වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මග දිගට රස කතා

කෙට්ටුව මට්ටු කළ කිරිබත් ප්‍රේමය

මිහිර සිරිතිලක ගැන ඔබ නොදන්නා රහසක් කියන්නද? ඔබ විතරක් නෙවෙයි මේ රහස ගැන ඔහුගේ ආදරණීය සුවච කීකරු භාර්යාවවත් (මිහිර තමන්ගේ බිරිය ගැන ලියනවා නම් ලියන්න කියලා තියෙන්නේ අන්න එහෙම) දන්නේ නැහැ.

එයාටත් දැනගන්න එක්කයි මේ රහස අපි දැන් මුළු රටටම හෙළි කරන්නේ. මිහිර ක්ෂේත්‍රයට එනකොට අද ඉන්නවා වගේ මහතට හිටියේ නැහැ.

බොහොම Slim Body එකක් තමයි තිබුණේ. ඉතින් මිහිරට ඕනෑ වුණාලු ටිකක් මහත් වෙන්න. ඔය අතරේ තමයි ඔහුගේ හිතවතෙක් කියලා තියෙන්නේ උදේට උදේට ඇඹුල් කෙසෙල් එක්ක කිරිබත් කෑවාම ඉක්මනින් මහත් වෙනවා කියලා.

 මිහිරත් මිත්‍රයාගේ උපදෙස් හරියටම පිළිපැදලා කිරිබත් කාලා මහත් වුණා.

එහෙම කඳ බඩ මහත් වුණාට පස්සෙයි මිහිරට යමක් කළ හැකි චරිත ලැබුණේ. ඒ කතාව පැත්තකින් තියමුකො. මෙන්න මේක තමයි අර රහස. මහත් වුණාට පස්සේ මිහිර හිතුවලු කිරිබත් කෑමේ පුරුද්ද අතහැර ගන්න.

නමුත් එහෙම කරන්න බැරි වෙලා. අදටත් මිහිරගේ ඒ පුරුද්ද තියෙනවා. ඒ හින්දා උදෑසන තියෙන උත්සවවලට ගියාම මිහිර මුලින්ම බලන්නේ කෑම මේසයේ කිරිබත් තියෙනවද කියලලු.

ඊට පස්සේ ආහාර ගන්න වෙලාවෙදි වරකට එක බැගින් කිරිබත් කෑලි තුනක් තුන් වතාවකදී මිහිර බෙදා ගන්නවා.

ඔබට අපි හෙළි කළ මේ රහස ඔප්පු කරගන්න පුළුවන් කිරිබත් තියෙන උත්සවයකට මිහිරට ආරාධනා කළොත්. ඔන්න ඉතින් මිහිරගේ බිරිය ගීතිකා මේ සටහන කියවනවලු. ඊට පස්සේ මිහිර තමන්ගේ ඉස්සරහට කැඳවලා ජාතිය අමතනවලු.

ඊටත් පස්සේ මිහිර අපිට කතා කරලා ෂුවර් එකට අහයි කවුද මේ රහස හෙළි කළේ කියලා. එහෙම වුණොත් ලබන සතියේ අපි පළ කරන්නම් මිහිර මොකද කිව්වේ කියලා.

මහාචාර්යතුමාට ලකී රැවුල දන් දෙයි

රැවුල නිසා ප්‍රසිද්ධ වුණු නළුවන් ගැන කතා කළොත් නිතැතින්ම මතකයට නැඟෙන්නේ ලකී ඩයස්. ඒ තරම්ම ලකීගේ රැවුල ප්‍රසිද්ධයි. කාලයක් අපේ රටේ Party වල ගහලා තිබුණා 'ලකී කට් කපනු ලැබේ' කියලා.

එහෙම වුණේ ලකී තරමටම ලකීගේ රැවුලත් සමාජගත වුණු හින්දා. කාලයක් ගියාට පසුව ලකී කම්මුල දෙපැත්තේ තියෙන රැවුල කැපුවා.

එහෙම කාලයක් ඔහු රංගනයේ යෙදුන චරිත ගණන අනන්තයි. ඔය අතරේ ලකී ගැන කට කතාවක් ද පතළ වුණා. ඒ ඔහු රැවුල කපන්නේ නැතුව රඟපාන්නේ නැහැ කියන එක. ලකීටත් එය ආරංචි වුණා.

නමුත් රැවුල කපන්න තරම් චරිතයක් නොලැබුණු නිසාදෝ ඔහුත් ඉන්න විදිහේම චරිත රඟපෑවා. පසුගිය දිනෙක ලකීගේ රැවුල ගැන ආරංචියක් ආවා.

ඒ ඔහු උඩු රැවුල පමණක් ඉතිරි කොට මුහුණේ අනෙක් තැන්වල තියෙන රැවුල කැපුවාය කියන එක. අපිටත් පුදුමයි.

මොනවා වුණත් කතාව ඇත්ත. ලකී රැවුල කපලා. ඔහු මේ කැපවීම කරලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පත්තිනි චිත්‍රපටය වෙනුවෙන් ඔහු එහි රඟනුයේ ගජබා රජුගේ චරිතයයි.

නම් චරිතයක්. චිත්‍රපටය මේ දිනවල රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ සිනමා ගම්මානයේ රූගත වෙමින් තිබෙනවා.

ලකීගේ රැවුල කැපුවම කොහොමට හිටියිද? ඔබට එහෙම හිතෙන හින්ද ලකීගේ එවන් වූ රුවක් ද අප පළ කළා.

මේ සිදුවීමේ තවත් විශේෂත්වයක් තියෙනවා. වැඩිය කවුරුවත් නොදන්නවා වුණාට ලකී සම්පූර්ණයෙන්ම රැවුල කපලා චිත්‍රපටයක රඟපෑවා. ඒ තමයි වජිරා. වජිරා ලකීගේ පළමු සිනමාපටය.

වජිරා සඳහා ලකීව ගත්තේ එහි අධ්‍යක්ෂවරයා වූ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින්. වජිරාගෙන් පසුව ලකී රැවුල කැපුවේ පත්තිනි සඳහා.

එහි අධ්‍යක්ෂවරයා ද මහාචාර්ය සුනිල් ආරියරත්නයි. බලාගෙන ගියාම ලකීගේ රැවුල දෙවතාවක්ම අයින් කරලා තියෙන්නේ අපේ මහාචාර්යතුමා.

සාදය මාරයි - සල්ලිත් ඉතුරුයි

සාදය මාරයි සල්ලි හමාරයි කියලා නාට්‍යයක් මේ දිනවල වේදිකා ගත වෙනවා. ඒ නම දැකලා ද කොහෙද අපේ ජනප්‍රිය නළු කුමාර වඳුරැස්ස ටිකක් කලබල වෙලා.

ඒ හින්දම වෙන්න ඇති අවුරුද්දක් පාසා කුමාර සංවිධානය කරන තම උපන් දින Party  එක මේ අවුරුද්දේ නොතිබුණේ.

තමන්ගේ ප්‍රිය මිත්‍රයා කතා කරනකම් කුමාරගේ මිත්‍ර සේනාව බලාගෙන හිටියලු. උපන් දිනයත් එළඹුණාලු. කුමාරගෙන් ඛ්චතත එකක් නැතිලු.

කොහොම හරි එදින කුමාර තනිවම උපන් දිනය සමරලා. ඒ මදිවට සව්දිය පුරන ගමන් Call එකෙන් යළුවන්ට Cheers කරලා.

එහෙම වුණා කියලා ආරංචි වුණාම කුමාරගේ මිත්‍ර සේනාවට හරිම අප්සට්ලු. ඊට පසු දින ඔහුට එකා දෙන්නා කතා කරලා ඒ කතා කරන හැම කෙනාටම කුමාර කියන්නේ 'සාදය මාරයි සල්ලිත් ඉතුරුයි' කියලා.

විවේක සුවය මැද ගෙදරමයි අද

නීතිඥ ඩග්ලස් සිරිවර්ධන ඉස්සර නම් කොයි වෙලාවෙත් හිටියේ ටවර් හෝල් එකේ. ඒ ඔහු ටවර් හෝල් පදනමේ අධ්‍යක්ෂවරයා හින්දා.

නමුත් ඩග්ලස් මේ දවස්වල නම් නිතරම ඉන්නේ ගෙදර.

ටවර් හෝල් එකට එන්නේම නැති තරම්. ඇයි එහෙම වුණේ කියලා අපි ටිකක් හොයලා බැලුවා. ඩග්ලස් ටවර් හෝල් පදනමෙන් සමුඅරන්.

තව විදිහකින් කිව්වොත් කොල්ලා වගේ හිටියට වයස හරි නිසා විශ්‍රාම අරන් දැන් ඔහු නිවසට වී විවේකී සුවයෙන් පසු වෙනවලු.

මේ බව නොදන්නා බොහෝ දෙනෙක් අදටත් ඩගීට කතා කරනවලු. කතා කරලා ටවර් හෝල් පදනම ගැන අහනවලු.

ඒ ඩගී තවමත් ටවර් හෝල් පදනමේ ඉන්නවා කියලා හැම කෙනාම හිතන නිසා. ඉතාම ස්වල්ප ප්‍රමාණයක් හැර ඔහු විශ්‍රාම ලබලා කියලා දන්නේ නැහැ.

එහෙම කිව්වම දැන් ඔබ හිතාවි ඩග්ලස්ගේ සමු ගැනීමට හේතුව දේශපාලන බලපෑමක් කියලා. නමුත් ඔහු නම් කියන්නේ තමන්ට කිසිවෙකුගෙන් බලපෑමක් සිදු නොවූ බවයි.

කෙසේ වෙතත් ඩගී ටවර් පදනමේ ඉන්න කාලයේදී සෑහෙන්න බර කර ගහපු කෙනෙක්.

මරදානේ එල්ෆින්ස්ටන් රඟහල සහ රුක්මණී දේවි අනුස්මරණ රඟහල ප්‍රතිසංස්කරණය කිරීම, නාට්‍ය පාසලක් ඇරැඹීම ඒ හරහා පිළිගත් සහතිකයක් ලබා දීම ඔහු විසින් කළ සේවාවන් අතරින් කිහිපයක්.

මේ දින කිහිපය පහු වෙලා තමන්ගේ නාට්‍ය පාසලක් අරඹන්නට හිතාගෙන ඉන්නවා කියලා අවසන් කොට ඔහු අපිත් එක්ක කිව්වා.

හඬ කවද්දී කට වැරදිලා...

ෆර්නි රෝෂිනී ප්‍රසිද්ධියේ කුණුහරුප කියනවාලු.

කවුදෝ කෙනෙක් අපිට එහෙම කිව්වාම අපිට පුදුමත් හිතුණා. මොකද උස මහතට හිටියට ෆර්නි බොහොම අවිහිංසක කෙනෙක් හින්දා.

ෆර්නි, ඇත්තද ඔයා ප්‍රසිද්ධියේ අසභ්‍ය වචන කියනවා කියන්නේ?

කෝකටත් කියාල අපි ඇගෙන් කෙළින් එහෙම ඇහැව්වා. ඇය ඉතින් කටපුරා හිනා වෙලා අපිට ඒ කතාව ගැන මෙන්න මෙහෙම පහදලා දුන්නා. අහගන්නකෝ ෆර්නිගේ කුණුහරුප කතාව.

ෆර්නි දක්ෂ හඬ කැවීමේ ශිල්පිණියක් කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. මේ දිනවල හඬ කවා විකාශය වෙන නාට්‍ය කිහිපයකටම ෆර්නි සිය දායකත්වය ලබා දෙනවා.

සාමාන්‍යයෙන් හඬ කැවීම් කරන පුද්ගලයා ඉදිරියේ තිරයක් තියෙනවා. එහි දිස්වන නළුවා හෝ නිළිය කට හොල්ලන විදිහට තමයි සිංහල වචන කියන්න ඕනෑ. ඉතින් ෆර්නිටත් ඒ දහම පොදුයි.

ෆර්නි මෙහෙම තමන් හඬ කවන නිළිය කටහොල්ලන විදිහට සිංහල දෙබස් කියනවා. ඒ අතරේ දෙබස් කොලයේ තිබෙන දෙබස් බල බල හඬ කවනවා. ඇතැම් අවස්ථාවන්වලදී නිළිය වේගයෙන් කට හොල්ලද්දී ෆර්නිත් වේගයෙන් දෙබස් කියනවා.

ඔය අතරෙදි ෆර්නිට අතුරු පැටෙලෙනවා.එහෙම අකුරු පැටලුණ සමහර වචන ඇහෙන්නේ කුණුහරුප වගේ. ඒ අතරේ ෆර්නි විසින්ම නිර්මාණය කරන ලද කුණුහරුපත් තියෙනවලු. අන්න ඕකයි ෆර්නිගේ කුණුහරුප කතාවේ ඇත්ත.