වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




Amour මට විශේෂයෙන් දැනුණ කතාවක්

Amour මට විශේෂයෙන් දැනුණ කතාවක්

පුදුම හත ඔබට ළබැඳි කලාකරුවන් පුදුමයට පත්වූ නිර්මාණ ගෙන එන විශේෂාංගය යි.

අද ඒ සමගින් ඔබත් සමඟ තොරතුරු පවසන්නට එක්වෙන්නේ විශිෂ්ට සිනමා කැමරා ශිල්පී එම්. ඩී. මහින්දපාල.

ඡායාරූප ශිල්පියෙක් මෙන්ම සිනමා ලේඛකයෙක් ලෙසත් සිනමා ගුරුවරයෙකු ලෙසත් ඔහුගෙන් සිදුවන්නා වූ සේවය අතිවිශාලය.

‘අනන්ත රාත්‍රිය’, ‘පුරහඳ කළුවර’, ‘තරණය’, ‘උඩුගම් යාමය’, ‘ඉර මැදියම’, ‘ආකාස කුසුම්’ වැනි වූ නිර්මාණවලදී කැමරාව මෙහෙය වූ විශිෂ්ටයා ඔහුයි. අද ඔහු ඔබට කියන්නේ ඔහු ප්‍රිය කරන, මිනිස් ස්වභාවය ගැන කියන්නා වූ සිනමා නිර්මාණ හතක් පිළිබඳවයි.

Four Times (Le Quttro Volte)

2010 වසරේ දී ඉතාලියේ නිර්මාණය වූ මෙය වයස්ගත එඬේරෙකු වටා ගෙතී ඇති කතා පුවතක්. කතෝලික බැතිමතෙකු වූ ඔහු දෙවියන් වෙනුවෙන් කෙතරම් භක්තිවන්ත දැයි කිවහොත් පල්ලියේ ඇති දූවිලි දියකර එම වතුර බීම ඔහුගේ පුරුද්දක්.

එක් දිනෙක මේ වයස්ගත පුද්ගලයා රෝගී තත්ත්වයට පත් වන්නේ සමහර විට දූවිලි නිසාම වෙන්නත් ඇති.

කෙසේ නමුත් ඔහු මෙම රෝගී තත්ත්වයට ඖෂධ සොයා යන්නේ ද එම පල්ලිය වෙතටය. එහි දූවිලි ස්වල්පයක් ලබා ගැනීමටය. එය ව්‍යර්ත වූ කල්හි ඔහු මරණයට පත් වෙයි.

ඔහුගේ එළුවන් ඉබාගාතේ යාමත් සමගින් එක් එළු පැටවෙකු තනි වී එහිදී මියැදෙන්නට සිදු වෙනවා. ඉන්පසු එතැන පැළ වෙන ගස කපා මිනිසුන් විසින් අඟුරු සාදා ගනියි. කතාව එතැනිනි නිම වෙන්නනේ අපට ද සිතන්නට යමත් ඉතිරි කරමිනි.

සත්‍යවශයෙන්ම එය භාවනාවක් වැනියි. පසුවත් ඒ පිළිබඳ වැඩිදුර සොයා යාමේදි මා දැන ගත්තේ ලෝ ප්‍රකට දර්ශනවාදියෙකු වූ පයිතගරස්ගේ අප්‍රකට න්‍යායක් වන මිනිසෙකුගේ ආත්ම ගමනයක් පිළිබඳව මෙහි සඳහන් වන බවයි.

එකදු දෙබසක් නොමැති වූ මෙම චිත්‍රපටය විචාරක කතා බහට ලක් වී රටවල් රැසකදී සම්මානයටද පාත්‍ර වූවකි. සාමාන්‍ය චිත්‍රපට මාර්ගයෙන් වෙනස් වූ චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන නළුවො තමයි එළුවෝ. උන් රඟපාන්නේ පුදුමාකාර රඟපෑමක්. ඒ වගේමයි මෙම චිත්‍රපටය ජීවිතය සහ ආත්මය පිළිබඳ ලියවුණු විශාල කෘතියක් ලෙසින් මට දැනෙනවා.

Winter Light

ඉන්ග්මාර් බර්ග්මාන් අධ්‍යක්ෂණය කර 1962 වසරේදී තිරගත කළ Winter Light චිත්‍රපටයත් මා ප්‍රිය කරන්නා වූ චිත්‍රපට අතරට එක්වෙන්නක්.

මෙහි ප්‍රධාන චරිත තෝමස් නම් වූ පූජකයෙකුගේ චරිතයක් වටා ගෙතී තිබෙනවා. විවාහ වීමට වරම් තිබූ ස්වීඩනයේ කතෝලික පූජකවරයෙකු වන ඔහුගේ බිරිඳ මේ වනවිට මිය ගිහින්.

ඔහු පූජක දිවියට කැපවී සිටින්නේ හරියට වෘත්තියකට කැප වූ සේවකයෙක් මෙනි. ඇතැම් අවස්ථාවන්හිදී මෙම දිවිය ඔහුට හිරිහැරයක් වන බවත් පෙන්නුම් කරනවා. පල්ලියට යන එන කාන්තාවකගේ ආදරයත් සමගින් ඔහු තව තවත් අසීරු තත්ත්වයකට පත් වීම සිදු වෙනවා.

ඒ හැර ප්‍රශ්න විසඳා ගැනීමට පැමිණෙන එන යුවළක් තම ගැටළුව පූජකවරයාට ඉදිරිපත් කරන්නේ පිළිතුරු ලබා ගැනීමේ අටියෙන්. එහෙත් මේ පූජකවරයා ඔවුන්ගේ ප්‍රශ්නය විසඳාදීම වෙනත් දිනකට ප්‍රමාද කරවන්නේ තමාද අර්බුද රැසක ජීවත් වන බැවිනි.

පසු දිනෙක ඉහත කී පුද්ගලයා පැමිණෙන විටද මේ පූජකවරයා විශාල ගැටළුවකට මැදි වී සිටියි. ඒ නිසා ඔහුගේ ගැටළුව විසඳීම වෙනුවට පූජකවරයා තම කතාව ඔහුට පවසන්නේ තමාද ප්‍රශ්න විසඳීමට තරම් වන මානසික තත්ත්වයක නොසිටින බැව් හෙළිකිරීමටය.

එතැනින් ඔහු පිටව ගිය පසු කාන්තාවක විසින් රැගෙන එන්නේ ඔහු වෙඩි තබාගෙන මිය බවට වන පුවතයි. විශාල වූ කතා පුවතක් නැතත් මෙහිදී පුදුමාකාර ජීවිත විවරණයක් ගෙන එන බව මගේ විශ්වාසය යි.

Babette’s Feast

ගේබ්‍රියල් ඇක්ස්ල් අධ්‍යක්ෂණය කළ මෙය 19 වැනි ශතවර්ෂයේ ඩෙන්මාර්කයේ ගමක්ගැන කතා කරන චිත්‍රපටයක්. එහි වූ පල්ලියේ පූජකවරයා සහ ඔහුගේ සුරූපි දියණියන් දෙදෙනා ගැන කතා පුවතක් මෙහි කියවෙනවා.

මේ තිදෙනා බොහොම සාමකාමීව මිනිසුන්ටද උදව් උපකාර කරමින් සන්සුන් දිවිපෙවතක් ගත කරයි.

ගායනට අති දක්ෂ වූ එක් දියණියක් විවාහ කර ගැනීමට ඔපෙරා ගායන ශිල්පියෙක් ද අනෙක් දියණිය වෙනුවෙන් හමුදාවේ ඉහළ නිලධාරියෙක් ද පැමිණෙනවා.

නමුත් මේ පූජකවරයා මේ දෙනොටම අකමැති වන්නේ දියණියන් දෙදෙනා ගෙදරටම වියපත් කරවමිනි. ප්‍රංශයට යන ඔපෙරා ගායකයා වසර ගණනාවකට පසු ඔහුගේ මිතුරියක මේ සොයුරියන් දෙදෙනා වෙත සරණාගතයෙකු ලෙසින් එවන්නේ ප්‍රංශයේ එවකට පැවැති සිවිල් යුද්ධය හේතුවෙනි.

මෙලෙසින් ජීවිතය ගෙවනවිටදී සරණාගතයෙක්ව පැමිණි කාන්තාවහට ප්‍රංශයේදී මිලදී ගත් ටිකට් පතක දිනුම ලැබෙන්නේ නොසිතු පරිද්දෙනි. මේ මුදල් සියල්ල ඇය වැය කරන්නේ සොයුරියන් දෙදෙනාගේ මිය ගිය පියාගේ සියවැනි උපන්දිනය සැමරීම වෙනුවෙනි.

ඔවුන්ගේ හිතවතුන් පිරිවරාගෙන හෝජන සංග්‍රහයක් ඔවුන් සූදානම් කරයි. ඒ සඳහා කෑම වර්ග ගෙන්වන්නේද ප්‍රංශයෙනි. නාටකීය අවස්ථා රහිත චිත්‍රපටයක් වුවත් මිනිස්කම පිළිබඳ වූ සදාතනික පණිවුඩයක් මෙයින් ගෙන එන බව මට දැනෙනවා.

Silent Light

කාලෝස් රෙග්‍රෙදාස් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය ජොහාන් නම් පුද්ගලයාගේ පවුල වටා ගෙතුණු කතා පුවතක් ගෙන එනවා. ඔවුන් කතෝලික දහමට ඉතා දැඩි ලෙසින් බැඳී සිටිනවා.

නමුත් ජොහාන් හිතේ විශාල ගැටළුවකි. එයට හේතුව වෙනත් කාන්තාව සමඟින් වූ අනිසි සබඳකමකි. විවාහ වී බිරිඳ හා දරුවන්ද සමගින් යහපත් පවුල් ජීවිතයක්ද ගෙවන්නේය. ඔහු සිය හෘද සාක්ෂිය සමඟ කරන්නාවූ අරගලය මෙහිදී රූප රාමු ඔස්සේ රෙග්‍රෙස් අප වෙත ගෙන එනවා.

මෙය දරාගත නොහැකිම තැන ඔහු විසින් එය සිය බිරිඳට පැවසීමත් සමඟින් තත්ත්වය දරුණු අතට හැරෙන්නේ ඇය කම්පාවට පත්ව හෘදයාබාධයකින් මරණයට පත්වීම සමඟිනි.

ජෙහාන් නම් මෙම පුද්ගලයා ඔහුගේ හෘද සාක්ෂියට අනුව තමන් විසින් කළ වරදෙන් පීඩා විඳීන අයුරු මෙහි නිරූපණය වෙනවා. හෘද සාක්ෂිය හරහා මිනිස් ස්වභාවය ගැන මෙහිදී කතා කරන අයුරු මගේ හිතටත් විශේෂ වුණා.

එහි කතා ශෙලිය, රූ ගන්වා තිබූ ආකාරය, සාමාන්‍ය සුලබ චිත්‍රපටයකට වඩා බෙහෙවින් වෙනස්. මේ ඔස්සේ අධ්‍යක්ෂවරයා යම් යම් දේ අපට කියන්න හදන්නේ නැහැ. නමුත් අපට ඉදිරිපත් කරනවා.

අප එය තේරුම් බේරුම් කරගත යුතු වෙනවා. කැමරා ශෛලිය මෙහි විශේෂ වෙනවා. මෙහිදී මිනිස් ස්වභාවය ගැන බොහෝ දේ පවසන්නේ කැමරාවයි. එයත් මෙම චිත්‍රපටය මට සුවිශේෂ වීමට හේතු වුණා.

Ten

2002 වසරේදී ඉරානයේ අබ්බාස් කියරොස්ථාමි අධ්‍යක්ෂණය කළ Ten චිත්‍රපටයත් මට සුවිශේෂ ලෙසින් දැණුනු චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයේ මම ජීවිතයේ කිසි දිනෙක නුදුටු ඉතාම සරළ කැමරා භාවිතයක් තියෙනවා.

ඇතැම් කෙනෙකු මෙය චිත්‍රපටයක්ද කියා සිතන්නත් පුළුවන්. වාහනයක් තුළ ඉදිරිපස කොටසේ දෙපස සවි කරන ලද කුඩා ඩිජිටල් කැමරා දෙකක් විසින් මෙහි රූගත කිරීමේ කාර්යයට දායක කරනු ලැබීම විශේෂත්වය යි.

මෙවැනි කැමරාවක් බිහිවීම සිනමා කලාව යම්කිසි පෙරළියකට ලක්වන බවත් කියරොස්තාමි වරෙක පවසා තිබුණා. එයට හේතුව අතීතයේ කැමරාව ඉතා විශාල වීමත් එය පරිහණය කිරීමට ඉගෙන ගත යුතුවීමත්ය.

එය ඕනෑම අයෙකුට භාවිත කිරිමේ හැකියාවක් පැවතුණේද නැහැ. නමුත් අද නවීන තාක්ෂණය සමගින් ඒ තත්ත්වය එයට හාත්පසින්ම වෙනස් වී තියෙනවා.

කියරොස්තාමි බලා සිටියේද මෙම තත්ත්වය උදාවන තුරුය. පෑනක් පැන්සලක් තරමට කැමරාව කුඩාවන තෙක් ඔහු බලා සිටියා. සිනමාව කලාවක් විදියට මුහුකුරා යන්නේ කැමරාව නම් උපකරණය සරළ ඕනෑම කෙනෙකුට පරිහරණය කරන්නට හැකි තත්ත්වයට පත් වූ විට බව ඔහුගේ අදහස යි.

මෙම කතා පුවත තුළ කැමරාවන් සවිකළ වාහනය ධාවනය කරවන්නේ ඉරානයේ ඉහළ මධ්‍යම පාන්තික පවුලක කාන්තාවක විසිනි. පළමු අවස්ථාවේ මෙම රථයට ගොඩ වන්නේ ඇයගේ සත් වියැති පුත්‍රයා ය. මේ දෙදෙනා අතර ඇති වන සංවාදයෙන් කතාව ආරම්භ කෙරනවා. ඒ වුණත් චිත්‍රපටයක් වෙනුවෙන් කරන්නාවූ රඟපෑමක් ලෙසින් අපට එය පෙනෙන්නේ නැහැ.

ඔවුන් දෙදෙනාගේ කතාවලින් යම්යම් දේ තේරුම් ගැනීමට අපට හැකි වෙනවා. ඔවුන්ගේ පවුල තුළ ඇති වී තිබෙන ගැටළු මේ සංවාදය හරහා ගෙන එනවා. මේ වගේ අවස්ථා දහයක් ඇතුළත්ව Ten චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා.

මෙය නැරඹීමෙන් පසුව ඉරානය කියන්නේ මොනවගේ රටක්ද එහි කාන්තාවට තිබෙන්නාවූ තත්ත්වය, විවාහය යනු කුමක්ද වගේම සමස්ත සමාජය හා මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ ගැඹුරු විවරණයක් මේ චිත්‍රපටයෙන් මම දකිනවා. කැමරා ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු නොමැතිව කෙරෙන ඒ රංගනය ඉතාම සුවිශේෂයි.

Amour

2012 වසරේ කාන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් මෙන්ම හොඳම නළු නිළි යුවළ ලෙසින්ද සම්මානනීය වූ මයිකල් හැනකේ අධ්‍යක්ෂණය කළ ඒථධභප චිත්‍රපටය මා කැමතිම චිත්‍රපට අතරේ සුවිශේෂ වන්නක්.

දැඩි බැඳීමකින් හා ආදරයෙන් ජීවත්වන විශ්‍රාමික සංගීත ගුරුවරු යුවළක් වටා ගෙතුණු කතා පුවතක් මෙම චිත්‍රපටයට පාදක වෙනවා. ඔවුන්ගේ වයස අවුරුදු අසූවක තරම් වෙනවා. බොහොම සාමකාමී සරළ දිවිපෙවතක් ඔවුන් ගත කරමින් සිටිනවා. නමුත් අර්බුධය ඇති වන්නේ කාන්තාව රෝගාතුරවීම සමගිනි.

ලෙඩ ඇඳට වැටෙන ඇය රැකබලා ගැනීම ඔහුට විශාල ගැටළුක් බවට පත් කරන්නේ ඔහුගේ වියපත් භාවය යි. සියල්ල දරාගත නොහැකි වූ තැන ඔහු ගේ තීරණය වන්නේ ඇය මරා දැමීමයි. අනතුරව ඔහු අතුරුදන් වෙයි.

මේ කතාව මට විශේෂයෙන් දැනෙන කතාවක් වුණා. මම හෝ මගේ බිරිඳ යම් දිනෙක අපි දෙදෙනාගෙන් කෙනෙකුට අසනීප වුණත් විශාල අර්බුදයක් වෙන්නේ මගේ එකම පුතා විවාහ වී විදෙස්ගතව ජීවත් වීම නිසාවෙනි. ඒ නිසාම මේ චිත්‍රපටය මගේ හිත අතිශයෙන් සංවේදී කළා..

Stalker

මාකරු ආන්ද්‍රේ තර්කොව්ස්කි නිර්මාණය කළ Stalker චිත්‍රපටයත් මා දුටු සිනමා නිර්මාණ අතරේ විශේෂ වන්නක්. ලොව විශිෂ්ට ගණයේ නිර්මාණකරුවෙකු ලෙසින් පිදුම් ලැබුවද ඔහු කළ නිර්මාණ සංඛ්‍යාව හතකි. සිනමා මාධ්‍ය වෙනස්ම මඟකට ගත් සිනමාකරුවෙක් ලෙසින්ද ඔහු හඳුවන්නට හැකියි.

මෙම චිත්‍රපටයට පාදක වුණේ The Road Side Pinic නම් වූ විද්‍යා ප්‍රබන්ධ කෘතිය යි. ස්ට්‍රෝකර්, ඔහුගේ බිරිඳ සහ ආබාධිත දියණිය මෙහි කතාවට මූලික වෙනවා. තවත් කිහිප දෙනෙකු සමගින් විශේෂ ප්‍රදේශයක් සොයා යන ඔහු ගමනට පිටත් වෙන්නේ ලේඛකයෙක් සහ මහාචාර්යවරයෙකුද සමගින්.

බිරිඳගේද විරුද්ධත්වය නොසළකා ඔවුන් ගමන් කරන්නේ සිතූ පැතූ දේ ලැබෙන කලාපයක් සොයා ගෙනය. විවිධ බාධා මධ්‍යයේ යන ඔවුන්ගේ ගමන මේ චිත්‍රපටයෙන් නිරූපණය වෙනවා. නමුත් අවසානය කිසිවක් හමුනොවී අවසන් වෙයි.

මේ චිත්‍රපටය පුරාවටම පේ‍්‍රක්ෂකයාගේ අවධානය යොමු වන්නේ ඊළඟට කුමක් සිදුවේද යන්න පිළිබඳවයි. එය රූපගත කර ඇති ආකාරයෙන් එහි වූ අජීවි වස්තූන්ට පවා ආත්මයක් ඇති බව නරඹන්නාට දැනීම සුවිශේෂ කරුණක්. එය ඇතැම්විට භාවනාවක් වගෙයි. ජීවිතයේ අපට පරිසරය තුළ මඟ හැරෙන බොහෝ තිබුණත් අපි ඒ දෙස බලන අවස්ථා විරළයි. සෑම දෙයකම සැඟවුණු විශේෂත්වයක් තියෙනවා. කැමරාව විසින් එය ගවේශනය කිරීම සිදු කරනවා.