වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මඟුල්දා රාත්‍රියේ මනාලයා අත්අඩංගුවට

මඟුල්දා රාත්‍රියේ මනාලයා අත්අඩංගුවට

තරුණියගේ අතුරුදන්විමේ අභිරහස

නාන කාමරයේ වූ මද ආලෝකය සිතට රැගෙන එන්නේ සුන්දර හැඟීමකි. මද වේලාවක් යොමාල් ඒ ආලෝකය දෙස බලා සිටියේ හදවතට නැඟුණු සුන්දරත්වයේ රසය යළි යළිත් සිහිපත් කරමිනි. ඒ සිතට දැනුණු සොඳුරු බව නිසා ඉබේටම මෙන් මුවඟට නැඟුණු ගීතයක පද මුමුණමින් ඔහු වතුර මල ක්‍රියාත්මක කළේය. සීරුවට වැටෙන වතුර මලේ දිය බිඳුවකින් නැගෙන සුවදායී හැඟීම තව තවත් විඳිනු පිණිස ඔහු දිය බිඳු අතර මුහුණ සැඟවූයේ දෙනෙත පියාගෙනය. අලුයම පටන් ඇරැඹුණු ඔහුගේ මංගල උළෙලේ එදින කටයුතු සීමාවූයේ මද වේලාවකට පෙරය.

එකිනෙකා අතරට යමින් මනාලයා ලෙස රඟපෑම යොමාල් සිතු තරම් පහසු කටයුත්තක් නොවීය. සැහැල්ලු ජීවිතයක් ගෙවූ ඔහුට මනාලිය සමඟ ගත කළ ඒ කාලය සොඳුරු බව ඇත්තකි. ඒ තරම් දඬුවමක් ලද දිනක් ජීවිතයේ මෙතෙක් නොවූ බව සිහිපත් කළ ඔහු ගතට දැනුණු විඩාව ඉක්මනින් සෝදා හරින්නට මෙන් දිය බිඳුවල වේගය වැඩි කළේය. ඔහු එනතුරු කාමරයේ බලාගෙන සිටින සිය බිරිය සිහිපත් කළ යොමාල්ගේ සිතට නැඟුනේ ඇගේ සුන්දර වතයි. ඒත් සමඟම නිලංජනාගේ රුවද ඔහුගේ සිතට පිවිසියේ සැනෙනි.

“යොමාල්... යොමාල්...”

නාන කාමරයේ දොරට තට්ටු කරන හඬ යොමාල්ගේ සිතුවිලි දැහැන බිඳ දැම්මේය. ඔහු පියවි සිහියට පැමිණියේය.

“යොමාල් ඉක්මනට එන්න. හදිසියක්.”

බිරියගේ ස්වරයේ වූයේ බිය රැඳි බවකි. තුවාය දවටාගත් ඔහු නානකාමරයෙන් එළියට පැමිණියේ සිදුවූයේ කුමක්දැයි දැන ගනු පිණිසය. ඔහුගේ නෙත ගැටුණේ පොලිස් නිලධාරින් කිහිපදෙනාය.

“මිස්ටර් යොමාල්ව අත්අඩංගුවට ගන්න අපිට සිද්ධ වෙනවා. කරදර කළාට සමාවෙන්න.”

පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ යොමාල් දෙස බලමිනි.

පොලිස් පරීක්ෂකවරයාගේ වචන පෙළ ඇසුණු සැනින් බිරිය යොමාල්ගේ උරතලයට මුවාවූයේ මේ සිදුවූයේ කුමන දෙයක්දැයි සිතමිනි. යොමාල්ටද කිසිවක් සිතාගත නොහැකි වූ නිසා දෙබැම රැළි කර පොලිස් පරීක්ෂකවරයා දෙස බලා සිටියේය.

“නිලංජනාගේ අතුරුදන්වීමට පොලිසිය සැක කරන්නේ ඔයාව.”

පොලිස් පරීක්ෂකවරයා පැවසුවේ යොමාල්ගේ සිතේ පැන නැඟුණු ගැටලුව විසඳමිනි.

“පොඩ්ඩක් ඉන්න මම ඉක්මනට එන්නම්.”

තුවාය ඇඟලා ගෙන සිටි ඔහු ඇඳුමක් ඇඟලා ගත යුතුය.

නිලංජනාගේ උවන යළිත් ඔහුගේ සිතේ ඇඳිණි. අවසාන මොහොතේ ඇය මුණ ගැසුණු අවස්ථාවේ වූ අකරතැබ්බය යොමාල්ගේ සිතේ ඇඳී නෑඳී ගියේ ඉබේමය.

නිලංජනා මැරුණාවත්ද?”

ඔහු තමාටම මුමුණා ගත්තේ වටපිට බලමිනි. ඒ ඔහු අසල තම බිරිය සිටිත්දැයි යන සිතුවිල්ල ඔහු පෙළූ බැවිණි.

තමාගේ ජීවිතයේ සොඳුරුතම රාත්‍රිය ගත කරන්නට හෝරා කිහිපයකට පෙර යොමාල්ට සිදුවූයේ පොලිස් අත්අඩංගුවට පත්වන්නටය. ඒ ඇසිල්ලේ ඔහු සිටියේ බලාගත් අත බලාගෙනය.

ඒ ඇසිල්ලෙන් නිලංජනා තමා වෙත පැමිණි අයුරු ඔහු සිහිපත් කළේය.

රූපණ ශිල්පියෙක් ලෙස යොමාල් සිය ගමන්මඟ ගොඩනඟා ගත්තේ පියවරෙන් පියවරය. ඒ ගොඩනඟා ගත් ප්‍රතිරූපය හමුවේ ඔහුට ක්ෂේත්‍රයේ කටයුතුවලට මැදිහත් වීමට අවස්ථාව උදාවූයේ නොසිතූ විරූ ලෙසය. එදිනද ඔහු ගල්කිස්ස මුහුදු තීරයට පිවිසියේ දැන්වීමකට පෙනී සිටීමේ රූගත කිරීමකට සහභාගිවීම සඳහාය. දැන්වීමේ රූගත කිරීම් අතරතුර එහි විවේකය ගත කරන සොඳුරු යුවතියක් ඔවුන් දෙසම බලා සිටින අයුරු යොමාල් දුටුවේය. රූගත කිරීමකදී එවැනි නැරැඹුම් සාමාන්‍ය කරුණක් වූ නිසාම ඔහු ඒ යුවතිය පිළිබඳ යළිත් සිතන්නට නොගියේය. එහෙත් ඇයට තිබෙන්නේ වරක් දුටුවෙක් තවත් වරක් හැරී බලන තරම් සුන්දර රුවක් වගනම් ඔහුට සහතිකය. සිය කාර්යය කෙරෙහි සිත යොමු කළ යොමාල්ගේ සිතට යළිත් මේ යුවතියව මතකයට පිවිසියේ අද ඔහු අසල සිටගෙන සිටි නිසාය. ඇය දෙස බැලූ ඔහු මද සිනාවක් මුවඟට නඟා ගත්තේ පෙර දිනකදී නම් මෙවැන්නියක් මුණ ගැසුණු බවක් මතකයට නඟා ගත නොහැකි බව සිතමිනි.

“මම නිලංජනා...”

ඇය ඔහුට තමා හඳුන්වා දුන්නාය. ඇගේ රුව පමණක් නොව සිනහවද ආකර්ෂණීය යැයි යොමාල්ට සිතුණේය. ඒ ඇය හා කතාබහ කරන අතරතුරේදීය. කතාබහ අවසානයේ ආචාරශීලී ලෙස සමුගත් ඕ ලැසි ගමනෙන් ඇවිද ගිය, යොමාල්ගේ නෙත මෙන්ම සිතද සසල කරමිනි.

නිලංජනා සිටියේ ඉල්ලා ගත් ජංගම දුරකථන අංකයට කතා කළ යුතුද නැතිද යන සිතුවිල්ලේය. ඔහු නිරූපණ ශිල්පියෙකි. එහෙත් දුටුවනම ඇගේ සිත පැහැර ගැනීමට තරම් මේ තරුණයා සමත් වූවෙක් යැයි නිලංජනාට නොසිතුණේ දුර සිට බලා සිටිද්දීය. ඈට ඔහු පෙනුණේ ආඩම්බරකාර තරුණයෙකු ලෙසිනි. එනමුදු ඒ සිතුවිල්ලට අලගු තබමින් ඔහු ඇය හා කතා කළේ සුහද අයුරෙනි.

යොමාල් මඟ බලා සිටියේ නිලංජනාගේ රුව දකිනතුරුය. ඇගේ සිනහ මෙන්ම කතාවද මනබඳින සුළු යැයි ඔහුට සිතෙයි. හදිසියේම වූ ඒ හමුවීම ඔහුගේ ජීවිතයේ සහකාරිය වීමට තරම් දුර පැමිණ තිබේ.

“මෙතරම් ප්‍රමාද මොකද?”

නොඉවසිලිමත් ලෙස සිටින යොමාල්ගේ සිතට විවිධ සිතුවිලි පැමිණ අතුරුදන් වන්නේ අසල පොකුණේ වූ පෙණ බුබුළු ඇතිවී නැතිවී යන්නා සේය. එක් පෙණ බුබුළක් ගිය සැනෙන් තවත් පෙණ බුබුළක් පැමිණෙන්නාක් මෙන් සිතුවිලි එකින් එක සිතතුළ උපදින හැටි පුදුමාකාරය.

“මොකද කල්පනාව?”

නිලංජනා යොමාල්ගේ දෑත මත සිය දෑත තැබුවාය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වෙනුවට ඔහු කළේ සිනාසීම පමණි. ඔහුගේ නෙත් යොමුව තිබුණේ ඇගේ උවන මතටය. ආදර බැඳුම් හුවමාරුව අතරේ ඔවුන් දෙදෙනා අතරට කඩා පැන්නේ මැරයන් පිරිසකි. එක්වරම ඔවුන් අල්ලා ගන්නට තැත් කළේ නිලංජනාවය. යමක් සිතන්නටද මත්තෙන් යොමාල් ඇයව මුවා කර ගත්තේ පැමිණි සිටි මැරයන් පිරිසද නොතකමිනි.

“අපේ සර් තමයි මෙයාම ගේන්න කිව්වේ. දන්නැද්ද මෙයා අපේ සර්ගේ වයිෆ් නේ?”

එහි සිටි මැරයන් පවසන ලද්දේ යොමාල්ටය. ඊළඟ තත්පරයේ ඇයව අල්ලා ගත් මැරයෝ ඔහුටද ගුටිබැට දුන්නේ නිලංජනා සමඟ යළි හිතවත්කමක් ඇති නොකළ යුතු බවට අනතුරු හඟවමිනි. ඇය කෑ ගසද්දී ඇදගෙන ගිය ඔවුන් රියක් ඇතුළට දමා ගත්තේ ඔහුට කිසිදෙයක් කියන්නටත් කලිනි.

නිලංජනාට කුමක්වේද? මැරයන් නිලංජනා මරා දමයිද. මෙතෙක් යොමාල්ට හෙළි නොවුනු තොරතුරක් හෙළිවීම නිසා නිලංජනාට කුමක් වේද? නිලංජනාගේ අතුරුදන්වීමට යොමාල් සිරගත වේද?

මෙවැනි ප්‍රශ්න රාශියක් ඔබගේ සිතට පිවිසෙනු නොඅනුමානය. ඊට පිළිතුරු ‘නිලංජනා’ සිනමාපටය නැරැඹීමෙන් ඔබට ලද හැකිය.