වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මම අහවලා කියල මමම හඳුන්වා දෙනවා

මම අහවලා කියල මමම හඳුන්වා දෙනවා

චමින්ද ගුණරත්න කියන්නේ මෙරට නිවේදන ඉතිහාසය තුළ වාර්තාවක් තැබූ අයකු කිව්වොත් නිවැරැදියි.

මගේ දැනුමට අනුව ඒ ප්‍රකාශය හරි. ප්‍රවෘත්ති සහ වෙනත් වැඩ සටහන් නියෝජනය කරමින් මම මේ වන විට ලංකාවේ ප්‍රමුඛ පෙළේ සම්මාන උලෙල වලින් සම්මාන හතකට උරුමකම් කියලා තියනවා.

ඔබ දක්ෂයි කියලද ඔබ ඔය නොකියා කියන්නෙ?

නැහැ. කොහෙත්ම නැහැ. කොපමණ සම්මාන ගත්තත් මම තවම නිවේදනය හදාරන කෙනෙක්.

ඔබ වෘත්තිමය නිවේදකයකු බවට බොහෝ දෙනෙකු හිතාගෙන ඉන්නවා?

මගෙ වෘත්තිය නිවේදනය නොවෙයි. මම වෘත්තියෙන් ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙක්. ඊට පරිබාහිරවයි නිවේදන කටයුතුවල යෙදෙන්නෙ.

ප්‍රවෘත්ති නිෂ්පාදනවරයකු දවසේ පැය 24 ම රට තොට ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕන නේද?

ඒක නම් හරි. අපේ වෘත්තිය ජීවිතය පැය අටේ එකක්. ඊට අමතරව ගෙදර හිටියත් අලුත් ප්‍රවෘත්ති ගැන අවධානයෙන් තමයි ඉන්නෙ.

ඔබ හිතාගෙන හිටියද කෙදිනක හෝ ප්‍රවෘත්ති නිවේදකයකු වනවා කියලා?

ප්‍රවෘත්ති කියන්න තුන් හිතකවත් අදහසක් තිබුණෙ නැහැ. හැබැයි නිවේදකයකු වන්නට නම් පෙරුම් පිරුවා.

චමින්ද ඒ කාලේ එක්තරා නිවේකයකුගේ හඬකට වසඟ වෙලා හිටියලු?

ඔව්. ඒ තිස්ස ජයවර්ධන. ඔහුගේ ගාම්භීර තියුණු හඬට මම පෙම් බැන්දා.

අද වන වට නිවේදකයන්, නළුවන් බවට පත්වෙලා. කඩවසම් රුවක් තිබිලත් චමින්ද තවමත් එහෙම වුණේ නැහැ?

මටත් ඇරැයුම් ලැබුණ රංගනයට. නමුත් මම බියවුණා රංගනයට යොමුවුණාට පසු මගෙ ප්‍රතිරූපයට හානි පැමිණේවි කියලා. එහෙයින් ඒ ඇරැයුම් ප්‍රතික්ෂේප කළා.

ඒ වුණාට රඟපාන්න ගියා නම් චමින්දගෙ ජනපි‍්‍රයත්වය වැඩි කරගන්න තිබුණ නොවේද?

මම වසර ගණනාවක් තිස්සේ වෙහෙසවෙලා මිනිසුන් අතර ඉතා හොඳ ප්‍රතිරූපයක් ගොඩනගා ගත්තා. ඒ වෙනුවෙන් මම පුදුමාකාර කට්ටක් කෑවෙ. චරිතයක් රඟපාන්න ගිහින් තත්පර ගණනාවක් ඇතුළත ඒ ප්‍රතිරූපය උඩුයටිකුරු වෙන්න පුළුවන්. ඒ හින්දා රඟපාන්න යන්න බයයි.

ඔබ ක්ෂේත්‍රයෙම සිටින විශ්ව ලංකා වරෙක අපිත් එක්ක කිව්වා ඔහු රංගනයට පිවිසුණේ ජනපි‍්‍රයත්වය සොයාගෙන කියලා?

ජනපි‍්‍රය වීම නෙවෙයි මෙතන කියන කාරණය. අද ඇතැම් නිර්මාණ ගන්න දෙයක් නැහැ. ඒවාට දායක වුණොත් නම් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නමුත් එමඟින් වන හානිය දරුණුයි. රංගනය හොඳයි. එමඟින් සමාජයට ලබාදෙන පණිවුඩය ගුණාත්මක එකක් නම්. නිවේදක වෘත්තියෙ යෙදෙන අප පවා සමාජ පරමාර්ථ ඉටු කරමින් සිටිනවා. මොකද කලාවේ නියැළෙනවා කියන්නෙ ආත්ම තෘප්තියට පමණක්ම නෙවෙයිනෙ. ඒක හින්දා තමන් කැමැතිනම් සමාජ පරමාර්ථ ඉටුවනවා නම් වෘත්තිය මාරුකළාට කමක් නැහැ.

නිවේදනයකුට වඩා නළුවකු ජනපි‍්‍රයයි නේද?

අන්න එතෙන්දි මට කියන්න තියෙන්නෙ මේක වෘත්තීන් දෙකක් කියන කාරණය. නිවේදකයකු එක පැත්තකින් ජනපි‍්‍රයයි. නළුවකු තව පැත්තකින් ජනපි‍්‍රයයි.

ඒ කියන්නෙ ඔබ ජනපි‍්‍රය කෙනෙක්?

ඒක මට කියන්න දන්නෙ නැහැ.

ඒ මොකෝ? පාරට බැස්සම කවුරුවත් ඔබව හඳුනාගන්නේ නැතිද?

නැහැ. මාව හඳුනා ගන්නවා. සමහරුන් මගෙ දිහා බලලා කතාබහ කළත් මම කවුද කියලා ඔවුනට හඳුනාගන්න බැරිවෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවෙදි මම කරන්නෙ මම අහවලා කියලා මමම මාව හඳුන්වා දෙන එක.

ඔබලගෙ නව සභාපතිතුමා ආචාර්ය සෝමරත්න දිසානායක. කොහොමද?

හොඳයි වරදක් නැහැ. එතුමා කලාවට අතිශය සබැඳි කෙනෙක්නෙ. ඉදිරිය හොඳවේවි නිතැතින්ම.

රූපවාහිනියෙ ඔබ දකින අඩුපාඩු මොනවද තියෙන්නෙ?

කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. මට ඉතින් කතා කරන්නෙ පුළුවන් නිවේදනය පැත්තෙන්නෙ. හැබැයි මෙන්න මේ වගේ කාරණයක් තියනවා. සමහර නිවේදක නිවේදිකාවන් භාෂාව හැසිරවීම ටිකක් හොඳ මදි. ඒ අයට විධිමත් පුහුණුවක් ලබා දුන්නොත් හොඳයි කියලා හිතෙනවා.

විධිමත් අන්දමින් නිවේදකයන් පුහුණු කරන තැනක් තියෙනවද ලංකාවෙ?

මම කිව්වෙ මෙන්න මේ වගෙ කාරණයක්. ඇත්තටම නිවේදනයන් බිහිකරන්න බැහැ. සහජ හැකියාවක් මතයි නිවේදකයො බිහිවෙන්න ඕන. අන්න ඒ හැකියාව තියන පුද්ගලයින්ගේ හැකියාව දියුණු කිරීම කරන්න පුළුවන් විධිමත් පුහුණුවක් ලබාදීමෙන්. මම අදහස් කළේ ඒක. ඇතැම් අයට පුහුණුවක් අවශ්‍ය නැහැ. උපන් හැකියාවෙන් නිවේදන වෘත්තියේ යෙදෙන්න පුළුවන්.

මා දන්නා පරිදි ඔබත් කිසිදු පාඨමාලාවක් හදාරලා නැහැ?

ඔබ හරි.

කොහොමද ඔබ ඔබේ වාග්කෝශය පුරවා ගන්නෙ?

ඕනෑම අවස්ථාවක ඕනම කෙනෙකුගෙන් මම යම් යම් දෙවල් ඉගෙන ගන්නවා. ත්‍රීවීල් රියදුරකුගෙන් පවා ගන්න දෙයක් තියනවා. ඒ වගේම මම එකිනෙකාට හොඳින් ඇහුම්කන් දෙනවා. එහෙම තමයි මං වචන එකතුකර ගන්නේ. විවේක වෙලාවල් වලදි පොත් කියවන්නත් මම අමතක කරන්නේ නැහැ.

ඇයි ජාතික රූපවාහිනිය අතහැර නොගියේ?

ජාතික රූපවාහිනිය විශ්වාසනීය තැනක්. ඒක අතහැර යාම මෝඩකමක්.

නමුත් ඔතන සිටීමෙන් ඇතැම් අවස්ථාවලදී ඔබට විවිධ පාර්ශවයන්ට කඩේ යන්න සිද්ධ වෙනවා නේද?

අපි කරන්නෙ රාජකාරිය ඉෂ්ඨ කිරීමක්. එහෙම බලනකොට ඒ රාජකාරිය හින්ද තමයි කඩේ යන්න සිද්ධ වෙන්නෙ. මම රජයේ සේවකයෙක්. ඒ හින්දා රජයේ නීති රෙගුලාසිවලට මම යටත්වෙලා වැඩ කරනවා.

ප්‍රවෘත්ති කියන්න ගිහිල්ලා වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නෙ?

මුල් කාලේ මට සමහර වචන පැටලුණා. විශේෂයෙන් උපකුලපති, කංචිකුඩිච්චිආරු වගේ වචන වෙන විදිහකට මට කියවුණේ. ඒ වෙලාවල් වලට මං ටිකක් තිගැස්සුණා. ඔන්න එක දවසක් ප්‍රවෘත්ති කිය කිය ඉන්නකොට මැදිරියේ බල්බ් එකක් පිපිරුවා. මටයි මැදිරියෙ හිටපු කැමරා ශිල්පියාට විතරයි ඒක ඇහුණෙ. කිසිම වෙනසක් නැතිව මං ප්‍රවෘත්ති කිව්වා.

ඔබේ ප්‍රවෘත්ති නිවේදනය සම්බන්ධයෙන් ඔබ ඇසූ හොඳම කතාව මොකක්ද?

ගොඩක් අය කියලා තියනවා මගෙ ප්‍රවෘත්තිවල වචන හරිම පැහැදිලියි කියලා. නමුත් මං ආසයි සූකිරි බටිල්ලන්ගෙන් හොඳ අහනවාට වඩා එක විශ්‍රාමික ගුරුවරයකුගෙන් මගෙ වැරැද්දක් අහගන්න.

පවුලේ විස්තරත් කියමු?

මගෙ බිරිය ඉනෝකා. අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. විවේකයක් ලැබුණ ගමන් මගෙ පවුලත් එක්ක ඉන්න තමයි පි‍්‍රය කරන්නෙ. කාර්යබහුල වෘත්ති ජීවිතයෙන් මඳක් මිදිලා ඔවුන් එක්ක ගතකරන ජීවිතය හරි සුන්දරයි.