වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඒක මාර විදිහට දැනෙන වේදනාවක්

ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධන නිව්යෝක් නුවර සිට ‘බොරදිය පොකුණ’ ගැන කතා කරයි

ඒක මාර විදිහට දැනෙන වේදනාවක්

ඇගේ ආදරණීය රංග ලීලාවන් පිළිබඳ තවමත් ප්‍රේක්ෂක මතකයෙහි ඇත්තේ සොඳුරුතම හැඟුම් සමුදායකි. බොළඳ, දඟකාර සුපෙම්වතිය ලෙස රිදී තිරය මත යෞවනයේ විචිත්‍රත්වය සිත්තම් කළ ඈ විටෙක මහ මෙරක් වන් දුක් දොම්නස් උසුලාගෙන ජීවිත ගිරිකුළ තරණය කරනා දිරිය ගැහැනිය වෙමින් අප නෙතු මානයේ සැරිසැරුවාය. කෙසේ වෙතත් ඇගේ ඒ අපූර්ව රංග ප්‍රතිභාව දැන් අතීත මතකයක් වී අහවරය. ඒ ඇය වසර ගණනාවකට පෙරාතුව තම රංගන දිවියට සමු දුන් හෙයිනි.

ඒ සමු ගැන්මට පෙර ඈ අපේ සිනමාවට තවත් විශිෂ්ට රංගනයකින් දායක වූවාය. ඒ සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ ‘බොර දිය පොකුණ’ චිත්‍රපටයේ ‘මංගලා’ගේ චරිතය නිරූපණ්‍ය කරමිනි. මංගලා චපල පෙම්වතියක්ද? නොඑසේ නම් සැබෑ ආදරය සොයා ගිය එඩිතර යුවතියක් ද? එසේත් නැතිනම් තහනම් ගසේ ගෙඩි කන්නට ගොස් පොට වරද්දා ගත් අපේ කාලේ අවාසනාවන්ත තරුණියක්ද? මේ සියල්ල තීරණය කළ යුත්තේ ඔබමය.

එහෙත් රිදී තිරය මත ‘මංගලා’ ජීවමාන කළ ඩිලානි අබේවර්ධනටත් ‘මංගලා’ ගැන කියන්නට කතාවක් තිබේ. ඈ ගැන මෙන්ම ‘බොරදිය පොකුණ’ හා එහි අධ්‍යක්ෂවරයා ගැනත් ඩිලානිට කියන්නට බොහෝ දේවල් ඇති වග නිසැකය.

හලෝ අසංක, කොහොමද . . . මම ඩිලානි . . .

හෙලෝ . . . කොහොමද . . . කොහොමද ගොඩක් කාලෙකින් නේද?

ඩිලානි, අමෙරිකාවේ, නිව්යෝක් නුවර සිය නිවසේ සිට දුරකතනය ඔස්සේ මා හා මෙසේ සම්බන්ධ වන්නේ ඒ කතාව ඔබට කියන්නය. අද පෙබරවාරි 14 වැනිදාය. ජනප්‍රියම භාෂාවෙන් කියතොත් ‘වැලන්ටයින් ඩේ’ එකය. අද ඩිලානිට මෙන්ම ‘බොරදිය පොකුණ’ට ද විශේෂ දිනයකි. ඒ දිගුකාලීන වාරණයකට පසු එය ප්‍රදර්ශනයට එක් වන්නේ අද පටන් වන බැවිනි.

ඩිලානි ‘බොරදිය පොකුණ’ ෂූට් කරලා දැන් ගොඩක් කල් නේද?

ඔව් අසංක. මේක රූගත කළේ 2002 වසරේදී. දැන් අවුරුදු දහතුනක් නේ.

මොකද හිතෙන්නේ ‘බොරදිය පොකුණ’ ගැන?

මේක මම ආසාවෙන් රඟපෑ චිත්‍රපටයක්. සත්‍යා කියන්නේ ඒ වෙනකොට අපේ සිනමාවට අලුත් අධ්‍යක්ෂවරයෙක්. ඒ වෙන කොට ඔහු කෙටි චිත්‍රපටයක් විතරයි නිර්මාණය කර තිබුණේ. ඔහුට සම්මානයකුත් ලැබුණා ඒ අධ්‍යක්ෂණයට. එදා මමත් සත්‍යාට සුබපැතුවා.

‘බොරදිය පොකුණ’ට සම්බන්ධ වුණේ කොහොමද?

සත්‍යා ඇවිත් මට කතා කළා. අලුත් අධ්‍යක්ෂවරුත් එක්ක වැඩ කරන්න මම කවදත් කැමැත්තෙන් හිටිය නිළියක්නේ. ඒ වෙන කොට යම් පමණකට මම ඔහුගේ දක්ෂතා හඳුනාගෙනයි තිබුණේ. ඔහු මට ස්ක්‍රිප්ට් එක දුන්නා. අපේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල තිබෙන ගැටලු තමයි ඒ චරිතවලින් කියැවුණේ. ඉතින් මම බොහොම කැමැත්තෙන් ‘මංගලා’ගේ චරිතය බාර ගත්තා. මම හිතුවාටත් වැඩිය දක්ෂ විදිහට සත්‍යා ඒ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා.

මම හිතන්නේ ඩිලානිගේ ජීවිතයේ සුන්දරම කාල වකාවනුවක් ඒ ගෙවී ගියේ?

ඇත්තටම සුන්දර මතකයක්. අපි හැමෝම එකා වගේ, සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන මේ චිත්‍රපටයට උපරිම දායකත්වය ලබා දුන්නා. මම හිතන්නේ හොඳ චිත්‍රපටයක් කළා. මම දන්නේ නෑ ඇයි මේක මෙච්චර කල් පෙන්නුවේ නැත්තේ කියලා.

මේ ප්‍රමාදය නිසා අධ්‍යක්ෂවරයාට වගේම නළු, නිළියන්ටත් යම් අසාධාරණයක් වුණා කියලා මට හිතෙනවා?

අනේ ඔව්. මාව පැත්තකින් තිබ්බොත් අනෙක් හැමෝටම ලොකු දෙයක් වෙන්න තිබුණා චිත්‍රපටය හරි වෙලාවට ප්‍රදර්ශනය වුණා නම්. විශේෂයෙන් සත්‍යා වගේ දක්ෂ අධ්‍යක්ෂවරයකු අතින් තවත් සිනමා නිර්මාණ කිහිපයක්ම බිහි වෙන්න ඉඩ තිබුණා.

වෙළෙඳ කලාපයේ තරුණියන් තිදෙනකු වටා තමයි මේ චිත්‍රපටය ගෙත්තම් වී තිබෙන්නේ. මංගලා ඉන් එක් තරුණියක්. කොහොමද ඔයා මේ චරිතය දකින්නේ?

බොහෝ කලක ඉඳන් වෙළෙඳ කලාපයේ යුවතියන් දිහා වැරැදි දෘෂ්ටි කෝණයකින් බලන්නයි අපේ සමාජයේ බොහෝ දෙනා පුරුදු වෙලා තියෙන්නේ. නමුත් මධ්‍යම පාන්තික තරුණියන්ගේ ජීවන චර්යාවන් බැලුවත් ඒ චරිත හැසිරෙන්නෙත් අර වගේම තමයි. මේ චිත්‍රපටයේ ලිංගිකත්වය ගැන කතා කරනවා.

ගෝතමී කියන්නේ මංගලාගේ සමීපතම යෙහෙළිය. නමුත් ඇය මංගලාගේ පෙම්වතාට ආදරය කරනවා. අවසානයේ ඔහු එක්ක ලිංගිකව පවා හැසිරෙනවා. ඔවැනි දේවල් හැම සමාජයකටම පොදුයි. නමුත් සත්‍යා වෙළෙඳ කලාපේ යුවතියන් කේන්ද්‍ර කර ගනිමින් එයින් ලස්සන චිත්‍රපටයක් නිිර්මාණය කර තිබෙනවා.

මංගලා ඔබගේ රංගන දිවියේ සුවිශේෂී චරිතයක් කිව්වොත් හරි?

ඔව්. අසංක, මේ මම ආසාවෙන් රඟපෑ චරිතයක්. මංගලා කියන්නේ බොහොම දඟකාර, සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන චරිතයක්.

හරියට ඉස්සර ඔයා වගේ?

තරුණ කාලේ එහෙම නැත්තේ කවුද නේද?

එතකොට මේ ලිංගිකත්වය ගැන බොහොම විවෘතව කතා කරලා තිනෙවා මේ චිත්‍රපටයේ?

ඔව්.

අපේ රටේ සංස්කෘතියත් එක්ක බලද්දී එවැනි දෙයක් සුදුසුයි කියලා ඔයාට හිතෙනවාද?

මම නම් හිතන්නේ මිනිස්සු හැංගිලා ඔයිට වඩා ගොඩක් දේවල් කතා කරනවා. ‘බොරදිය පොකුණ’ චිත්‍රපටයේ සත්‍යා කතා කරන දේවල්වලට වඩා එහා ගිය දේවල් අපි සමාජයේ එළිපිට අත්විඳලා තියෙනවා. ඔහු අධ්‍යක්ෂවරයා හැටියට ඒ ලිංගිකත්වය ගැන කතා කරන්නේ කලාත්මකව. චිත්‍රපටයට බලෙන් ලිංගික දර්ශන ඔබ්බවලා, එහෙම නැතිනම් ලිංගිකත්වය හරහා චිත්‍රපටය ප්‍රේක්ෂකයෝ වෙත ගෙන යන්න දරපු උත්සාහයක් නෙවෙයි මේක.

හැබැයි, ලිංගිකත්වය මාර්කට් කළා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

ෆිල්ම් එක බලනකොට එහෙම හිතෙන්නේ නෑ නේද? ඔය සරල, වාණිජමය චිත්‍රපටවල ඇතුළත් කරලා තියෙන ලිංගික දර්ශනත් එක්ක ගත්තාම මේ චිත්‍රපටය නරඹන කොට ඔයාට වුණත් හිතෙනව ද මං දන්නේ නෑ මේ චිත්‍රපටයට බලහත්කාරයෙන් ලිංගික දර්ශන ඇතුළත් කරලා කියලා.

‘ගෝතමී’ගේ චරිතය රඟන කෞෂල්‍යා ප්‍රනාන්දුත් මෙහි විශිෂ්ට චරිත නිරූපණයක යෙදෙනවා. ඇගේ රංගනය පිළිබඳ ඔයාගේ අදහස?

කෞෂල්‍යයා කියන්නේ ඉතාම දක්ෂ නිළියක්. එයාගේ රංගනය මට ගොඩක් උපකාරී වුණා මගේ චරිතය හොඳට කරන්න. මොකද කොච්චර දක්ෂ නළුවකුට, නිළියකට වුණත් අනෙක් කෙනාගේ සහයෝගය නැතිනම් හොඳ රංගනයක් කරන්න බෑ.

‘බිතු සිතුවම්’ චිත්‍රපටයෙන් පසු මම හිතන්නේ ඔයා මෙවැනි විශිෂ්ට රංගනයකට දායක වුණේ මේ චිත්‍රපටයෙන්?

ඔව්. මෙය කලාත්මක සිනමාවේ මා රඟපෑ හොඳ චරිතයක්, චරිතාංග නිරූපණයක්. ‘බිතු සිතුවම්’ චිත්‍රපටයෙන් මගේ රංගන දිවිමගේ සුවිශේෂී කඩඉමක්. ඒ චරිතය වෙනුවෙන් මං හොඳම නිළියට හිමි ‘සරසවිය’ සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ වගේම ‘ඉන්ද්‍රඛීලය’, ‘සීතල ගිනි කඳු’ වගේ චිත්‍රපටත් කලාත්මක සිනමාවේ මගේ සුවිශේෂී රංගනයන්. මම එකම තැනක එකම චරිතයකට කොටු වෙන්න කැමැති නෑ. ඒ මගේ හැටි. මම විවාහ වුණාට පස්සේ රඟපෑ හොඳම චරිතයක් තමයි ‘මංගලා’ කියන්නේ.

‘බොරදිය පොකුණ’ රූගත වෙමින් තිබියදී ඔයා තවත් නිර්මාණ කීපයකටම රංගනයෙන් දායක වුණා නේද?

‘සබඳ පබිලිස්’, ‘උතුරුකුරු සටන’ වගේ ටෙලි නාට්‍යයවල මම රඟපෑවේත් ඔය කාලෙමයි. තවත් ටෙලි නාට්‍ය කිහිපයකම මම රඟපෑවා. නම් මතක නැහැ.

අතිශයින් ජනප්‍රිය, සම්මානනීය නිළියක්ව සිටියදී තමයි ඔයා රංගනයට විරාමය තබන්නේ. ඒ ගැන දැන් හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

හරිම දුකයි. ඒක මාර විදිහට දැනෙන වේදනාවක්. ඒ ගැන කියලා වැඩක් නෑ. නමුත් ඉතිං වෙන්න තියෙන දේවල් අපට වලක්වන්න බෑ. මෙහෙ පදිංචි වෙන්න හිතාගෙන ආපු ගමනක් නොවුණත් ඒක එහෙම වුණා.

ආයේ ලංකාවේ පදිංචියට එන්න බලාපොරොත්තුවක් නෑ?

ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වගේම අනෙක් කාරණා සලකලා බලනකොට එහෙ කකුලක් මෙහෙ තව කකුලක් තියාගෙන ඉන්න අමාරුයි. නමුත් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා ලංකාවේ කෙරෙන නිර්මාණ කටයුත්තකට මොන විදිහකින් හරි සම්බන්ධ වෙන්න.

ඒ කියන්නේ මෙහෙන් ආරාධනාවක් ලැබුණොත් ඔයා ආයේ රඟපානවා?

ඔව්. ඇවිත් රඟපාලා යන්න.

ඩිලානි අබේවර්ධන කියන දක්ෂ, ජනප්‍රිය නිළියගේ නම ඉදිරියට ගෙනියන්න දැන් ඔයාගේ දියණිය සිනමාවට ඇවිත් ඉන්නවා. ඒ ගැන මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ?

ඇත්තටම මගේ දුව මෙහෙ හොඳ අධ්‍යාපනයක් ලබනවා. ඉගෙනීම් කටයුතුවලටත් එයා හරිම දක්ෂයි. ‘අම්මි මම ආසයි ඇක්ට් කරන්න’ කියලා එයාම කියන්න පටන් ගත්තා. එයා හොඳට සිංහල කතා කරනවා. රාජ් රණසිංහ කරන කොමඩි චිත්‍රපටයක රඟපාන්න එයා පසුගිය දවස්වල ලංකාවට ගියා. රංගනය පිළිබඳ ලොකු හැකියාවක්, දක්ෂතාවයක් තියෙනවද කියලා මට හරි අවබෝධයක් නෑ. ඒත් ඇය ‘අම්මි මම යන්නද?’ කියලා ඇහුවාම මම විරුද්ධ වුණේ නෑ. එයා නිවාඩු කාලේ ගිහින් ඇක්ට් කරලා ආවා. හැබැයි ලාලුයි (ලාල් වීරසිංහ), රාජුයි දෙන්නම මට කිව්වා කවීෂා හොඳටම ඇක්ට් කළා කියලා.

එතකොට පුතා කොහොමද?

පුතා කවිඳු කනිෂ්ක ප්‍රේමබන්දු. පුතාට අවුරුදු දහයයි. ඉස්කෝලේ යනවා. ඩාන්ස් කරන්න වගේ දේවල්වලට එයා හරි ආසයි. සිංදු කියන්න ආසයි. ඉතින් තව ඉස්සරහට බලන්න ඕනෑ එයා මොන වගේ දෙයකට ද කැමැති කියලා.

දැන් කොහොමද පවුල් ජීවිතය. සුන්දරයිද?

ආ . . . පවුල් ජීවිතේ නම් හොඳටම තියෙනවා. මම හිතන්නේ ලංකාවට වැඩිය මෙහෙ පවුල කියන එක රැඳෙන අවස්ථා වැඩියි. මොකද හැමෝටම ඕභඵර ඹ්ඪටඥ එකක් තියෙන්නේ. පවුල් සංස්ථාව තුළ ජීවත් වෙන එක තමයි රාජකාරියෙන් එහා තියෙන ලොකුම දේ. අපේ කියන හැඟීම හරියට තියෙනවා. අපේ පවුලත් ඉතිං හොඳට ඉන්නවා.

මම හිතන්නේ ඩිලානි රැකියාවකුත් කරනවා?

ඔව්. මම වැඩ කරන්නේ රූපලාවන්‍ය ආයතනයක. එහි රූපලාවන්‍ය උපදේශිකාවක් විදිහට තමයි මම සේවය කරන්නේ.

ගායිකාවක් වීමේ සිහිනය කාලයක් ඔයාගේ හිතේ තිබුණා?

වීක් එන්ඩ් එකේදි අපි කරන්නේ සිංදු කියන එක. ගායිකාවක් වෙන්න සිහිනයක් නම් නෑ. නමුත් මම හිතනවා ඉස්සරට වඩා පොඩි හරි හැකියාවක් තියෙනවා කියලා දැන් සිංදු කියන්න. මොකද අපි යමක් කරන්න කරන්න ඒක ඔපමට්ටම් වෙනවානේ. ඉතින් මම හිතනවා දැන් මට ටිකක් සිංදු කියන්න පුළුවන් කියලා.

මේ ළඟදී අපේ නළු නිළියෝ ඔහේ ආවා නේද?

ආ ඔව් අසංක. මෙහේ ‘රිදී රැයක්’ ඉඩධඹ එක කළානේ. ඒක බලන්න මමත් ගියා. අන්තිම පැය බාගෙම මම අඬ අඬා හිටියේ. මට ඔක්කොම අතීතය මතක් වෙන්න පටනි ගත්තා ඒගොල්ලන්ව දැක්කම. මට මාර විදිහට දුක හිතුණා. අයියෝ මගේ දේවල් එහෙම් පිටින්ම නතර වුණා නේද කියලා. ඒක හරි අමුතුම හැඟීමක්.

ඔයා සම්බන්ධ වුණේ නැද්ද ඒ ප්‍රසංගයට?

නෑ . . . නෑ . . . ඒගොල්ල කිව්වා පිට කවුරුත් සම්බන්ධ කරගන්න බෑ කියලා. ‘සිනෙස්ටාර්’ පදනමෙන් කැමැති නෑ කිව්වා වෙන වෙන අය ඒකට සම්බන්ධ වෙනවට කියලා. ඒක හරි වැරැදි දෙයක් ඉතිං. ඒකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා මම දන්නේ නෑ. මම චිත්‍රපට පනස් දෙකක රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍යය විස්සක විතර රඟපාලා තියෙනවා. අපි එතෙන්ට සුදුසු නැද්ද කියලා හැඟීමකුත් මගේ හිතට ආවා. මොන පදනමක් මතද තෝරන්නේ කියන ගැටලුවත් තියෙනවා.

ආරාධනාවක් තිබුණා නම් ඔයත් සහභාගි වෙනවා?

ඒගොල්ලන්ට මම කලින් කීවා. නමුත් චන්න අයියා කැමැති වුණේ නැහැ. මම ඒ ගැන වැඩිපුර මොකවත් කියන්න කැමැති නෑ. ඒත් ලංකාවට ආවාම ඒ ගැන කතා කරන්නයි ඉන්නේ.

ඒ කියන්නේ ඩිලානි ළඟදී මෙහෙ එනවද?

ඔව්. ජූලි මාසෙදි විතර. දුව රඟපාපු චිත්‍රපටය ඒ වෙනකොට රිලීස් කරනවා කියලා ලාල් අපට කිව්වා. ඒ ආපුවම අපි හම්බ වෙමු.

හොඳයි මොනවද ඔයාගේ ආදරණීය රසික රසිකාවන්ට කියන්න තියෙන්නේ?

‘බොරදිය පොකුණ’ හොඳ චිත්‍රපටයක්. මේක බලන්න. මේ චිත්‍රපටය තහනමට ලක් වුණ නිසා මිනිසුන්ගේ හිතේ වැරැදි ආකල්යක් ඇති. නමුත් හරිම ලස්සන, හරවත් චිත්‍රපටයක්. ඒ වගේම විශිෂ්ට චිත්‍රපටයක්. අවුරුදු ගාණකින් ඔයාලා මාව දකින්නේ. ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා මේ චිත්‍රපටය නරඹන්න කියලා.

හරි ඩිලානි, එහෙනම් බොහොම ස්තුතියි කතා කළාට?

අනේ අසංක ඔයාටත් ස්තුතියි තෑන්ක් යූ වෙරි මච්.

බුදුසරණයි . . .

හොඳයි බුදුසරණයි . . .