වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිහින කුමාරයාගේ අන්තිම දර්ශනය

සිහින කුමාරයාගේ අන්තිම දර්ශනය

සිංහල සිනමාවේ චිත්‍රපට 200 කට අධික ප්‍රමාණයක රඟපෑ සිංහල සිනමාවේ සිහින කුමාරයා විජය කුමාරතුංග රඟපෑ අවසන් චිත්‍රපටයේ අවසන් දර්ශනය රඟපෑ අවස්ථාව විජයගේ ඡායාරූපයක් දර්ශනය වන හැම විටම මට නිරන්තරයෙන්ම සිහි වේ.

චිත්‍රපටය සරත් දසනායක නිෂ්පාදනය කළ දයා විමලවීර අධ්‍යක්ෂණය කළ ‘මධු සිහිනයි’.

ලොකේෂන් තිබුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්වලය. අප නේවාසිකව සිටියේ හැටන් තේ වත්තේ වතු බංගලාවකය.

දිනක් රූගත කිරීම අවසාන වී පැමිණ විවේකීව සිටින විට වත්තේ අධිකාරිවරයා සමන්ත සහබන්දු සහ ඔවුන්ගේ දියණිය අප නැවතී සිටි බංගලාවට පැමිණියහ.

සරත් දසනායක, දයා විමලවීර, ශ්‍රියානි අමරසේන සහ වසන්ති චතුරානි, බන්දු සමරසිංහ යන අය ද නේවාසිකව සිටියේ එහිය.

‘අපි හදිස්සියේ ආවේ විජය මහත්තයටයි, ඔක්කෝටම ආරාධනාවක් කරන්න’ යි වතු පාලක සහබන්දු මහතා සරත් දසනායකට කීය.

‘මොකක්ද මිස්ටර් සහබන්දු’ යි සරත් ඇසීය.

අද මගේ දුවගේ 12 වන උපන් දිනේ. දුවගෙන් බේරෙන්න බැරි වුණා බර්ත් ඩේ පාටි එකට විජේ මහත්තයට ආරාධනය කරන්න කියලා’ සහබන්දු මහතා කීය.

විජේ මහත්තයා කිසිම දෙයක් නෑ බෑ කියන අයෙක් නොවේ. විජේ මහත්තයා යෝජනාවට කැමැති විය.

නේවාසිකාගාරයේ සිටි සියලු දෙනාම සහබන්දු මහතාගේ නිවසට කැඳවාගෙන යනු ලැබිණ.

නිවෙස පිහිටා තිබුණේ රමණීය කඳු මුදුනකය. නිවෙස දෙපස අපූරු දිය ඇලි දෙකකි.

උපන් දින උත්සවයට සැරසිලි කර තිබිණ. විශේෂ සංගීත කණ්ඩායමක් කැඳවා තිබිණි.

වත්තේ කම්කරු පිරිසගෙන් කොටසකටද ඇරයුම් කර තිබිණ.

උපන් දින සාදයේදී දැරියගේ පළමු ආරාධනාව වූයේ සුමිත්‍රා පීරිස්ගේ ගඟ අද්දර චිත්‍රපටයේ විජය සහ වසන්ති චතුරානි ගයන ගීතය ඉදිරිපත් කරන ලෙසය.

දැරියගේ ඉල්ලීම අනුව විජය සහ වසන්ති චතුරානි ගඟ අද්දර ගීතය ගැයූහ.

සාදය අවසන්ව පිරිස ආපසු නැවතී ස්ථානයට පැමිණියේ මැදියම් රැයේදීය.

මම මගේ කාමරයේ ඇල වී සිටියෙමි. මඳ වෙලාවකට පසු සරත් දසනායක පැමිණ මා සිටි ඇඳේ වාඩි විය.

‘වේහැල්ලේ අයියා හරි ප්‍රශ්නයක්’ සරත් දසනායක බලාපොරොත්තු කඩ වී පැවසීය.

‘ඇයි දසේ මල්ලි’ මම ඇසීමි.

‘හරි ප්‍රශ්නෙ හෙට උදේම විජේට කොළඹ යන්න ඕනැලු. ලාස්ට් සීන් එක කරන්න හිටියේ හෙටනේ. ජෝතිපාලගේ සිහිවටන කුළුණට හෙට මුල්ගල තියනවලු. ඒකට හෙට දෙකට කොළඹ ඉන්න ඕනැලු. ලාස්ට් සීන් එක කොළඹදි කරමුලු’ සරත් දසනායක කීය.

‘ඒකට විජේ මහත්තයා අල්ල ගන්න එක ලේසි නෑ’ මට කියවිණි.

වේහැල්ලේ අයියා ගිහිල්ලා කතා කරල බලමු’ කී සරත් දසනායක කාමරයෙන් පිට විය.

මම විජේ මහත්තයාගේ කාමරයට ගියෙමි.

‘වේහැල්ලේ අයියා මොකද හදිස්සියෙම’ යි විජේ මහතා ඇසීය.

‘විජේ මහත්තයා දසේ අයියා හරි හිතේ අමාරුවෙන් ඉන්නේ හෙට ෆිල්ම් එකේ ලාස්ට් සීන් එක කරන්න බැරි වෙනවට’ මම කීමි.

‘වේහැල්ලේ අයියා හරි ප්‍රශ්නයක් නේ, ජෝතිපාල නැති වෙන කොට මං හිටියේ රුසියාවේ තරුණ සම්මේලනයකට ගිහිල්ලා. හෙට ජෝතිපාලගේ සිහිවටන කුලුනට මුල්ගල තියෙනවලු. මේ දැන් අම්ම කෝල් එකක් දීල කිව්වේ. මුල් ගල තියන්න වෙලා තියෙන්නේ මට. නොගිහින්ම බෑ’ විජේ මහතා කීය.

ලාස්ට් සීන් එකට පැය දෙකක් යයි. විජේ මහත්තයා උදේ 7 ට රිලීස් කරන්න පුලුවන් වෙයි’ යි මම කීමි.

හේ මඳක් කල්පනා කළේය. ‘ඔන්න එහෙනම් උදේ 8 ට මාව රිලීස් කරන්න ඕනෑ’ යි කී විජේ මහත්තයා අනිත් ඇලයට හැරුණේය. මම කාමරයෙන් පිටවීමි.

කලා අධ්‍යක්ෂවරයා සමඟ මා පසුතලය සකස් කරන්නට වීමි. පසුතලය වූයේ ‘මීදුම් සිහින’ චිත්‍රපටයේ වීණාගේ චරිතය නිරූපණය කළ නිළිය (මාලිනී ෆොන්සේකාගේ) සොහොන් බිම සකස් කිරීමය.

උදේ 4 වන විට පසුතලය සකස් විය. කතා කර ගත් පරිදි විජේ මහතා වෙස් ගැන්වෙන ස්ථානයට පැමිණියේය. එම දර්ශනය රඟපෑමට නියමිතව තිබුණ නළුවන් වන ජීවන් කුමාරතුංග සහ රෝයි ද සිල්වා යන අය ද එතැනට පැමිණියහ.

වෙස් ගැන්වීම ඇරැඹිණ. පෙරවරු 5 වන විට වෙස් ගැන්වීම අවසන් විය.

කැමරා කණ්ඩායම ඒ වන විටත් ලොකේෂන් එකට ගොස් තිබිණ.

අනපේක්ෂිත වැස්සක් ඇද හැලුණි.

ඈත ශ්‍රීපාදය වැඳීමට යන වන්දනා නඩවල සාදු නාදය ඇසිණි.

අපේක්ෂාභංග වූ අපි නිසලව සිටියෙමු.

විජේ මහත්තයා වැස්සේම එළියට බැස්සේය.

‘ඇයි දෙයියනේ අහිංසක අපට හිරිහැර කරන්නේ. අපට අනුකම්පා කරන්න’ යි විජේ මහත්තයා අහස සෙදට දෑත පා පැවසීය.

ආශ්චර්යකි. වැස්ස හිටි අඩියේ තුරල් විය.

කැමරා පිරිස ඉක්මන් විය. ශ්‍රීපාදය නගින සැදැහැවතුන්ගේ සාදු නාදය ඇසිණ. වඳින්න යන මේ නඩේට බුද්ධං සරණේ සරණයි. වන්දනා පිරිසේ කටහඬ ඇසිණ.

දර්ශනයේ ප්‍රථම අවස්ථාව වූයේ ජීවන් කුමාරතුංග සොහොනට පහන් දැල්වීමය. එය රූගත විය. ඊළඟ අවස්ථාව වූයේ විජේ මහත්තයා සොහොනට පහන් දැල්වීමය. එය ද රුගත විය. ඊළඟට රූගත වීමට තිබුණේ රෝයි ද සිල්වා පැමිණීම හා දෙදෙනා අතර බහින් බස් වීම හා විජේ මහත්තයා ඔහු මඟහැර යෑමය.

එදින 1988. 04. 13 දාය. රූගතවීම් අවසන් වන විට උදේ 7.10 විය. වහාම කාමරයට ගිය විජේ මහත්තයා වෙන ඇඳුමකින් සැරසී පැමිණියේය.

‘විජේ මහත්තයා මේකප් ගලවලත් නෑ’ සරත් දසනායක කීය.

මූණේ සුදු කළ රැවුල සමඟම ඔහු තම කාරය ළඟට පැමිණියේය. පසෙක සිටි මට විජේ මහත්තයා අතින් කතා කළේය. මම ඔහු ළඟට ගියෙමි.

මගේ කරට අත දැමූ සිංහල සිනමාවේ සිහින කුමාරයා මට රහසක් කීවේය.

‘වේහැල්ලේ අයියා අද 13 නේ. 24 වෙනිදා අපේ වාමාංශික පෙරමුණ පිහිටුවනවා. තූත්ති කුඩියේ හිටියත් වේහැල්ලේ අයියා එදාට කොළඹ නව නගර ශාලාවට එන්න ඕනෑ’ ඔහුගේ රහස වූයේ එයයි.

වාහනයට නැග ගත් විජේ මහත්තයා යන්නට ගියේය.

මිහිදුම් චිත්‍රපටයේ වැඩ අවසන් වූයේ අප්‍රියෙල් 16 දාය. චිත්‍රපටයේ වැඩ අවසන් කොට ශ්‍රීපාදය වැඳීමට යෑමට සැළසුම් කර තිබිණ. එදින පස්වරු 12 ට සිංහල සිනමාවේ සමනලයාව ඝාතනය වී ඇති බව ජාතික ගුවන් විදුලිය ප්‍රකාශ කළේය.