාර්තා සහ කෙටි චිත්‍රපට අංශය

කෙටි චිත්‍රපට රීගල් සම්මානය

සමාප්ති උලෙළේ රාත්‍රියේදි කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ ප්‍රධාන සිනමා ශාලා හවුල්කරු වන සිලෝන් තියටර්ස් පුද්. සමාගම ශ්‍රී ලංකාවේ හොඳම කෙටි චිත්‍රපට නිර්මාපකයන් හතර දෙනෙකු තෝරා ඔවුන් සඳහා 'රීගල් සම්මානය' පිරිනැමීමට අවශ්‍ය කටයුතු දැනටමත් සම්පාදනය කර ඇත. මෙහි ජයග්‍රාහකයන්ට ශ්‍රී ලංකවේ පැරණිතම සහ විශාලතම සිනමා ශාලාවක් වන සම්භාව්‍ය රීගල් සිනමා ශාලවේදී තම චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ දුලබ අවස්ථාව ද හිමි වනු ඇත.

ප්‍රංශයෙන් ත්‍යාගයක් -

ප්‍රංශ චිත්‍රපට චිත්‍රපට අංශය

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය විසින් නරඹන්නන්ට පුද කෙරෙනා සිනමාත්මක ත්‍යාගයක් වශයෙන් සුප්‍රකට ප්‍රංශ සිනමාපට රැසක්ම කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේදී දිග හැරෙනු ඇත.

ජපන් සිනමවේ අපූරුව කියන

යොෂිමොටෝ

ඔකිනාවා ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ සමඟ එකමුතුවෙමින් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ මෙරට චිත්‍රපට ලෝලීන් උදෙසා ජපන් සිනමාත්මක රසය ලබා ගත හැකි නව සිනමා මාවතක් නිර්මාණය කර දෙනු ඇත.

ප්‍රධාන වැඩමුළු හතරක්

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ මඟින් ප්‍රධාන වැඩමුළු හතරක් පැවැත්වීමට නියමිත අතර අදාළ ක්ෂේත්‍රයේ ප්‍රකට ප්‍රවීණයෙකු විසින් ඒවා පවත්වනු ඇත.

ඔබගේ චිත්‍රපටය ලොවට ගෙන යන්නේ කෙසේ ද මැයෙන් බොන්ඩ් චිත්‍රපට නිෂ්්පාදක ඡ්ධද හිටපු ප්‍රධානී ඇල්බී ජේමිස්ගේන් විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතය. ඒ බ්‍රිතාන්‍ය කවුන්සලයේ ආරාධනයෙනි.

එමිල් කස්තුරිකා කියවීම සහ චිත්‍රපට දෙස සමීප බැල්මක් - මහාචාර්ය ඩ්‍රාගන් මිලිනොවිෂ් ෆයිමන්.

ප්‍රවීණ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්, නිෂ්පාදකවරයෙක්, නාට්‍ය රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මහාචාර්ය ඩ්‍රාගන් මිලිනොවිෂ් ෆයිමන් විසින් එමිල් කැස්ටරිකා කියවීම සහ චිත්‍රපට දෙස සමීප බැල්මක් යන තේමා යටතේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ප්‍රධාන දේශන දෙකක් පවත්වනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් වැඩමුළුවක් 'මන බඳින රුවකට' - මහාචාර්ය ලිඩියා ට්‍රයිසාවික්

ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පිනියක සහ ගුරුවරයකු වන මහාචාර්ය ලිඩියා ට්‍රයිසොවික් විසින් මාධ්‍ය සහ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් වෙනුවෙන් මන බඳන වැඩමුළුවක්, කොළඹ හිල්ටන් හෝටලයේදී.

ජූරියේ නිර්මාණ - ජූරි සාමාජිකයන්ගේ චිත්‍රපට

ප්‍රධාන ජූරිය නියෝජනය කරන ජූරි සාමාජිකයන්ගේ චිත්‍රපට 3 ක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට පුළුල් විවිධත්ව සිනමාත්මක ඇත්දැකීමක් පිරිනමනු ඇත.

අදූර් ගෝපාල් ක්‍රිෂ්ණන් සහ අරුණ වාසුදේව් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදී ජීවිත කාලයටම එක් වරක් පමණක් හිමිවන සම්මානයෙන් පිදුම් ලබයි.

ප්‍රකට ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ, තිර රචක සහ නිෂ්පාදක අදූර් ගෝපාල ක්‍රිෂ්ණන් සහ ඉන්දීය චිත්‍රපට විචාරක අරුණ වාසුදේව් ආසියානු සිනමාව ලොව පුරා ප්‍රචලිත කිරීමට දක්වන අමිල දායයකත්වය අගය කරනු වස් චිත්‍රපට උලෙළේදී ජීවිත කාලයටම එක් වරක් පමණක් පිදුම් ලබන සම්මානයෙන් පුද ලබනු ඇත.

හමුවීම්, සංවාද, ප්‍රදර්ශන, සංගීත සන්ධ්‍යාවන් ඇතුළු තවත් රසබර අවස්ථා රැසක් මෙවර සිනමා උලෙළේදී...


ඔබ ඇවිත් පිරෙන්න

2 0 1 5 කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ හමුව

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ දෙවැනි වරටත් නොවැම්බර් මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර පසුගිය වසරටත් වඩා පුළුල්වත්, විධිමත්වත් මෙවර උලෙළ පැවැත්වීමට කටයුතු යොදා ඇති බව මේ අවස්ථාවට සහභාගි වූ චිත්‍රපට උලෙළේ සංවිධායක මණ්ඩලය කියා සිටියහ.