වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කූඹි කතාව නැවතත්

කූඹි කතාව නැවතත්

තමන්ගේ නිවහන ආසන්නයේ කඩිසරව හා වෙහෙස මහන්සි වී, නමුත් රටාවකට අනුව වැඩපලෙහි යෙදෙන කූඹි රැළකි. සමස්ත කූඹි සමූහයේම යහපත උදෙසා, කෑම පිසීම, රෙදි සේදීම, ගෙදර දොර පිරිසිදු කිරීම සහ පේෂ කර්මාන්තය ආදී තම තමන්ට පැවරුණු විශේෂ රාජකාරියන්හි විවිධ කූඹි පවුල් නිරතව සිටී.

එක්තරා දිනෙක ප්‍රධාන කූඹි පවුල ආහාර එකතු කිරීම උදෙසා තම ගුලෙන් පිටත්ව යයි. මේ අතරතුර නපුරු මදුරුවෙක් පැමිණ කූඹීන් වාසය කරන්නා වූ අලංකාර පෙදෙස අත්පත් කරගැනීමට තීරණය කරයි. මදුරුවා කූඹීන් බිය ගන්වා පලවා හැර කූඹි නිවස විනාශ කර දමයි. ආහාර එකතු කරගෙන පැමිණෙන කූඹි පවුලද මදුරුවා කිසිදු අනුකම්පාවක් නොදක්වා පලවා හරියි. අසරණව, තනිවී සිටින නමුත් කූඹි පවුල පසුතැවිල්ලට පත් නොවේ. ඔවුහු පරණ ටින් බඳුනක් ස්වකීය නිවහන ලෙස සකස් කර ගනිති.

ස්වකීය නව ආරම්භය සැමරීම සඳහා කුහුඹීන් සාදයක් පවත්වති. තණකොළ පෙත්තන්, කුරුමිණියන්, සමනලයින් ආදී විවිධ කෘමි සතුන් තම තමන්ට අනන්‍ය වූ මොස්තරයන්ගෙන් සැරසී සාදයට පැමිණෙති. සාදය උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන අතරතුර කුණාටුවක් හමා ගොස් හදිසි ගංවතුරක් ඇතිවෙයි. පියාපත් නැති කෘමීහු අසරණ වෙති. ඉක්මනින් ඥානාන්විත තීරණයක් ගන්නා කූඹියෝ ටින් බඳුන අනෙක් අතට හරවා පාවෙමින් වතුරට හසුවී ඇති සතුන් ද බේරා ගනිති. ඔවුහු කලින් වාසභූමියෙන් පලවා හැරි නපුරු මදුරුවා පවා බේරා ගනිති.

ඔක්තෝබර් 21 සිට 24 දක්වා දිනයන්හීදී, බිෂොප් විද්‍යාලීය ශ්‍රවනාගාරයේදී, නැවත රඟ දැක්වීමට නියමිත, චිත්‍රසේන කලායතනය විසින් නිර්මාණය කෙරුණු, "කූඹි කතාව" ළමා මුද්‍රා නාටකයේ සංක්ෂිප්තය මෙයයි. රුසියානු ලේඛිකා තතියානා මකරාවා විසින් රචනා කරන ලදුව දැදිගම වී. රුද්‍රිගු ලේඛකයාණන් විසින් සිංහලයට පරිවර්තනය කෙරුණු "වීර කූඹියා" පාදක කොටගෙන තැනී ඇති කූඹි කතාවේ සංකල්පය හා නැටුම් චිත්‍රසේන ශූරීන් ගේ දියණිය වන අංජලිකා චිත්‍රසේන මෙල්වානි විසිනි. අධ්‍යක්ෂණය හා සංස්කරණය චිත්‍රසේනයන්ගේ මිණිපිරිය වන හේෂ්මා විග්නරාජා විසිනි. සංගීත කාණ්ඩ තේරීම, සැකසීම හා සංස්කරණයද මේ දෙපළගේම ය. රංග වස්ත්‍ර, රූකඩ හා පසුතල නිර්මාණය මහේෂ් උමගිලිය විසිනි.

මෙහි කතාව ඉතා සරල වන නමුත්, කාලෝචිත පණිවුඩයක් රැගෙන එයි. එය විවිධ වූ ධනාත්මක මානව ලක්ෂණයන් උද්දීපනය කරයි. 2007 සහ 2009 යන වසර වල පළමු වරට වේදිකා ගතවුණු "කූඹි කතාව" මුද්‍රා නාටකය, එහි එන නැටුම් හා නාට්‍ය රචනයෙන්, ඇඳුම් නිර්මාණ තුලින්, සංගීතයෙන් මෙන්ම, ආලෝකකරණයෙන් ප්‍රබල ලෙස ලෙස මෙම පණිවිඩය ප්‍රේක්ෂකයන් අතරට ගෙන ගියේය.

නැවත වේදිකා ගතවන "කූඹි කතාව" එදා සිට අද දක්වා තවත් පරිපූර්ණත්වයට පත් වී ඇති අතර, එහි ගුණාත්මක බව සහ ගැඹුර ඇගයීමක් ලෙස මේ වන විට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයටත් ඇතුළත් කෙරී ඇත.

සිංහල මුද්‍රා නාටකයේ තිඹිරිගෙය ලෙස සැළකෙන චිත්‍රසේන කලායතනය විසින් නිර්මාණය කෙරුණු වැඩිහිටි මුද්‍රා නාටක වන 'කරදිය', 'කිංකිනි කෝලම', 'නල දමයන්ති' ආදීන් මෙන්ම, ළමා මුද්‍රා නාටක වන 'හපනා', 'රන් කිකිළි' ආදියද, අද වනවිට අප සංස්කෘතික උරුමයන් බවට පත්වී ඇත. 'කූඹි කතාව' ද මේ උසස් සම්ප්‍රදාය අනුගමනය කර නිමවූවකි.